වාසනාව කියන්නෙ ඇත්තටම පවතින දෙයක්ද, එහෙමත් නැත්නම් ධනාත්මකව දේවල් දකින්නට මිනිස්සු විසින් මානසිකව හදාගත්ත දෙයක්ද කියන එක ගැන නොයෙකුත් මති මතාන්තර පවතිනව. ඒ කොහොම වෙතත් බහුතරයක් ලෝක වාසීන් දිහා බැලුවහම ඒ අය වාසනාව කියන දේ විශ්වාස කරන බවක් තමයි පෙනෙන්න තියෙන්නෙ. ලෝකයේ සෑම රටකම වගේ සංස්කෘතිය එක්ක බැඳිල තියන වාසනාවේ සංකේත අදටත් පැවතගෙන ඇවිත්, භාවිතාවේ තියෙන්නෙ ඒ නිසා වෙන්න ඇති. අද අපේ ලිපියට පාදක කරගන්නෙත් ඒ විදිහට ලෝකයේ විවිධ රටවල උදවිය වාසනාව උදාකරගන්න කියලා භාවිතා කරන දේවල් කිහිපයකුයි. මේ සමහරක් දේවල් අපේ රටේ අයත් වාසනාව වෙනුවෙන් භාවිතා කරනව ඔයාල දැකල ඇති.
අපි බලමු මොනවද මේ වාසනාවේ සංකේත සහ මොනවද ඒවලින් උදාකරනවයි කියන යහපත් ප්‍රතිඵල කියලා…
1. ලාෆිංග් බුද්ධා
ලාෆිංග් බුද්ධා, එහෙමත් නැත්නම් ‘බුඩායි’ නමින් හඳුන්වන මේ පිළිමය අපේ රටත් ඇතුළුව බොහෝ ආසියාතික රටවලත්, ෆෙන්ග්ෂුයි ක්‍රම අනුගමනය කරන පුද්ගලයන් අතරත් ප්‍රකට වාසනාවේ සංකේතයක්. සිනාසෙන මුහුණෙන් සහ තරබාරු ශරීරයෙන් යුතු මේ ලාෆිංග් බුද්ධා ගැන ලංකාවේ අය අතර යම්කිසි වැරදි වැටහීමකුත් දකින්න ලැබෙනව. ඒ තමයි මේ ප්‍රතිමාවෙන් සංකේතවත් කෙරෙන්නේ ගෞතම බුදුන් වහන්සේව වග. ඇත්තටම ඒක වැරදි අදහසක්. මීට වසර දහස් ගණනකට කලින් චීනයේ හිටපු භික්ෂුවක්ව තමයි මේ නමින් නිර්මාණය වෙලා තියනවය කියලා කියන්නේ. ලාෆිංග් බුද්ධා ප්‍රතිමා තැබීමෙන් නිවසක සහ ව්‍යාපාරික ස්ථානයක තියෙන දොස් දුරුවෙලා, වාසනාව සහ සෞභාග්‍යය උදාවෙනවා කියල තමයි මිනිස්සු විශ්වාස කරන්නේ. ලාෆිංග් බුද්ධා මගින් සුභ ප්‍රතිඵල ලැබෙන්න නම් ඒ පිළිමයේ බඩ ප්‍රදේශය අතගාන්න ඕනෙලු. නිවසේ ප්‍රධාන දොරටුවට මුහුණලා බටහිර ප්‍රදේශයට වෙන්නට මේ පිළිමය තබන එක තමයි වඩාත් සුදුසු කියල කියන්නෙ.
2. මනෙකි නෙකෝ
අතක් උස්සගෙන, වන වන ඉන්න මේ බළල් පිළිමය හුඟක් කඩසාප්පු වල එහෙම තියල තියනව ඔයාල දැකල ඇති. මනෙකි නෙකෝගෙ උප්පත්තිය සිද්ධ වෙන්නෙ ජපානෙන්. ජපන්නු විශ්වාස කරනවාලු බළලෙක් තමන්ගෙ කනට උඩින් අතක් උස්සන එක වාසනාව උදාකරන කාරණයක්ය කියලා. ඒ විශ්වාසය උඩ මේ මනෙකි නෙකෝ සංකල්පය බිහිවුණාය කියල හිතන්න පුළුවන්. මනෙකි නෙකෝ පිළිමයේ බළලා ඔසවාගෙන ඉන්න අත අනුවත් වාසනාව තීරණය වෙනවා. වම් අත එසවුණු පිළිමයකින් වඩාත්ම සුභ ඵල ගෙන දෙන්නේ ව්‍යාපාර කටයුතු වලට තමයි. ඒ මගින් වැඩි පාරිභෝගිකයන් පිරිසක් ව්‍යාපාරයට ආකර්ෂණය වෙනවලු. දකුණු අත ඔසවන් ඉන්න පිළිමයකින් සිද්ධ වෙන්නේ ධනය සහ සෞභාග්‍යය කැඳවන එකලු. මේ දේවල් වලට අමතරව මනෙකි නෙකෝ පිළිමයේ වර්ණයෙනුත් නොයෙකුත් සුභ ප්‍රතිඵල තීරණය වෙන බවක් කියවෙනවා. කළුපාට පිළිමයකින් ආරක්ෂාවත්, සුදු පාට පිළිමයකින් සන්තෝෂයත්, කොළපාට පිළිමයකින් යහපත් සෞඛ්‍යයත් උදාවන බවටයි විශ්වාස කෙරෙන්නෙ.
3. හම්සා
මුස්ලිම් සහ යුදෙව් ජනතාව අතර ප්‍රචලිත වාසනාවේ සංකේතයක් තමයි හම්සා කියන්නේ. මේක ඇසක් සහිත අතක හැඩය සහිත ලාංඡනයක්. යුදෙව් ජනතාව මේක හම්සා නමින් හඳුන්වද්දි මුස්ලිම් ප්‍රජාව අතර මේක ප්‍රචලිත වෙන්නෙ ඛම්සා, එහෙමත් නැත්නම් ෆාතිමාගේ හස්තය නමින්. හම්සා සහ ඛම්සා කියන නම් දෙකේ තේරුම් වෙන්නෙ ‘පහ’ කියන අංකයයි. පහ කියන එකෙන් ඉස්ලාමයේ ස්ථම්භ පහ නියෝජනය කරන බව තමයි පැවසෙන්නේ. ආභරණයක් එක්ක සුරයක් හැටියට පැළඳගැනීම වගේම බිත්ති සැරසිල්ලක් හැටියට එල්ලා ගැනීමෙනුත් හම්සා සංකේතයෙන් වාසනාව උදාකරගන්න උදවිය කටයුතු කරනවා. හම්සා වලින් මූලිකවම සිද්ධ වෙන්නේ සෘණාත්මක ශක්තියෙන් පුද්ගලයන්ව ගලවගෙන, සන්තෝෂය උදා කරවන එකලු. හම්සා සලකුණ මැද පිහිටා තිබෙන ඇස මගින් සියල්ල දකින ඇසක් මගින් මෙය පැළඳ සිටින්නාව ආරක්ෂා කරන බවක් සංකේතවත් වෙනවලු.
4. අශ්ව ලාඩම
ඔය නැකැත් ජ්‍යොතිෂ වැඩ එහෙම තඹේකට මායිම් නොකරන ඇමරිකානු, එංගලන්ත සුද්දෝ එහෙමත් තරමක් විශ්වාස කරන වාසනා සංකේතයක් තමයි අශ්ව ලාඩම කියන්නෙ. නපුරෙන් මිනිස්සුන්ව ඈත් කරලා වාසනාව කැන්දනවාය කියන අශ්ව ලාඩම් විශ්වාසය ඉස්ලාමීය සහ ඊජිප්තු ඉතිහාසයන් තුළිනුත් දැකගන්න ලැබෙනව. අශ්ව ලාඩමෙන් නියමිත ඵලප්‍රයෝජනය ලැබෙන්න නම් මේක නිවසේ ප්‍රධාන දොරටුවේ එල්ලිය යුතු වෙනවා. මේ වෙද්දි යකඩ, ප්ලාස්ටික් ඇතුළු නොයෙකුත් අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කරන අශ්ව ලාඩම් දකින්න ලැබුණත්, වඩාත් සුභ ඵල ගෙන දෙන්න නම් භාවිතා කරන ලද පරණ යකඩ අශ්ව ලාඩමක් තියෙන්නට ඕනෙ බවයි කියන්නෙ. මේ අශ්ව ලාඩම එල්ලන්න ඕනෙ හරි විදිහ ගැනත් ලෝකය පුරා විවිධ මතභේද තියනවා. සමහරු කියන්නේ අශ්ව ලාඩමේ දෙකෙළවර උඩ අතට හිටින විදිහට එල්ලන්න ඕනෙ කියලයි. ඒත් තවත් සමහරු කියන්නේ නිවසට ඇතුළුවන අයට වාසනාව ලැබෙන්න නම් අශ්ව ලාඩමේ දෙකෙළවර පහතට හිටින්නට තියන්න ඕනෙ කියලයි.
5. ඩ්‍රීම් කැචර්
ටැටූ විලාසිතාවක් හැටියට වගේම බිත්ති සැරසිල්ලක් හැටියටත් බහුලව දකින්න ලැබෙන දෙයක් වෙන ඩ්‍රීම් කැචර් එකත් වාසනාව සම්බන්ධයෙන් ලොකු ඉතිහාසයක් සහිත සංකේතයක්. මේ වාසනාවේ සංකේතය පැවතගෙන එන්නේ ඇමරිකාවේ ස්වදේශික ජනතාවගෙනුයි. කුඩා රවුම් වළල්ලක් වටා ගොතන ලද නූල් සහ එල්ලන ලද විවිධ පක්ෂි පිහාටු සහ පබළු වලින් සමන්විත ඩ්‍රීම් කැචර් එකකින් නමේ හැටියටම සිද්ධ වෙන්නෙ හීන අල්ලා ගන්න එකයි. හීන කිවුවට හැම හීනෙම නෙමෙයි, නරක හීන තමයි මේ ඩ්‍රීම් කැචර් එක විසින් අල්ලගන්නෙ. මේ විදිහට රාත්‍රියේදී ඩ්‍රීම් කැචර් එක විසින් අල්ලාගන්නා නරක හීන ඉර උදාවත් එක්ක දියවෙලා යනවලු. ඒක හරියට හොඳ සිහින විතරක් ගෙන එන්න යොදන ෆිල්ටරයක් වගෙයි. මේ ඩ්‍රීම් කැචර් එක තියන්නට ඕනෙ තමන් නිදාගන්නා ස්ථානය ආසන්නයෙන් තමයි. ඒ කිවුවෙ නිදන කාමරයේ දොරේ එල්ලලා හෝ නිදන ඇඳේ හෝ ඒ අසල පෙනෙන තැනකින් රඳවලා තියන්න පුළුවන්.
6. කොළ හතරේ ක්ලෝවර්
අයර්ලන්තයේ තමයි වැඩි වශයෙන් මේ කොළ හතරේ ක්ලෝවර් විශ්වාසය දකින්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ක්ලෝවර් ගහේ කොළ පිහිටන්නේ කොළ තුනක් එකට හිටින විදිහටයි. නමුත් ඉතාම කලාතුරකින් කොළ හතරක් එකට පිහිටන අවස්ථා දකින්න ලැබෙනවලු. කොච්චර දුර්ලභද කියනවනම් කොළ 10,000කට එකක් හැටියට වගේ තමයිලු මේ කොළ හතරේ ක්ලෝවර් ඉත්තක් දකින්න ලැබෙන්නේ. හැබැයි ඉතින් වැරදිලා හරි මේ විදිහේ කොළ හතරේ ක්ලෝවර් ඉත්තක් දකින්න ලැබුණොත් එදාට ඉතින් කිරියෙන් පැණියෙන් උතුරන විදිහට වාසනාව දොර ඇරලා බලන තත්ත්වයක්ලු තියෙන්නේ. ආදම් එක්ක ඒව ව පාරාදීසයෙන් පිටුවහල් කරද්දි ඒව විසින් පාරාදීසය සිහිවෙන්නට කොළ හතරේ ක්ලෝවර් එකක් සඟවාගෙන ආවය කියල පුරාණ කතාවක් තියනවා. බලාපොරොත්තු ඉටුකරල, වාසනාව උදාකරල, ආදරය ජීවිතයට කැන්දවීමේ බලයක් ක්ලෝවර් කොළ හතරට තියෙන බව තමයි අයිරිෂ් ජාතිකයන් විශ්වාස කරන්නේ.
7. නසර්
ඇහැට කනට පේන්න, හොඳට කාල බීල ඉන්න කෙනෙක්ට ඇස්වහ වදිනව කියන විශ්වාසය අපේ රටෙත් මුල් බැහැලා තියන එකක්. කෙනෙක් තව කෙනෙක් දිහා ඊර්ෂ්‍යාවෙන් බලපුවහම ඒ අයට ඇස් වහ වැදිල, ජීවිතේ දියුණුව ඇන හිටිනව කියල තමයි කියන්නෙ. ඇස්වහ පුච්චනව, දෙහි කපනව, දෙහි මිරිස් එල්ලනව වගේ නොයෙකුත් ප්‍රතිකර්ම අපේ අය ඒ වෙලාවල් වලට යොදනව. හැබැයි ලංකාවෙ එහෙම වුණාට තුර්කියේ මේක වෙන්නෙ වෙනස් විදිහකට. ඒ අයට වෙනම සංකේතයක් තියනවා ඇස් වහ වලින් බේරෙන්න එල්ලන්න. මේක හඳුන්වන්නෙ ‘නසර්’ නමින්. මේක රවුම් හැඩයකින් යුතු, ඇසක් සිහිගන්වන පෙන්ඩනයක් වගේ දෙයක්. බොහෝවිට නිල් පාටින් තමයි මේ නසර් පෙන්ඩන නිර්මාණය වෙන්නේ. සුරයක් හෝ පෙන්ඩනයක් විදිහට පැළඳගැනීම වගේම, නිවසේ දොරටුවේ, වත්තේ ගස්වලත් මේ නසර් එල්ලලා ඇස්වහ දුරුකරගන්න තුර්කි ජාතිකයින් කටයුතු කරනවා.
Cover Image Source – people.howstuffworks.com
Leave a Reply