නිවැසියන්ගේ නිරෝගිකම සුරකින ගමන් රස නහරත් පිනවන මුළුතැන්ගෙය, ගෙදරක හදවත විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අරපිරිමැස්ම කියන දේ හොඳටම ක්‍රියාත්මක කරන්න පුළුවන් සහ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යම තැනත් මුළුතැන්ගෙයම තමයි. නිවසක මොන කොටස අත් හැරදාලා ජීවත් උනත් මුළුතැන්ගෙය එහෙමත් නැතිනම් කුස්සිය එහෙම අතාරින්න පුළුවන් තැනක් නොවීම තමයි මෙයට හේතුව. ලයිෆි අපි අද මේ ලිපියෙන් කතා කරන්නේ ගෙදර වියදම මුළුතැන්ගෙයින් අඩු කරගන්න උදවු වෙන ටිප්ස් ටිකක් ගැන.
1. බඩු ලිස්ට් එක

Image Source – tlc.com
මේ දේ තමයි මූලිකම කරුණ. ඒ වගේම බොහෝ දෙනෙක් දැනටත් මේක අනුගමනය කරනවා. කුස්සියේ උයන පිහන ද්‍රව්‍ය ඉවරවෙන, ඉවරවෙන සැරේට ටික ටික මිලට නොගෙන, මාසෙකට සරිලන ප්‍රමාණය එක සැරේ මිලදී ගන්න. අනපේක්ෂිත සහ අනවශ්‍ය වියදම් මෙයින් මගහැරෙනවා. මාසයක් දෙකක් තිස්සේ යන මුළු වියදම ගණනය කරලා වැටුප ගත්ත ගමන් “ආහාර වියදම්” කියලා ගාණක් වෙන් කරගන්න.
2. අත්‍යාවශ්‍ය සහ අනවශ්‍ය

Image Source – rutherfordsource.com
සමහර ගෙවල්වල පැන්ට්‍රි කබඩ් ඇතුළේ කල් ඉකුත් වුණ විවිධ ආහාර අමුද්‍රව්‍ය පිරි පැකට් වර්ග බොහෝමයක් තියෙනවා. මේකට හේතුව තමයි දකින දකින දේවල් ප්‍රයෝජනයට ගත්තත් නැතත් ආසාවට මිලට ගැනීම. අත්‍යවශ්‍ය භාණ්ඩවලට මුල් තැන දෙන්න. නිතර ඉවුම් පිහුම්වලට භාවිතා නොවෙන ද්‍රව්‍ය සීමා සහිත කරගන්න. කෙටියෙන්ම කියනවනම් කොච්චර සල්ලි තිබුනත් දෙයක් මිලට ගන්නකොට තමන් ඒ දේ ප්‍රයෝජනයට ගන්නවද කියන දේ අවංකවම හිතලා මතලා මිලට ගන්න.
3. අරපිරිමැස්ම

Image Source – chefsteps.com
ආහාර පිළියෙල කරනකොට හට්ටි පිටින් විසි කරන ප්‍රමාණයට පිළියෙල නොකර නිවැසියන්ට අවශ්‍ය තරමට පිසගන්න. ෆ්‍රිජ් එකේ දාගෙන උනත් කන්න පුළුවන් සීමාවක් තියෙන නිසාත් දවසේ වේල් තුනටම එකම දේ අහාරයට ගන්න අපහසු නිසාත් තරම දැනගෙන උයන එක තමයි හොඳම දේ. එහෙමත් නැත්තන් ඉතුරු වුණ ආහාර නියමිත විදියට, සුදුසු භාජනවල අසුරගෙන අධිශීතකරණයේ තබලා පසුව ප්‍රයෝජනයට ගන්නත් හැකියාව තියෙනවා. එහෙමත් නැත්තන් ඉතුරුවුණ බත්, ඉඳිආප්ප, පිට්ටු වගේ දේවලින් වෙනත් ආහාර වර්ග, අතුරුපස වර්ග හදන විදියත් වැඩිහිටියෙකුගෙන් වගේම අන්තර්ජාලය ඇසුරෙන් වුනත් ඉගෙනගන්න පුළුවන්කම තියෙනවා. සේදුම් දියර පවා අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමෙන් ඔබට කුඩා හෝ මුදලක් ඉතුරු කරගැනීමේ හැකියාව තියෙනවා. මාස කීපයක් මෙය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඔබට එහි වටිනාකම වටහාගැනීමට හැකියාව ලැබේවි.
4. ගබඩා කිරීම

Image Source – momwithaprep.com
ආහාර ද්‍රව්‍ය මිලට ගන්න කලින් කල් ඉකුත් වීමේ දින හොඳින් පරික්ෂා කිරීම අත්‍යවශ්‍යයි. මිලදී ගත්ත අහාර ද්‍රව්‍ය ඒ ඒ දෑ වෙනුවෙන් අදාළ ලෙස හුළං නොවදින විදියට ඇසිරීම, ශීතකරණයේ දැමීම, හිරු එළිය නොවැටෙන සේ තැබීම සිද්ධ කරන්න වෙනවා. කල් ඉකුත් වීමේ දිනයන් අමතක වීමේ අවදානමක් තියෙනවනම් කාඩ්බෝර්ඩ් අසුරනවල ඒ දිනය සඳහන් කොටස කපා අදාළ බෝතලයේ ඇළවීමේ හැකියාව ඔබට තියෙනවා. කෘමි සතුන් නොයෙන ආකාරයට භාජනවල ඇසිරූ සහල් සහ ඇට වර්ගත්, නරක් නොවෙන ආකාරයට සෝදා පිරිසිදු කර කඩදාසි සහ පොලිතින් බෑග්වල ඇසිරූ එළවලු, පළතුරු, පළා යනාදිය ශීතකරණයේත්, සෝදා එක් එක් වේලට අවශ්‍ය ප්‍රමාණයට වෙන් කළ මස් මාළු අධි ශීතකරණයේත් ඇසිරීමෙන් අපතේ යෑම වළක්වා ගැනීමට හැකි වේවි.
5. කඩ කෑම

Image Source – bbc.com
මුළුතැන්ගෙය කියන්නේ භාවිතයෙන් ඉවත්කරන්න බැරි කොටසක් වගේම, රසයෙන් සහ පෝෂණයෙන් පිරුණු ආහාර වේලක් කියන්නේත් එක්තරා අකාරයට ශරීරයට ඖෂධයක්ද වෙන දෙයක්. නිතර නිතර කඩ කෑමට හුරු වීම තුළින්, ඔබ වෙන්කළ “ආහාර වියදම්” මුදල ඉක්මනින්ම වාෂ්ප වීම පමණක් නොව ශරීරයට ඖෂධයකුත් අහිමි වෙන අතරේ පසුකාලීනව නොයෙකුත් ලෙඩ රෝගවලටත් කරන ආරාධනයක් වෙනවා. තුන් වේලටම ආහාර සැකසීම අපහසු කරුණක් නම්, කල්තබා ගත හැකි ආහාර වැඩිපුර සකසා ඒවා නිසි පරිදි අසුරා තබා පසුව භාවිතයට ගැනීමෙන් එම ගැටළුව මගහරවා ගැනීමේ පුළුවන්කම තියෙනවා. බොහෝ අතුරුපස වර්ග, රස කැවිලි සහ විශාල මුදලක් වැය කිරීමට වන බේකරි නිෂ්පාදන, පීසා වැනි ආහාර වර්ග පවා එම රසවලටම අඩු පිරිවැයකින් නිවසේදී පිළියෙල කරගැනීමේ හැකියාව තියෙනවා. මුහුණුපොතේ ඇති ආහාර සම්බන්ධ සමූහයන්ට එක් වීමෙන් මේ සම්බන්ධ බොහෝ දැනුම ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා වගේම ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන යූටියුබ් චැනල් පවා දැකගත හැකියි.
6. වවන්නෝ දිනන්නෝ

Image Source – saga.co.uk
“වවන්නෝ දිනන්නෝ ” කියලා පැරැන්නෝ කියලා තියෙන්නෙ කට කහනවට නෙවෙයි කියලා බඩු මිල දැක්කම ඕනි කෙනෙක්ට වැටහෙනවා ඇති. බොහෝ එළවලු සහ පළතුරුවලට පුෂ්පය කියන අවධියේදී පවා කෘමි නාශක යොදන බව ප්‍රසිද්ධ කාරණයක්. පළා වර්ගවලට මෙය වැඩිමනත් අදාළයි. කිසියම් මුදලක් වැය කරලා වස ගුළාවක් මිලට ගන්නවා වෙනුවට මේ දේවල් හැකි ආකාරයට නිවසේ වගා කරගතහොත් අවම වශයෙන් නිවසේ සිටින කුඩා දරුවෙකුට හෝ වසෙන් විසෙන් තොර ආහාර වේලක් දීමේ හැකියාව ලැබෙන අතරම “ආහාර වියදම්” වලින් යම් මුදලක් ඉතුරු කරගැනීමේ හැකියාවද ලැබේවි.
7. කැඩුණු බඩු

Image Source – lassifieds.usatoday.com
ෆ්‍රිජ්, බ්ලෙන්ඩර්, ටෝස්ටර් වගේ විදුලි උපකරණ මේ වෙනකොට බොහෝ නිවාසවල භාවිතයට ගැනෙනවා. කාර්යබහුල ගෘහණියෝ පොල් ටික පවා බ්ලෙන්ඩරයට දමා මිරිකාගැනීමට පුරුදුවෙලා. විශේෂයෙන්ම ශීතකරණය පැය 24 ම ක්‍රියාත්මක වන උපකරණයක් බවට පත්වෙලා. නමුත් මෙවැනි උපකරණවල ඇති වෙන සුළු දෝෂයක් නිසා, එය විදුලි බිල ඔබට සිතාගත නොහැකි අයුරින් විශාල වශයෙන් ඉහළ යෑමට හේතුවක් වෙන්නට ඉඩ තිබෙනවා. මුළුතැන්ගෙයි භාවිතා වන විදුලි උපකරණ ඇතුළුව නිවසේ ඇති අනෙකුත් විදුලි උපකරණත් නිසි කලට අළුත්වැඩියා කරගනිමින් පරිස්සමෙන් භාවිතා කරගැනීමෙන් මාසික විදුලි බිල අවම මට්ටමක පවත්වාගැනීමේ හැකියාව ඔබටත් ලැබේවි.
Cover Image Source – videoblocks.com
Leave a Reply