බ්ලූ ෆිල්ම් ඇබ්බැහියෙන් මිදෙන්න උදවු වෙන කාරණා 10ක්!

මියා කලීෆා වගේ නමක් කියපු ගමන්, එහෙම නැතිනම් ඔය ඉස්සර සෑහෙන්න ප්‍රසිද්ධ වුණු නිලක බැක්ග්‍රවුන්ඩ් එක එහෙම දැකපු ගමන් සමහරු උඩ බිම බලනවා. හැබැයි අපේ ගොඩක් අයියලා නම් ඇහැ කොණෙන් දැක්කත් ඔය වගේ සීන් එකක් ලොවෙත් අඳුන ගන්නවා. ඒක අවුලක් කියලා නෙවෙයි අපි මේ කියන්න යන්නේ. නිලක් බලලා නැති කොල්ලෙක් ඉන්නවා කියන්නේ ඉතින් අටපට්ටමට යවන්න වෙන තරම් සීන් එකක්නේ. හැබැයි එකක්, ඕනේම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැහැයි කියලා ඉරිසින්නාන්සෙලා කියලා තියෙනවනේ. ඉතින් මේ බ්ලූ ෆිල්ම් බැලිල්ල වුනත් ඇබ්බැහියක් බවට පත් වෙනවා නම්, ඒක තමන්ගේ ජීවිතයට කරදරයක් වෙනවා නම් අන්න ප්‍රශ්නෙක මුල. ආන්න ඒ නිසා එහෙම බ්ලූ ෆිල්ම් බලන ඇබ්බැහියක් තියේ නම් ඒකෙන් මිදෙන්නේ කොහොමද කියලා තමයි අපි කියලා දෙන්න යන්නේ!

 

1. බ්ලූ ෆිල්ම් බලන එක ප්‍රශ්නයක් වෙලාද?

Image Source – hackernoon.com

මෙන්න මේක තමයි පළවෙනිම කාරණාව. බ්ලූ ෆිල්ම් බලන එක තමන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් වෙලාද නැද්ද කියන එක තේරුම් ගන්න එක. ඒක ප්‍රශ්නයක් වෙනවා කියන්නේ මෙහෙමයි. එක්කෝ දවසේ සැලකිය යුතු කාලයක් බ්ලූ ෆිල්ම් බලන්න වැය කරන්න ඕන. ඒ කියන්නේ දවස් කීපෙකට සැරයක් පැය දෙක තුනක් බ්ලූ ෆිල්ම් බලන එක වුනත්, දවසකට පැය භාගයක්, පැයක් විතර වැයකරගෙන දිනපතාම නොවරදවා බ්ලූ ෆිල්ම් බලන එක වුනත් ප්‍රශ්නයක් කියලා අපිට සලකන්න වෙනවා. මෙතනදී විශේෂයෙන්ම තමන්ගේ වැඩ පාඩු වෙන එක වුනත් නොතකා හරිනවා කියන්නේ ප්‍රශ්නය දරුණුයි.

ඊළඟට බ්ලූ ෆිල්ම් එකක් බලන්නේ නැතුව ලිංගික කර්තව්‍යයන් ඉෂ්ට කරගන්න බැරි තත්ත්වෙක ඉන්නවා නම්, සහකාරිය එක්ක ලිංගික ඇසුරකට යන්නත් බ්ලූ ෆිල්ම් එකක් ඕන නම්, ස්වයං වින්දනයේ යෙදෙන්න වුනත් බ්ලූ ෆිල්ම් එකක් අත්‍යවශ්‍ය නම්, කොටින්ම කියනවා නම් බ්ලූ ෆිල්ම් එකක් කියන කරුණ නැතුව කිසිසේත්ම වින්දනයකට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා නම් අන්න බරපතළම ප්‍රශ්නයක්.

තුන්වෙනියට බ්ලූ ෆිල්ම් වල තියෙන දේවල් හැමවිටම අත් හදා බලන්න යනවා නම්, ඒක පවුල් ජීවිතේට සහ සමාජයීය ජීවිතේට ප්‍රශ්නයක් වෙන තැනට ගිහිල්ලා නම් අන්න ඒකත් සෑහෙන්න අවුල්.

 

2. බ්ලූ ෆිල්ම් බලන එක ප්‍රශ්නයක් වෙලා කියලා තේරුම් අරන්ද ඉන්නේ?

Image Source – prescotthouse.com

දැන් දෙවෙනි කාරණාව තමයි තමන්ට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියන එක තේරුම් ගන්න එක. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් අපි උඩින් කිවුවනේ බ්ලූ ෆිල්ම් බලන එක ප්‍රශ්නකාරී වෙන්න පුලුවන් තැනට යනවා කියන්නේ කොහොමද කියන එක. කාලය නාස්ති වෙනවා, මුදල් නාස්ති වෙනවා. අධ්‍යාපන වැඩකටයුතු, රැකියාවේ වැඩ, පුද්ගලික වැඩ අතපහු වෙනවා, සමහර වෙලාවට තමන්ගේ පවුල් ජීවිතේ ගැටළුත් මතුවෙනවා.  හැබැයි ගොඩක් දෙනෙක් තමන්ට මේ වගේ ඇබ්බැහියක් තියෙනවා කියන එක පිළිගන්න සූදානම් නෑ. එක්කෝ ඕනම කොල්ලෙක්, ඕනම කෙල්ලෙක් බ්ලූ ෆිල්ම් බලනවා කියයි, නැතිනම් බ්ලූ ෆිල්ම් බලන එකෙන් කාටවත් හානියක් නෑ කියයි, එහෙමත් නැතිනම් ඒක තමන්ගේ අයිතියක් කියයි. ඔය හැම එකක්ම ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි බ්ලූ ෆිල්ම් බලන එක තමන්ට හෝ අනුන්ට ගැටළුවක් වෙන තැනට පත්වෙලා නම් අන්න ඒක පිළිගන්න සූදානම් වෙන්න ඕන. ලෝක තර්ක දාලා ප්‍රශ්නය යට ගහන්නේ නැතුව පිළිගන්න සූදානම් වුනාට පස්සේ පුළුවන් එතනින් එහාට යන්න.

 

3. දහන පෝෂකය ඉවත් කරන්න

Image Source – wikihow.com

ඔව් ඒ කියන්නේ නිල් බැලීමේ ඇබ්බැහිය කියන ගින්න නොනැසී පවතින්න උදවු වෙන නිල් කෑලි කියන ඔක්සිජන් සැපයුම කපාහරින්න ඕන කියන එක තමයි. මේක ටිකක් අසීරු වැඩක්. හැබැයි පටන් ගැන්මට අපි හාඩ් ඩ්‍රයිව් එකට ගිහින් ඒකේ හයිඩ් කරලා සේව් කරලා තියෙන, සිස්ටම් ෆයිල් විදියට රීනේම් කරලා හංගලා තියෙන බ්ලූ ෆිල්ම් ටික එක හුස්මෙන් ඩිලිට් කරලා දාමු. මේක කරන්න හිතහදා ගන්න අමාරුයි. ඇයි දෙයියනේ ගිගාබයිට් කී සීයක ඩවුන්ලෝඩ්ද? කොයි කාලේ ඉඳන් එකතු කරපු වැල ෆිල්ම්ද? හැබැයි මේක කරන්නම වෙනවා ඇබ්බැහිය වළක්වා ගන්න නම්. ඊළඟට හංගලා තියෙන වැල සීඩී ටිකත් කඩලා කුණුගොඩට දාමු. බ්‍රවුසරේ වර්ක් කියලා බුක්මාර්ක් දාලා තියෙන වැල සයිට් ටිකත් ඩිලිට් කරලා දාමු.

දැන් අතට අසුවෙන මායිමේ වැල නෑ. එතකොට අලුතින් වැල ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වුනත් ඒක ටිකාක් විතර කරදරකාරී වැඩක්. ෆෝල්ඩරේ ඕපන් කරපු ගමන් බලනවා වගේ ලේසි නෑ. ඒක නිසා ඇබ්බැහිය ටිකක් දුරට පාලනය වෙනවා. හැබැයි ඉතින් ආයෙ ආයේ ඩවුන්ලෝඩ් කරන්න හිතෙන්න පුලුවන්. ඒ නිසා ඕන නම් අවශ්‍ය මොහොතට විතරක් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක කනෙක්ට් කරනවා වගේ දෙයක් කරන්න පුලුවන්.

 

4. ලින්ක් ප්ලීස්

Image Source – academicintegrity.ucsd.edu

අපි හැමෝටම ඉන්නවනේ අපාය සහාය මිත්තරයෝ. එහෙම අයව මෙතන මෙන්ෂන් කරන්න ඕන නෑ. හැබැයි අහවල් නිළියගේ හිඩ්න් කැම් සීන් එකක් ලීක් වුනාය, අහවල් ක්‍රිකටර්ගේ ලොටොෆ් ජූස් කමින් කියන වැලක් ලීක් වුනාය, අහවල් නංකිගේ කොල්ලා කරපු කැත වැඩේ මෙන්න, වීඩියෝ සහිතයි කියලා එකක් ආවය කියාගෙන හතර අතේ ලින්ක් එවන යාලුවන්ට කියන්න “සොරි බ්‍රෝ, වැල අදින එක නැවැත්තුවා” කියලා. එහෙමත් අහන්නේ නැතිනම් දෙපාරක් නොහිතා යාලුකමෙන් ඈත් කරන්න. මොකද සරලවම කිවුවොත් නිල් කෑල්ලක් බලන එක අවුල්ය කියලා කියන්න බැරි තරම් ඒක සංකීර්ණ කාරණාවක් වුනත්, නිල් කෑලි බලන එක ඇබ්බැහියක් වීම කියන්නේ කිසිසේත්ම සංකීර්ණ නොවෙන අවුලක් නිසා.

 

5. බිව්වේ නැත්තං වෙව්ලනවා බ්‍රෝ!

Image Source – markmanson.net

දැන් ඔය දිවාරාත්‍රී ටෙස්ට් මැච් එකක් වගේ දිනපතා කරපු මත්පැන් පානයෙන් අත්මිදෙන්න උත්සාහ කරන අයට තියෙන ලොකුම අවුලක් තමයි බොන්නෙ නැතුවම හිටියහම වෙව්ලන්න ගන්න එක. එතකොට වෙව්ලිල්ල නවත්තන්න කියලා චුට්ටක් දාගන්නවා. ආන්න ඒ වගේ තමයි නිල් බලන ඇබ්බැහියෙන් මිදෙන්න හදන එකත්. ඔන්න ස්වයං වින්දනේ කරන්න ගියහම කරගන්න බෑ නිල් කෑල්ලක් නැතුව. එතකොට හිතනවා ස්වයං වින්දනේ ජාතික කර්තව්‍යයක් වගේ හින්දා සූටියට නිලක් බලනවා අදට විතරක් කියලා. ආන්න එතන තමයි පුතා වළට වැටෙන මුවවිට තියෙන්නේ. එපා නං එපා. ආයෙ අද විතරයි හෙට නෑ, විනාඩි පහකට විතරයි ආයෙ නෑ වගේ සීන් තමන්වම රවට්ටාගැනිලි විතරයි. ඒ නිසා හිත ශක්තිමත් කරගන්න ඕන ඇබ්බැහිය මැඩපවත්වගන්න.

 

6. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිලුනේ

Image Source – bustle.com

දැන් ඔය ස්වයං වින්දනය හෝ ලිංගික කාර්යය වෙනුවෙන් නිල් බලන්නම ඕනය කියන තැනට ඇබ්බැහි වුණු අය තේරුම් ගන්න ඕන පරම සත්‍යයක් තියෙනවා. ඒ තමයි අපි බොහොම ලේසියෙන් ඇබ්බැහි වලට නතුවෙන සත්තුය කියන එක. සරලවම කියනවා නම් යම් දෙයක් එක දිගටම දවස් ගණනක් කරනකොට අපි පටස් ගාලා ඒකට නතුවෙනවා, ඇබ්බැහි වෙනවා. නිල් බැලිල්ලත් එහෙමයි.

හැබැයි ඕකේ තව හොඳ පැත්තකුත් තියෙනවා. ඇබ්බැහිය කඩාගන්නත් ඔය තියරියම පාවිච්චි කරන්න පුළුවන්. ඒක හැබැයි ඇබ්බැහි වෙනවට වඩා තුන් හතර ගුණයකින් අමාරුයි. ඒත් බැරි නෑ. උදාහරණයක් විදියට කිවුවොත් ස්වයං වින්දනය කරන්න නිල් කෑල්ලක් නැතුව බැරි කෙනෙක්ට පුලුවන් නිල් නැතුව ස්වයං වින්දනය කරන්න. බෑ කියලා හිතුනත් කරන්න. දෙවෙනි තුන්වෙනි හතරවෙනි දවස්වලටත් නිල් නැතුවම දේවල් කරන්න. ආන්න එතකොට ඉතාම ඉක්මනින් ඔය නිල් කෑල්ල නැතුව ස්වයං වින්දනය කරන්න බෑ කියන එක කැඩෙනවා.

 

7. පොළඹවන්නේ කවුරුන්ද?

Image Source – scoopwhoop.com

මේ කියන්නේත් අපේ ඇබ්බැහි ගැනම තමයි. ඒ කියන්නේ මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් නිල් බලන්න ඇබ්බැහි වෙච්ච ඩයල් නිලක් බලන්නේ ලිංගික හැඟීම් පහළ වුන වෙලාවටම විතරක් නෙවෙයි. ඒකට මොකක් හරි ට්‍රිගර් එකක් තියෙනවා. මහන්සි වුනහම, කම්මැලි වුනහම, හිත අප්සට් ගියහම වගේ නොයෙක් දේවල්. ඇත්ත, ස්වයං වින්දනය හෝ ලිංගික එක්වීම කියන දේ සමහර වෙලාවට සිද්ධ වෙන්නෙත් ලිංගික හැඟීම් පහළ වෙන හින්දම නෙවෙයි වෙන්න පුලුවන්. හැබැයි මෙතනදී මහන්සි දැනුනහම නිලක් බලන්නම ඕනය කියන පුරුද්ද තමයි කඩාගන්න ඕන.

ඒකට සාර්ථක ක්‍රමයක් තමයි එහෙම “මහන්සී වගේ, නිලක් බැලුවනම් හොඳයි වගේ” කියලා හිතෙන අවස්ථා වලට වෙනත් කටයුත්තක් කරන එක. ඒක ටීවී සීරීස් එකක් බලන එක වෙන්න පුලුවන්. සිංදුවක් අහන එක වෙන්න පුලුවන්. පොතක් කියවන එක වෙන්න පුලුවන්.

 

8. ජීවිතේ පොඩ්ඩක් වෙනස් කරගන්නත් ඕන

Image Source – everybuckcounts.com

මෙන්න මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි දෙයක්. ජීවිතේ පොඩ්ඩක් ආතල් කරගන්න එක ඕනම ඇබ්බැහියකින් තමන්ව මුදවාගන්න සහායක් වෙනවා. උදාහරණ විදියට ගත්තොත් තමන්ගේ නිදහස් වෙලාවට කරන්න විනෝදාංශයක් දෙකක් තෝරගන්න පුලුවන්. හැබැයි ඒ විනෝදාංශේ නිල් බලන එක නෙවෙයි. සිංදු අහන එක, සිංදු කියන එක, ෆිල්ම් බලන එක, පොත් කියවන එක වගේ ඕන තරම් ආතල් විනෝදාංශ ලෝකේ තියෙනවා.

ඊළඟට කරන්න වුවමනා දේ තමයි තමන්ගේ වැඩ කරන කාලය සහ විවේකී කාලය පැහැදිලිවම බෙදා වෙන් කරගන්න එක. ඒ කියන්නේ මෙහෙමයි. දවසට පැය අටක් වැඩකරනවා නම් දවසට පැය අටක් වැඩ තමයි. වැඩ අතරේ පුංචි පුංචි බ්‍රේක් ගත්තට කාරි නෑ. හැබැයි වැඩ අතරේ පැයේ දෙකේ ආතල් ගන්න වෙලාවක් බෑ. ඉන්පස්සෙ දවසේ වැඩකරන පැය අට ඉවර වුනාට පස්සේ ආයෙමත් වැඩ ගැන හිතන්නත් එපා. ඒ වෙලාවට සිංදුවකට, ෆිල්ම් එකකට, පොතපතකට, විනෝදාංශයකට තියාගන්න.

තුන්වෙනියට තමන්ගේ ජීවිතේට හොඳ ඇබ්බැහියක් දෙකක් එකතුකරගන්න. ජිම් එකට ගිහින් පැයක් දෙකක් සෙල්ලම් කරන එක, දුවන්න යන එක වගේ දේවල් ඉතා හොඳයි.

හතරවෙනියට තමන්ගේ ජීවිතේට හොඳ එකතුකරන පුද්ගලයෝ එකතු කරගන්න. ලින්ක් ඉල්ලන්නේ නැති, ලින්ක් එවන්නේ නැති යාලුවොත් එක්ක සතියකට සැරයක් මුණගැහුනත් කමක් නෑ. ගෙදර අය එක්ක පොඩ්ඩක් වැඩිපුර විවේක කාලය ගත කළාට කමක් නෑ.

 

9. ෂුවර් බඩී කෙනෙක්

Image Source – rd.com

අනික් කාරණාව තමයි තමන්ගේ ළඟම ඉන්න ආදරේ කරන කෙනෙක්ට වුනත්, විශ්වාසවන්තම කෙනෙක්ට වුනත් තමන්ගේ ගැටළුව හෙලි කරන එක. මේක අතිශයින්ම අමාරු වැඩක්. හැබැයි අපි ඒකට තෝරගන්නේ අවංකවම අපිට ආදරේ කරන, අපිව විනිශ්චය නොකරන කෙනෙක් නම් ඒ අය අවංකවම අපිට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න උදවු කරනවා ෂුවර්. විශේෂයෙන්ම විවාහකයෙක් නම් තමන්ගේ පාට්නර් එක්ක මේ ගැන කථා කරන එක අනිවාර්ය දෙයක්. ඒ එක්කම කියන්න ඕන තමන් මේ ඇබ්බැහියෙන් ගොඩ එන්න තදින් උත්සාහ කරන බව. ඒකට එයාලගේ උදවු තමන්ට වුවමනා බව. මෙහෙම විශ්වාසවන්තයෙක් තමන්ගේ ප්‍රශ්නේ දන්නවා කියලා ඔලුවෙ තියෙන එකත්, මේ ඇබ්බැහිය නවත්තාගන්න ඒ අය දෙන සපෝට් එකත් ඇබ්බැහියෙන් ගොඩ එන්න සෑහෙන්න වටිනවා.

 

10. බැරිම නම් උපදේශන සහාය වුනත් කමක් නෑ

Image Source – lawcare.org.uk

සමහර වෙලාවට නිල් බැලීමේ ඇබ්බැහිය දරුණු තත්ත්වෙකට ගිහින් නම් උඩ කිවුව විදියේ උපක්‍රම පාවිච්චි කරලා වැඩේ ගොඩදාගන්න බැරි වෙන්න පුලුවන්. එහෙම වෙලාවකට වෘත්තිය මට්ටමේ උපදේශන සේවාවක් වෙත ගියාට කමක් නෑ. ගිහින් අවංකව කතාබහ කරලා තමන්ගේ ගැටළුවට වෘත්තිය මට්ටමේ උපදේශනය හරහා විසඳුම් හොයාගන්න පුළුවන්.

 

Cover Image Source – videoblocks.com/ wireowl .com

 

 

One response to “බ්ලූ ෆිල්ම් ඇබ්බැහියෙන් මිදෙන්න උදවු වෙන කාරණා 10ක්!”

  1. […] වෙන්න පුළුවන් ලොකුම පාඩුව තමයි මේ. පෝර්න් බලන්න පුරුදු වුණු කෙනෙක්‍ට දන්නේම නැතුව ඩේටාවලින් වැඩි හරියක් […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *