පොදු අපේක්ෂකයා ශක්‍රයා වුනොත්?

පොදු අපේක්ෂකයාට විවිධ නම් යෝජනා කරමින් ඔවුන් ගැන සිතීම ලාංකික ෆේස්බුක් ප්‍රජාවට කලක් මහත් විනෝදයක් විය. පොදු අපේක්ෂකයා ලෙස පත්වෙන අයගේ සුදුසුකම් සහ ඔහුට ඇති උරුමය කියාපාමින් ඇතැමෙක් තර්ක කරති. අනෙක් පිරිස පොදු අපේක්ෂකයාගේ දුර්වලතා, ඔහු සම්බන්ධ අවාසි කතාන්දර, වංචා දූෂණ, භීෂණ ආදිය ගෙනහැර දක්වති. මෙලෙස පොදු අපේක්ෂකලා කිහිපයක් දැනටත් කරළියේ සිටිති. වර්තමාන දේශපාලන කුණාටු තත්ත්වය හමුවේ පොදු අපේක්ෂක නැව් මදක් පසුබා ඇතිමුත්, නැවත මේ තත්ත්වය පහව ගිය පසු පොදු අපේක්ෂක නැව් ටික නියම තැන්වල නැංගුරම් දාගනු ඇත. දෙව්ලොව අධිපති ශක්‍රයා හැකි සෑම විටම මනුලොවට පිහිට වී ඇත්තේය. නිදහසින් පසු වසර 70ක් තිස්සේ එකතැන කැරකෙන රට වෙනස් කිරීමට ශක්‍රයා පොදු අපේක්ෂක ලෙස ආවොත්? ඇත්තටම මොනා වෙයිද? අපි බලමු ඒ ගැන.

 

1. සුර අසුර යුද්ධය නිමකළ ශක්‍ර සෙන්පති මනුලොව ලක් දිවයිනටත්

 

Image Source – detechter.com

සුර අසුර යුද්ධයේදී අසුරයින් පරදා ජයග්‍රහණය කළේ සුර පාර්ශවයයි. ආධ්‍යාත්මික අතින් සවිමත් වූ සුරයන් හා අසුරයින් අතර යුද්ධය ඒ ආධ්‍යාත්මික මට්ටමින්ම සිදුවී යැයිද කතාන්දර වල සඳහන්ය. එහෙත් ආධ්‍යාත්මික අතින් සවිමත් ඇත්තන්ට තවත් යුද්ධ කුමටදැයි යන්න සාමාන්‍ය ජනයාට එන ප්‍රශ්නයකි. සුර අසුර යුද්ධය ජයග්‍රහණය කළ සුර පාර්ශවයේ නායකයා අපේ දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාය. එවැනි යුධ ජයග්‍රහණයක් කෙසේ වත් අමතක කළ නොහැක. යුධ සමයේ සුරයෝද අසුරයින්ගේ පීඩා මැද බොහෝ අපහසුවෙන් සිටින්නට ඇත. ඒ අඳුරු සමය නිමාකරමින් යුධ බිය නැති සුර ලොවක් නිර්මාණය කිරීමට ශක්‍රයා ගත් වෙහෙස කළගුණ දත් ජනතාවක් ලෙස අපට ප්‍රතික්ෂේප කළ නොහැක. එම නිසා එදා යුධ කාලයේදී ශක්‍ර තුමාගේ මැදිහත්වීම ගැන කෘතඥ වන ඇත්තෝ ශක්‍රයා මනු ලොව ලක්දිවයිනටත් නායක ලෙස පත් කරගනු ඇත.

 

2. දිව්‍ය අතපෙවීම් එපා! අපේ ප්‍රශ්න අපි විසඳාගන්නම්

Image Source – garyherstein.com

දිව්‍ය ලෝක වැනි පහසුකම් සපිරි බටහිර රටවලට යෑමට කොතරම් ආශාවෙන් සිටියත් බටහිර රටක් අපේ රටේ ප්‍රශ්න ගැන කතා කරන විට ඇතැම් දෙනා විදෙස් අත පෙවීම් එපා යැයි මොර දෙති. ඒ දියුණු රටවල ඇත්තන් සිතන ආකාරය කෙසේ දැයි අපි නොදනිමු. ඇතැම් විට ඒ දියුණු යුරෝපා, ඇමරිකා රටවල බහුතරයක් දෙනා ලංකාව කුමන හැඩයේ රටක්දැයි නොදන්නවාද විය හැකිය. එහෙත් ලංකාව ඉලක්ක කරගත් කුමන්ත්‍රණ කරමින්, ඔවුන් රෑ දාවල් ලංකාව ගැන සිතමින් කල් ගෙවන්නේ යැයි පිරිසක් සිතති. එවන් අය ශක්‍රයා පොදු අපේක්ෂක වූවොත් නිකන් සිටින්නේ නැත. “දිව්‍ය බලපෑම් එපා! ලක් දිවයිනට අත නොතබනු! ශක්‍රයා නැවත දෙව් ලොවට පන්නමු!”  ආදී සටන් පාඨ ඔවුන් නිතර ගායනා කරනු ඇත.

 

3. ශක්‍ර බලය ඡන්දයට

Image Source – thoughtco.com

පොදු අපේක්ෂක ලෙස ශක්‍රයා ඉදිරිපත් වුවහොත්, ඉන් පසුව මැතිවරණයට ඉදිරිපත් වීමට ඔහුට සිදුවේ. එහෙත් මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව තමුන්ගේ බලතල ආදිය අනිසි ලෙස භාවිතා කිරීම වරදකි. එසේ හෙයින් එක් එක් වෙස් ගැනීම, එකවර ප්‍රාදුර්භූත වීම, දුර ඈත නිවුස් එසැණින් දිවැසින් බලා ගැනීම, තැන් තැන්වල එකවර පෙනී සිටීම වැනි ශක්‍ර හැකියා මැතිවරණ සමය තුළ ස්විච් ඕෆ් කර තබාගන්නට ශක්‍රයාට සිදුවනු ඇත.

 

4. මී වෙස් ගෙන චිංචිමානවිකාවට හිරිහැර කළාදැයි පරීක්ෂණ

Image Source – hobbyfarms.com

මැතිවරණයකට පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූවොත් ඔහු උපන්දා සිට කරන ලද වැරදි ආදියේ ෆයිල් නැවත ඇදීම සාමාන්‍ය සිරිතකි. ඒ අනුව අපේ පුරාණ කතා වල දැක්වෙන අන්දමට චිංචිමානවිකාව දරමිටියක් බැඳගෙන බුදුන් වහන්සේට අපහාස කරන්නට වූයේ දරු ගැබක් කෘත්‍රිමව පෙන්වාගෙනය. එවිට ඒ සැණින් ක්‍රියාත්මක වූ ශක්‍රයා, චිංචිමානවිකාව කුස මත බැඳි දරමිටියේ රැහැන් පට කපා දැම්මේ මීයෙක් සේ වෙස්වලාගෙනය. කාන්තා සිරුරකට අනවසරයෙන් අතක් තැබීම පවා මෙකල කාන්තා අයිතිවාසිකම් කඩවෙන ලොකු වරදකි. ඉතින් මීයෙක්ගේ වෙස් ගෙන ඇගේ සිරුරේ දිවීම කිසිසේත්ම සුළු කටයුත්තක් නොවන බව ශක්‍රයාට විරුද්ධ පාර්ශවයේ අය කියනු ඇත.

 

5. ලිංග දහසක් තිබුන ශක්‍රයා නේද මේ හොඳ මිනිහෙක් වෙන්න යන්නේ?

Image Source – open.edu

ශක්‍රයා ගැන හින්දු දේවකතා වල එන පරිදි ශක්‍රයා එක්තරා සෘෂිවරයෙකුගේ දිව්‍යමය බිරියක හා ලිංගික සංවාසයේ යෙදෙද්දී ඒ සෘෂිවරයාට අතටම හසුවේ. ඉන් පසු ශක්‍රයාගේ සිරුරේ ස්ත්‍රී ලිංග දහසක් සෘෂිවරයා විසින් මැවීය. පසුව ස්ත්‍රී ලිංග සමග කෙසේ නම් දිව්‍ය සභාවට යන්නේ දැයි වරු ගාණක් සෘෂිවරයාගේ පාමුල හඬා වැළපීමෙන් අනතුරු ශක්‍රයාගේ සිරුරේ වූ ස්ත්‍රී ලිංග දහස ඇස් දහසක් බවට පත් කළ බව ඒ පුරාණ කතා වල සඳහන් වේ. මෑත යුගයේ නම් ශක්‍රයාගේ එවන් පුවත් වාර්තා නොවූවත්, අද සිටින්නේද ඔහුමය. එබැවින් මහජනයාගේ උතුම් නියෝජිතයෙකු ලෙස පත්වීමට සිටින පොදු අපේක්ෂක ශක්‍රයාට ඒ පුරාණ සිද්ධි අවාසි සහගත වනු ඇත.

 

6. “අපි මේ පින්බිම දෙව්ලොවක් කරනවා…” ශක්‍රයා පවසයි

Image Source – zeusbattlegrounds.com

මෙසේ ශක්‍රයා ලක්දිව දෙව්ලොවක් කරන්නේ යැයි වේදිකාවල පැවසුවත්, ශක්‍රයාගේ මුල් පෙළේ අනුගාමික ආසන සංවිධායකවරුන් පවා දෙව්ලොවක් දැක නැත. එසේම ශක්‍රයාගේ මිතුරු හිතවත් ව්‍යාපාරික දෙවිවරුද “ශක්‍රයා අපෙන් කුමන උදව්වක් ඕනාදැයි” අසන්නට වූහ. එවර මාතලී නම් ශක්‍රයාගේ රථාචාර්යයාට නව දිව්‍යමය බස් රියක් ලබාදී, ශක්‍රයාගේ මිතුරු ව්‍යාපාරිකයින්ගේද දායකත්වය ඇතිව ලක්දිව වැසියන් දෙව්ලොව ටුවර් රැගෙන යන්නට පටන් ගත්තේය. ශක්‍රයා බොරු දෙව්ලොවක් මවා ඡන්ද ගරනවා යැයි විරුද්ධ පක්ෂය චෝදනා කරන්නට විය. එසේම මේ දෙව්ලෝ පෙන්වීමෙන් ජනයා වැඩියෙන් දෙව්ලෝ යයි දැයි බියවූ යමයෝ සහ යමරජු විරුද්ධ පාර්ශවයට සහාය දක්වන්නට විය. දෙව්ලොව යන බසයෙහි රියදුරු යමයෝ විසින් බලෙන් අල්වාගෙන වරක් අපාය පෙන්වූ බවක්ද, දෙව්ලෝ බැලීමට ගිය ජනයා භීතියෙන් ඇලලී ගිය බවක්ද වාර්තා විය. මේ දෙපාර්ශවය අතර මහා ගැටුමක් යතැයි සිතූ මනුලොව මැදිහත් පාර්ශව, මැතිවරණයට පෙර ටුවර් රැගෙන වටේ යෑම් නීතියෙන් නවත්වාලීය.

 

7. අපේක්ෂක වුනාට ශක්‍රයාට ඡන්දය නෑනේ

Image Source – blog.world-of-myths.com

ශක්‍රයාගේ ග්‍රාමසේවා වසම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලක්දිව පිහිටි එකක් නොවේ. ඇරත් ශක්‍රයා ලක් පුරවැසියෙක්ද නොවේ. එබැවින් ශක්‍රයාගේ විදෙස් පුරවැසි භාවය මැතිවරණයේදී ගැටලුවක් විය හැකිය. කෙසේ වෙතත් ශක්‍රයාට ලක්දිව ඡන්දයක් නැත. ඊට අමතරව ශක්‍රයාට පවුලක් හෝ දරු මල්ලන් නැත. එවැනි දේද අපේ ජනයාට නායකයා තේරීමට වැදගත් වන හෙයින්, අවාසි කිහිපයක් ශක්‍රයාට තිබේ. එහෙත් දෙදෙව්ලොවට අධිපති ශක්‍රයා තේරුණොත් දිව්‍ය සැප ලෙහෙසියෙන්ම මෙලොව ලබාගත හැකි වේ යැයි බොහෝ වැඩිහිටි ජනයා සිතනු ඇත.

 

කෙතරම් හොඳ පුද්ගලයෙක්ට වුවද ලංකාවේ පොදු අපේක්ෂකත්වයට පත්වී මිනිසුන්ගෙන් හොඳක් අහන්නට අපහසුය. විශේෂයෙන් දැනට පක්ෂ වල සිටින වයෝවෘද්ධ නායකයින් වෙනුවට වෙනත් කිසිවෙකු ගැන සිතන්නටද අපේ ජනයාගෙන් කොටසක් අකමැතිය. එබැවින් ඉදිරිපත් වන්නේ ශක්‍රයා වුවද ඔහුටද මඩ සහ ගල්මුල් එල්ල වනු ඇත. අනෙක් පසින් ශක්‍රයා වුවත් ඡන්දය දිනාගැනීමට නම් මනුලොව ලක්දිව දේශපාලකයින් කරන ආකාරයට බොරු කියන්නට උවමනාය, ජනයා රවටන්නට උවමනාය. මෙසේ බොරු කියා ජනයා රවටන්නට හුරු වුවොත් ශක්‍රයාගේද ශක්‍රභාවය, දිව්‍යභාවය අහෝසි වී ඔහුද මනුලොව බඩ තඩි දේශපාලන නායකයෙක්ම වනු ඇත.

 

Cover Image Source – encyclopediamythos.wikia.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *