මිනිස්සුන්ට තියෙනවා සුබ බලාපොරොත්තු. සමහරු ඒවා හිතට ගන්නෙ ජනවාරි පළවෙනිදට. හැබැයි ඒවා ජනවාරි තුන් වෙනිදා විතර වෙද්දි තමුන්ටත් නොදැනිම වියැකිලා යනවා. ඔය විදියට ඇඟ කෙට්ටු වෙන්න, රැකියාවේ ඉහළට යන්න, වියදං අඩු කරගන්න යනාදී වූ දේ වෙනුවෙන් වෙහෙසෙන මිනිස්සුන්ගෙ ඒ සුබ සිහින මියැදෙන්නට හේතු සිද්ධ කරවන නොයෙක් වූ සිදුවීම් තියනවා. අපේ මෙවර ලැයිස්තුව පුරවන්නෙ ඒ දේවල්වලින්. ඔයාලගෙ හීනත් අපි මේ කියන විදියටම මියැදිලා ගිහින් තියෙනවානං ආයෙත් පොඩි තල්ලුවක් දීලා ඒ හීනේ ස්ටාට් කරගන්න බලන්න.
1. ඈවු!
අලුත් බොටම් අරගෙන, දාඩිය එළියට පිට නොවෙන ටීෂර්ට් ඇඳලා, ලස්සන සපත්තු දෙකක් ජොගින් කරන්නම අරගෙන, දාඩිය නළලට වැටෙනවට හෙඩ් බෑන්ඩ් දාලා, ෆිට්නස් ට්‍රැකර් තියෙන ස්මාට් බෑන්ඩ් බැඳගෙන තමයි කට්ටිය ජොගින් කරන්න යන්නෙ. පිස්සුවෙන් වගේ දුවලා තුන්වෙනි දවස වෙද්දි එකපාරටම පාර මැද සංවර්ධනය කරපු වලකට කකුල වැටිලා ඈවු වෙනවා. ඊළඟට මාස දෙකක් විතර ඒකට තෙල් බැඳලා ඉවර වෙද්දි “ජොගින් කියන්නෙ මොකද්ද ඒයි මට මතක නෑනෙ” කියල හිරේට යන්න හිතෙන තරං කික් එක ඇඟෙන් ගිහිල්ලා.
2. අතුරු ප්‍රතිඵල
ජිම් ගියත් ඔය ප්‍රශ්න. ජිම් ගිහින් ටික දවසකින් ට්‍රේනර් අයියා මාරු වෙලා කඩ්ඩෙන් කොටාගෙන කොටාගෙන යන ට්‍රේනර් කෙනෙක් ආවම කනක් ඇහිලා ඉන්න නෑ. එහෙමත් නැත්තං සමහරු ජිම් යන්න පටන්ගත්තම කරුමෙ එක්ස්ට්‍රා ලාජ් නිසා ජිම් එක වෙනිං තැනකට අරං යනව. එහෙමත් නැත්තං බඩට එක්සයිස් කරද්දි අත් මහත් වෙනවා, බොන බෙහෙතකට කම්මුල් ඉදිමෙනවා වගේ අතුරු ප්‍රතිඵල නිසා ජිම් සිහිනයට තිත තියන්න වෙනවා. දිනේෂ් චන්දිමාල්ගෙ වගේ කෙට්ටු ඇඟක් තිබ්බට වැඩක් නැහැනෙ ජෝන් සීනගෙ වගේ අත් දෙකක් ඇවිල්ලා.
3. ආහාරං!
කෑම නිසා සෙට් වෙන ආතල් තමයි දුක කිලෝ ගාණට වැඩි කරන්නෙ. අනේ ඉතිං කල්ප කාලාන්තරයක් තිස්සෙ ෆාස්ට් ෆුඩ් චේන්වල තියෙන හැම බම්බුවම කකා ඉන්නකොට කඩවලින් ඇප්ස් හඳුන්වා දෙනවා. දැන් ඉතිං කෝල් දෙන්නෙත් නෑ. හිතන පරක්කුවට ඕඩරේ දාලා ඉවරයි. ඊටපස්සෙ ඔන්න ලබන සඳුදා සිට අපි කඩ කෑම කන්නෙ නෑ ලාවට ෂේප් එකේ ගෙදර කෑමක් හදාගෙන කාලා කෙට්ටු වෙනවා කියල හිතලා ඉදිරි දින කිහිපය අවසන් සතිය නිසා ඕසෙට කෑම ජාති කනව. අනේ ඉරිදා රෑටත් හොඳට නිදියලා සඳුදා උදේ ඇහැරෙන්නෙ මගුල් බෙර සද්දෙකට. බලද්දි ගෙවල් ඉස්සරහ පැරණි ඉතාලි දර පෝරණු පීට්සා අවන්හලක් ඕපන් කරනව නැකතට. අනේ ඉතිං කන්නෑ කියල දහ අතේ දිවුරපු මිනිස්සු මහ පාන්දර සරම කැහැපොට ගහන් පීට්සා පෝලිමේ.
4. මගුල්
මේ බම්බුව හරියන්නෙ නෑ. මෙහෙම හිටියොත් කවදහරි නාකි වුනාම හුප්පෙ තමයි. මොකෝ අපි ඉන්ෂුවරන්ස් දාන්න තරං ෂුවර් පිට සල්ලි වෙන් කරන බුවාලා නෙමෙයිනෙ කියලා හිතලා සිතුවිලි රාශියකට පස්සෙ අද ඉඳන් නං මාසෙකට දහදාහක්වත් ඉතුරු කරනවා කියල හිතනව. හිතල හිතලා දහ දාහෙ අභිප්‍රාය යටතේ පුංචි පුංචි වියදං තොගයක් නවත්තල බලං ඉද්දි එනවා කෝල් එකක්. “මචං මං බඳිනව. වෙඩිම කිංස්බරියෙ” කිවුවම ටිං ගාලා ඔලුවට වදින්නෙ යාලුවට දෙන්න වෙන මුදල් ත්‍යාගය ගැන. ඔය විදියෙ කෝල් දෙකක් ආවම කොල්ලා තීරණය කරනව එක්කො සල්ලි ඉතුරු කරන්න ඕන නෑ ඒයි කියල.
5. තෑගි
හැමදාමත් කරන්ට් බිල රුපියල් හාරදාහක් පනින නිසා මේ කෙලිය හරියන්නෙ නෑ සර් යන මූලික අදහස සිත්හී පෙරදැරිව කරන්ට් පාලනය පටන්ගන්නව. මුලින්ම හීටර් වෙනුවට කේතලේ ගෑස් එකේ තියනව. ඊළඟට වොෂින් මැෂින් අඩු කිරීම, සීලිං ෆෑන් වෙනුවට ස්ටෑන්ඩ් ෆෑන්, මස් මාළු නැති දා රෑට ෆ්‍රිජ් ඕෆ් කිරීම වැනි ක්‍රියාකාරකම් බොහෝමයක නියැලෙනවා. ඔහොම නියැලීගෙන ඉද්දි ඔෆීෂියල් විදියට කතා කරලා සුපර් මාකට් එකකින් කෝල් එකක් එනව. එයාලා කියන්නෙ අන්තිම සතියෙ ගෙදරට ගත්තු බඩු එක්ක හම්බුවෙලා පුරවලා පෙට්ටියට දාපු රැෆල් එකෙන් ඇදිච්ච අලුත්ම අලුත් ඒසී එක ගැන. මොකෝ ඉතිං එපා කියන්නද? නැත්තං විකුණන්නද? දැන් ඉතිං දෙයියනේ කියල හයදාස් පන්සීයක විතර බිලක් එනව.
6. ෂෝ
හැමදාම බකමූනො වගේ මහ රෑ එක දෙක වෙනකං ඇහැරගෙන ඉන්නව. ඇඳේදි යාන්තමට හීනයක් පේන්න පටන්ගද්දිම කුකුල්ලු හඬලන සද්දෙත් ඇහෙනව. අනේ ඉතිං මේක කරන්න බෑ, කොහොමහරි හෙට ඉඳන් අපේ ජනාධිපතිතුමාගෙ අඩි පාරෙ යන ගමන් (කවදාවත් ඒ අඩි පාරෙනං යන්න හිතන්නෙපා) රෑ දහය වෙද්දිවත් නිදියන්න ට්‍රයි කරනව. ඔන්න ඉතිං ටීවී එකේ ඇඩ්ස් යන්න ගන්නව ෆුට් බෝල් චැම්පියන්ස් ලීගය, ශ්‍රී ලංකා පිලේ කොදෙවු සංචාරය රාත්‍රී එකොළහේ සිට සජීවීව දෙන බවට, එහෙමත් නැතිනං කැමතිම ටීවී ෂෝ එක මහ රෑට මාරු කර ඇති බව.
7. සීනි කතා
ඇහැරුණු ගමන් තේකයි, උදේට ඔෆිස් තේකයි, දවල්ට කාලා තේකයි, හවසට දුමයි තේකයි, ගෙදර ඇවිත් පුටුවෙ ඇලවුණු ගමන් තේකයි, රෑට කෝපි එකයි. ඔය අතරින් පතරට බීම බෝතලේකුත් බීලා, බර්ත්ඩේ එකකදි වගේ කේක් කෑල්ලකුත් කෑවම සැප තමයි. අනේ ඉතිං මෙවුව කරන්න බෑ කියල, සීනි අඩුකරන්න ඕන කියල හිතන්න විතරයි ඕන වෙන්නෙ. පහුවදාට හම්බෙනවා රට ගිය එවුන් ගෙනත් දෙන චොකලට්. එහෙමත් නැත්තං කාලෙකට පස්සෙ රසම රස කිරි ටොෆි හදාගෙන නැන්දා එනවා ගෙදර. ඉතිං සීනි නගින්නෙ කූඹින්ට වඩා පවර් පිට.
Cover Image Source – dnaindia.com
Leave a Reply