ලංකාවෙ මිනිස්සු හරි ආසයිනෙ ඡන්දවලට. අන්න ඒ නිසාම අපේ දේශපාලක උන්දලත් බිලියන පහේ කෑලි විසික් කර කර ඡන්ද තියනව. ඇයි ඉතිං පෙජාචන්චවාදෙට මුල් තැන දෙන්න එපැයි. හම්මේ ඔන්න ඔහොම ඡන්දෙට ඉදිරිපත් වෙන ඈයො පස්සෙ කොයි කොයි පක්ෂෙට කෝටි තිහේ කෑලිවලට විකුණුනත්, අපේ ඈයෝ මේ රට මේ නරා වලෙන් ගොඩ ගන්න ඕන යන උදාරතර හැඟීමෙන් එකට කාලා බීලා ඉන්න යාලුවො එක්ක රණ්ඩු කරගෙන තමුන් ඡන්දෙ දෙන කෙනා තීරණය කරනව. සමහරුනං කෙලින්ම බලන්නෙ ජාතියයි ආගමයි එක්ක තමුන්ගෙ අම්ම තාත්තගෙන් උරුම වුණු දේශපාලන පක්ෂයට අදාළ අය ගැන විතරයි. ඒ නැතත් අනිත් අය බලන සාධක ටිකක් අපි මේ විදියට ලැයිස්තුවකට දානවා.
1. ලැවුල
දේශපාලකයෙක් නං තේජස තියෙන්න ඕන. තේජසට නං ඉතිං ලැවුල අනිවා. ලැවුල කියන්නෙ නිකංම ලැවුල වෙලා බෑ. කට්ට කළු, ගොරෝසු, මහත රැවුලක් වෙන්නෝන. පොඩි උන් වඩාගෙන ඉම්බම උන්ගෙ මූණු අතූගෑවිලා යන්න තරං ඝනකම රැවුලකට තමයි ගොඩක් මිනිස්සු ඡන්දෙ දෙන්නෙ. රැවුල් කාරයො තුන්දෙනෙක් විතර හිටියොත් හොඳම රැවුලට තමයි වැඩිම මනාපෙ.
2. ළමයි බමයි
ළමයෙක් හදාගන්න බැරි එකෙකුට රටක් හදන්න බෑ කියන උතුම් අදහසේ ඉන්න රටක් නිසා අපේ රටට දළදා හිමි සරණයි. කොහොමින් කොයි හැටි වෙතත් රටට ගේම දෙන්න සෙල්ලං කරන්න, පොත් ලියන්න, ඉහළ ආකාසෙට යන්න, පොලෝ තලේ හාරාගෙන යන්න පුත්තු දූලා හදපු තාත්තෙක් තමයි අපේ අය හොයන්නෙ. ගෑණියෙක් නං ඉතිං ළමයි බමයි නැති වෙන්නෝන. මෝඩකමයි ලොකු ඉනකුයි තිබ්බනං ඇති දේශපාලන තාරකාවක් වෙන්න.
3. ඉතිහාසෙ
අපේ අය හරි ආසයි ඉතිහාසෙට. කොයිවෙලෙත් දෙදාස් පන්සීය කියාගත්තු ගමන්නෙ ඉන්නෙ. ඒ වගේම ඉතිහාසයක් ඇති දේශපාලකයොන්ටත් කැමතියි. මොකද තනි මිනිහෙක් රට කාපු පවුලක් වැඩක් නෑ. පොරගෙ සීයගෙ ඉඳන් රට කෑවනං තමයි ආතල් එක වැඩි. අන්න ඒ නිසා අතීතයේ සිට රට කෑ පවුලකින් අයෙකුට ලංකාවෙ ඡන්දයක් ජයග්‍රහණය කිරීමේ වැඩි හැකියාවක් තියෙනවා. හරිහමං විදියට කොමිස් එකක් ගහන්න නොදන්න ගොනෙකුට මේ රට දෙන්න බෑනෙ මහත්තයො.
4. සරමට
යටට Calvin Klein ජොක්කු ඇන්දත් උඩට සරමනං එතන තියෙනවා විශේෂ වටිනාකමක්. මේකත් අර මුලින් කියපු දේ එක්ක සමපාතයි. ඒ කියන්නෙ අතීතයේ සිට එන අපේ කම කියන දේ. සමහර දේශපාලක පුත්තු අඳින්නෙ තාත්තගෙ ඇඳුම. ටයි කෝට් දාන උන්ට අපේකම තේරෙන්නෙ නෑ කියලයි රටේ එකාලගෙ අදහස. ඒ නිසා ඕන පශ්චාත් භාගයක් වෙද්දෙන් කියල සරමට කතිරෙ ගහල එනව. මේ ගොන්කම දන්න දේශපාලකයො කවදහරි දවසක අලුත් පක්ෂයක් හදලා සරමෙන් ඡන්දෙ නොඉල්ලුවොත් තමයි පුදුමෙ.
5. දේහදාරී
දේහදාරීත්වය කියන දේත් ඡන්දයක් දිනන්න වැදගත්. එඩිතර සිංහයෙක් වගේ යූඑන් එකට යන්න පුළුවන් එහෙම මිනිහෙකුට විතරයි අපේ අයියල ඡන්දෙ දෙන්නෙ. වැඩක් කරන්න බැරි වුනත් බඩට හරියට කාලා තියෙන මිනිහෙක්වනෙ අපි දිනෙවුවෙ කියල සතුටු වෙන්න පුළුවන් එතකොටයි. සමහරුන්ට උසම ඕන නැතත් මහත තිබ්බත් ඇති. කොහොම වුනත් පුටුවක වාඩු වුනාම පුටුව පිරෙන්න ඇඟ නැති, ඕනම තැනකට පයින් බැහැලා යන හති නැති එකෙක් දේශපාලනේට ගේන්න අපේ අයියලා කැමති නෑ.
6. සුදු අලි
මොක නැතත් ප්‍රොජෙක්ට් ටිකක් සහ ඒ ප්‍රොජෙක්ට් ටික ගැන පම්පෝරි ටිකක් ඕනමයි. විශ්වවිද්‍යාල හැදුවට වැඩක් නෑ රටටම පේන්න හොඳ ප්‍රොජෙක්ට් එකක් නොකර කියලයි එක්ස්ප්‍රස් වේ එකේ පයින් ගිය ඩෑල් එකක් කිවුවෙ. අන්න ඒ නිසා රටට වැඩක් නැතත් කොමිස් පාරක් කන්න බලාගෙන රටකින් ණයක් ගහලා, ඒ රටේම උන් දාලා මොනවහරි බිල්ඩිමක් හැදෙවුවොත් තමයි වටිනාකම. ඒකෙ ප්‍රයෝජනය, ඒකෙන් වෙන හානිය වැඩක්ම නෑ.
7. පවර්
හම්මා! මේක තමයි ඕනම දේ. බලය නැතත් පවර් එක තියෙන්න ඕන. ගාම්භීර වෙන්නෝන. මනුස්සයෙක් දෙන්නෙක් මරලා, හෝටලේක ඉන්න සුද්දියෙක්ව දූෂණය කරලා, පොලිස් ලොක්කොත් දැක්ක ගමන් පුංචි කෙල්ලො වගේ ඇඹරෙන ගාම්භීර පෞරුෂයකට තමයි ඡන්දෙ දෙන්නෙ. අනික කට. කට තියෙන්න ඕන හොඳටම. ඕන කැත වැඩක් වචන හරඹෙකින් වහගන්න පුළුවන් නිසා කට තමයි මේ ගේම් එකේදි තියෙන්න ඕනෙම.
Cover Image Source – overstock.com/ vice.com
Leave a Reply