ළමා ලෝකය හැඩ කළ ලෝක ප්‍රකට කතුවරුන් 7දෙනෙක්

ඔබ කුඩා කල සිටම විදේශීය ළමා කෘතීන් වල පරිවර්තනයන් කියවන කෙනෙක්නම් මේ ලිපිය ඔබට ඉතා වැදගත් එකක් වේවි. මේ කියන්න යන්නේ අන්න ඒ පොත් වල මුල් කතෘවරුන් ගැන. ලෝකයක් වසඟයට ගත්තු ළමා කතා රචකයෝ ගැන. බලන්නකෝ. ඔබ ආදරය කරන පොත් වල රචකයොත් මෙතන ඉන්නවද කියලා.

 

1. ග්‍රිම් සොහොයුරන්

Image Source – thewisdomdaily.com

බොහොමයක් අය ග්‍රිම් සොහොයුරන් කිවුවම හිතනවා ඔවුන් අඥාත රචකයන් දෙන්නෙක් කියලා. ඒත් එහෙම නෑ. විල්හෙල්ම් ග්‍රිම් සහ ජේකබ් ග්‍රිම් කියන සොහොයුරන් තමයි මේ නමින් හැඳින්වෙන්නේ. මොවුන් ජීවත් වුණේ ජර්මනියෙයි. 19 වෙනි ශත වර්ෂයේදී. මොවුන් කළේ අලුත් කතා ලියන එක විතරක් නෙමෙයි, බොහොමයක් පැරණි විවිධ රටවල ජනකතා හොයාගෙන, ඒවා මොඩිෆයි කරලා මෙයාලා තමන්ගේ ග්‍රන්ථ වල ඉදිරිපත් කළා. සින්ඩරෙල්ලා, ගෙම්බා සහ කුමරිය, හැන්සල් සහ ග්‍රේටල් වගේ සුරංගනා කථා ඔබ කියවලා තියෙන්නේ මෙන්න මේ දෙන්නට පින් සිද්ධ වෙන්න තමයි. රපුන්සල්, ස්නෝ වයිට්, ස්ලීපින් බියුටි වගේ ජනප්‍රිය සුරංගනා කථාත් මොවුන්ගේ ඉදිරිපත් කිරීම්. සුරංගනා කථා රැගත් මෙයාලගේ ජනප්‍රියම පොත “Children’s and Household Tales” නිකුත් වුණේ 1812 අවුරුද්දෙදියි.

 

2. රෝල්ඩ් ඩාල්

Image Source – funkidslive.com

රෝල්ඩ් ඩාල් කියන්නේ ලෝකයේ කතා පොත් කියවන දරුවන්ගේ වීරයෙක්. අපූර්ව ලිවීමේ හැකියාවත්, සිතීමේ හැකියාවත් පාවිච්චි කරපු මේ ලේඛකයාගේ පොත් වල පිටපත් දැනට මිලියන 250කට අධික ගණනක් ලෝකය පුරාම විකිණී තියෙන බව ඔබ දන්නවද..? ඒ විතරක් නෙමෙයි, සියලු භාෂාවන්ට මේ පොත් පරිවර්තනය වෙලා තියෙනවා. ඩාල් ඉපදුණේ වේල්සයේදී. ඒ සංක්‍රමණික නෝවීජියානු යුවලකට දාවයි. ඔහු ජීවිතේ වැඩි කලක් ගෙවුවේ එංගලන්තයේදී. මැටිල්ඩා, චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි, ද බී එෆ් ජී, ෆැන්ටාස්ටික් මිස්ටර් ෆොක්ස් වගේ බොහෝ පොත් ඔහු අතින් ලියවිලා තියෙනවා. 1916 ඉපදුණු මොහු 1990 දී මිය ගියේ ළමා හදවත් වල සදා රැඳෙන චරිතයක් වූ පසුවයි.

 

3. R.K. නාරායන්

Image Source – bbc.co.uk

සුද්දො විතරද ලස්සනට ළමා කතා ලිවුවේ. නෑ අසල්වැසි ඉන්දියාවේ බිහිවුණු ශ්‍රේෂ්ට ලේඛකයෙක් වුණු R.K. නාරායන් මහත්තයත් හැඳින්වෙන්නේ ළමා සාහිත්‍යයට බර වුණු ලේඛකයෙක් හැටියට. වැඩිහිටියන්ගේ ජීවිත අලළාත් ඔහු පොත් ලිවුවත්, ඔහුගේ කතා ආකෘතිය සහ ප්‍රකාශන ආකෘතිය ළමයින්ගෙ ආදරයට පාත්‍ර වුණේ නිතැතින්මයි. මල්ගුඩිය කියන මනඃකල්පිත ගම්මානය තුළට පොත් කියවන ළමුන් එක්කගෙන ඔහු ගිය ගමන් ඉතාම ආදරණීයයි. ස්වාමි සහ යහළුවෝ, නාගරාජ්ගේ ලෝකය කියන කෘතීනුත්  ළමයින්ගේ ආදරයට සදා පාත්‍ර වෙන ඒවා ලෙසයි හැඳින්වෙන්නේ. 1906 අවුරුද්දෙ ඉපදෙන නාරායන් මහත්තය මිය යන්නේ 2001 අවුරුද්දෙදී. ඒ වෙනකොටත් ඔහු පරම්පරා තුනක පමණ ළමයින්ගේ හිත් සතුටු කරන්නට ඔහුගේ ලිවීමේ හැකියාව පාවිච්චි කරලා තිබුණා.

