ගෑණු ළමයෙකුට හරියනම වෘත්තිය ගුරු වෘත්තිය කියලා කියන්නේ ඇයි?

ගැහැණු ද පිරිමි ද කියන භේදය හැම එකක් අස්සට ම රිංගවන එක කාලාන්තරයක් තිස්සේ අපේ මිනිස්සු පුරුදු වෙලා හිටපු හැටියක්. දැන් දැන් තමයි ඒක වෙනස් වෙලා දෙපාර්ශ්වයම එක තනතුරේ ලා සැලකෙන්න වැඩ කටයුතු හැදිලා තියෙන්නේ. ඒ කොහොම වෙතත් තාමත් අර අළු යට ගිනි පුපුරු වගේ මේ අදහස් හැංගිලා තියෙනවා. ගුරු වෘත්තිය වඩාත් ගැලපෙන්නේ කාන්තාවන්ටය කියන එක අන්න ඒ අදහස් මාලාවේ එක නවාතැනක්. එහෙම කියන්න මිනිස්සු පෙළඹුණේ ඇයි?

 

1. ස්ත්‍රීත්වයට මනාව ගැලපීම

Image Source – Futurecareers.com

කාන්තාවක් සතුව මෙන්න මෙන්න මේ ලක්ෂණ තියනවා ය. කාන්තාවක් කියන්නේ මෙන්න මේ වගේ බාහිර ස්වරූපයක් තියෙන මනුස්ස පරාණයක් ය කියලා මුල් බැහැගත්තු කතන්දර කීපයක් තියෙනවා. ඔය දේවල් එක්ක යස අගේට කැපෙන වෘත්තියක් තමයි ගුරු වෘත්තිය. සාරියක් නැත්තම් ඔසරියක් ඇඳලා, කොණ්ඩේ පිළිවෙලට බැඳලා නැතිනම්  සින්දුවකත් තියනවා වගේ කොණ්ඩේ දිගට දාලා ලස්සනට රැකියාවට යන කෙනෙක් තමයි ගුරුවරියක් කියන්නේ. සාහිත්‍යය සහ පැරණි සමාජය ගොඩනගපු ස්ත්‍රිය හඳුන්වන මොකක් රූපයක් තියෙනවා නම් ඒක මේකත් එක්ක තකට තක. කාන්තාවක සතු ඉවසීම, කරුණාවන්තබව, ආදරය වගේ සංවේදී ලක්ෂණ ළමයි එක්ක  ගනුදෙනුවල දී ඕනිමයි. අන්න ඒ නිසා ඒ ගොඩනගාගත්තු සංකල්ප එක්ක සමපාත වීමෙන් ගුරු වෘත්තීය ගැහැණු ළමයෙකුට ගැලපෙනවා කියලා කියන්න පුළුවන්.

 

2. පවුල සමග සමීපව සිටීමට ඇති හැකියාව

Image Source – naukrinama.com

ගැහැණියකට තමන්ගේ පවුල තරම් දෙයක් තවත් වටිනවා ද? ස්වාමිපුරුෂයා සහ දරුවන් එක්ක ගෙවන කාලය තමයි ඇයට හැමදේම වෙන්නේ. අන්න ඒ නිසා ගොඩක් අය පූර්ණකාලීන වශයෙන් ගෘහණියන් බවට පත් වෙලා තියෙනවා. ඒත් මේ ලෝකයේ ගැහැණු තවදුරටත් කුස්සිය මුල්ලට හේත්තු වෙලා ඉන්න ලෑස්ති නැහැ. ඉතින් රැකියාවක් කරන ගමන් පවුල එක්ක සමීප ව ඉන්න නම් තෝරා ගන්න ඕනි ගුරු වෘත්තීය තමයි. අනික් 8-5 රස්සා වගේ නෙවෙයි මේක. ළමයි එක්කම ගෙදර එන්න පුළුවන්. මහත්තයා එනකොට වෙන්න ඕනි වැඩකටයුතු සියල්ල ඉෂ්ට කරලා තියන්නත් පුළුවනි.

 

3. මානසික සුවතාවක් ලැබිය හැකි නිවාඩු කාලයක හිමිකාරිනියක් වීම

Image Source – realsimple.com

7.30-1.30 වැඩ කාලය වගේ ම අනෙක් රස්සාවලට සාපේක්ෂ ව ලැබෙන මහා පරිමාණ නිවාඩු කාලයත් ගැහැණියකට වටිනවා. පවුලේ වැඩ, ප්‍රශ්න පත්තර බැලීම, පාසලේ අනික් පරිබාහිර වැඩ එක්ක හෙට්ටු වෙලා මහන්සි දැනෙනකොට මෙන්න එනවා නිවාඩු කාලයක්. ඒකාකාරී පරිසරයෙන් මිදිලා නෑදෑ හිත මිතුරන් හමුවෙන්න, විනෝද ගමන් යන්න මෙහෙම නිවාඩු ලැබෙන්නේ ගුරු ජීවිතේ විතරයි. පවුල වෙනුවෙන් ඉටු වෙන්න ඕනි යුතුකම් තවත් හොඳින් ඉටු කරන්නත් මේ කාලය වැදගත් වෙනවා.

 

4. සමාජ ගෞරවයට පාත්‍ර වීම

Image Source – cbsl.gov.lk

ගෞරවය කියන්නේ ගැහැණියකට තියෙන ආභරණයක්. වෙන රැකියා ස්ථානවල වැඩ කරන අයට දාහක් පද හැදෙනවා. ඒත් ඒ තත්ත්වය මෙතන දී අඩුයි. පාසල් පරිසරයේ නෙවෙයි එතනින් එහා සමාජයට ගියාමත් එහෙමයි. බස් එකට නැග්ගත්, පොළට ගියත් වෙනකක් තියා නිකන් පාරේ ඇවිදන් ගියත් ගුරුවරියක වීම නිසා ගැහැණිය වැඳුම් ලබනවා. මේ දේ වෙන්න සාරිය ඇඳන් ඉන්න පාසල් වෙලාවක්ම වෙන්න ඕනි නැහැ. තරුණ ගුරුවරියක් හා කතා කරද්දී ඊට වැඩිමල් වැඩිහිටියොත් කතා කරන්නේ ගරු බුහුමන් දීලායි.

 

5. වරප්‍රසාද හිමිවීම

Image Source – snagajob.com

මොකක් හරි සේවාවක් කර ගන්න කියලා ගුරුවරියක් එළියකට බැස්සොත් ඕක කරලා දෙන්න ගෝලබාලයෝ පනින්නේ මේම, මේම. බැංකුවට, රෝහලට, කඩපොළට ගියත් අනෙක් ඇත්තන්ට වඩා කාර්යක්ෂම සේවයක් ගුරුවරියක ලබනවා. කඩේට ගියොත් වෙනදට ඉතුරු රුපියලට ටොපි දෙන අංකල්ලා ගුරුවරියට හරියටම රුපියල දෙනවා. සමහරවිට ඊටත් වඩා දෙනවා. බැංකුවේ පෝලිමේ හිටියොත් “කෝ දෙන්න ටීචර්” කියලා බැංකු ස්ලිප් එක ඉල්ලගන්නවා. වැඩේ පට් පට් ගාලා ඉවරයි.

 

6. ආත්ම තෘප්තිය

Image Source – dnaindia.com

ආත්ම තෘප්තිය නම් බෝතල් බාගෙකිනුත් හොයාගන්න පුළුවන්. කාන්තාවක් ගුරුවරියක විදියට තමන්ගේ රැකියාවෙන් ලබන තෘප්තිය ලබන්නේ ළමයෙකුගේ හිනාවෙන්, ළමයෙකුගේ දක්ෂකමින්. අනෙක් රස්සාවල වගේ ප්‍රොමෝෂන් බලාගෙන තෘප්තිමත් වෙන්න ගියොත් එහෙම කාන්තාවත් බෝතල් බාගේ ගහනවා. මේසයක් ඉස්සරහට වෙලා හරි ම ඒකාකාරී රස්සාවක් කරනවට වඩා එකිනෙකට වෙනස් දරුවන්ගේ දඟකාරකම් සහ දක්ෂතා දකිනකොට තමන් කරන්නේ රස්සාවක් ද කියලා නොදැනෙන තරමට ගැහැණිය තෘප්තියක් ලබනවා.

 

7. අලුත් දේ උගැන්මට ඇති හැකියාව

Image Source – twitter.com

ගැහැණියකට අලුත් දැනුම් පද්ධතිවලට යන්න තියෙන පාර වෙන වෘත්තියකින් වැසුණා නම් ඒ වගේ පාරවල් දහස් ගණනක් ගුරු ජීවිතේ නිසා ගුරුවරිය ලබනවා. ලෝකය, තාක්ෂණය, දේශපාලනය වගේ දේවල් පාසල්වල ළමයින්ගෙන් ම ඉගෙනගන්න පුළුවන්. රටේ වෙන දේවල් ඔපීසියේ තැන් තැන්වල ඉඳන් කතා කරනවා වගේ නෙවෙයි. පාසලේ දී ගුරුවරියක් ලබන්නෙත් ශිෂ්ට අධ්‍යාපනය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *