රටට ආදරේ අය රට හදන්නට පොර කන හැටි අපිට විටින් විට මාධ්‍ය ඔස්සේ බලාගත හැකිය. ඔවුන් රට හදන්නට එකිනෙකා පක්ෂ වලට බෙදී, පිල් වලට බෙදී මරාගනිති. ඒ කරන කැපකිරීම සැබැවින්ම රටට කළා නම් අප රට කොහි තිබේදැයි යන්න පසුගිය දිනවල ෆේස්බුක් හි පවා හරි හරියට කතා කළ මාතෘකාවකි. අපේ රට අතීතයට සාපේක්ෂව වර්ධනය වී ඇත, මිනිසුන් වැඩි වී ඇත, යාන වාහන වැඩි වී ඇත, අලුත් මාර්ග ඉදිවී ඇත. එහෙත්, නගරයක් ලෙස ගතහොත් කොළඹ තවමත් දශක ගණනාවක් තිස්සේ වෙනස් වී ඇත්තේ අහස උසට නැගෙන නව ගොඩනැගිලි පමණි. එහි නව කර්මාන්ත, සේවාවන්, නව ආදායම් මාර්ග ජනනය වෙන පාටක් නැත. එහෙත් අප මැලේසියාව, තායිලන්තය සිංගප්පූරුව වැනි රටවල නගරයක් ගතහොත් දශක කිහිපයක් තුළ ඒවා සීඝ්‍රයෙන් වෙනස් වී තිබේ. නගරයේ පෙනුමෙන් සංවර්ධනය මැනිය නොහැකි වුවත්, එයින් යම් හෝ අදහසක් ගත හැකිය. අපි පසුකර ගිය රටවල් මොනවද? අපි ටිකක් ඒ ගැන බලමු.
1. සිංගප්පූරුව
දැනට ලෝකයේ වැඩිම වටිනාකමක් හිමි වන්නේ සිංගප්පූරු පාස්පෝට් එකටය. සිංගප්පූරු පාස්පෝට් එක සහිත අයෙකුට ලෝකයේ රටවල් 127 කට කලින් වීසා නොගෙන ඇතුල්විය හැකිය. පාස්පෝට් එකේ වටිනාකම අනුව පෙළගැස්වූ ලැයිස්තුවේ ලංකාව සිටින්නේ 89 වන ස්ථානයේය. එනම් ලංකාවේ පාස්පෝට් එකක් හිමි තැනැත්තෙකුට වීසා නැතිව ඇතුළුවිය හැක්කේ රටවල් 37 කට පමණි. ලංකාව නිදහස ලබන විට සිංගප්පූරුව යනු දෙවන ලෝක යුද්ධයෙන් බැට කෑ රාජ්‍යයකි. එහෙත් අද වනවිට සිංගප්පූරුව වේගයෙන් ඉදිරියට ඇවිත් තිබේ.
2. මැලේසියාව
මැලේසියා රටට ගිය අයෙක් වෙත්නම් ක්වාලාලාම්පූර් යනු කොහොම නගරයක් දැයි දැනගත හැකිය. මැලේසියාව මුස්ලිම් රටකි. එහෙත් දැනට අග්නිදිග ආසියාවේ රටවලින් මැලේසියාව දෙවැනි වන්නේ සිංගප්පූරුවට පමණි. මැලේසියාවේ මහතීර් මොහොමඩ් විසින් මෑතකදී ඔවුන්ගේ රටේ සිදුකළ චීන ව්‍යාපෘති නවතාලූයේ අධික ලෙස ණය වී කරන ව්‍යාපෘති තවදුරටත් රටට වාසියක් නොවන බව ප්‍රකාශ කරමිනි. මැලේසියාවේ මෑතකදී යළිත් මහතීර් මොහොමඩ් බලයට පත් වූයේ දූෂිත නජීබ් රසාක් එලවා දමමිනි. මැලේසියාවද නිදහස ලබන විට මෙන්ම ඉන් පසු දශකයක් දෙකක් යනතෙක්ම ලංකාවට වඩා දුප්පත් රටක් විය.
3. වියට්නාමය
වියට්නාමය 1960-70 ගණන් වලදී යුද්ධයකට පැටලී සිටියේ ලේසි පාසු රටක් සමග නොව ඇමරිකාව සමගය. උතුරු සහ දකුණු ලෙස වෙන්වී තිබුණ වියට්නාමය එකතු විය. දැනට ආසියාවේ නැගී එන ආර්ථිකයක් සහිත වියට්නාමය විදෙස් ආයෝජන රැසක් දිනාගෙන තිබේ. වියට්නාම ආර්ථිකය දැනට කලාපයේ වේගයෙන් දියුණු වන ආර්ථිකයකි. යුද්ධ කාලයේදී වියට්නාම රට හැමතැනම බෝම්බ පිපිරුණු රටක් වුවද පසුකලෙක වියට්නාමය සීඝ්‍රයෙන් ඉදිරියට ගැනීමට එරට නායකයෝ සමත් විය.
4. තායිලන්තය
සියාම් රට ලෙස පැරණි කල හැඳින්වූ තායිලන්තය, ලංකාවේ බුදු සමයටද විශාල දායකත්වයක් දැක්වූ රටකි. තායි රට වියට්නාම යුද්ධ කාලයේදී ඇමරිකානු සෙබලුන්ට නවාතැනක් විය. ඒ නිසාම පසුකලෙක තායිලන්තය අග්නිදිග ආසියාවේ සංචාරක ක්ෂේත්‍රයෙන් දියුණුම රටක් බවට පත් විය. යාබද මුස්ලිම් රටවල් වන ඉන්දුනීසියාව සහ මැලේසියාව ආදී රටවල් වලට වඩා තායිලන්තයේ බෞද්ධ පසුබිම සංචාරකයින් ආකර්ෂණය කරගන්නට විය. කිසිදාක සුද්දාට යටත් වී නොමැති තායි රට තුළ ඇති සංස්කෘතිය නිසාම තායි ජනයා සංචාරකයින්ට ඒ සංස්කෘතික වටිනාකම් පෙන්වා මුදල් උපයති. සංචාරකයින් සොයා එන්නේ කුමක්ද ඒ දේ බාධාවකින් තොරව ලබා දීමට තායිලන්තය සමත් වී තිබේ. තායිලන්තය ඒක පුද්ගල ආදායම අනුව ලංකාව මෙන් දෙතුන් ගුණයක් වන දියුණු රටකි.
5. චීනය
චීනය යනු දෙවන ලෝක යුද්ධය හමාර වනවිට ජපානයෙන් දරුණුවටම බැට කෑ රටක් විය. ජර්මානුවන්ගෙන් බැට කෑ යුදෙව්වන් සේම ජපනුන්ගෙන් බැට කෑ චීන්නුද දෙවන ලෝක යුද්ධය නිසා දැඩි ලෙස පීඩාවට පත් විය. දැන් චීනය ලෝකය පාලනය කරන ලොකු බලවතෙක් බවට පත් වී තිබේ. ලෝකයේම නිෂ්පාදනාගාරය චීනය යැයි කියත හැකි තරමට චීනය බඩු භාණ්ඩ නිෂ්පාදනයේදී ඉදිරියට ඇවිත් තිබේ. ජනගහනය බිලියනය ඉක්මවන චීනයේ පවතින්නේ තවමත් ඒකාධිපති ලක්ෂණ ඇති පාලනයකි. එහෙත් ආර්ථිකය අතින් අනෙක් දියුණු රටවල් සමග කරට කර මට්ටමට එන්නට චීනය සමත් විය. මීට දශකයකට එපිට කාලයකදීද යමෙක්ගෙන් චීනයේ නගරයක ජීවත් වෙනවාද? කොළඹ ජීවත් වෙනවාද? යැයි ඇසුවේ නම්, එවිට කොළඹ නගරය ඔහු තෝරාගන්නට ඉඩ තිබුණි. එහෙත් අද වනවිට ඉතාම වේගයෙන් දියුණු වී ඇති චීන නගර බටහිර නගර මට්ටමටම පහසුකම් අතින් දියුණු වී තිබේ.
6. දකුණු කොරියාව
ලංකාව නිදහස ලබන වකවානුව වනවිට කොරියාව දෙවන ලෝක යුද්ධයෙන් පසු උතුරු දකුණු ලෙස බෙදුන රටක් විය. එහෙත් ධනවාදී කඳවුර වැළඳගත් දකුණු කොරියාවේ වැසියන් සිය ජීවිත කාලය තුළදීම සංවර්ධනයේ අසිරිය විඳගැනීමට සමත් විය. මිනිසුන් වැඩිපුර සිටින ඝෝෂාකාරී තැන් කලකට පෙර අපේ රටේදී හඳුන්වනු ලැබුවේ කොරියාව ලෙසය. එහෙත් දැන් කොරියාව සීඝ්‍රයෙන් වෙනස් වී ඇත. කොටින්ම නිදහස ලබද්දී අපිටත් පහළ අඩියක සිටි කොරියාවේ අද බැලමෙහෙවර සඳහා ලාංකිකයින් සේවයට යති. ඒ ලාංකිකයින් පහළ මට්ටමේ කම්කරු රැකියාවන් කර අපේ දුප්පත් රටට විදේශ විනිමය ලබා දෙති. එහෙත් වසර 50කට පෙර කොරියාව යනු දැන් ලංකාව මෙන්ම දුප්පත් වූ රටක් විය.
7. පිලිපීනය
මැදපෙරදිග සේවය කරන ලාංකික සේවකයින්ට පිලිපීන ජාතිකයින් යනු සුලභ දසුනකි. එහෙත් ඉදිරියේදී පිලිපීනය දියුණු රටක් බවට පත් වෙතැයි මත පල වී තිබේ. පිලිපීනය ඉලෙක්ට්‍රොනික බඩු, අර්ධ සන්නායක, ආහාර නිෂ්පාදන ආදී දේ රැසක් අපනයනය කරයි. පිලිපීනයද ලංකාව මෙන්ම කලක සිට මැදපෙරදිගට ගෘහ සේවිකාවන් සපයන දුප්පත් රටක් විය. එහෙත් දැන් එහි තිබෙන වේගයට පිලිපීන ආර්ථිකය වර්ධනය වුවහොත් ඔවුන්ට සිය රටේදීම හොඳ කලදසාවක් උදාකරගත හැකි වනු ඇත. ඔවුන් කලකදී ගොවිතැන මූලික ජීවන රටාවකට හුරු වී සිටියත්, දැන් දැන් සේවා ක්ෂේත්‍ර සහ කර්මාන්ත වලට ආර්ථිකය විවෘත කොට, ඒ හරහා රටට ප්‍රතිඵල ලබාගැනීමට සමත් වී තිබේ.
ආයෝජකයින්ට කන්න බොන්න දී ඒ අයට එන්න යැයි කීවාට ඔවුන් ලංකාවට ඇවිත් කර්මාන්ත හෝ සේවා ආරම්භ කරන්නේ නැත. විදෙස් ආයෝජකයෙක් ගත් කල ඔවුන්ට දැන් ලංකාවට වඩා ඔවුන්ගේ ව්‍යාපාර අවස්ථා ඇරඹීමට තැන් අප කලාපයේම තිබේ. එවැනි වටපිටාවකදී තරඟකාරී ලෝක වෙළඳපොලට හරියන ලෙස, ඔවුන් ලංකාවට ආකර්ෂණය වන ලෙස අප රටේ පද්ධති වෙනස් කළ යුතුව ඇත. එහෙත් අලුත් පද්ධති හඳුන්වා දී, පවතින ක්‍රමය වඩාත් නවීකරණය කිරීම තබා, දැනට තිබෙන දෙයවත් රැකගන්නට අපේ පාලක කණ්ඩායම අසමත් වන අයුරක් දැන් දැන් පේන්නට තිබේ.
Cover Image Source – wallpaperup.com
Leave a Reply