ගෝ ප්‍රෝ (GoPro) කියන්නේ පොඩි කැමරාවක්. කටුක තත්ත්වයන් තුළ ලස්සන වීඩියෝ සහ පින්තූර ලබාදෙන්න ගෝ ප්‍රෝ එක සමත්. අනතුරුදායක ක්‍රීඩා කරන අය, සර්ෆින් කරන අය, බයිසිකල් පදින අය, ව්‍යායාම කරන අය වගේම කුඩා දරුවන් අතරත් මේ ගෝ ප්‍රෝ එක ජනප්‍රියයි. ගෝ ප්‍රෝ කැමරාව හසුරුවන්න පහසුයි. ඒ වගේම ගෝ ප්‍රෝ එක තැන තැන රැගෙන යන්නත් පහසුයි. මේ මොන වාසිය තිබුනත් පහුගිය කාලේ ගෝ ප්‍රෝ කැමරා ඒ සමාගම හිතපු තරම්ම විකිණුනේ නැහැ. එක හේතුවක් තමයි චීනෙන් ලාබෙට ගෝ ප්‍රෝ මාදිලියේ ඇක්ෂන්, ස්පෝට් කැමරා මාකට් එකට ආපු එක. අනෙක් හේතුව තමයි ෆෝන් එකේ කැමරා විටෙක ගෝ ප්‍රෝ එක ඉක්මවා යන තරම් ප්‍රබල වීම. ඉතින් ෆෝන් එකක් තියේනම්, ඒකේ හොඳ කැමරා එකකුත් තියේනම් අහවල් දේකටද තව ගෝ ප්‍රෝ කැමරාවක්? අපි ඒ ගැන ටිකක් සොයා බලමු.
1. ඔරොත්තු දීම
අලුත්ම මාදිලියේ ගෝ ප්‍රෝ එකක් මීටර 33ක් දක්වා වතුරේ ගිල්වන්න පුළුවන්. ඒ වගේම ගැස්සීම් පැද්දීම් ආදියටත් හොඳට ඔරොත්තු දෙන්න, රළු පාවිච්චියට ගැලපෙන්න ගෝ ප්‍රෝ එක හදලා තියෙනවා. දැනට එන අයි ෆෝන් සහ සැම්සුන් ගැලක්සි එස් 9 වගේ ඉහළ මට්ටමේ ෆෝනුත් වතුර ඇතුළට යන්නේ නැතිවෙන්න හදලා තියෙනව. ඒත් ඇපල් අයිෆෝන් අලුත් එකකට හෝ සැම්සුන් ගැලක්සි එස් 9 එකට වඩා ගෝ ප්‍රෝ එක සැබැවින්ම මිල අඩුයි. ගෝ ප්‍රෝ එකක් ඇමරිකානු ඩොලර් 200 සිට 400ක දක්වා මිල වෙනවා. එහෙත් ඉහළ මට්ටමේ ස්මාට්ෆෝනයක් ඇමරිකානු ඩොලර් 800කට වඩා වැඩියි. ඉතින් වතුරෙ දාන්න, කාලගුණේ අවුල් වෙලාවට ෆොටෝ ගන්න, වීඩියෝ කරන්න ගෝ ප්‍රෝ එකක් ගන්න එක සෑම අතින්ම වාසිදායකයි.
2. මවුන්ට් කිරීම
ඇක්ෂන් කැමරාවක් කියන්නේ ඇක්ෂන් රූගත කරන්න පුළුවන් කදිම බඩුවක්. ඒ නිසාම ගෝ ප්‍රෝ එක ශරීරයේ කැමති ඕනෑම තැනක පැළඳගන්න හැකි මවුන්ට්ස් තියෙනවා. බයිසිකල් හැඬ්ල් එකේ, කාර් එකේ ඩෑෂ්බෝඩ් එකේ වගේම සුරතල් සතාගේ බෙල්ලේ වුනත් ගෝ ප්‍රෝ එක පහසුවෙන් සවි කරන්නට හැකියි. සෙල්ෆි ස්ටික්, පොඩි ට්‍රයිපොඩ් වගේ ඒවත් එක්කත් බොහොම ලේසියෙන් ගෝ ප්‍රෝ එක එකලස් කරගන්නට හැකියි. ෆෝන් එකත් මවුන්ට් කරන්න පුළුවන්. ඒත් ගෝ ප්‍රෝ එක තරම් ලේසියෙන් අමාරුයි. ඒ නිසා මවුන්ට් හැකියාව අතින් ගෝ ප්‍රෝ නිතරඟයෙන් වගේ දිනනවා.
3. තැන තැන ගෙනයෑම
තද වැස්සක කඳු තරණය කරද්දි හෝ සර්ෆ් බෝඩ් එකක නැගලා සර්ෆින් කරද්දි වගේම බයිසිකල් පදින අවස්ථාවකදි වගේ අපිට ෆෝන් එකක් සාක්කුවේ දාගෙන යන්න අමාරුයි. සාක්කුවක් තිබුන පලියටම ෆෝන් එකක් දාගෙන යන්නත් බැහැ. උදාහරණ විදියට සර්ෆ් කරද්දි අපි ෆෝන් එක සාක්කුවක දාගෙන ගියොත් මූදට වැටිලා ෆෝන් එක නැතිවෙන්න ලොකු හැකියාවක් තියෙනවා. ෆෝන් එකට වඩා කුඩා, හොඳට අතට අහුවෙන ගෝ ප්‍රෝ එක ෆෝන් එකට වඩා තැන තැන ගෙනියන්න සහ පාවිච්චි කරන්න ලේසියි. ෆෝන් එකක් අද කාලේ අඟල් 5.5ක, 6ක ස්ක්‍රීන් එකකින් යුක්තයි. මෙවැනි විශාල තිර සහිත ෆෝන් හසුරුවනවාට වඩා ගිනිපෙට්ටිය වගේ තියෙන ගෝ ප්‍රෝ එක හසුරුවන්නත් පහසුයි.
4. වීඩියෝ සහ ෆොටෝ වෙනුවෙන්ම හදා තිබීම
අපි අවශ්‍ය කරන ස්පෝට් ඇක්ටිවිටි එකක් රූපගත කර කර ඉන්නකොටම ඔන්න වැදගත් කෝල් එකක් එනවා. එතකොට අපි ඒ රූපගත කිරීම කර කර හිටියෙ ගෝ ප්‍රෝ එකකින් නම් කිසිම අවුලක් නැහැ. රූපගත කිරීම කරන අතර අපිට ෆෝන් එක ආන්සර් කරන්න පුළුවන්. ඒත් ෆෝන් එකෙන් අපි වීඩියෝ කරමින් හිටියා නම් කෝල් එක ආන්සර් කරන එක වාතයක්. ෆෝන් එකෙන් නෝටිෆිකේෂන් එන්නේ කෝල් වලදි විතරක් නෙමෙයි. මැසේජ්, සෝෂල් මීඩියා ඇප්ස් වගේ ගොඩක් හරහා නෝටිෆිකේෂන් එන ෆෝන් එක, වැඩ ගොඩක් සපයන තනි උපාංගයක්. ඒත් ගෝ ප්‍රෝ කියන්නේ වීඩියෝ වලටම හදාපු බඩුවක්. ෆෝන් එකකදි වගේ කැමරා එක ඔන්කරගෙන වැඩ කරද්දි අනෙක් ඇප් වලින්, අනෙක් වැඩ වලින් කරදරයක් එන්නේ නැති එක ගෝ ප්‍රෝ වල වාසියක්.
5. කැමරාවේ රේන්ජ් එක වැඩිවීම
සාමාන්‍යයෙන් ගෝ ප්‍රෝ ස්පෝට් කැමරා වල රූපගත වෙන රේන්ජ් එක බොහොම වැඩියි. අංශක 150ක් තරම් විශාල පරාසයක් දැකගන්න ගෝ ප්‍රෝ කැමරාව සමත්. ඒත් සාමාන්‍ය ෆෝන් එකක රේන්ජ් එක ඊට වඩා ගොඩක් අඩුයි. ලොකු භූමි දර්ශන ආදිය වීඩියෝ කරනවා නම් ෆෝන් එකට වඩා සුපිරි පරාසයක රූපාවලියක් දැකගන්න ගෝ ප්‍රෝ එකේදි පුළුවන් වෙනවා. ඒ වගේම අලුත්ම ගෝ ප්‍රෝ එකේ ෆොටෝත් ක්ලියර් එකට තියෙනවා. ඉස්සර වගේ ගෝ ප්‍රෝ වීඩියෝ දැන් ගැස්සෙන්නේ නැහැ. ඇතුළේ තියෙන ස්ටැබිලයිසර් වලින් ස්ටැබිලයිස් වෙලයි වීඩියෝව එළියට එන්නේ. නවතම ගෝ ප්‍රෝ කැමරාවේ තිබෙන ස්ටැබිලයිසින් හැකියාව නම් ගොඩක් ස්මාට්ෆෝන් වල තවම නැහැ.
6. බැටරි මාරු කරන්නට හැකි වීම
ගෝ ප්‍රෝ වලත් හැම මාදිලියකම බැටරි මාරු කරන්නට බැහැ. ඉහළ මට්ටමේ ඒවායේ පුළුවන්. ෆෝන් එකෙන් වීඩියෝවක් කර කර ඉද්දි ෆෝන් එකේ බැටරිය බැස්සොත් අපි ඒක චාජ් කරගන්නට ඕනා. ඒත් ගෝ ප්‍රෝ වල බැටරි දෙකක් තියාගෙන අවශ්‍ය වෙලාවට චාජ් වෙච්ච බැටරිය දාගන්නට හැකියි. ඒ නිසා ගෝ ප්‍රෝ එක ටිකක් කාලය ගතවෙන චාරිකා ආදියට හොඳට ගැලපෙනවා.
7. ගෝ ප්‍රෝ එකටම එන වැඩ කිඩ
මේ වර අලුතින්ම ආ ගෝ ප්‍රෝ 7 හි හයිපර්ස්මූත් නැමැති වීඩියෝවේ ගැස්සීම් ස්වභාවය අඩු කරන හැකියාව තියෙනවා. ඒ වගේම අලුත් ගෝ ප්‍රෝ එක සුපර් ෆොටෝ නමින් වඩාත් හොඳ ෆොටෝ ලබාදෙන්නත් සමත්. ගෝ ප්‍රෝ 7 සීරිස් එකම වොයිස් කමාන්ඩ් වලටත් සපෝට් කරනවා. මේ වගේ හොඳම පහසුකම් තියෙන කැමරාව ඇමරිකානු ඩොලර් 400ක් වගේ තමයි වෙන්නෙ. නමුත් ඇමරිකානු ඩොලර් 400ට තියෙන ෆෝන් වලින් මේ කොලිටිය ලොවෙත් ලබාගන්නට බැහැ.
ෆෝන් එකෙන් ගන්න ෆොටෝ කෙලින්ම අපට ඉන්ස්ටා, යූටියුබ්, එෆ් බී, ට්විටර් දාන්න පුළුවන්. ඒත් ගෝ ප්‍රෝ එකකින් ගන්න ෆොටෝ පස්සේ ෆෝන් එකකට හෝ ලැප්ටොප් එකකට අරගෙන තමයි අපිට සෝශල් මිඩියා වලට අප් කරන්න වෙන්නේ. කොහොම වුනත් ගෝ ප්‍රෝ එක කියන්නේ වෙනමම අවශ්‍යතාවයක් තියෙන පිරිසකට හදපු කැමරාවක්. ඇඩ්වෙන්චර් ටයිප් එකේ ටිකක් වෙහෙස මහන්සි කටුක ගමන් යන අය ට්‍රැවල් කැමරාව විදියට ගෝ ප්‍රෝ එකක් තෝරාගන්නට වඩාත් කැමතියි. ඒ වගේම ෆෝන් එක අතේ අරන් හැමදේම ඒකෙන් වීඩියෝ කරද්දි නිකන් ඇඩ් එකක් වෙනවා වගේ. ඊට වඩා ගෝ ප්‍රෝ එකක් මවුන්ට් කරගෙන, ටිකක් ඩීසන්ට් පිට වැඩේ ගොඩදාගන්න ගොඩාක් කොල්ලෝ කැමතියි.
Cover Image Source – youtube.com
Leave a Reply