ඉන්ස්ටාග්රෑම් පාවිච්චි කරන උදවියගෙන් ඔයා අයිති මොන කොටසට ද?

ඉන්ස්ටාග්‍රෑම් කියන්නේ කොලුවයි බලුවයි දෙන්නම ඉන්න බුකිය වගේ තැනක් නම් නෙවෙයි. ඒක තනිකර ම පොටෝ සීන් එක්ක මිශ්‍ර වෙච්ච සෝෂල් මීඩියා එකක්. ඉන්ස්ටාග්‍රෑම් දැන් දැන් ලංකාවේ අය අතරත් සෑහෙන ජනප්‍රියයි. විශේෂයෙන් ම ඔය බවලත් උදවිය අතර තමයි ඉතින්. ඒකට දෙවෙනි නැහැ කොල්ලොත්. පොල් ලෙල්ලක් දැක්කත් ඉන්ස්ටා පොටෝග්‍රැෆි තමයි. ලෝකයේ බොහෝ දෙනා තම තමන්ගේ ඉන්ස්ටාග්‍රෑම් අකවුන්ට් එක නඩත්තු කරන්නේ නිකන් බබෙක් බලාගන්නවා වගේ පරිස්සමින්. ලංකාවේ ඉන්ස්ටාග්‍රෑම් පාවිච්චි කරන උදවිය ඉස්සරහ මුළු ලෝකයක්ම පදිරි ඉතින් ආහ්. විවිධාකාර මේ උදවිය අතරින් ඉන්ස්ටාග්‍රෑම් පාවිච්චි කරන ඔයා කවුරු වගේ ද?

 

1. සෙල්ෆි ඔස්තාර්

Image Source – stylecaster.com

මෙයා හිතාන ඉන්නේ තමන්ට ඉන්ස්ටාග්‍රෑම් අකවුන්ට් එකක් ඒකෙ මැවුම්කාරයා හදා දීලා තියෙන්නේ තමන්ගේ මූණත් තහඩුව උදේ හවා හැමෝටම පෙන්නන්න ය කියලා. පොටෝ 150ක් තියෙනවා නම් ඒ 150ම තනිකරම සෙල්ෆි විතරයි. ලැට් පෝච්චිය ළඟ, හන්දියේ කඩේ ළඟ, ලොතරැයි කූඩුව ළඟ සහ එකී මෙකී නොකී තැන්වල ඉඳන් දාපු සෙල්ෆි එමටයි. පුදුමේ කියන්නේ ඉතින් මේවාට ලයික් කොමෙන්ට් එහෙමත් සෑහෙන වැටෙන එකයි. ඔය අතරත් සමහරුන්ගේ කැප්ෂන් අරවා මේවා මුකුත් නැහැ. මලක් පිපුණා මල පරවුණා වගේ ගත්තු සැනෙන් පොටෝ එක දානවා. අනික් අය නම් ඉතින් සැල්පිය දාන්නේ කැටයම් පේළියකුත් එක්කයි. ටේලර් ස්විෆ්ට්ගේ සින්දුවක පද පේළියක ඉඳන් my lyf ma rulz දක්වා මේ සෙල්ෆි නළු නිළි සෙට් එකේ කැප්ෂන් දකින්න පුළුවන්.

 

2. කෑමදාස

Image Source – foodandwine.com

ඉස්තිරි පුරුෂ දෙපාර්ශ්වය ම මේ දේ කරන්න තමන්ගේ ඉන්ස්ටාග්‍රෑම් අකවුන්ට් එක පාවිච්චි කරනවා. සෙල්ෆි ඔස්තාර්ලට නම් තමන් කන කෑම එකේ පොටෝ ගහලා දාන එක මන්දමානසික තත්ත්වයක් වගේ පේන්න පුළුවන්. ඒත් මේක වෙනම කලාවක් වගේම ඇදහිය යුතු දක්ෂතාවක්. කෑමදාස කෙනෙක්ගේ අකවුන්ට් එකට ගිහින් බැලුවොත් පෙනේවි වඩේ කෑල්ලකටත් රත්තරන් කෑල්ලක ඔපයක් දීලා තියෙන ලස්සන. මේ වැඩේට පෙළඹෙන්න නම් ඉතින් ලොකු ලොකු රෙස්ටෝරන්ට් ගානේ යන්න යහමින් අතමිට මුදල් ගැවසෙන්න ඕනි. නිකන් ම පොටෝ එක ගහනවට අමතරව සමහර කෑම සහ රෙස්ටෝරන්ට් ගැන පුංචි රිවීව්ස් හෙමත් වෙලාවකට ඉදිරිපත් කරනවා. අන්න ඒක නම් වටිනවා.

 

3. ඡායාරූප ශිල්පියා

Image Source – slrlounge.com/ femalecreativesassociation

ඉන්ස්ටාග්‍රෑම් අකවුන්ට් එකක ලස්සන බලන්න නම් මේ වගේ කෙනෙක්ගේ අකවුන්ට් එකකට ගොඩ වෙන්න වෙනවා. මෙයා ඡායාරූපකරණයේ තමන්ගේ ඇති දක්ෂතා පෙන්වන්න සෝෂල් මීඩියා නියම වේදිකාවක් කරගන්නවා. ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ඉඳලා විනෝදාස්වාදයක් විදියට මේ දේවල් කරන කොයි කවුරුත් එහෙම තමයි. Flickr, 500px වගේ ලොකු ලොකු තැන් ලංකාවේ මිනිස්සු අතරට යනවා මදි. ඒවායේ පොටෝ දැම්මම ඒවා බලන්නෙත් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් ඇති අය විතරයි. ඒත් ඉන්ස්ටාග්‍රෑම් එකේ දැම්මම ඒකෙ තියෙන පුද්ගල විවිධත්වය නිසාම ගොඩක් දෙනෙක් අතරට මේ දේවල් යනවා.

 

4. සංචාරකයා

Image Source – shutterstock.com

රැල්ලට නැතුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම “travelling is my life” කියලා බය නැතුව කියන්නේ මෙයා තමයි. අකවුන්ට් එක බැලුවම එක පාර හිතෙන්නේ මේ පොරට නම් ගෙයක් දොරක් නැති තරමට ඇවිදිනවයි කියලා. වෙලාවකට තනිකර ම කොළ. ඒ තරමට ම කැලෑ අස්සේ ඇවිදිල්ල. වෙලාවකට තනිකර ම නිල්. එහෙම වෙන්නේ මූදුකරෙන් ගැලවෙන්න බැරි වුණාම. ගෙදරට වෙලා ටයිම්ලයින් එකේ උඩ පහළ යන කම්මැලියොන්ටත් ලෝකේ බලන්න කරන ආරාධනයක් වගෙයි මේක. සංචාරකයා නිතර පාවිච්චි කරන ගැජමැටික් එකක් තමයි GoPro කැමරාව කියන්නේ.

 

5. කලාකාමියා

Image Source – canva.com

Tumblr හුරුපුරුදු අයට නම් මේ කියන කලාකාමියා ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඉන්ස්ටාග්‍රෑම් වුණාට මෙයාගේ අකවුන්ට් එක තනිකර ම Tumblr අච්චුවක් වගේ. පොටෝස් ඡායාරූපකරණයේ ඉහළටම ගියපු ඒවත් නෙවෙයි හැබැයි පහළම මට්ටමේ ඒවත් නෙවෙයි. හැබැයි අමුතු එඩිට් එකක් දෙනවා. ඕනි නම් පොටෝ එක ඇතුළටම වචන කීපයක් ඔබ්බවනවා. කැප්ෂන් එකෙන් තමයි සියල්ල අංගසම්පූර්ණ වෙලා එන්නේ. සාමාන්‍ය මනුස්සයෙක්ට හිතෙන්නේ නැති ඉතාම ලස්සන වගේ ම අමුතු අමුතු දේවල් මෙයා අතින් නිර්මාණය වෙනවා. ගොඩක් තරුණ වයසේ උදවිය තමයි මෙතනට සෙට් වෙන්නේ.

 

6. කපල් කේස් එක

Image Source – howfarfromhome.com

සෝෂල් මීඩියා භාවිතයේ දී ආදරය කරන දෙන්නා එකිනෙකාගේ පාස්වර්ඩ් ඉල්ලපු යුගය දැන් ඉවර වීගෙන යන්නේ. දැන් කරළියට එන අලුත් ම එක තමයි දෙබිඩි ප්‍රොෆයිල්. බුකියෙන් පටන් ගත්තු මේක දැන් ඉන්ස්ටාග්‍රෑම් එකටත් බෝ වෙලා. දෙන්නා මේ  වෙලිලා ඉන්නවා ය කියලා ලෝකෙට පෙන්නන්න යන සෑහෙන ලොකු උත්සාහයක් මේ තුළ තියනවා. වෙලාවකට බලන අය අතරමං වෙනවා දාන කැප්ෂන් අනුව මේක කිව්වේ කාටද කවුද කියලා. ඇයි ඉතින් ගස්වටේ යන ඒවාට අමතරව ගහමරාගන්න ඒවත් තියෙනවනේ.

 

7. හිතුමතේ ජීවිතේ

Image Source – nomadicd.com

මේ වගේ අකවුන්ට් එකක් තියෙනවා නම් පුල් ආතල් තමයි. එයාගේ එක ම අභිප්‍රාය ජීවත් වෙන මේ මොහොතේ මතකය පොටෝවකට කොටලා ආයේ ආයෙත් බලන්න පුළුවන් විදියට තැන්පත් කරන එකයි. උඩින් සඳහන් කරපු හැම වර්ගයක ම දේවල් මෙයාගේ අකවුන්ට් එකේ තියනවා. වෙලාවකට ඇවිදිනවා, කනවා, අඬනවා, සෙල්ෆිත් ගහනවා. කාට නැතත් තමාට බලලා සතුටු වෙන්න පුළුවන් දේවල් එකතු කරගන්නවා.

ඉතින් ඔයා මේ අතරින් කවුරු වගේ ද?

Cover Image Source – standard.co.uk/ sircle.me/kokoleve .com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *