අන්තර්ජාලයේ සැරිසරන මීම් කිහිපයක් ගැන කතාවක්

මීම් එකක් කියන්නේ මෙන්න මේකයි කියලා ඇඟිල්ලෙන් ඇනලා කියන්න දෙයක් නම් නෙවෙයි අද කාලේ පරම්පරාවට. ඒත් නොදන්නා අයට තේරෙන භාෂාවෙන් කිව්වොතින් අන්තර්ජාල භාවිතයේ දී දකින්න ලැබෙන විහිළු පෝස්ටුවක් කියලා සරලවම කියන්න පුළුවන්. සිංහල මීම් එහෙමත් වැහිවැහැලා. කට කපලා තියෙන බුකියේ පිටුවල ගොඩක් තියෙන්නේ මීම් තමයි. සමහර මීම් තියනවා එක පාරයි පාවිච්චි වෙන්නේ. තවත් සමහර ඒවා චක්‍රයක් වගේ බොහෝ දේවලට පාවිච්චි කරන්න පුළුවන් විදියට අන්තර්ජාල චක්‍රයේ කැරකි කැරකි තියෙනවා. මේ ඒ වගේ ප්‍රසිද්ධ මීම් කීපයක නිධාන කතාව.

 

1. Grumpy Cat

Image Source – maxim.com

හැම දේ ගැනම කළකිරිලා ඉන්න බවට වගේම මොකක් හරි අන්ත සෘණාත්මක දෙයක් කියන්න ඕනි වුණාම පාවිච්චි කරන මීම් එකක් තමයි මේ. නමේ තියෙනවා වගේම මේ පූසාගේ පෙනුම ඉක්මනට තරහා යන කෙනෙක් වගෙයි. මේ තරහ පූස් මූණ ගැන කියනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ධනාත්මක දෙයක්. මේ ප්‍රසිද්ධ මීම් එකේ පූසාගේ අයිතිකාර නෝනා සෑහෙන ආර්ථික අපහසුතා මැද ජීවිතය ගැටගහගත්තු කෙනෙක්. හැබැයි ඔක්කොම වෙනස් වුණේ එයාගේ සහෝදරයා මේ පූසාගේ මූණ අන්තර්ජාලයට එකතු කරාට පස්සෙයි. අද වෙනකොට මේ පූස් මූණ මාකට් කෙරිල්ලෙන් ඇය කෝටිපතිනියක් බවට පත් වෙලා තියනවා.

 

2. Success Kid

Image Source – theverge.com

මීම් එකේ නම වගේම මේක නම් සිරා සක්සස් ඉස්ටෝරියක්. මේ පොටෝ එක සම්බන්ධයෙන් නම් කියන්න මහා දෙයක් නැහැ. මාස එකොළහක් වයස පොඩි කොලු පැටියෙක් හෙන ගැම්මකින් වැලි මිටක් අතේ තද කරන් ඉන්න හුරතල් පොටෝ එකක්. මේක සක්සස් එකක් වෙන්නේ මේ මීම් එක නිසා කොලුවාගේ තාත්තට වුණ යහපත නිසයි. මේක ප්‍රසිද්ධ වෙන්න කලින් මේ තාත්තා වකුගඩු ප්‍රශ්නයක හිරවෙලයි හිටියේ. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා වත්කමක් තිබුණේ නැහැ. ඒත් මේ ප්‍රසිද්ධියත් එක්ක ලෝකයේ හැම පැත්තෙන් ම මේ තාත්තාට ආධාර මුදල් ලැබුණා. ඩොලර් 100,000කට වඩා මුදල් ප්‍රමාණයක් ලැබිලා තිබුණා. පුතාට පින්සිද්ධ වෙන්න අද ඒ තාත්තා නිරෝගී මනුස්සයෙක්.

 

3. Unimpressed Chloe

Image Source – giphy.com

ඉස්කෝලේ යන්නේ නැතුව ඩිස්නිලන්තයේ යන්න ලැබෙනවා නම් බුදු අම්බේ ඒක කොච්චර උඩ පනින්න ඕනි දෙයක් ද! ඇත්තටම මේ පුංචි කෙල්ලගේ අක්කා ඒ විදියටම සතුටු වුණා. ඒත් මෙයාට ඒ ගැන තිබුණ ප්‍රතිචාරය තනිකරම කොන්ෆියුසිස් ෆුල් අන්ජබකල් ටයිප් එකක්. මොකද්ද යකෝ මේකේ තේරුම වගේ තැනක දී මේක පාවිච්චි වෙනවා. අද වෙනකොට නම් මේ මූණට වඩා ලස්සන මූණු හදන්න මේ බබාට පුළුවන්.

 

4. Distracted Boyfriend

Image Source – wired.com

මේක මෑතක දී සෑහෙන ජනප්‍රියතාවක් ලැබුවා. කොච්චර ද කියනවා නම් 2017 අවුරුද්දේ හොඳම මීම් එක. මේක කාලයක් නිකන් ම නිකන් ස්ටොක් ඉමේජ් එකක්. මේක ඡායාරූපයට නගපු පුද්ගලයා කියන විදියට පොටෝ ඇල්බම් එකක එක පොටෝ එකක් විතරයි මේක. අනික් ඒවා කෙසේ වෙතත් මේක හිට් වුණේ ගොඩක් දෙනෙක්ට ගොඩක් භාවිත කරන්න පුළුවන් නිසයි. කෙල්ල එක්ක පාරේ යන ගමන් හැරිලා වෙන කෙල්ලෙක් දිහා බලන පොටෝ එකක් වුණාට ඔය පුද්ගලයන් වෙනුවට වෙන වෙන සංකල්ප ඕක අස්සේ රිංගවන්න පුළුවන්. උදාහරණයක් විදියට මංගල මුදු මාල වළලු ගැන අවධානය ඉවර වෙලා පාර්ලිමේන්තුව දිහාවට අවධානය ලැබුණ එක ගන්න පුළුවන්.

 

5. Doge

Image Source – themarysue.com

මේක ඉස්සෙල්ලාම සඳහන් කරපු පූස් තඩියගේ කතාවේ අනික් පැත්ත. හුරතල් බලු පැටියෙක්ගෙ රූපය එක්ක වටේට මොනා හරි පුංචි වාක්‍ය ඛණ්ඩ කීපයක් එක්කයි මේ මීම් එක එන්නේ. මොකක් හරි දෙයක් අගය කරන්න හිතනවා නම් ඒක කියුට් විදියට කරන්න මේ මීම් එක පාවිච්චි කරනවා. මේ බව්වගේ කතාව මෙහෙමයි. මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී කරුණාවන්ත පුද්ගලයෙක් මොහුව හදාගන්නවා. ඒ හදාගැනිල්ල නතර වෙන්නේ අන්තර්ජාලයේ තරුවක් බවට පත් වෙලයි. මේ උන්මාදෙත් එක්ක Bitcoin වගේ Dogecoin එකකුත් ආවා කියහන්කෝ…

 

6. Disaster Girl

Image Source – refinery29.com

අසල්වැසියෙකුගේ නිවසක ගින්නක් බලන්න පවුලක්ම දුවගෙන යනවා. තාත්තා කැමරාවත් අරගෙන එන්නේ සිද්ධියේ පොටෝස් ටිකක් ගන්න. ගත්තු පොටෝ එකක තිබුණ බයත් එක්කම හිනාත් යන මේ පොටෝ එක අන්තර්ජාලයට දැම්මා විතරයි මීම් පදවියෙන් පිදුම් ලැබුවා. මොකක් හරි අණ්ඩපාල වැඩක් සම්බන්ධයෙන් මේ මීම් එක පාවිච්චි කෙරෙනවා. මේ ඡායාරූපය මිලට ගන්න, ඒ කියන්නේ ඒකෙ තනි අයිතිය ගන්න බොහෝ යෝජනාවල් ආවත් මේ ගෑණු දරුවාගේ තාත්තා කැමති වෙලා නැහැ. ඔහු කියන්නේ මේක ගත්තේ මුදල් හම්බ කරන්න බලාගෙන නෙවෙයි කියලයි.

 

7. Most Interesting Man in the World

Image Source – theidentitytb.com

ජොනතන් ගෝල්ඩ්ස්මිත් කියන්නේ ඇමරිකාවේ ප්‍රසිද්ධ නළුවෙක්. බියර් ඇඩ් එහෙක රඟපාන්න වෙනවා මොහුට දවසක්. එතන දී කියන්න වෙනවා “මම හැම වෙලේ ම බියර් බොන්නේ නැහැ ඒත් බොනවා නම් අහවල් බ්‍රෑන්ඩ් එකේ එ්වයි බොන්නේ” කියලා. ඉතින් ඔතැන බියර් බොන එක වෙනුවට වෙන ඕනම දෙයක් දාන්න මිනිස්සු පෙළඹෙනවා. මම අහවල් වැඩේ හැම තිස්සේ ම කරන්නේ නැහැ ඒත් මම කරොත් මෙහෙමයි කියන තැනට සෙට් වෙන ඕනි එකකට මේ මීම් එකේ ඉඩ තියෙනවා. අන්තිමේ බියර් කොම්පැනියත් ගොඩ ගෝල්ඩ්ස්මිත් අන්කලුත් ගොඩ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *