දරුවන් ලැබුණට පස්සේ අම්මයි තාත්තයි කාමර දෙකක නිදාගන්න ඕනෑද?

දැන් විවාහයකින් බැඳුනා කියන්නේ දෙන්නා කුරුළු ජෝඩුව වගේනේ ඉන්නේ. ඒ කාලෙට හැමදාමත් හනිමූන්. ෆුල් ආතල්. සෙක්ස් ලයිෆ් එකත් උපරිමයි. හැබැයි ඉතින් විවාහ වෙන ගොඩක් දෙනෙක්ගේ අරමුණ වෙන්නේ දෙන්නා තුන්දෙනා, හතරදෙනා වෙන එකනේ. ඉතින් දරුවෝ හම්බුනාට පස්සේ අර තනියෙන් හිටපු කාලේ තියෙන ආතල් එක නෑ. ඒක වෙනම සුන්දර යුද්ධයක්. හැබැයි ඉතින් දෙන්නා තනියෙන් හිටපු කාලේ තිබුණු ගොඩක් දේවල් දරුවෝ ලැබුනට පස්සේ වෙනස් වෙනවා. උදාහරණයක් විදියට කිවුවොත් දෙන්නත් එක්ක හිටපු කාලේ ඕන තැනක සෙක්ස් කරන්න තිබුණු නිදහස, දරුවෝ උස්මහත් වීමත් එක්ක ක්‍රම ක්‍රමයෙන් අඩු වෙනවා. මේ වගේ දරුවෝ එක්ක ජීවිතේ වෙන වෙනස්කම් නිසා වෙන්න පුලුවන් දෙයක් තමයි සෙක්ස් ලයිෆ් එකත් මිලාන වෙලා යන එක. පස්සේ පස්සේ අම්මයි තාත්තයි වෙන වෙනම නිදාගන්න තැනටම සමහර වෙලාවට මේ තත්ත්වය යනවා. හැබැයි ඇත්තටම එහෙම වෙන්න ඕනෑද? තමන්ගේ එකට ගෙවන ජීවිතේ අනිවාර්ය අංගයක් වුණු ලිංගික ජීවිතය දරුවෝ ලැබුණට පස්සෙත් ගින්දර වගේ ගෙනියන්න බැරිද? ආන්න ඒ ගැන තමයි මේ ලිපිය.

 

1. දැන් අපි තලත්තෑනි මිනිස්සුනේ!

Image Source – medicalxpress.com

මෙහෙම තමයි ගොඩක් අම්මලා තාත්තලා දරුවෙක් මල්ලෙක් ලැබුණහම හිතන්නේ. තාම අවුරුදු තිහ පැනලත් නෑ. හැබැයි ඉතින් දරුවෝ ඉන්න අම්මලා තාත්තලා විදියට හැසිරෙන්න ඕනය කියලා හිතලා මේ අය වුවමනාවෙන්ම තමන්ගේ ජීවිතයක් තියෙනවාය කියන එක අමතක කරලා දානවා. ආන්න ඒක නෙවෙයි වෙන්න ඕන. පවුල් ජීවිතයක් කියන එකට ලිංගික ජීවිතය හොඳින් පවතින එකත් අත්‍යාවශ්‍යයි. ඒ නිසා දැන් අපි අම්මලා තාත්තලා කියලා වගකීම් සහගත වුනාට කමක් නෑ. හැබැයි තමන්ව අමතක කරන්න යන්න එපා. තමන්ගේ සහකරුට හෝ සහකාරියට දරුවන්ට කලින් තැනක් ලැබෙන්න ඕන. වරදවා වටහා ගන්න එපා. දරුවන් කියන්නේ ජීවිතේ මූලික තැන වෙනවා ස්වභාවිකවම. හැබැයි දරුවාට ඒ තැන දෙන්නත් දෙන්නා දෙමහල්ලෝ ඉතාම හොඳ සම්බන්ධතාවයක ඉන්න ඕන. ආන්න ඒ නිසා තමයි දරුවෝ ලැබුණා කියලා තමන්ගේ සහකරුවාව හෝ සහකාරියව අමතක කරලා දාන්න එපා කියන්නේ.

 

2. සෙක්ස් කරන්නේ රෑ වුනහම, ඇඳට ගිහිල්ලා විතරද?

Image Source – nypost.com

මේක ගොඩක් දෙනෙක්ගේ ඇඟටම කාවැදිලා තියන දෙයක්. ඒ කියන්නේ සෙක්ස් කරන්න ඕන දවසේ වැඩ ඉවර කරලා, ඒ කියන්නේ රෑ වෙලා තමන්ගේ බෙඩ් රූම් එකට ගිහිල්ලා විතරයි කියන එක. ඇත්තටම සෙක්ස් කරන්න එහෙම පුරුදු වෙලාවක්, පුරුදු තැනක් ඕන නෑ. විශේෂයෙන්ම දරුවෝ ලැබුණට පස්සේ එහෙම පුරුදු තැන්, පුරුදු වෙලාවල් පවත්වාගෙන යන්න ලැබෙන්නෙත් නෑ. ආන්න ඒ නිසා සෙක්ස් කරන්න දරුවන්ගේ ෂෙඩියුල් අතරින් ඉඩ ලැබෙන වෙලාවල් යොදාගන්න. මේ උපදෙස් විශේෂ වෙන්නේ ගොඩක්ම පුංචි දරුවෝ ඉන්න අම්මලා තාත්තලාට. උන් අපි වගේ ගාණට දවල් වරුව ඇහැරගෙන ඉඳලා රෑ වෙනකොට නිදාගන්නෙ නෑ. අන්න ඒ නිසා පොඩි එකා නිදාගන්න ඇහැරෙන වෙලාවල් අනුව තමන් දෙන්නගේ සෙක්ස් ලයිෆ් එක ඇතුලු වැඩකටයුතු යොදාගන්න.

 

3. සෙක්ස් කිරීම කියන සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් කරගන්න

Image Source – daman.co.id

ගොඩක් වෙලාවට පොඩි දරුවෝ ඉන්න අම්මලාගෙන් නැගෙන මැසිවිල්ලක් තමයි, දරුවගේ රාජකාරි ටික කරලා ගෙදර රාජකාරි ටිකත් කළාට පස්සේ මැරිලා වගේ නිදාගන්න ඕන මිසක් සෙක්ස් කරන්න කිසිම වුවමනාවක් එන්නේ නැතිය කියන එක. ඕක බොහොම සොබාවික දෙයක්. හැබැයි ඒකට විසඳුමක් තියෙනවා. දෙන්නා එක්ක කතාබහ කරලා තමන්ගේ සෙක්ස් ලයිෆ් එකේ තියෙන ඇක්ටිවිටීස් පොඩ්ඩක් වෙනස් කරගන්න. වෙනස් විදියකට කිවුවොත් හැමදාම දාපු එකම ජිම්නාස්ටික් ටික දාන්නේ නැතුව, වඩාත් පහසුවෙන්, වඩාත් ආදරණීයව සෙක්ස් කරන්න ක්‍රම සහ විධි ඇතිකරගන්න. මෙව්වා ටියුෂන් දාලා උගන්නන්න ඕන දේවල් නෙවෙයිනේ. කොටින්ම කිවුවොත් දවසේ මැරිලා මැරිලා ඇවිත් සෙක්ස් කියන්නෙත් මැරෙන්න වෙන දෙයක් කරගන්නේ නැතුව, අර දවසේ විඩාව නැති කරලා හොඳ නින්දක් ලබාදෙන්න පුලුවන් එකක් බවට පත් කරන්න ක්‍රම සහ විධි හොයාගන්න. ඒකට එක උපක්‍රමයක් තමයි ෆෝර්ප්ලේ එක, නැතිනම් සෘජු සංසර්ගයට කලින් කරන දේවල් ටික පුලුවන් තරම් වැඩි කරන එක.

 

4. දෙන්නා දෙමහල්ලෝ හරි විදියට ජීවිතේ බෙදාගන්න

Image Source – rd.com

මෙතනදී ඇත්තටම අපිට දේවල් දෙකක් කියන්න ඕන. එකක් තමයි අර තාත්තා හම්බු කරලා සල්ලි ගේනවා. අම්මා ගෙදර දොරේ සහ ළමයින්ගේ වැඩපළ කරනවා කියන සාම්ප්‍රදායික කතන්දරේ පැත්තකින් තියන්න ඕනය කියන එක. එකක්, මේ වෙනකොට අම්මලත් ‍රැකියා කරනවා. ගෘහණියක් වුනත් තාත්තා රස්සාව කරන්න කන කට්ටට වඩා වැඩි කට්ටක් ගෙදර වැඩ, මනුස්සයගේ වැඩ සහ ළමයින්ගේ වැඩ කරන්න අම්මා කනවා. ඉතින් එහෙව් කොට රෑට සෙක්ස් කරන්න එපා වෙන එක පුදුමයක් නෙවෙයිනේ. ආන්න ඒ නිසා තාත්තා දැනගන්න ඕන වැඩ ඔක්කොම ගෑණු මනුස්සයා පිට පටෝලා, කෑම ටිකත් හදලා දෙනකල් රස්සාවට ගිහින් ඇවිත් කකුල් හොල්ල හොල්ල බලාගෙන නොඉඳ උදවුවක් පදවුවක් කරන්න. ඇත්තටම ඒකෙන් අම්මගේ වැඩක් දෙකක් අඩුවෙලා ලැබෙන සහනය වගේම අම්මට හිතට ලොකු සහනයකුත් දැනෙනවා. තමන් එක්ක හැබෑවටම හස්බන්ඩ් ජීවිතේ බෙදාගන්නවා කියලා දැනෙනවා. මේක සෙක්ස් ලයිෆ් එකටත් ඉතාම වැදගත්.

 

5. දරුවෝ හිටියට ජීවිතේ තමන්ගේ ආතල් අමතක නොකරන්න

Image Source – rd.com

දැන් ලව් කරන කාලේ වගේම බැඳපු මුල් කාලෙත් දෙන්නත් එක්ක කොයි තරම් ට්‍රිප් ගියාද? කොයි තරම් දෙන්නත් එක්ක කෑමට එලියට ගියාද? කොයි තරම් ‍ෆිල්ම් බලන්න එහෙම ගියාද? දැන් ඒවා කෝ? ආන්න ගැටළුව. ඇත්ත, දරුවෝ ලැබුණට පස්සේ අර ඉවරයක් නැති හනිමූන්, තනිකඩ කාලේ ආතල් ඒ විදියටම ගන්න බෑ තමයි. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ තමන්ගේ ජීවිතේ ආතල් අමතක කරන්න ඕනය කියලා. තවමත් අම්මට දරුවා බලාගන්න ෂේප් එකේ බාරදීලා දෙන්නත් එක්ක ‍ෆිල්ම් එකක් බලන්න යන්න බැරිද? ඉස්සර වගේම දෙන්නට ඩේට් අවුට් එකකට යන්න බැරිද? පුලුවන්නේ. අනික අමතක කරන්න එපා. ඒ වගේ ඩේට් එකකට ගිහින්, ඒ මුලු වෙලාවේම දෙන්නා අතරේ රොමෑන්ටික් හැඟීම් ගොඩනැගිලා, ගෙදරට ඇවිත් ඒ ෆීලින්ග්ස් පිටම සෙක්ස් කරන එක මාරයි. ඉතින් දැන් දරුවෝ ඉන්නවා කියලා ඒවා අත අරින්න ඕන නෑ.

 

6. දරුවන්ට පුහුණුව ලබාදෙන්න

Image Source – aptparenting.com

මේක ඉතාම වැදගත්. ඒ තමයි දරුවන්ට ආදරය කිරීම සහ දරුවන්ව ජීවිතයට පුහුණු කිරීම කියන දෙකේ වෙනස හරි හැටි තේරුම් ගන්න එක. උදාහරණ වලින් පටන් ගමු. සමහර අම්මලා තාත්තලා ඉන්නවා දරුවෝ තමන්ගේ ඇඳේම තමයි නිදිකරවා ගන්නේ. ඒක හොඳයි. හැබැයි එක්තරා වයසක් එනකල්. දරුවෝ තනියෙන් නිදාගන්න පුලුවන් කාලෙට එනකොට ඒ අයට වෙනම නිදන කාමර හෝ නිදන ඇඳක් ලබාදෙන එක ඇත්තටම දරුවාට කරන හොඳක්. දරුවා වැඩිමහල්ලෙක් වෙනකොටත් අම්මා තාත්තා එක්ක නිදාගන්න බෑනේ. ඒකට ළමා කාලේ ඉඳලම හුරු වෙන්න ඕන. ඒක අම්මාට තාත්තට තමන්ගේ පුද්ගලික ජීවිතය හරි හැටි පවත්වාගන්නත් රුකුලක්.

දෙවෙනි උදාහරණය තමයි පුංචි කාලේ ඉඳලම දරුවන්ට පුද්ගලිකත්වයට ගරු කරන්න ඉගැන්වීම. ඒ කියන්නේ කාමරයකට එන්න කලින් දොරට තට්‍ටු කිරීම වගේ යහපත් පුරුදු ඉගැන්වීම. ඒක දරුවන්ගේ ජීවිතේට හොඳ පාඩමක් වෙනවා වගේම, අම්මගේ තාත්තගේ පුද්ගලික ජීවිතය ආරක්ෂා කරගන්නත් හොඳ උදවුවක්. එහෙම ඉගැන්නුවහම අම්මයි තාත්තයි සෙක්ස් කර කර ඉන්න මැද්දට දොර ඇරගෙන දරුවෝ කඩාපාත් වෙන්නේ නෑ!

ඒ වගේම තනියෙන් වැඩ කරගන්න පුලුවන් කාලෙට ආපු, පාසල් යන්න පටන් ගත්තු දරුවෝ ඇකේ ගහගෙන හදන එක ඒ තරම්ම හොඳ වැඩක් නෙවෙයි. දරුවෝ ඇහැ වගේ බලාගන්න ඕන තමයි. හැබැයි ඒ වගේම දරුවන්ට පවුලේ වෙනත් විශ්වාසවන්ත කෙනෙක් එක්ක ඉන්න එහෙමත් හුරුකරවන්න ඕන. එහෙම නැතිව ඉස්කෝලේ යන වයසේ දරුවොත් කොච්චරවත් අම්මා තාත්තා හොයනවා නම්, අම්මා තාත්තා නැතුව ඉන්න බෑ කියලා අඬනවා නම් අම්මට තාත්තට කවදාවත් පුද්ගලික ජීවිතයක් තියාගන්න ලැබෙන්නේ නෑ.

 

7. කමියුනිකේෂන්!

Image Source – parenttoolkit.com

මේකත් අති වැදගත්. මේ සන්නිවේදනය කියන එක දරුවෝ සහ තමන් අතරත්, තමන් සහ තමන්ගේ පාට්නර් අතරත් තියෙන්න ඕන. දරුවෝ සම්බන්ධයෙන් ගත්තහම, දරුවෝ යෞවන වයසට එන කොට අම්මා තාත්තා ඒ අයව සෙක්ස් ගැන දැනුවත් කරන්න ඕන. ඒ කියන්නේ ලිංගිකත්වය ගැන විද්‍යානුකූලව කියලා දෙන්න ඕන. ඒක හොරෙන් අත්හදා බලන්න ඕන කුතුහලාත්මක දෙයක් නොවෙයි කියන එක වටහලා දෙන්න ඕන. අන්න එතකොට අම්මා තාත්තා සෙක්ස් කරනවා කියන එක යම් මොහොතක දැනුනත්, ඒක වැඩිහිටියන් විදියට භාරගන්න දරුවන්ට හැකියාව ලැබෙනවා.

දෙවෙනි කාරණාව දෙන්නා දෙමහල්ලෝ අතර සන්නිවේදනය. ගොඩක් වෙලාවට ඔය පමණට වඩා තලත්තෑනි වෙන්න යන කපල් වල වෙන දෙයක් තමයි එකිනෙකා අතර සන්නිවේදනය සහ ජීවිතේ බෙදාගැනීම නැතිව යාම. ඒ අය ඉන් පස්සේ සම්බන්ධ වෙන්නේ දරුවෝ හරහා විතරයි. හැබැයි එහෙම වුනහම වෙන්නේ සහකරුවා හෝ සහකාරිය හෝ දෙන්නම හෝ ඒ අහිමි වුණු ජීවිතය අනියම් සම්බන්ධතා ඔස්සේ, බෝතලේ ඔස්සේ, පංසල් ඔස්සේ හොයන්න නැඹුරු වෙන එක. ආන්න ඒ නිසා දෙන්නත් එක්ක විවෘතව කථා බහ කරන්න ඕන. තමන්ගේ ලිංගික ජීවිතය පවත්වාගෙන යන්න ඕනෑ කොහොමද කියන එක නිවැරදිව කතාබහ කරගන්න ඕනෑ. දෙන්නට දෙන්නා ආස කරන දේවල්, කතාබහ කරගන්න ඕනෑ. ආන්න එතකොට ලයිෆ් එක මාවලස් වෙන එක ෂුවර්!

 

Cover Image Source – healthywomen.org/ whattheflicka.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *