ලංකාවේදී විකිණෙන විදෙස් නවකතාකරුවන්

ලෝ ප්‍රකට නවකතාකරුවො ඉන්නව. ඒ අය අති සාර්ථක නවකතා ලියලා, ඒවා අති විශාල ජනතාවක් අතට පත් වෙලා, ඒ හරහා මහා ධනස්කන්ධයක් ලබපු. ඔන්න ඒ අතරෙ ලංකාවෙ ඉන්නව පරිවර්තකයො. ලංකාවෙ පරිවර්තකයො දෙගොල්ලක් ඉන්නව. වළ ඉහං කන පරිවර්තකයො සහ හැබෑවටම පරිවර්තනයක මිහිර ජනතාවට දෙන්න හදන පරිවර්තකයො. පරිවර්තනයක් කරන්න අවශ්‍ය වෙන්නෙ මුල් කෘතිය කියැවීමේ භාෂා අවුලක් තියෙන පිරිසට ඒ රසය හැකි තරම් නොනසා ළං කරවන්න කියන හේතුවට විතරයි. එහෙම භාෂා අවුලක් නැතිනම් යන්තමින් ගැට ගහගෙන හරි මුල් කෘතිය කියැවීමයි වටින්නෙ. අපේ මේ ලැයිස්තුවට එකතු වෙන්නෙ ලංකාවෙදි අපි කලින් කියපු විදියට ඇප නැතිවෙන්න, ජාමෙ බේරෙන්න වගේම වඩා ගුණාත්මක විදියට ලංකාව ඇතු​ළෙ විකිණෙන ජාත්‍යන්තර ලේඛකයන් කිහිපදෙනෙක්.

 

1. ආතර් කොනන්ඩොයිල්

Image Source – biography.com

කොනන්ඩොයිල්ගෙ කොනෙන් ඔයිල් එනකංම සාරය උරාබීපු රටක් තමයි ලංකාව කියන්නෙ. ට්‍රාන්ස්ලේෂන්ස් කරන්න ඕන තමයි මහත්තයො, රචකයො කිහිප දෙනෙකුමත් කොනන්ඩොයිල් මහත්තයගෙ පොත් ට්‍රාන්ස්ලේට් කළා තමයි මහත්තයො. හැබැයි නරක විදියට ඒ නම තමුන්ටම ඈඳා ගෙන පොතෙත් පොතට හූරා කන තත්ත්වයකට ගිය එක අවුල්. මේ කතාවෙ අතීතය ඉතාම සුන්දරයි. රසය නොනසා තියාගෙන කුතුහලය එක්ක ගේම් එක ගියා. ඒත් ඊටපස්සෙ ෂයිලොක් ඉස්මතු වුනා. මාකට් එකට විකිණෙන දේවල් දැම්මට කමක් නෑ. හැබැයි රාජ මාලිගේ සින්දුව ප්‍රසිද්ධ වෙද්දි ඒ ටියුන් එකටම තව සින්දු කරන්න තරං පීචං වෙලා, අති දක්ෂ රචකයො ගැන වැරදි මතයක් ගොඩ නැගෙන්න තරං අවුල් විදියට සාහිත්‍ය කන්න හොඳ නෑ. අන්තිමට මුල් රචකයා නොලියපු දේවල් පවා පෙට්ටගම්වලින් මතු වෙවී එන තරමට තත්ත්වෙ නරක් වුනාම මෙහෙම දේවල් කියන්න වෙනව.

 

2. පාවුලෝ කොයියෝ

Image Source – biography.com

පුරුතුගීසි භාෂාවෙන් ලියන බ්‍රසීල ජාතික පොරක් තමයි පාවුලෝ කොයියෝ කියන්නෙ. මෙයාගෙ පොත් එක්වරක් ඉංග්‍රීසි බසට පෙරළිලා එයිනුත් සිංහල බසට පෙරළිලා තමයි පරිවර්තන කියවන පාඨක ප්‍රජාවට ලැබෙන්නෙ. එතකොට දෙවරක් පෙරීමේ පාපය නිසා රස තරමක් නැසිලා කියලා හිතෙන්න පුළුවන්. මෙයාගෙත් බොහෝමයක් පොත් සිංහල කියවන පාඨකයට අත පොවන මානයේ ගන්න තිබෙනවා වගේම මෙයත් ලියන පරක්කුවෙන් ට්‍රාන්ස්ලේට් වෙන චරිතයක්. හැබැයි පරිවර්තන අවුලක් නැතිව සිද්ධ වෙන්නෙ ඒවා තවමත් ලංකාවෙ පරිවර්තන කලාව බිස්නස් එකකට නොගත්තු මිනිස්සු අතින් සිද්ධ වෙන නිසාද කියලත් හිතෙනවා. කොහොමවුනත් හොඳ අධ්‍යයනයක් එක්ක යන වැඩක් නිසා පාවුලෝ කොයියෝ විකුණුනත් විකිණෙන්නෙ සාහිතකාමී වශයෙන් සුබවාදී විදියකට විතරයි කියන සතුට ඉතුරු වෙනවා.

 

3. ජේ. කේ. රෝලිං

Image Source – time.com

රෝලිං නෝනා කෝච්චියක යද්දි සිද්ධ වෙච්ච පරක්කුවක් අතරෙ එයාට මැවෙන දේ තමයි කණ්ණාඩි දාන කෙසඟ කොල්ලෙක් ඉන්න මැජික් කතාව. එය ලෝකයේ අතිශය ජනප්‍රිය වෙන්නෙ පොත් ලියලා බිලියනපතියෙක් වුණු පළමු පුද්ගලයා බවට ඇයව පත්කරමින්. පොටර් කොලුවා අවුරුද්දෙන් අවුරුද්ද ලොකු වෙලා, මායා පාසලෙන් ඉවත් වුනාට පස්සෙ එයාගෙ පොත් නවතිනවා. ඒ ඇසුරෙන් තියෙන පසු පෙළ කතා සහ අතීත කතා එයා පොටර්මෝ එකට ලියනවා. එහෙමයි තමුන්ගෙ නිර්මාණයට වැඩක් කරන්නෙ. අනේ දෙයියනේ ලංකාවෙ රෝලිං නෝනා ලියපුව සිංහලයට ගේන්න භාරගන්න උන්දැලා නං එහෙම නිර්මාණය නගා සිටුවන අභිප්‍රායක් නෑ කියල පොත් පිටු අතරෙ ලියපු වඳුරු කුණුහරුපවලින් මනාව පේනවා. පේළියෙන් පේළිය කියවන ගමන් ලියල තියෙන ඒ පරිවර්තන නිසා එක හොඳක් සිද්ධ වෙනවා. ඒ තමයි මිනිස්සු කියවන්න තියෙන අමාරුව නිසාම බැරි බැරියාවෙ හරි ඉංග්‍රීසි පොත හොයාගෙන කියවන එක. ඒතරම් විශ්මකර්ම ඉංග්‍රීසියක් තියෙන්නෙ. කතාවෙ සමහර නම් පවා සිංහලට පරිවර්තනය කරලා.

 

4. ඩෑන් බ්‍රවුන්

Image Source – ew.com

මේ දවස්වල වැඩියෙන්ම අලෙවි වෙන්නෙ මෙයා. මෙයාගෙ තාත්තා ඉන්නෙත් ලංකාවෙ. මේ පියා ඉස්සර ෂර්ලොක් හෝම්ස්වත් පුංචි කරලා කෑවා. දැන් ඉතිං ඩෑන් බ්‍රවුන්ව ලොකුම එකෙන් කනවා. ඩෑන් ප්‍රියසාද් නම්බු පිට ඉන්නව දැන් ඩෑන් බ්‍රවුන්ට වඩා. ඒ නිසා ඩාවින්චි කෝඩ් වගේ පොතක් ඔරිජිනල් එකෙන් කියවන එකේ ලොකු වාසියක් තියෙනවා. මේ විදියට ඩෑන් බ්‍රවුන් හිමි කරගෙන ඉන්න අය පොතක වැරැද්දක් වුනත් කතාබහකට අකමැති වීම වගේම, ඩෑන් බ්‍රවුන්ගේ අතිදක්ෂ නිර්මාණ පරිවර්තනය කරන එක කරන්නෙ තනි පුද්ගලයෙක් වුනාම තියෙන ආඩම්බරෙත් තියෙනවනෙ ඉතිං. දන්නවනෙ ගමටම එක රෑ මනාලියක් ඉද්දි තියෙන හයිකාරකම. ඇත්තටම ඉතිං ඒ පොත් කියවන්න ඕන. හැබැයි ඔබත් ඩෑන් බ්‍රවුන් කියවන්න. වෙනිං උලවු වලින් ඩෑන් බ්‍රවුන් පතන්න එපා!

 

5. අගතා ක්‍රිස්ටි

Image Source – biography.com

තවත් හොරකමට ලක්වෙන රහස් පරීක්ෂක කතා ලියන ඇත්තියක් තමයි මේ. මෙයාගේ කතාවල ට්‍රාන්ස්ලේට් කිරිල්ලේ අන්තර්ගතයම රහසක්. ඇයි දෙයියනේ මෙයාගේ පොත් පරිවර්තනය කරපු එකක් කියවන එක රහස් පරීක්ෂණයක් විසඳනවා වගේ තමයි. මුල මැද අග ගලපගන්න, එයා මෙයා කියන්නෙ කාටද කියල සමාන කරගන්න, අතනින් ගත්තු එක මෙතන නැත්තෙ ඇයි කියලා හිතාගන්න බැරිවෙන්න ව​ගේ අවුල් තොගේකට පත් වෙන ලිවිල්ලක් තමයි අගතා ක්‍රිස්ටිගේ සිංහල පරිවර්තන වල තියෙන්නෙ.

 

6. චේතන් භගත්

Image Source – indulgexpress.com

සන්දුක්ඛේ… මේකා කන කට්ටක්. චේතන් භගත් කියන්නෙ ලංකාවට සුජීව ප්‍රසන්න ආරච්චි වගේ බුවා. අපි මේ කියන්නෙ ස්ටයිල් අතින් නෙමෙයි, පහළ මධ්‍යම පාන්තික යෞවනයන් අතරේ ප්‍රසිද්ධ, නියමෙට සේල්ස් තියෙන පොත් ලියපු ඩයල් එකක් නිසා. මෙයාගෙත් පොත් එනකං දිව එලියට දාගෙන පිට් බුල් වගේ බලාගෙන ඉන්න මෙහේ රචකයො ඉන්නව. ආපු ගමන් ටොයිං නමක් දාලා ඩොහ් ගාලා එලියට දානව. හැබැයි ඉතිං නම් අජපල් වුනත්, මාකටිං චාටර් වුනත්, කතාවෙ රසය ලංකන් ස්ටයිල් එකෙන් ඒ අදාළ ටාගට් මාකට් එකටම දෙන්න පරිවර්තකයා සමත් වෙලා තියෙන බවත් කියන්න ඕන.

 

7. ඉසබෙල් අයියන්දේ

Image Source – ravaya.lk

මායා යථාර්ථවාදී සටහන් වෙනත් බසකට කරකවන එක අමාරුයි. ස්පාඤ්ඤ බසින් ඉංග්‍රීසියටත් එතැනින් සිංහලටත් විදියට පරිවර්තනය වුනාට පස්සෙත් හදබසින් ගලා යන විදියටම පරිවර්තනයක් පිළිගන්නවන්න පුළුවන්නං ඒක වටින දෙයක්. අයියන්දේ නෝනාටත් ඒ සාධාරණය ලංකාවේදි ඉෂ්ඨ වුනා. මේ සටහනේ ඉන්න අනෙක් කාන්තාවන් දෙදෙනා වන ජේ. කේ. රෝලිංට සහ අගතා ක්‍රිස්ටිට ඉටු නොවුණු සාධාරණය අයියන්දේට සිද්ධ වෙන්න ප්‍රධානම හේතුවක් විදියට ලංකාවෙ මහා ප්‍රජාවක් ඇතුළෙ අයියන්දේ මාකට් නොවීම හේතුවක් වෙන්න පුළුවන්. එහෙම මාකට් වෙන ක්ෂණයකින් අයියන්දේට අතේ තියෙන දේත් නැති වෙන තත්ත්වයක් උදාකරවන්න මෙහේ වචන හරඹ කරුවන්ට පුළුවන්.

මේ සටහනට අපි තෝරාගත්තේ ලංකාව තුළ පරිවර්තන කෘතීන් ලෙස වැඩිපුරම අලෙවි වන ජාත්‍යන්තර රචකයන් ලැයිස්තුවක්. ඒ පරිවර්තනවල ගුණාත්මක භාවය අනුව මුල් කෘතිය මැනීම යුතු නැති නිසා අප සැබවින්ම සිංහල පාඨක ප්‍රජාව අතරේ නම දිනූ එම රචකයින් මෙහි සඳහන් කළත්, එයින් ඇතැම් කෘතීන් වෙත සිදුවී ඇති අසාධාරණයන් සඳහන් නොකර සිටින්නට තරම් අප දීන වන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *