අලුතෙන් සයන්ස් ෆික්ෂන් ටීවී සීරීස් හොයන අයට නියම තෝරාගැනීම් 8ක්!

දැන් හැමෝම ටීවී සීරීස් බලනවනේ. හැබැයි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි හොඳ ටීවී සීරීස් කොහොමද හොයාගන්නේ කියලා. ඒකත් ගොඩක් දෙනෙක් කැමති ෂානරයන් තියෙනවනේ. කෙනෙක් මිස්ටරි ටීවී සීරීස් එකකට කැමති වෙනකොට තවත් කෙනෙක් කැමති ඩ්‍රාමා ටයිප්. එතකොට කෙනෙක් ඇක්ෂන් ටීවී සීරීස් එකක් හොයනකොට තව කෙනෙක් හොයන්නේ සයන්ස් ෆික්ෂන්. ආන්න ඒ නිසා අපි හිතුවා ඒ හැම ජාතියේම අය වෙනුවෙන් ජනප්‍රියම ටීවී සීරීස් කීපයක් අරගෙන එන්න. පටන් ගැන්මට ඔන්න තියෙනවා සයන්ස් ෆික්ෂන් ටීවී සීරීස් කීපයක්. මේ සමහර ටීවී සීරීස් මේ අවුරුද්දේ ආරම්භ වුණු ඒවා. තවත් ටීවී සීරීස් මේ අවුරුද්දට කලින් ආරම්භ වෙලා, මේ අවුරුද්දේත් දිගටම විකාශය වෙන ඒවා.

 

1. Altered Carbon

Image Source – stanforddaily.com

මේ ටීවී සීරීස් එකේ කථා කරන අනාගතය වෙනකොට මිනිසා මරණය ජය අරගෙන. ඒ කියන්නේ මිනිස්සු හොයාගෙන තියෙනවා තමන්ගේ හැඟීම්, මතකයන්, දැනුම වගේ තමන් කියන කෙනාව නිර්වචනය කෙරෙනා “හරය” මතක චිපයක ගබඩා කරලා ශරීරයේ තැන්පත් කරන ක්‍රමය. එතකොට කෙනෙක්ගේ ශරීරය මියගියහම ඒ කෙනාට පුළුවන් තමන්ව තවත් ශරීරයකට මාරු කරන්න. ඒ කියන්නේ මේ ක්‍රමයට අමරණීය වෙන්න පුළුවන්.

කොහොම වුනත් මේ අමරණීයයන්ගේ ලෝකේ අති දැවැන්ත ධනපතියෙකු එක් ශරීරයකදී මියයනවා. ඒ නිසා ඔහු තෝරාගන්නවා සිරගතව සිටි අතිදක්ෂ විශේෂ සොල්දාදුවෙකුව තමන්ගේ ඒ ශරීරයේ මරණයට වගකිවයුත්තා හොයන්න. කොහොම වුනත් මේ සොල්දාදුවාට සොයාගන්න ලැබෙන්නේ එක් රහසක් පමණක් නෙවෙයි. මේ අනාගත ලෝකය සම්බන්ධයෙන් වගේම තමන් සම්බන්ධයෙනුත් වැළලිලා තිබුණු රහස් රැසක් ක්‍රමයෙන් අනාවරණය වෙන්නේ ප්‍රේක්ෂකයාව මවිතයෙන් මවිතයට පත් කරවමින්.

IMDB Rating:  8.2

 

2. Westworld

Image Source – hbo.com

මිනිස්සුන්ට තමන්ගේ ෆැන්ටසීන් තියෙනවා. හැබැයි ඒ ෆැන්ටසීන් හැම එකක්ම සාක්ෂාත් කරගන්න බැහැයි කියන එක අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. හේතුව ඒ ඇතැම් ෆැන්ටසීන් නීතිවිරෝධී වීම හෝ සදාචාර විරෝධී වීම වෙන්න පුලුවන්. ඒත් නීතිය හෝ සදාචාරය හෝ වෙනයම් සීමාවක් නොකඩා, තමන්ගේ ඒ ෆැන්ටසීන් තෘප්තිමත් කරගන්න හැකියාවක් මිනිස්සුන්ට ලැබුණොත්?

වෙස්ට් වර්ල්ඩ් ටීවී සීරීස් එකේ කථා කරන්නේ අන්න ඒ වගේ තමන්ගේ ඕනෑම ෆැන්ටසියක් මුදල් ගෙවා මුදුන්පමුණුවා ගන්න ඉඩ ලබාදෙන තීම් පාක් එකක් ගැන. අර පැරණි wild wild west ඇමරිකාවේ ආකෘතියට නිර්මාණය වුණු මේ තීම් පාක් එකේ ඉන්නේ මිනිස්සුන්ට හැඩහුරුකම් හැම අතින්ම සමාන, හිතන්න පතන්න යම් හැකියාවක් තියෙන ඇන්ඩ්‍රොයිඩයන්.

හැබැයි මේ ඇන්ඩ්‍රොයිඩයන් ඇත්තටම මිනිසුන් හා සමානව හැඟීම් දැනීම් දැනෙන බවට, සිතුම් පැතුම් පවතින බවට පත්වුණොත් තවදුරටත් ඔවුන් තීම් පාක් එකක නොවැදගත් වස්තූන් වෙන එක සදාචාරවත්ද?

IMDB Rating:  8.9

 

3. The Expanse

Image Source – geektyrant.com

වසර දෙසියයකට පසු අනාගතයේ සෞර ග්‍රහ මණ්ඩලය සම්පූර්ණයෙන්ම ජනාවාස වී ඇත. ඇස්ටරොයිඩ පටියේද මෙම ජනාවාසයන් තිබේ. තිබේ. මෙහි සිටිනා පොලිස් පරීක්ෂකවරයෙකුට පැවරෙන රාජකාරිය වන්නේ අතුරුදන් වූ කාන්තාවක සොයාදීමයි. මේ අතර අයිස් ගෙනයන අභ්‍යවකාශ යානයකට හදිසි ප්‍රහාරයක් එල්ල වේ. එය අඟහරු ෆෙඩරේෂනයෙන් එල්ලවූ බව සැලකේ. මෙම සියලුම සිදුවීම් එකිනෙකට සම්බන්ධ බවට ප්‍රේක්ෂකයා තුළ සැක පහළ වන අතරේ, අඟහරු ෆෙඩරේෂනය, පෘථිවිය සහ ඇස්ටරොයිඩ කලාපීය ජනාවාසයන් අතර නොපහන් හැඟීම් දරුණු වන්නට පටන් ගනී. සැබවින්ම මෙම එකිනෙකට වෙනස් සිදුවීම් එක් තැන් වන කුමන්ත්‍රණය මගින් සමස්ත මානව සංහතියටම තර්ජනයක් එල්ලනොවනු ඇතිද?

මේ, කාලයකට පසු පැමිණි විශිෂ්ට අභ්‍යවකාශ වීර වෘතාන්තයකි.

IMDB Rating:  8.4

 

4. Black Mirror

Image Source – medium.com

අනාගතයේ අප ජීවත් වනු ඇති ලෝකය කෙසේ වනු ඇතිදැයි ඔබ මොහොතකට හෝ සිතා තිබෙනවාද? ක්‍රමයෙන් මිනිස් සිතුම් පැතුම් පවා ඉක්මවා යනු ඇති තාක්ෂණය සමගින් අපට කෙබඳු භයානකත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇතිද? එවැනි අනාගත ලෝකයක අපගේ මනුෂ්‍යත්වය නොනැසී පවතිනු ඇතිද? සෑම පුළුල් තිර රූපවාහිනියක්ම, ස්මාට්ෆෝනයක්ම, පරිගණක තිරයක්ම පාහේ මිනිසාගේත්, මිනිස් සමාජයේත් අන්ධකාර අභ්‍යන්තරය පිළිබිඹු කරනා කැඩපත් වනු ඇතිද? මෙවැනි විවිධ අනාගත තේමාවන් එක් කථාංගයකට එකක් බැගින් ගනිමින් බ්ලැක් මිරර් 2011 වසරේ සිට මේ දක්වාම විකාශය වෙයි.

නවීන තාක්ෂණය හා මනුෂ්‍යත්වය පිළිබඳ වඩාත් අඳුරු පසුතලයක් මවනා බ්ලැක් මිරර්, විද්‍යා ප්‍රබන්ධ ලෝලියෙකුට අපූරු අත්දැකීමක් වනවා සමගින්ම, සිතන්නටද ගැඹුරින් යමක් ඉතිරි කරනු ඇත.

IMDB Rating:  8.9

 

5. The Man in the High Castle

Image Source – amazon.com

අප ජීවත් වන ලෝකයේ ඉතිහාසය සම්බන්ධයෙන් ඔබ දැනුවත් බවට සැකයක් නොමැත. ඔබ ජීවත් වන්නේ මෙම රූපවාහිනී කථා මාලාවේ එන කාලරේඛාවේ නම් ඔබ ඉක්මනින්ම වටහා ගනු ඇත්තේ, දෙවන ලෝක යුද්ධයෙන් මිත්‍ර හමුදා පරාජය වී ඇති බවයි. ලෝක යුද්ධයේ ජයග්‍රහණය ජර්මනියට හා ජපානයට ලැබී ඇති අතර, ඔවුන් වර්තමානය වන විට එක්ව ලෝකය, විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය පාලනය කරයි.

කෙසේ නමුත් මෙම මර්දනකාරී පාලනයෙන් සාමන්‍ය ජනතාව මිරිකී ගිය ලෝකයේ ජීවත් වන කාන්තාවක් විසින් සොයාගන්නා වීඩියෝ පටයක් ඔස්සේ ඇය ඉක්මනින්ම තේරුම් ගන්නේ, තමන් ජීවත් වන කාල රේඛාවට වෙනස් ලෙසින් ඉතිහාසයේ සිදුවීම් පෙළගැස්වුණු වෙනත් කාලරේඛාවක්ද තිබෙනා බවයි. ලෝකය පාලනය කරනා නාසි රෙජීමය බිඳදැමීමට යතුරු පවතින්නේ ඒ තුළද?

IMDB Rating:  8.1

 

6. Manifest

Image Source – awardscircuit.com

මොන්ටේගෝ 828 ගුවන් යානය අහසේදී මුහුණ දුන් කෙටි අපහසුතාවයක් හැරෙන්නට වෙනත් කිසිදු කරදරයකින් තොරව ගුවන් තොටුපලට ගොඩබසී. කෙසේ වෙතත් ගුවන් තොටුපලට පැමිණෙන ගුවන් යානයේ සිටි මගීන් ඇතුළු සියලුම දෙනා ඉක්මනින්ම තේරුම් ගන්නේ යම් කිසිවක් දරුණු ලෙසින් වැරදී ගොස් ඇති බවයි.  ඔවුන්ට ගුවනේ ගතවී තිබුණේ පැය කිහිපයක් වුවත්, ලෝකය ඒ වනවිට අවුරුදු පහක් වයසට ගොස් ඇත. ලෝකයේ ඇසින් ඔවුන් අවුරුදු පහක්ම අතුරුදන් වී හිඳ ඇත. මෙසේ අවුරුදු පහකින් නැවත ලෝකයට පැමිණීමත් සමගින් ඔවුන්ගේ ආදරණීයයන් හා වන පුද්ගලික ජීවිතය මෙන්ම ඔවුන්ගේ සමාජයීය ජීවිත, රාජකාරි ජීවිත යනාදී සියල්ලම අවුල් වියවුල් බවට පත්වේ. ඇතැම් දේ වඩාත් යහපත් වන අතර, තවත් දෑ නරකින් නරකට පත්වේ.

කෙසේ වුවත් ඔවුන් ඉක්මනින්ම වටහා ගන්නේ සිය ජීවිත අවුල් වීමට එහාගිය ගැඹුරු අබිරහසක් තමන්ට නැතිවූ වසර පහ තුළ තිබෙනා බවයි!

IMDB Rating:  7.5

 

7. The Handmaid’s Tale

Image Source – blackgirlnerds.com

ගිලියඩ් නමින් වන අධිරාජ්‍යයක් ඔබ අසා තිබේද? සැබවින්ම වර්තමාන එක්සත් ජනපදය ආගමික ඒකාධිපතියෙකු විසින්  පාලනය කරනු ලබන අතර, එය ගිලියඩ් නමින් නැවත නම් කොට ඇත. මෙම අධිරාජ්‍යයේ කාන්තාවන් දෙවන පෙළ පුරවැසියන් වන අතර, මෙම මර්දනකාරී රාජ්‍යයෙන් පලා යෑමට උත්සාහ ගන්නා ඕනෑම කාන්තාවකට හෝ පුරුෂයෙකුට දරුණු ලෙසින් දඬුවම් පමුණුවනු ඇත. මෙසේ තම දරුවා හා ස්වාමියා සමගින් පලායෑමට උත්සාහ ගත් කාන්තාවක් වන ජූන් හට ලැබෙන දඬුවම වන්නේ තම පවුල අතහැර රාජ්‍ය අන්තඃපුරයේ මෙහෙකාරියක් වීමයි. ඇයගේ රාජකාරිය වන්නේ මෙම ආගමික රජයේ ඉහළ නිලධාරීන්ගේ දරුවන් බිහිකිරීමයි. මේ ඇයගේ කතාන්තරයයි.

IMDB Rating:  8.6

 

8. Star Trek: Discovery

Image Source – cnet.com

ස්ටාර් ට්‍රෙක් කථාමාලාව හා ඔබට හුරුපුරුදු එන්ටර්ප්‍රයිස් යානාව, කර්ක්, ස්පොක් වැනි චරිතයන්ට වසර දහයකට පෙර කථාන්තරයක් මේ ඔස්සේ දිග හැරේ. නව ලෝකයන් සොයා යන ඩිස්කවරි යානාව සහ, ක්ලින්ගෝන්වරුන් හා යුද්ධයක් ඇරඹීමට දායක වූ බවට චෝදනා ලබන අතිදක්ෂ නිලධාරිනියක් වටා මෙය ගෙතේ. මෙම දරුණු යුද්ධය මගින් පෘථිවිය පදනම් කරගත් තාරකා බලමුළුව බිඳී යන අතර, මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මේ එකම බලාපොරොත්තුව වන්නේ නව එලැවුම් තාක්ෂණයකින් සමන්විත ඩිස්කවරි යානයයි.

පසුගිය වසරේ සිට විකාශය වූ මෙම කථා මාලාව මෙම වසරේදී නවතම හැරවුමක් සටහන් කරන්නේ, සමාන්තර විශ්වයක් හා එහිදී ඩිස්කවරි යානාවට හා කණ්ඩායමට මුහුණ පාන්නට සිදුවන ත්‍රාසජනක සිදුවීම් මාලාවක්ද එක් කරමිනි.

IMDB Rating:  7.4

 

 

zvr
Your Reaction

Comments