 

4. J.K. රෝලිං

Image Source – cnbc.com

ජොඈන් රෝලිං කියන නම හරි මදියි කියලා, පස්සේ තමන්ගෙ නම J.K. රෝලිං ලෙස වෙනස් කරගත්තු මෙයා අද කතන්දර ලෝකයේ රැජිණ ලෙස කිරුළු දරන්නියක්. ඈ විසින් රචිත හැරී පෝටර් පොත් මාලාව බාල මහළු සියලු දෙනා අතරේ උණු කැවුම් වගේ විකුණුනේ වාර්තා පිට වාර්තා තබමින්. ඒ වගේම ඒ පොත් ඇසුරෙන් නිපැයුණු චිත්‍රපට මාලාව තවමත් බොහෝ දෙනාගේ මතක අතර රැඳිලා තියෙන්නේ ඇගේ ලේඛන හැකියාවට පිං සිද්ධ වෙන්නයි. ළමයින් සතු විශේෂ හැකියාවක් වන අත්භූත ලෝක, මනඃකල්පිත ලෝක නිර්මාණය කිරීමේ අපූරු පරිකල්පන හැකියාවකින් යුක්ත මේ ලේඛිකාවට මානසික රෝගයක් තියෙනවා කියලත් සමහර අය කියනවා. ඒ උනාට එහෙම එකක් ඇත්තටම නම් නෑ.

 

5. ඩේවිඩ් වාලියම්ස්

Image Source – artforall.ae

රෝල්ඩ් ඩාල් 2001 අවුරුද්දෙ මැරුණ කිවුවට ඒක එහෙමම නෑ කියලා හිතෙන්නෙ වාලියම්ස්ගෙ කතා කියවද්දි. වාලියම්ස් බොහෝ වෙලාවට ඩාල් ගෙ ලිවීමේ ශෛලිය රකින ලේඛකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙයා ඉංග්‍රීසි ජාතිකයෙක්. බ්‍රිටේන්ස් ගොට් ටැලෙන්ට් බලන අයට එහෙම ජජ් බෝඩ් එකේ ඉන්න මෙයා දැකලම එපා වෙලා ඇති. Billionaire Boy, The World’s Worst Children, Gangsta Granny, The Boy in the Dress වගේ ඔහුගේ පොත් වලට ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා ළමයින්ගෙන්.

 

6. ලුවිස් කැරොල්

Image Source – biografieonline.it

ලුවිස් කැරොල් කියන්නේ ලේඛකයෙක් හැටියට බොහෝ කාලයක් තිස්සේ ළමා හිත් ඇඳ බැඳ තබාගත්තු කෙනෙක්. 1832 වසරේ ඉඳලා 1898 වෙනකන් ජීවත් වුණු, ඇනිමේශන් චිත්‍රපට ගැන අහලවත් තිබ්බෙ නැති කැරොල්ගෙ පොත් වලින් අදත් 3D චිත්‍රපට නිර්මාණය වෙනවා කියන්නෙ ඔහුගේ ලිවිල්ලේ තිබෙන දක්ෂකම හිතාගන්න පුලුවන්. Alice’s Adventures in the Wonderland සහ එහි දෙවන කොටස වන Through the Looking-Glass යන පොත් දෙකම ළමයින් ඉතා ආදරයෙන් වැළඳගත්තා.

 

7. ඩොක්ටර් සියුස්

Image Source – good.is

1904 ඉඳලා 1991 වෙනකන් ජීවත් වුණු ඩොක්ටර් සියුස් ගේ නම ඔබ දැකල ඇති සමහරක් චිත්‍රපටවල. ග්‍රින්ච්, ලොරෙක්ස්, හෝටන් වගේ චිත්‍රපට වලට පාදක වුණු කතාවල රචකයා වෙන්නෙ ඩොක්ටර් සියුස්. ඒකයි ඔහුගේ නම ෆිල්ම් එකේ නමටත් උඩින් රැඳෙන්නෙ. සියුස් ඇමරිකානු රචකයෙක්. The Cat in the Hat, Green Eggs and Hams, How the Grinch Stole the Christmas සහ Horton Hears a Who වගේ බොහොමයක් පොත් ඔහු අතින් ලියැවුණු පොත්.

 

තව ඔබට අමතක නොවන මතකයක් එකතු කරපු ළමා කතා රචකයන් ඉන්නවනම් මතක ඇතුව පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නනම් එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *