රට වෙනුවෙන් එක ටෙස්ට් මැච් එකක්වත් ගහන්න නොලැබුණු දක්ෂතම ක්‍රීඩකයෝ

ක්‍රීඩාවේදී දක්ෂතාවය විතරක් පිහිටලා තිබුණට මදිය, වාසනා ගුණයත් යම් ප්‍රමාණෙකට තියෙන්න ඕනය කියල කතාවක් තියනවනෙ. අන්න ඒ කතාව සෑහෙන ඇත්තය කියලා ඔප්පු වෙනවා අපි මේ කියන ක්‍රිකටර්ස්ලගෙ ක්‍රීඩා ජීවිත ගැන ඇහුවම. මේ කියන්න යන්නේ පළමු පෙළ ක්‍රිකට් තරඟ වලදී උපරිම දක්ෂතා දක්වපු, ඒත් කවදාවත් තමන්ගේ රට වෙනුවෙන් ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කරන්න නොලැබුණු අවාසනාවන්තම ක්‍රිකට් ක්‍රීඩකයො පිරිසක් ගැන. ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කරන්න නොලැබුණු ලංකාවේ හොඳම ක්‍රීඩකයෙකුත් මේ ලැයිස්තුවට ඇතුළත්.

 

 

1. ක්ලයිව් රයිස් – දකුණු අප්‍රිකාව

Image Source – cricket.com.au

එක ටෙස්ට් තරඟයක්වත් ක්‍රීඩා කරන්නට නොලැබුණු ලෝකයේ හොඳම ක්‍රීඩකයා කියලයි බහුතර විචාරකයො ක්ලයිවු රයිස්ව හඳුන්වන්නේ. දකුණතින් මදවේග පන්දු යවන, දකුණත් මැද පෙළ පිතිකරුවෙකු වූ ක්ලයිව් රයිස්ට ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්නට නොලැබෙන්නේ ඔහු දක්ෂතා දක්වන කාලයේදී වර්ගවාදී ප්‍රශ්න හේතුවෙන් දකුණු අප්‍රිකාවට ක්‍රිකට් තත්ත්වය අහිමිවීම නිසයි. ඒ නිසා රයිස්ට සිද්ධ වෙනවා තමන්ගේ රටට ටෙස්ට් ක්‍රීඩා කිරීමේ සිහිනය පැත්තකින් තියල එංගලන්තයේ ප්‍රාන්ත තරඟ ක්‍රීඩා කිරීමෙන් සැනසෙන්න. 1969 ඉඳන් 1994 දක්වා විහිදුණු රයිස්ගේ පළමු පෙළ ක්‍රීඩා දිවිය තුළදී ලකුණු 26,331කුත්, කඩුලු 930කුත් ලබාගන්නට ක්ලයිව් රයිස් සමත් වනවා. ක්‍රීඩා තහනම ඉවත්වීමෙන් පසු 1991 අවුරුද්දේදි ඉන්දියාවට එරෙහිව එක්දින තරඟ කිහිපයකට සහභාගි වෙන්නටත් කල්යිව් රයිස්ට හැකියාව ලැබෙනවා. ඒත් ඒ වෙනවිට ඔහු තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ අන්තිම කාලය ගෙවමින් හිටපු නිසා ටෙස්ට් වරම් හිමිකරගන්නට ලැබෙන්නේ නැහැ.

 

2. අමෝල් මුසුම්දාර් – ඉන්දියාව

Image Source – iplt20.com

1988 අවුරුද්දෙදි ඒ වෙද්දි අවුරුදු 15ක වයසෙ හිටපු සචින් ටෙන්ඩුල්කාර් විනෝද් කම්බ්ලි එක්ක එකතු වෙලා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් වැඩිම ලකුණු සබඳතාවය පිහිටුවන්න සමත්වෙනව. මේ දෙන්නා ලකුණු 664ක නොබිඳෙන සබඳතාවයක් පිහිටුවද්දි තවත් 13 හැවිරිදි ක්‍රීඩකයෙක් ක්‍රීඩාගාරෙට වෙලා විමසිල්ලෙන් බලන් ඉන්නවා ඊළඟට පිටියට පිවිසෙන්න. නමුත් ඔහුට ඒ සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ ක්‍රීඩකයා තමයි අමෝල් මුසුම්දාර්. ටෙන්ඩුල්කාර්ට සහ විනෝද් කම්බ්ලිට ඉන්දීය ජාතික කණ්ඩායමේ දොර නොබෝ කලෙකින්ම විවර වෙනවා. ඒත් පාසල් කාලයේ සිට අඛණ්ඩව දක්ෂතා අතර හිටපු අමෝල්ට ඒ අවස්ථාව උදා වෙන්නේ නැහැ. ක්‍රිකට් වලින් සමුගන්නකොට පළමු පෙළ තරඟ 171කට සහභාගී වෙලා තිබුණු අමෝල් ලකුණු 48 ඉක්මවපු සාමාන්‍යයක් සහිතව ලකුණු එකොළොස් දහසේ සීමාවද පසුකර තිබුණා. ඒත් ටෙන්ඩුල්කාර්, ගංගුලි, ඩ්‍රාවිඩ්, ලක්ෂ්මන් වගේ ස්ථාවර පිතිකරණ පෙළගැස්මක් තිබුණු ඉන්දීය කණ්ඩායමට පිවිසෙන්නට ඒ දක්ෂතාවයන් ප්‍රමාණවත් නැතැයි කියලා එවක තේරීම් කමිටුවට හිතෙන්නට ඇති. අදටත් බොහෝ ඉන්දීය ක්‍රිකට් ලෝලීන් විශ්වාස කරන්නේ ඉන්දියාවට ටෙස්ට් ක්‍රීඩා කරන්නට නොලැබුණු දක්ෂතම ක්‍රීඩකයා අමෝල් මුසුම්දාර් කියලයි.

 

3. ඩේවිඩ් හසී – ඕස්ට්‍රේලියාව

Image Source – bigbash.com.au

මයිකල් හසී කියන්නේ ඕස්ට්‍රේලියාවෙන් බිහිවුණ ශ්‍රේෂ්ඨතම පිතිකරුවෙක් හැටියට සළකන්න පුළුවන් ක්‍රීඩකයෙක්. හසී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 79කට සහ එක්දින තරඟ 185කට ක්‍රීඩා කරනවා. නමුත් වැඩි දෙනෙක් නොදන්නා කාරණාව තමයි මයික් හසීගේ සහෝදරයා වුණු ඩේවිඩ් හසී මයික්ටත් වඩා ඉහළ පළමු පෙළ ලකුණු සාමාන්‍යයක් රඳවාගෙන ඉන්න ක්‍රීඩකයෙක්ය කියන එක. පළමු පෙළ ලකුණු 14,000 සීමාවත් පහුකරලා තියෙන ඩේවිඩ් හසීගේ පිතිකරණ සාමාන්‍යය ලකුණු 52.50ක්. ප්‍රවේගකාරී පිතිකරුවෙක් හැටියට වැඩි නමක් දිනාගත්ත ඩේවිඩ් හසීට එක්දින සහ විස්සයි විස්ස තරඟ වලට ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට හැකියාව ලැබුණත්, ක්‍රීඩාවෙන් විශ්‍රාම යනතෙක්ම එක ටෙස්ට් තරඟයක්වත් ක්‍රීඩා කරන්නට වාසනාව ලැබෙන්නේ නැහැ.

 

4. රජින්දර් ගොයල් – ඉන්දියාව

Image Source – bcci.tv

රජින්දර් ගොයල් කියන්නේ ඉන්දියාවෙන් බිහිවුණු දක්ෂතම දඟපන්දු යවන්නෙක්. සුනිල් ගවස්කාර් ඔහුව හඳුන්වන්නෙ ඉන්දියාවෙන් විතරක් නෙමෙයි, ලෝකෙන්ම බිහිවුණ ශ්‍රේෂ්ඨතම දඟපන්දු යවන්නෙක් හැටියටයි. පළමු පෙළ තරඟාවලි වලදී පිතිකරුවන්ට දැවැන්ත තර්ජනයක් වුණු ගොයල් තමයි රන්ජි තරඟාවලියේ එතෙක් මෙතක් වැඩිම කඩුළු ලාභියා වෙන්නෙත්. නමුත් දෛවයේ සරදමක් නිසා ඔහුට එක ටෙස්ට් තරඟයක්වත් ක්‍රීඩා කරන්න වාසනාව ලැබෙන්නේ නැහැ. ඒකට එක හේතුවක් වෙන්නේ ගොයල්ට ක්‍රිකට් ක්‍රීඩා කරන්නට ලැබුණු කාල සීමාවේදී දඟපන්දු යවන්නන් අතර තිබුණු දැඩි තරඟකාරී ගතියයි. 60 දශකයේ ඉන්දීය කණ්ඩායමේ හිටපු සිව් මහා දඟපන්දු යවන්නන් වුණු බිෂන් බේඩි, වෙන්කටරාඝවන්, චන්ද්‍රශේකාර් සහ ප්‍රසන්නා නිසාවෙන් රජින්දර් ගොයල්ගේ ටෙස්ට් සිහිනය බොඳ වී යනවා. ක්‍රීඩා දිවිය අවසානයේ පළමු පෙළ කඩුලු 750ක් ගොයල් තමන්ගේ නම ඉදිරියෙන් සටහන් කරගන්නට සමත් වෙනවා. ඔහුගේ කඩුළු සාමාන්‍යය 18.58ක විශ්මිත අගයක් ගන්නවා.

 

5 වින්සන්ට් වැන් ඩ බිජ්ල් – දකුණු අප්‍රිකාව

Image Source – zimbio.com

වර්ගවාදය නිසා ක්‍රිකට් තහනම් වීමෙන් දකුණු අප්‍රිකාවේ හිටපු අති දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ ක්‍රීඩා ජීවිත ඉහළම තලයට යන එක වැළකෙනවා. අපි කලින් සඳහන් කරපු ක්ලයිව් රයිස් ඉන් එක ක්‍රීඩකයෙක්. ඊට අමතරව බැරී රිචර්ඩ්ස් සහ ග්‍රැහැම් පොලොක් කියන අති විශිෂ්ට පිතිකරුවන් දෙදෙනාගේ ටෙස්ට් දිවියද අකාලයේ නවතිනවා. අපි මේ කියන්න හදන වින්සන්ට් වැන් ඩ බිජ්ල් කියන්නෙත් ඒ අඳුරු කාල පරිච්ඡේදයේදි බිහිවුණු අති දක්ෂ වේග පන්දු යවන්නෙක්. අඩි 6කුත් අඟල් 7ක් උස වින්සන්ට්ගේ උසේ වාසිය තවත් භයානක අවියක් වී තිබුණේ නිවැරදි එල්ලයට පිතිකරුවාව මුලා කරන විදිහේ පන්දු යැවීමට ඔහු සතුවුණ සහජ දක්ෂකම නිසායි. කෙසේ වෙතත් 1983 දී වින්සන්ට් වැන් ඩ බිජ්ල් තමන්ගේ ක්‍රිකට් ජීවිතෙන් සමුගන්නාවිටත් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් තහනම ඉවත් වෙලා තිබුණේ නැහැ. ලකුණු 16ක කඩුලු සාමාන්‍යයක් සහිතව පළමු පෙළ කඩුළු 767ක් දවා ගන්නට ඒ වෙද්දි වින්සන්ට් සමත් වෙලා තිබුණා.

 

6. ඩොන් ෂෙපර්ඩ් – එංගලන්තය

Image Source – twitter.com

ඩොන් ෂෙපර්ඩ් කියන්නේ 50, 60 දශක වල එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟවලදී ඉහළ දස්කම් දක්වපු ක්‍රීඩකයෙක්. ඒ වගේම ලෝකයේ වැඩිම පළමු පෙළ කඩුලු දවාගෙන ඇති ක්‍රීඩක ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන්නෙක්. ෂෙපර්ඩ් විසින් දවාගෙන තිබෙන පළමු පෙළ කඩුලු සංඛ්‍යාව කඩුලු 2218ක්. මේ සා විශාල කඩුලු සංඛ්‍යාවක් දවාගත්තත් ෂෙපර්ඩ්ට එංගලන්ත කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීම විශාල අවාසනාවක්. තමන්ගේ ක්‍රීඩා ජීවිතේ ඇතුළේදි වෙනස් පන්දු යැවීමේ ක්‍රම දෙකක්ම අනුගමනය කරලා, ඒ දෙවිදිහෙන්ම සාර්ථක වෙන්න සමත් වූ සුවිශේෂී ක්‍රීඩකයෙක් තමයි ෂෙපර්ඩ් කියන්නේ. මුලදී මද වේග පන්දු යවන්නෙක් හැටියට නමක් දිනා ගන්නා ෂෙපර්ඩ් පසු කාලෙකදී ඕෆ් කටර් පන්දු යවන්නෙක් හැටියට තමන්ගේ පන්දු යැවීම වෙනස් කරගන්නවා. මේ දෙයාකාරයෙන්ම පන්දු යවා සාර්ථකත්වය ලබන්නට සමත් වුණත් එංගලන්ත පන්දු බලඇණියට නම් ඔහුගේ සේවය අවශ්‍ය වන්නේ නැහැ.

 

7. ඇලන් ජෝන්ස් – එංගලන්තය

Image Source – glamorgancricket.com

හිටපු එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණු ඇලන් ජෝන්ස්ගේ නම ඉස්සරහින් එක අවාසනාවන්ත වාර්තාවක් සටහන් වෙලා තියනවා. ඒ තමයි “එක ටෙස්ට් තරඟයක්වත් ක්‍රීඩා කරන්නට නොලැබුණු ලෝකයේ වැඩිම පළමු පෙළ ලකුණු ලාභී ක්‍රීඩකයා” ගේ වාර්තාව. ඇලන් ජෝන්ස් ලබාගෙන තිබෙන පළමු පෙළ ලකුණු සංඛ්‍යාව 36,049ක්. මේකට ශතක 56 කුත්, අර්ධ ශතක 194කුත් ඇතුළත්. 70 ගණන් වලදී එංගලන්ත ක්‍රීඩා සමාජ අතර සිටි තාක්ෂණයෙන් පිරිපුන් දක්ෂතම ආරම්භක පිතිකරුවෙක් වුවත්, එංගලන්ත තේරීම් කමිටුවේ ඇස ඇලන් ජෝන්ස් වෙත යොමු නොවීම අවාසනාවක් හැටියටයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

 

8. මහාදේවන් සතාසිවම් – ශ්‍රී ලංකාව

Image Source – cricketique.wordpress.com

මහාදේවන් සතාසිවම් කියන්නේ සමහර විට අපේ රටෙන් බිහිවුණ දක්ෂතම පිතිකරුවා වෙන්නට පුළුවන්. නමුත් අවාසනාවට ඔහු උපත ලබන්නේ වැරදි කාලයක. ඒ කියන්නේ අපිට ටෙස්ට් වරම් ලැබෙන්නට කාලයකට පෙර. මිහිපිට ඉන්න හොඳම පිතිකරුවා සතාසිවම් වගට ගාෆීල්ඩ් සෝබර්ස් පවා වරක් ප්‍රකාශ කර තිබෙනවා. රටවල් 3ක ජාතික කණ්ඩායම් වල නායකත්වය හෙබවීමේ වාර්තාවකුත් සතාසිවම් සතුයි. ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමෙන් පසු සිංගප්පූරු සහ මැලේසියානු කණ්ඩායම් වලට ක්‍රීඩා කරමින් ඒ කණ්ඩායම් වල නායකත්වයද සතාසිවම් විසින් හොබවනු ලබනවා. ලංකාවේ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරපු මේ දක්ෂ දකුණත් පිතිකරුවාගේ ලකුණු සාමාන්‍යය 41.83ක්. නමුත් අවාසනාවකට ඔහු ක්‍රීඩා කළ කාල වකවානුව නිසා සතාසිවම්ට ටෙස්ට් වරම් අහිමි වෙනවා. කීර්තිමත් ක්‍රීඩා ජීවිතය යටපත් කරමින් මිනීමැරුම් නඩු විභාගයකටත් ඔහුගේ නම ඈඳෙනවා.

Cover Image Source – wordpress.com

 

 

zvr
Your Reaction

Comments