LGBTIQ චරිත ඇතුළත් ලංකාවේ සාහිත්‍ය නිර්මාණ

පහුගිය දවස්වල දේශපාලන ලෝකේ ඇති වෙච්ච කතාබස් නිසා LGBTIQ ගැන කතාබහ අලුත් වටයකින් ආරම්භ වෙලා තියෙනවා. ලිංගික නැමියාව අනුව මිනිසුන් පහත් කොට සැලකීම ශිෂ්ටසම්පන්න සමාජයකදි ප්‍රතික්ෂේප වෙන්න ඕන දෙයක්. ඒත් අවාසනාවකට ලංකාව ඇතුළේ තවමත් සමලිංගිකත්වය ගැන බොහෝ දෙනා බලන්නේ සහ කතාබස් කරන්නේ වපර ඇහැකින්. ඒත් ලංකාවේ සාහිත්‍ය නිර්මාණ තුළදී සමරිසි චරිත අපට මුණ ගැහෙනවා. බොහෝවිට මේ සාහිත්‍ය නිර්මාණවලදි සමකාමී පුද්ගලයන් දිහා බලලා තියෙන්නේ කාරුණික ඇසකින් වීම සතුටට කරුණක්. පැරැණි සාහිත්‍යය තුළ දී අපට සමකාමී චරිත සෘජුවම මුණ ගැහෙන්නේ නෑ. නමුත් ඇතැම් කතා වස්තුවල එවැනි ඉඟි දැක්වෙනවා. ඇතැමුන්ට අනුව පඤ්ච නාරි කැටයම්වලින් නිරූපණය වෙන්නේ ස්ත්‍රී සමලිංගික සේවනය. සමරිසි චරිත අපිට නවකතාවලින් මුණ ගැහෙන්න පටන්ගන්නේ 1950 න් පස්සේ. අපි දැන් එවැනි සාහිත්‍ය නිර්මාණ කීපයක් පිළිබඳව විමසා බලමු

 

1. යළි උපන්නෙමි – ගුණදාස අමරසේකර

Image Source – Lifie Graphics

ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ පළවෙනි නවකතාව “යළි උපන්නෙමි”. ඒ නවකතාවේ ප්‍රධාන චරිතය රණතුංග. මේ නවකතාව ඇතුළේ රණතුංගගේ චරිතය නිරූපණය කරලා තියෙන්නේ අසාමාන්‍ය ලිංගික චර්යාවලට යොමු වුණු කෙනෙක් විදිහට. උදාහරණයක් විදිහට රණතුංග තමන්ගේ මධු සමය තුළදී පවා බිරිඳව මග ඇරලා පිරිමි දරුවෙකු සමග සමලිංගික සේවනයේ යෙදෙනවා. මේ නවකතාව තුළ රණතුංග තමන්ගේ මව පිළිබඳවත් කාමුක අදහස් ඇති කරගත්තා කියලා සඳහන් වුණු නිසා ඊට දැඩි විරෝධයක් රට ඇතුළේ පැන නැගුණා. සමහර පළාත්වල මේ නවකතාව ගිනි තියන්නත් සාමාන්‍ය ජනතාව කටයුතු කළා. නමුත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා මේ නවකතාව ඉතා ඉහළින් වර්ණනා කළා. ඇතැම් අය නම් කියන්නේ ගුණදාස අමරසේකර මහතා තමන්ගේ හිතවතෙක් වුණු නිසා සරච්චන්ද්‍ර මහත්තයා එහෙම කළා කියලා. කොහොම වුණත්  ඊට දශක කීපයකට පස්සේ අමරසේකර මහත්තයා තමන්ගේ මුල් පොත් නිසරු නවකතා විදිහට බැහැර කරනු ලබනවා. ඒ වගේම යළි උපන්නෙමි නැවත මුද්‍රණය කරන්නේ නෑ කියලත් එතුමා ප්‍රකාශ කරලා තියෙනවා.

 

2. හෙවණැලි ඇද මිනිස්සු – සුනන්ද මහේන්ද්‍ර

Image Source – Lifie Graphics

1964 වර්ෂයේ නිකුත් වුණු හෙවණැලි ඇද මිනිස්සු ඒ වසරේ හොඳම නවකතාව විදිහටත් සම්මාන ලබා ගන්නවා. මේ නවකතාවේ ප්‍රධාන චරිතය වික්ටර්. ඔහුත් සමකාමි නැඹුරුවක් තිබ්බ පුද්ගලයෙක්. මේ වෙනකොට ලිංගිකත්වය විශ්ලේෂණය කරන නවකතා රැල්ලක් ගොඩ නැගෙමින් පවතින කාලයක්. මාර්ටින් වික්‍රමසිංහ මහතා “සිංහල නවකතාව සහ ජපන් කාමකතා සෙවණැල්ල” කියලා පොතක් ලියලා “යළි උපන්නෙමි” , “හෙවණැලි  ඇද මිනිස්සු” වගේ පොත් දැඩිව විවේචනය කරනවා. 1980 දී පරාක්‍රම ද සිල්වා “හෙවණැලි ඇද මිනිස්සු” චිත්‍රපටියක් බවට පත් කරනවා. මෙහිදී වික්ටර්ගේ චරිතය නිරූපණය කරන්නේ පස්සේ කාලෙක සම්මානනීය සිනමාකරුවෙකු බවට පත්වෙන “ධර්මසිරි බණ්ඩාරනායක”.

 

3. චරිත තුනක් – කේ. ජයතිලක

Image Source – goodreads.com

මේ නවකතාවේ නමයි කතුවරයාගේ නමයි දැක්කම ඔයාට පුදුම හිතෙන්නත් ඇති. ඒත් ඔව්, චරිත තුනක් නවකතාවේ එවැනි සිදුවීමක් තියෙනවා. නවකතාවේ ප්‍රධාන චරිතය වෙන ඉසා සහ ඔහුගේ යාළුවෙක් අතර සිදුවන ලිංගික සම්බන්ධතාවයක් ගැන කතුවරයා කෙටි විස්තරයක් කරනවා. ඒ වගේම ඇලේ නාන අවස්ථාවකත් ඔහුට දැනුණු හැඟීම් විස්තර කරනවා. නමුත් ඉසාගේ සමලිංගික නිරූපණය කරලා තියෙන්නේ ඔහුගේ ගැටවර වියේ පමණයි. වැඩිහිටියෙක් බවට පත්වෙද්දි ඔහු ලලිතා කෙරෙහි ප්‍රේමයක් ඇති කරගන්නවා. ඒත් අවාසනාවකට වගේ ඒ ප්‍රේමය සාර්ථක වෙන්නේ නෑ. චරිත තුනක් ඇසුරින් නිපදවුණු ටෙලි නාට්‍යයේ මේ සිදුවීම් නිරූපණය වුණේ නෑ. ඒ වගේම චරිත තුනක් නවකතාවේ කොටසක් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල සාහිත්‍ය පෙළ පොතට ඇතුළත් වුණා. එහිදී ලිංගික ක්‍රියාකාරකමක් ගැන කියවුණු කොටස ඉවත් කරලා නාන සිදුවීම පමණක් ඉතිරි කරලා තිබ්බා. “යළි උපන්නෙමි” සහ “හෙවණැලි ඇද මිනිස්සු” අද මුද්‍රණයේ නැති වුණත් චරිත තුනක් නවකතාව සුලබ පොතක්.

 

4. ගිරය – පුණ්‍යකාන්ති විජේනායක

මේ නවකතාව ගැන කියද්දිත් ඔයා පුදුම වුණා කියන එක ෂුවර්. මොකද ඔයාට ගිරය කිව්වම මතක් වෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා අධ්‍යක්ෂණය කරපු ගිරය ටෙලි නාට්‍යයේ ලුසීහාමි විදිහට අතිවිශිෂ්ට රංගනයක නිරත වුණු ට්‍රිලීෂියා ගුණවර්ධන මැතිනිය වෙන්න පුළුවන්. ඒත් ගිරය ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය කාමිණි (වසන්ති චතුරානි චරිතය නිරූපණය කළේ) කියලා ඔයාට මතක ඇති. ටෙලි නාට්‍යයේ විදිහට කාමිණිගේ ස්වාමිෂුරුෂයා වුණු ලාල් (ලාල්ගේ චරිතය නිරූපණය කළේ පීටර් ඩී අල්මේදා) දරුණු රෝගයකින් පෙලෙනවා. ඒ නිසා ඔවුන්ගේ විවාහ ජීවිතය අර්බුදයට යනවා. ඒත් ගිරය ටෙලිනාට්‍යයට පාදක වුණු ගිරය නවකතාවෙදි ලාල්ව නිරූපණය වෙන්නේ සමකාමි පුරුෂයෙක් විදිහට. ඔහුගේ ඒ ස්වභාවය නවකතාව අවසානයේදි හෙළි කරනවා. නමුත් ගිරය ටෙලි නාට්‍යයේ තිර රචකයා වුණු සෝමවීර සේනානායක මහත්තයා එවැන්නක් නිරූපණය කිරීම එවකට අපේ සමාජයට ගැලපෙන්නේ නෑ කියලා නිගමනය කරලා ලාල් දරුණු රෝගයකින් පෙළෙන අයෙක් බවට පත් කරනවා.

 

5. Funny Boy – ශ්‍යාම් සෙල්වදොරෙයි

ශ්‍යාම් සෙල්වදොරෙයි මේ වෙනකොට කැනඩාවේ පුරවැසියෙක්. නමුත් ශ්‍යාම් 1983 ජාතිවාදී ගැටුම්වල ප්‍රතිඵලය විදිහට අපේ රට හැරගිය අයෙක්. ඔහු ෆනී බෝයි සඳහා පාදක කරගන්නේ අර්ජි නම් දමිළ දරුවෙක්. ඔහු තමන්ගේ ලිංගික නැමියාව හඳුනගන්නා ආකාරය නවකතාවේ තැන් කීපයක විස්තර වෙනවා. තමන්ගේ පංතියේ සගයෙකු සමග ඔහු ලිංගික ඇසුරකට පෙලඹෙනවා. මේ නවකතාව සිංහල පාඨකයාටත් කියවන්න පුළුවන්. ඒ ප්‍රවීණ නාට්‍යවේදී සහ පරිවර්තක සුගතපාල ද සිල්වා මහත්තයාගේ පරිවර්තනයක් විදිහට “අමුතු ඉලන්දාරියා” කියන නමින්.

 

6. පණ්ඩක පුත්‍ර වස්තුව – අනුරසිරි හෙට්ටිගේ

2017 ෆෙයාර් වේ සම්මාන උලළේදී හොඳම නවකතාව විදිහට සම්මාන දිනා ගන්නේ පණ්ඩක පුත්‍ර වස්තුව. මෙය LGBTIQ නවකතාවකට මෙරටදී ලැබුණු ඉහළම පිළිගැනීම කියලා අපිට සලකන්න පුළුවන්. සිරිමල් හෙවත් ශේන්යා මේ නවකතාවේ ප්‍රධාන චරිතය වෙනවා. ඔහු පිරිමියෙකු ලෙස උප්පැන්න සහතිකයේ සඳහන් වුණත් ඔහුගේ ශරීරයේ අභ්‍යන්තරයේ ඉන්නේ ගැහැනියක්. ගැහැනියක් විදිහට කතාබහ කරන්න සහ ඒ අයුරින් අඳින්න පලඳින්න සිරිමල් පෙලඹෙනවා. ඔහු සමාජය සමග කරන ගනුදෙනු මේ නවකතාවෙන් විස්තර කෙරෙනවා.

 

7. අංගනා – ශාන්ති දිසානායක

මේ ලැයිස්තුවේ අපි මෙතෙක් වෙනකල් කතා කළේ සමරිසි පිරිමි චරිත ඇතුළත් නවකතා ගැන. ශාන්ති දිසානායක ලියන මේ නවකතාවට පාදක කරගන්නේ සංක්‍රාන්ති ලිංගික පුරුෂයෙක්. ඔහුගේ නම සේපාල. ගමක ඉපදෙන සේපාලට තමන්ගේ ලිංගිකත්වය නිසා ගම හැර යන්න වෙන විදිහත්, ඒ නිසා ඇතිවෙන කටුක අත්දැකීමුත් මේ නවකතාවේ විස්තර කෙරෙනවා. කොහොම වුණත් නවකතාව ඉවර වෙන්නේ එක්තරා විදිහක සතුටුදායක ආකාරයකට.

 

මේ නවකතා ලැයිස්තුවට අමතරව කේ.කේ සමන් කුමාරගේ “අර්ධනාරී” සහ අනුර වික්‍රමසිංහගේ “භවන්කුණ්ඩය” මේ තේමාවම සහිත නවකතා. ඒ වගේම සේපාලී මායාදුන්නේ මැතිනිය රචනා කරපු “මහාසාමි” නවකතාවේදී ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා සමරිසි නැඹුරුවක් දක්වපු කෙනෙක් විදිහට නිරූපණය කරලා තියෙනවා.

 

 

zvr
Your Reaction

Comments