2018 අවුරුද්දේ ලෝක සිනමාවට එකතු වුණ සුපිරි දමිළ චිත්‍රපට

දෙමළ සිනමාව කියන්නේ ලෝකයේ මෙතෙක් පහළ වෙච්චි ලොජික් කිසිම එකකට ගැළපෙන්නේ නැති දේවල්, කඩු මන්නා පිහි ෆයිට්, තක්කාලි කරත්ත පෙරළෙන හට්ටි මුට්ටි බිඳින ෆයිට් සහ හද්ද බොළඳ සීන් තියන කාලේ කන්නන්ට හොඳ මෙලෝ වින්දනයක් නැති හරුපයක් කියලා යමෙක් හිතාන ඉන්නවා නම් කරන්න තියෙන්නේ 2018 අවුරුද්දේ දමිළ සිනමා කරුමාන්තය ලෝකයට දීපු තෑගි ගැන හොයලා බලන එක විතරයි. සිනමාව කියන්නේ ඊයේ තිබුණ දේට වඩා ඉක්මනින් අද දවසේ වෙනස් වෙන දෙයක්. ඒ වෙනස එක්ක බොලිවුඩයටත් වෙට්ටු දාන්න පුළුවන් කියලා මේවා බැලුවා නම් හිතෙයි.

 

1. Pariyerum Perumal

Image Source – youtube.com

මේ දශකයේ බිහිවුණ හොඳම දමිළ චිත්රපටය කියලත් විචාරකයන් මත පළ කරනවා. චිත්රපටය පටන් ගන්නේ ජෝන් වික් ඉන්ඩියන් ඉස්ටයිල් එකකින්. පාරිගේ ආදරණීය බලු යාළුවාව ගමේ ඉන්න තදයෝ ටිකක් රේල් පාරේ තියලා ගැටගහනවා. මේ ටිකට යන්නේ විනාඩි 10කටත් අඩු කාලයක්. හැබැයි ඒ ටික හොඳට ම ඇති ආයේ ඇස් අහකට ගන්නේ චිත්රපටය ඉවර වුණාම තමයි කියන සිග්නල් එක මොළයට යවන්න. ඉන්දියාවේ අදටත් කුල ප්රශ්නය පිළිකාවක් වගේ ඔඩු දුවනවා. ඒකට ශක්තිමත්ව මුහුණ දෙන ගැමි තරුණයෙක්ගේ කතාව තමයි මේ. මේ චිත්රපටය වචනයෙන් කියන්න බැරි තරම් සංවේදීයි. මේ තරුණයාගේ තාත්තා ගමේ ගැහැණු චරිතවලට නටන අහිංසකයෙක්. තාත්තා නටන තැනකට මේ පුතා යනවා. සින්දුවලින් මිනිස්සුන්ව කියවන්න ඇති හැකියාව උපරිමේටම අත්දකින්න ප්රේක්ෂකයාට මෙතන දී අවස්ථාව ලැබෙනවා. මුලින්ම බල්ලට වෙන අකරතැබ්බේදීත් ඒ වගේම සින්දුවක් යනවා. චිත්රපටයේ අනික් කොටස් කෙසේ වෙතත් සින්දු ටික නම් මග අරින්නම එපා. ප්රධාන චරිතය රඟ දක්වන්නේ කදිර්. IMDb අගය 9.3%ක්.

 

2. Ratsasan

Image Source – behindtalkies.com

සමහරවිට දමිළ සිනමාවේ හොඳම ත්රාසය මුසු වුණ චිත්රපටය විදියට මේක ඉතිහාසයට එක් වෙයි. චිත්රපටයේ නමේ තේරුම රාක්ෂයා. රාක්ෂ කතාවක්ම තමයි ඒක. පොලිස් නිලධාරියෙක් බවට පත් වුණ කලාකාරයෙක් දාම ඝාතකයෙක් අල්ලා ගන්නා විදිය දැක්කම බලන් ඉන්න අපේ ඔළු කුරුවල් වෙනවා. මේ ඝාතකයා එසේ මෙසේ ඩයල් එකක් නෙවෙයි. තමන්ගේ හැම දඩයමක දී ම තෑග්ගක් දෙන්න තරම් පිස්සු පීකුද්දෙක්. තනියම බලනවා නම් ප්රෙෂර් පෙති ළඟ තියා ගත්තට කමක් නැහැ. ප්රධාන චරිතය නිරූපණය කරන්නේ විෂ්ණු විශාල්. IMDb අගය 9.1%යි.

 

3. 96

Image Source – moviegalleri.net

පාසල් ප්රේමය අමතක කරලා ය ඉන්නේ, නොතේරෙන කාලේ කරපු ගොන් වැඩය, අපිට හොඳ පාඩම් ය වගේ කතන්දර කියා කියා පාසල් ප්රේමය පාසල් කාලයෙන්ම ඉවර වුණා කියලා කියන බොහෝ දෙනෙක්ගේ යටි හිතේ ඒක තදින් බදලා තියෙනවා. එහෙම අයට බැරි වෙලාවත් ඒ පාසල් ප්රේමය ආය දකින්න ලැබුණොත් එයාලා ගල් වෙනවා, ඇඟ හිරි වැටිලා යනවා, මහා අසරණකමක් දැනෙනවා. රාම්ට තමන්ගේ පාසල් කාලයේ පෙම්වතිය දැක්කමත් දැනුණේ ඒක. මේ කතාවට 96 කියන්නේ මේ දෙන්නාගේ බැච් එක 96 නිසා. සේදුපති එක්ක ට්රීෂා මේ ප්රේම කාව්යය පරිස්සමට ලියනවා. කොයිතරම් පරිස්සම් ද කියනවා නම් ඉස්කෝලේ කාලේ කෙල්ලෙක් එක්ක වචනයක්වත් කතා නොකරපු කෙනෙක්ට පවා ඒ ආදරය දැනෙනවා. IMDb අගය 9.1%යි.

 

4. Imaikka Nodigal

Image Source – cinemessenger.com

Ratsasan චිත්‍රපටයට හොඳ තරඟයක් දුන්න ඒ ශානරයේ ම තවත් ප්‍රාතිහාර්යයක්. දාම ඝාතකයෙකුගේ යළි පැමිණීම එක්ක මුළු නගරය ම කැළඹිලා. ඒ අස්සේ මේ ගොයියා පොලිසියෙන් ගේම ඉල්ලනවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් ම බුද්ධි අංශයේ එක සුවිශේෂ නිලධාරිනියෙකුගෙන් තමයි මේ ගේම ඉල්ලන්නේ. ඊට පස්සේ ඒකට කොහෙන්ද මන්දා මේ නිලධාරිනීගෙ මල්ලි සම්බන්ධ වෙනවා. කොහොමින් හරි අදාළ ඝාතකයා අල්ලා ගත්තම අන්තිමේ දැනගන්න වෙන්නේ නොසිතූ දෙයක්. ප්‍රධාන චරිත විදියට නයනතාරා, අනුරාග් කාශ්‍යප්, අතර්වා යන අය තමයි ඉන්නේ. IMDb අගය 7.5%යි

 

5. Irumbu Thirai

Image Source – studioflicks.com

සයිබර් ලෝකය ඉදිරිපිට අපි නිර්වස්ත්‍රව ඉන්නවා වගේ සදා අනාථයි. ඒ අනාථකමින් ප්‍රයෝජන ගන්න දත්ත මංකොල්ලකරුවෙක් අල්ලගන්න හමුදා නිලධාරියෙකු යන දුර ගැනයි මේ චිත්‍රපටය කියන්නේ. මේකත් ඉතින් ලොවෙත් ත්‍රිලරයක් තමයි. ප්‍රධාන චරිතයට දායක වෙන්නේ විශාල්. සංගීතය යුවාන් ශංකර් රාජාගෙන්. මේකේ අධ්‍යක්ෂතුමා චිත්‍රපටය හදන්න කලින් මේ දේවල් ගැන වෙන ම පර්යේෂණයක් කරලා තියෙනවා. විශාල් පණ පොවන හමුදා චරිතය ඉක්මන් කේන්තිකාරයෙක්. ඒ සඳහා වෛද්‍ය උපකාර පැතුවම ගමට ගිහින් තාත්තා සහ නංගි එක්ක ඉන්නයි උපදෙස් ලැබෙන්නේ. ඒක මානසිකව සහනයකට වඩා අසහනයක් වෙන්නේ අන්තර්ජාල ගෝනිබිල්ලෙක්ට අහු වෙන එකෙන්. IMDb එකෙත් 7.8%ක් තියෙන එකේ බලලා දාන්න.

 

6. Kaatrin Mozhi

Image Source – jfwonline.com

කට්ටියට Tumhari Zulu මතක නම් මේ තියෙන්නේ ඒකෙ රීමේක් එකක්. ඒ ගැන නොදන්න අය ඉන්නවා නම්, විද්‍යා බාලන් ප්‍රධාන චරිතය නිරූපණය කරපු ආසියානු කාන්තාවගේ ජීවිතයේ ඇති බරපතලකම කොමඩියකින් ඉදිරිපත් කරන්න දරපු උත්සාහයක්. විද්‍යා වෙනුවට ජ්‍යෝතිකා තමයි දමිළ චිත්‍රපටයේ දකින්න පුළුවන් වෙන්නේ. මේ සාම්ප්‍රදායික ගෘහනියගේ ජීවිතය උඩුයටිකුරු වෙන්නේ ඇය එෆ් එම් නාලිකාවකට සම්බන්ධ වීමත් සමගයි.  පට්ට ආතල් එකක් වගේම අවසානයේ කාන්තාව කියන සංකල්පය කෙරේ මහා ආදරයක් ඇති කරවනවා. IMDb අගය 9.2%යි.

 

7. Pyaar Prema Kadhal

Image Source – youtube.com

රොමැන්ටික් කොමඩිවලට ආසා කරන බොහෝ දෙනෙක්ට නියමෙට සෙට් වෙනවා. ඔක්කොටම වඩා එළකිරි සින්දු ටිකක් යුවාන් ශංකර් රාජාගේ මියුසික් නිසා ලැබිලා තියනවා. ප්‍රධාන නළුවා විදියට ඉන්නේ හරිෂ් කල්‍යාන්. චිත්‍රපටයේ පද තුනෙන් ම කියවෙන්නේ එක ම එක දෙයයි. ඒ තමයි ආදරය, ආදරය, ආදරය. කෙල්ල ලස්සනයි ආදරණීයයි. ඔක්කොම එකට කැපෙනවා එක දෙයක් හැරෙන්න. දෙමව්පිය බරබරේ. ඒ වගේ ම දෙන්නා සෑහෙන වෙනස් හැම අතකින්ම වගේ. ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා.  IMDb දාලා දෙන්නම් 6.8%ක්.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *