සමනළ අඩවිය රිසිසේ විඳගන්නට ලැබෙන අවාරේ සිරිපා ගමන

ශ්‍රීපාදස්ථානය වැඳපුදාගැනීම කියන්නේ බෞද්ධයින්ට වටිනාම පින්කමක්. බුදුන් වහන්සේ ලංකාවට වැඩි තුන් වන අවස්ථාවේදී සමන්ත කූඨ පර්වතය මුදුනේ සිරිපා සලකුණු තැබූ බව පොත පතේ සඳහන් වෙනවා. මේ ශ්‍රීපාද කන්ද සිද්ධස්ථානයක් විතරක්ම නෙමෙයි, හරිම ලස්සන පරිසරයක් සිරිපාද කන්ද අවට බලාගන්න තියෙනවා. සමනල රක්ෂිතය ජෛව විවිධත්වය අතින් දෙවැනි වන්නේ සිංහරාජයට පමණයි. ඉහළින් බැලූ කල පේන මනරම් කඳුකර දසුන් පෙළත් සිරිපා ගමනේදී බැතිමතුන්ට හමු වෙනවා.

 

 

1. සිරිපා සමය සහ අවාරේ

Image Source – Amila Chaturanga

සිරිපා සමය දෙසැම්බර් පෝයෙන් පටන් ගන්නා අතර වෙසක් පෝයෙන් අවසාන වෙනවා. මේ සමය ආසන්නව මාස 6ක කාලයක්. ඉතුරු මාස හයේ සිරිපාදේ අවාරේ. අවාරේට සිරිපාදේ උඩ මලුවේ දොරවල් වහනවා. වැඩිදෙනෙක් යන්නේත් නැහැ. ඒ වගේම කඩ සල්පිල් ආදියත් නැහැ. යනවා නම් සියලු සැපයුම් අරගෙන යන්නත් ඕනා. බොන වතුර පවා සොයාගන්න අමාරුයි. ඒත් සිරිපාදේ අවාරේත් කට්ටිය යනවා. අවාරේ යන අයට සිරිපාදේ වැඳපුදාගන්න බැරිවුනත්, හොඳ සොබාදහම් චාරිකාවක අත්දැකීමක් නම් ලැබෙනවා.

 

2. සිරිපා යන මාර්ග

Image Source – Amila Chaturanga

ශ්‍රී පාදයට යන්නට තියෙන කෙටිම සහ පහසුම මාර්ගය වෙන්නේ හැටන් නල්ලතන්නි මාර්ගය. මරේ වත්තෙන් ඉහළට ගිහින් රාජමලෙන් නගින පාරත් හැටන් පාරේ මහගිරිදඹේට එකතු වෙනවා. ඒ රාජමලේ පාරේදි සඳගලතැන්න කියලා ලස්සන තැනිතලාවකුත් හමු වෙනවා. මේ රාජමලේ සඳගලතැන්න පාර පඩිපේළි නැහැ. අවසානයේ පෑ දෙක තුනක ගමන ඉවරවෙලා අපිට හැටන් පාරේ පඩිපෙල් හමුවෙනකල් වනය මැදින් තමයි ගමන් කරන්න තියෙන්නේ. රත්නපුර පාරේ පලාබද්දලට එනකොට හැටන් පාරට වඩා ගොඩක් දුරයි. ඒත් ඒ පාරේ තියෙන කැළෑ පරිසරය වැඩියි. කුරුවිට පාරෙත් පඩිපේලි නැහැ. දැරණියගල උඩමාලිබොඩින් ඇවිත් කුරුවිට පාරට සෙට් වෙන්න කැලෑ පාරක් තියෙනවා. ඒත් අවාරේදි ඒ පාරෙ යන එක ටිකක් හරි මදි. මොකද උඩමාලිබොඩ පාරේ දොළ පාරක් තියෙනවා. සිරිපා ඉමට හොඳට ගලන්න වැස්සොත් ඒකෙන් එතෙර වෙන්න බැරිවෙනවා.

 

3. අවාරේ එන බාධා

Image Source – Amila Chaturanga

අවාරේ සිරිපා යනවා නම් වැස්සට ලක ලෑස්ති වෙලා යන්නට ඕනා. ඒ වගේම යම් බාධාවක් වුනොත් කිසි අවුලක් නැතිව හැරිලා එන්නත් හිත හදාගන්න ඕනා. රත්නපුර කුරුවිට උඩමාලිබොඩ පාරවල් වල අතරමග ජල පාරවල් හමු වෙනවා. උඩහට වැහැලා ඒවා උතුරන්න ගත්තොත් ගමන නවත්වලා එන එක තමයි කරන්න වෙන්නේ. කූඩැල්ලෝ පහළ ඉඳන්ම ඉන්නවා. පලාබද්දල පන්සල පැනලා දොළ පාරට ආව ගමන් කූඩැල්ලෝ සෙට් වෙනවා අවාරේට. අවාරේ යද්දි වැස්සට නොතෙමි යන්න කුඩ හරි එහෙම නැතිනම් රේන් කෝට් හරි අරගෙන යන්න ඕනා. වැස්සොත් ඒකට හරියන්න සපත්තු, කලිසම්, ඇඳුම් එහෙමත් අරන් යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම රෑ නවතින්න තැන් තිබුනත් සීතල අමතක කරන්න එපා. සීතලට පොරවගන්න පොරෝනා, ජැකට් එහෙමත් ගෙනියන්න ඕනා. කෑම බීම කඩ නැහැ. ඒ නිසා කෑම බීම සියලු දේ මල්ලේ දාගෙන ගමන පටන් ගන්න  ඕනා.

 

4. අවාරේ දකින්න ලැබෙන දේවල්

Image Source – Amila Chaturanga

අවාරේදී “අග්ගලකන් ඩෝම් පුතා” කියලා බාධා කරන්න කවුරුත් නැහැ. ඒ වගේම “එන්ඩෝ අපෙනුත් දොදොල් ගන්නෝ, අපෙන් බූන්දි ගන්ඩෝ, මේ රොටී කන්ඩෝ” කියලා කෑ ගහන්න පිරිසකුත් අවාරේදි නැහැ. කෑම බීම කර තියන් යන්න වුනත්, හරිම නිවිහැනහිල්ලේ ගිහින් එන්න පුළුවන් අවාරේ ගමන. පඩිපෙල් තිබුනත් පඩිපේලි වැහෙන්න තරම් බැද්ද සහ කැලේ ඇවිත් තියෙනවා. ඒ වගේම කුරුල්ලෝ සහ ඉතාම කලාතුරකින් ලොකු සිව්පා සතුන් පඩිපෙල් වලට ඇවිත් බයනැතුව ඉන්නවා පේනවා.

 

5. අවාරේදි ගමන් පහසුව

Image Source – Amila Chaturanga

නල්ලතන්නියටම බස් අඩු ඇති. ඒත් මස්කෙළියට හැටන් ඉඳන් බස් තියෙනවා. එතැන ඉඳලා පොඩි මිනි වෑන් එකක නල්ලතන්නියට හෝ මරේ වත්තට එන්න හැකියාව තියෙනවා. අනෙක් පැත්තෙන් රත්නපුර, සිරිපාගම, පලාබද්දල පැත්තේ නම් පැය බාගෙන් බාගෙට බස් තියෙනවා. මේ අවාරේ ගමනෙදි ගමනට එකතු කරගන්න පිරිස කලින් කිහිප වතාවක් සිරිපා කරුණා කරපු අය වෙන එක වැදගත්. කඳු ගමනකට ඔරොත්තු නොදෙන සරීර එක්ක අවාරේදි සිරිපා ගමන ලේසි නැහැ.

 

6. නොකළ යුතු දෑ

Image Source – Amila Chaturanga

සිරිපා සමය සහ අවාරේ කියලා වෙනසක් තියෙන්න හේතු තියෙනවා. ඒ තමයි සිරිපාදේ වැසි කාලය එලැඹෙන්නේ අවාරේ. අනෙක සිරිපා වනයේ සිටින සතා සීපාවන්ට විවේකයක් ලැබෙන්නේ මේ අවාරේ. ඉතින් අවාරේ සිරිපා යනවා නම් පාඩුවේ වැඩි සද්ද බද්දයක් නැතුව, සතුන්ට කරදරයක් නැතුව යන්නට ඕනා. ඒ වගේම තමුන් ගෙනියන කිසිම දෙයක් ආයේ ඒ වනාන්තර පරිසරයට එකතු කරන්නත් හොඳ නැහැ. ඇතැම් අය පොලිතින් ප්ලාස්ටික් එහෙමත් කන්දේ උඩ හරියෙම දාල එනවා. ඒත් ඒවා සුන්දර පරිසරයට ගෙන එන්නේ ලොකු බාධාවක්. ඒ නිසා අවාරේ ගියත් කසල සහ ඉවතලන සියලු දේ නැවත සිරිපා මායිමෙන් එළියට රැගෙන ඒම කරන්නට ඕනා. ඒ වගේම උඩ මලුව අවාරේදි පෝයට හැර වෙනත් දවස්වලට විවෘත කරන්නේ නැහැ. අපි හොඳටම දන්නවානේ අපි යන්නේ අවාරේ බව. ඒ නිසා එතැන මළුවේ ගේට්ටුව උඩින් පැනලා සිරිපා පන්සලේ ඉන්න අය සමග රණ්ඩු දබර කරගෙන, සිද්ධස්ථානයට නොගැලපෙන වනචාරී විදියට හැසිරෙන්නටත් එපා. සිද්ධස්ථානයක් කියන්නේ දහස් ගණන් පිරිස වඳින පුදන තැනක්. ඇතැම්විට කිසිවෙකු අවාරේ එතැන නැතිවුනත්, ඒ තැන ගෞරවය ආරක්ෂා වන පරිදි යන අය වැඩ කරන්න ඕනා.

 

7. අවාරේට සැරසී යෑම

Image Source – Amila Chaturanga

අවාරේ උඩ මහගිරිදඹේදී තදින් සුළං හමන අවස්ථා වාර්තා වෙනවා. අවාරේ සිරිපා ඉමට වැටෙන වැස්ස විටෙකදී බොහෝම දරුණුයි. අවාර ගමනේදී පඩිපෙලේ වතුර ගලාගෙන යන්නේ කුඩා දිය ඇලි වගේ. කූඩැල්ලන් සහ කුඩා කෘමි සතුන්ද වැඩියි. තැනෙක පඩිපෙල් මත ද ඝන කැලෑව. වාරේදී මෙන් හොඳ නවාතැන්පොලවල් අවාරේදී නැහැ. අවාරයට රාත්‍රියේදී විදුලි ආලෝකය නැහැ. මෙවැනි අත්දැකීම් රැසකට සැරසී තමයි අවාරේ ගමන යන්න වෙන්නේ. එක් අතකින් අවාරේ ගමන කදිම ඇඩ්වෙන්චර් චාරිකාවක්. අනෙක් අතින් එය අලුත් අත්දැකීමක්. මත්පැන්, මත්ද්‍රව්‍ය වලින් ඈත් වී මේ සිරිපා ඉම තරණය කළ යුතුයි. මන්ද හොඳ සිහියෙන් සිටියදී පවා අපහසු මෙවැනි ගමන් අවසිහියෙන් යෑම කරදර වලට අතවැනීමකි.

 

රත්නපුර මාර්ගයේ පමණක් පඩි 9,100ට වැඩි ප්‍රමාණයක් තිබේ. හැටන් මාර්ගයේ එයින් අඩක්, එනම් පඩි හාරදාහක් හෝ තිබෙන්නට හැකිය. මේ පඩිපෙල්, අත්වැල් තිබීම කොයි කලක වුවත් සිරිපා ගමනට දිරියකි. සිරිපා ගමන පහසුවෙන් යන්නට අපේම බැතිමතුන්, මුතුන් මිත්තන් සිරිපා සමයේදී බෙහෝ පහසුකම් තනා දී තිබේ. එහෙත් හොඳට සැරසී, ලක ලෑස්ති වී ඒ පාරේම අවාරයටද සිරිපා කරුණාව කළ හැකිය. සමන් දෙවි අනුහසින් සිරිපා කරුණා කරන පරිසරයට ලැදි පිරිස් කලාතුරකින් අවාරේදීද සිරිපා මගේදී හමු වේ.

Cover Image Source – steemit.com/ travelledpaths.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *