කොල්ලෙක්ගේ අතට හරියන අත් ඔරලෝසුවක් ‍තෝරාගන්න ටිප්ස් 7ක්

අතේ බඳින ඔරලෝසුවක් ඕනෑ වෙන්නේ තමන් කොහේ හරි යන එන වෙලාවකදී, මග තොටදී වෙලාව බලන්නනේ. හැබැයි දැන් කාලේ ගොඩක් දෙනෙක් වෙලාව බලන්නේ ස්මාට්ෆෝන් එකෙන් නිසා ඔරලෝසු බඳින්නේ නෑ. හැබැයි ඉතින් මේ වෙනකොට අත් ඔරලෝසුවක් කියන්නේ නිකම්ම වෙලාව බලන්න අතේ බඳින ගැජට් එකක් නෙවෙයි. ඊට වඩා ඒක පළඳනාවක්. ඒ නිසා අත් ඔරලෝසුවක් ‍තෝරාගන්නකොටත් වෙලාව යනවා නම්, ක‍ටු කැරකෙනවා නම්, අංක වැටෙනවා නම් ඕනෑ එකක් කියලා ‍තෝරගෙන හරියන්නෙ නෑ. ඊට වඩා සෑහෙන්න හිතලා බලන්න ඕන කාරණා තියෙනවා. හැබැයි ඉතින් ඒ හැමදෙයක්ම සැලකිල්ලට අරගෙන අත් ඔරලෝසුවක් අරගෙන අතේ බැඳගෙන යනවා කියන්නේ ඒකෙන් තමන්ගේ පෙනුමට වැඩි වටිනාකමකුත් එකතු වෙනවා.

 

1. අත් ඔරලෝසුවක් අවශ්‍ය වෙන්නේ මොකටද කියලා තීරණය කරමු

Image Source – improb.com

ගොන් ප්‍රශ්නයක් වගේද? නැහැ. කෙනෙක් පැන්න ගමන් කියන්න පුලුවන් අත් ඔරලෝසුවක් ඕන වෙන්නේ වෙලාව බලන්නනේ කියලා. හැබැයි අත් ඔරලෝසුවකින් කරන්නේ වෙලාව බලන එක විතරක් නෙවෙයි. ස්පෝට්ස් කරන කෙනෙක්ට ඩිජිටල් අත් ඔරලෝසුවක තියෙන ස්ටොප්වොච් එක ඕන වෙනවා. තව කෙනෙක්ට ඇනලොග් අත් ඔරලෝසුවක තියෙන අර චන්ද්‍ර කලා පෙන්නන එක වගේ පොඩි පොඩි සීන් වුවමනා වෙනවා. තව කෙනෙක්ට වොච් එක ඕන වෙන්නේ වෙලාව පෙන්නන්න සහ තමන්ගේ ක්ලාස් එක පෙන්නන්න. තව කෙනෙක්ට වොච් එකක් ඕන වෙන්නේ වෙලාව බලන්න සහ තමන් නවීනයි කියලා පෙන්නන්න. මෙන්න මේ වගේ එකිනෙකාගේ ඔරලෝසු වුවමනා එපාකම් වෙනස්. ආන්න ඒ නිසා මුලින් තමන්ගේ ඒ වුවමනාව මොකක්ද කියලා හඳුනාගන්න ඕන. එතනින් පස්සේ පුලුවන් තමන්ට වුවමනා කරන්නේ මොන විදියේ වොච් එකක්ද කියලා තීරණය කරන්න.

 

2. මොකක්ද වුවමනා කරන මූව්මන්ට් එක?

Image Source – gearpatrol.com

එහෙම ඇහුවහම තේරෙන්නෙ නෑ වගේද? හරි. අත් ඔරලෝසු ගත්තහම සමහර ඒවා යාන්ත්‍රිකයි. අර වයින් දාන ඔරලෝසු කියන්නේ. ඒ කිව්වේ ඔරලෝසුව අතේ බඳින්න කලින් වයින් කරන්න ඕන. වයින් කරලා වෙලාව හරියට තියන්න ඕන. දැන් දවස තිස්සේ ඔරලෝසුව දුවනවා. හැබැයි දවස් දෙක තුනකින් ආයෙමත් වයින් කරන්න වෙනවා. එතකොට අර ඔටෝමැටික් මූව්මන්ට් කියන ඔරලෝසු වයින් කරන්න ඕන නෑ. අත හෙල්ලෙන විදියට ශක්තිය ලබාගෙන ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඉතින් අතේ බඳින්නේ නැතුව ටික දවසක් පැත්තකින් තියලා තිබ්බොත් ආයෙමත් වෙලාව හදන්න වෙනවා. ඊළඟට තියෙනවා ක්වාට්ස් ඔරලෝසු කියන සුලභ ජාතිය. මේවා තමයි හැමතැනම තියෙන්නේ. මේ ඔරලෝසු වලට බැටරි දාන්න ඕනා. සෑහෙන කාලයක් හොඳ බැටරියකින් වැඩ කරනවා. ඊළඟට තියෙනවා ඩිජිටල් අත් ඔරලෝසු. මේවාත් බැටරි බලයෙන් තමයි වැඩ කරන්නේ.

දැන් ඔය මූව්මන්ට් වලින් මොකක්ද තමන්ට වුවමනා කියලා ‍තෝරාගන්න වෙනවා. මිකැනිකල් මුව්මන්ට් සහ ඔටෝමැටික් මූව්මන්ට් එකේ ඔරලෝසු බොහොම ක්ලැසික්. ක්වාට්ස් මූව්මන්ට් තියෙන ඔරලෝසු වඩාත් නවීන පෙනුමයි. හැබැයි ක්ලැසික් පෙනුම තියෙන ඒවාත් හොයාගන්න පුලුවන්. ඩිජිටල් ඔරලෝසු ඉතින් කොහොමත් නවීනයිනේ.

 

3. මිල ගණන් සසඳන්න

Image Source – monochrome-watches.com

දැන් හොඳ කඩේක තියෙන අත් ඔරලෝසු දිහා බැලුවහම විවිධ මිලගණන් විශාල පරාසයක විහිදිලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් හත්සිය පණහේ, අටසීයේ ඉඳන් දෙදාහ, තුන්දාහ වෙනකල් තියෙන ඔරලෝසු තියෙනවා. රුපියල් හාරදාහේ, පන්දාහේ ඉඳන් දහදාහා, පහළොස්දාහා විතර වෙනකල් තියෙන ඔරලෝසු තියෙනවා. ඉන් පස්සේ රුපියල් විසිදාහේ, තිස්දාහේ, හතළිස් දාහේ ඉඳලා සමහර වෙලාවට රුපියල් ලක්ෂය දෙක පනින අත් ඔරලෝසුත් තියෙනවා. දැන් අපේ මිල ගණන් තියෙන්නේ මේ මොන පරාසයේද කියලයි හිතන්න ඕන.

ඇත්තටම කෙනෙක් වඩා අඩු ගාණකට තියෙන ඔරලෝසුවක් ගන්න හිතන්න පුලුවන්. හැබැයි ඔරලෝසුවේ පෙනුමත් ඔය ගාණ මත තීරණය වෙනවා කියන එක තේරුම් ගන්න වෙනවා. ඒ කියන්නේ රුපියල් අටසීයක වොච් එකකට වඩා රිච් ලුක් එකක් තියෙනවා රුපියල් තුන්දාහකට විතර තියෙන ඔරලෝසුවක. පහළොස්දාහක ඔරලෝසුවක පෙනුම ඊටත් වඩා එහායින් තියෙන්නේ. හැබැයි සමහර වෙලාවට රුපියල් තුන්දාහේ, හාරදාහේ රේන්ජ් එකේ හොයාගන්න පුලුවන් මාරම රුපියල් දහදාහක, පහළොස්දාහක ලුක් එකක් තියෙන ඔරලෝසු. හැබැයි ඒවල අර පහළොස්දාහේ ඔරලෝසුවේ තියෙන කොලිටිය නෑ. ඒ කියන්නේ පහළොස්දාහේ ඔරලෝසුවක් වගේ පරම්පරා කීපයක් පාවිච්චි කරන්න ලැබෙන්නේ නම් නෑ. ආන්න ඒ නිසා තමන්ගේ අත් ඔරලෝසු බජට් එක තීරණය කරගන්න ඕන. හැබැයි ඕනෑවට වඩා අඩු ගාණක ඔරලෝසු වලට නොයා ඉන්නවා නම් හොඳයි.

 

4. සයිස් එක වැදගත්ද?

Image Source – codelabs.developers.google.com

අනිවාර්යයෙන්ම. සයිස් එක විතරක් නෙවෙයි, හැඩයත් වැදගත්. ඒ කිවුවේ අත් ඔරලෝසුවල ඩයල් එක විවිධ හැඩයන්ගෙන් එනවා. එක්කෝ රවුම්, එක්කෝ ඕවලාකාර, එක්කෝ හත‍රැස්. හැබැයි මේ හැම හැඩයක්ම තමන්ගේ අතට ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්. දෙවෙනියට ඩයල් දෙකේම සයිස් එක. ඒ කියන්නේ ඇත්තටම ඔරලෝසුවේ තියෙන ඩයල් එකේ නැතිනම් මුහුණතේ සයිස් එක සහ ඔරලෝසුව අතේ බඳින්න බලාපොරොත්තු වෙන ඩයල් එකේ සයිස් එක. තවත් පැහැදිලි කළොත්, මහත දෙහෙත ඇඟක් සහ අතක් තියෙන හාදයෙක්ට ඔය සත දෙකේ කාසියක සයිස් ඩයල් තියෙන ඔරලෝසු හරියන්නෙ නෑ. කැතයි. ඒ වගේ කෙනෙක්ට හරියන්නේ වඩාත් විශාල ඩයල් එකක් තියෙන ඔරලෝසුවක්. හැබැයි කාන්තා අතකට හෝ වඩාත් කුඩා ශරීර ප්‍රමාණයක් තියෙන කෙනෙක්ගේ අතකට මහ විසාල ඔරලෝසු කැතයි. ඒ අයට හරියන්නේ හුරුබුහුටි ඩයල් එකක් එක්ක හුරුබුහුටි අත් ඔරලෝසුවක්.

 

5. සාදා ඇති අමුද්‍රව්‍යය සහ ඔරලෝසුවේ පටිය

Image Source – mrjoneswatches.blogspot.com

මෙන්න මේක ඔරලෝසුවක් ගන්න හැම කෙනෙක්ම වගේ ඉතාම සැලකිලිමත් වෙන කාරණා දෙකක්. එකක් ඔරලෝසුව හදලා තියෙන්නේ මොනවායින්ද කියන එක. ඔරලෝසුව නිර්මාණය කරලා තියෙන අමුද්‍රව්‍යය ඔස්සේ ඔරලෝසුවේ පෙනුම වගේම කල් පැවැත්ම තීරණය වෙනවා. ඒ වගේම ඔරලෝසුවේ පටිය ප්ලාස්ටික්ද, හම්ද, සෙරමික්ද, රෙදිද, රබර්ද නැතිනම් ලෝහමයද කියන එකත් කල්පැවැත්මට සහ පෙනුමට සෑහෙන්න දායකත්වයක් ලබාදෙනවා.

ගොඩක් වෙලාවට දකින්න පුලුවන් දේ තමයි ඔරලෝසුවේ බඳ සහ පටිය ප්ලාස්ටික් හෝ රබර් නිමාවකින් යුක්ත වෙනකොට ඒකට ලැබෙන්නේ වඩා ස්පෝර්ටි පෙනුමක් කියන එක. හැබැයි අර රිච් ලුක් එකක් එන්න නම් වඩා ක්ලැසික් හම් පටියක් තමයි ගැලපෙන්නේ. මේ හම් පටිය සැබෑ හමින් වගේම කෘත්‍රිම හම් වලින් නිර්මාණය වෙලා තියෙනවා වෙන්නත් පුලුවන්. ලෝහමය පටි ගත්තත් ඒක වෙනස් වෙනවා පටිය නිර්මාණය වෙලා තියෙන විදිය අනුව. උදාහරණයක් විදියට ගත්තොත් වඩාත් විශාල ලෝහ කොටස් කැබලි වලට වඩා ක්ලැසික් පෙනුමක් එනවා අර සිහින් මුදු විදියට ගෙතුණු ලෝහ පටියක් තියෙනකොට. ඒක වඩාත් නම්‍යශීලීයි.

දැන් මේ කාරණාවන් එක්ක බලනකොට තමන්ට ගැලපෙන ඔරලෝසුවේ පටිය සහ ඔරලෝසුවේ බඳ තීරණය වෙන්නේ පුද්ගලික කැමැත්ත සහ භාවිතය මත. හොඳම දේ තමයි අතේ බැඳලා ගැලපෙනවද කියලා බලන එක.

 

6. කල්පැවැත්ම? අතිවිශිෂ්ටයිද සර්?

Image Source – backpackerverse.com

ඔරලෝසුවේ කල් පැවැත්ම ගැන අපි උඩිනුත් කිවුවා. එකක් තමයි පිළිගත්තු ආයතනයකින් ඔරලෝසුවක් ගන්න කොට, ඔරලෝසුව මිලෙන් අධිකයි කියන්නේ සෑහෙන වෙලාවට කල් පැවැත්මෙනුත් අනූනයි කියන එක තමයි. මෙතනදී සම්පූර්ණයෙන්ම ලෝහයෙන් නිර්මාණය වුණු ඔරලෝසුවක් වුනත් තත්වයෙන් බාල නම් එක දිගට දාන්න බෑ. අතේ දාඩිය එක්ක ප්‍රතික්‍රියා කරලා ලෝහය බුබුළු දාන්න, කොළපාට වෙන්න පටන් ගන්නවා. හැබැයි වැඩි කොලිටි ඔරලෝසුවක එහෙම ප්‍රශ්න නෑ. ඒ වගේම තමයි රළු භාවිතයට ගැලපෙනවාද කියන එක. සීරුම් නම් කොහොමත් වළක්වන්න බැහැනේ. හැබැයි හොඳ කොලිටි වීදුරුවක් දාලා තියෙනකොට ඒ තරම් සීරුම් ලකුණු පේන්නේ නෑ. හැබැයි අනෙක් අතට ඔය ප්ලාස්ටික් වීදුරු වල සීරුම් හොඳට පෙනුනට ලේසියෙන් බි‍ඳෙන්නේ නෑ කියලත් කියන්න ඕන.

ඊළඟට ඔය ඔරලෝසු වල ගහලා තියෙනවනේ අච්චර ගැඹුරකට වතුරට ඔරොත්තු දෙනවා වගේ කාරණා. බාල ඔරලෝසු වලත් එහෙම ගහලා තිබුණට ඇත්තටම නම් ඒ වගේ දේවල් බලාපොරොත්තු නොවෙන එක හොඳයි. ඒවා තෙමුණහම සර්කිට් එක අප්සට් යනවා, වීදුරුවේ මීදුම බැ‍ඳෙනවා. ඒ නිසා ඔය කියපු කරණා ගැනත් හිතන එක වැදගත්.

 

7. ඔරලෝසු බ්‍රෑන්ඩ් එක

බ්‍රෑන්ඩ් නේම් එක ගැන අත් ඔරලෝසුවක් ගන්න හැම කෙනෙක්ම හිතන්නේ නෑ. ඒකට එක හේතුවක් තමයි සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ්, ඒ කියන්නේ ලෝකයේ පිළිගත් සන්නාමයක් යටතේ එන ඔරිජිනල් අත් ඔරලෝසුවක් මිලෙන් වැඩි වීම. ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකේ වගේම පේන්න ගහපු හොර ඒවත් තියෙනවා. හැබැයි ඉතින් හොඳ පරීක්ෂාවකින් බැලුවොත් ඒවා හොර කියලා අඳුනගන්න පුලුවන්.

එතකොට ඇයි මිනිස්සු අත් ඔරලෝසුවේ බ්‍රෑන්ඩ් නේම් එක ගැන උනන්දු වෙන්නේ? හේතු කීපයක් උඩ. එකක් තමයි කොලිටිය. හොඳ බ්‍රෑන්ඩ් එකකින් හදන ඔරලෝසුවක කොලිටිය ගැන වගකීමක් ලැබෙනවා. බ්‍රෑන්ඩඩ් ඔරලෝසුවක කොලිටිය ගැන බය වෙන්න දෙයක් නෑ. දෙවෙනියට බ්‍රෑන්ඩඩ් අත් ඔරලෝසුවක කල් පැවැත්ම ඉතාමත්ම හොඳයි. තුන් වෙනියට ගත්තොත් ලෝකේ විශිෂ්ට බ්‍රෑන්ඩ් එකක් කියලා පිළිගන්න නමක් තියෙන අත් ඔරලෝසුවක් බඳිනවා කියන්නේ ඒක තමන් ගැනම කරන ප්‍රකාශනයක්. අපි කිවුවනේ පටන් ගන්නකොටම, අත් ඔරලෝසුවක් කියන්නේ වෙලාව බලන ගැජට් එකකට එහා ගියපු පළඳනාවක් කියලා. ඉතින් බ්‍රෑන්ඩඩ් අත් ඔරලෝසුවක් බඳින එකෙන් පුද්ගලයාට වටිනාකමක් ලැබෙනවා.

එහෙමනම් දැන් තේරෙනවනේ අත් ඔරලෝසුවක් ගන්න නම් හිතන්න ඕන දේවල් මොනවද කියලා? තව එක දෙයක් කියන්න ඕන. ඔන්ලයින් ඔරලෝසු මිලදී ගන්නවා නම් ආවාට ගියාට දාලා තියෙන ෆොටෝ එකට ‍රැවටිලා ගන්න එපා. හොඳින් හොයලා බලන්න. ඒ ඔරලෝසුවේ විස්තර මොනවද කියලා කියවලා බලන්න. පුලුවන් නම් ඔරලෝසුව ඇස් දෙකට දැක්කට පස්සේ මිලදී ගන්න ක්‍රමයක් හදාගන්න. එතකොට බාල ඔරලෝසු වලට අහුවෙන්න වෙන්නෙ නෑ.

Cover Image Source – overstock.com/ luxurymenwatchesbymiles.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *