ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ෂොපින් ගියත් වයිෆ් එක්ක ෂොපින් යන එකනං වහක්. මේක සමස්ථ ලංකා පීඩාවට පත් ස්වාමිපුරුෂයන්ගෙ සංගමේ මූලික ප්‍රකාශනවලින් එකක්. ඇයි මනුස්සයො, ගිහිල්ලා බ්‍රා අස්සෙ කැරකි කැරකි ඉන්න ඕන, අනිත් ගෑණු ගොඩක් ඉඳිද්දි ඒ අය දිහා බලන්නැතුව ඉන්නෝනෙ, හෑන්ඩ් බෑග් එක අල්ලගෙන ඉන්න ඕනෙ, ෆිටෝන් කරන ඇඳුමෙන් ඇඳුමට ලස්සනද නැද්ද කියන්නෝනෙ, වයිෆ්ගෙ යාලුවො මුණගැහුනොත් උන් එක්කත් බොරුවට හායි බායි ගගා ඉන්නෝන, එයා ගත්තු ඇඳුම් ටික අරගෙන කැෂියර් ගාවට යන අතරෙ ගන්නෙ නෑ කියල හිතන ඇඳුම් ටික ආයෙත් ෂෙල්ෆ්වල එල්ලන්න යන්නෝන වගේ දාහකුත් එකක් හේතු නිසා හස්බන්ඩ් කෙනෙක් වයිෆ් එක්ක ෂොපින් යන්න කැමති නෑ. හැබැයි කැමති නෑ කියල බෑ ඒ අය එක්කගෙන යනවනෙ බලෙන්ම. අන්න ඒකට මෙන්න මේ ක්‍රමවලින් එකක් කරලා ෂේප් වෙන්න පුළුවන් වේවි.
1. ඔෆර්ස්
කෙලින්ම දෙන්න වයිෆ්ට ඔෆර් එකක්. ඒ ඔෆර් එක ඇතුළෙ ඔයා එයා එක්ක ෂොපින් යන්න කොච්චර ආසා නැද්ද කියන එක ඉස්මතු කරලා පෙන්වන්න. ඒක එයාට රිදුනත් නැතත් කියන්න. මොකද එයා වුනත් දැනගන්න එපැයි එයාලා එක්ක ෂොපිං යන එක හබියෙක්ට අපායෙ යනව වගේ වැඩක් විත්තිය. අන්න ඒ සියළු හැඟීම් මේ ඔෆර් එක ඇතුළෙ ඇතුළත් විය යුතුයි. ඒ වගේම ඒ අප්‍රසාදය ආහාර සලාකය නොකැපෙන ගාණට දක්වන්නත් මතක තියාගන්න. ඒනිසා මේ කතාව කෙලින්ම කියන්න. “මාව එක්කං නොයනවනං මං වැඩිපුර කීයක් හරි දෙන්නං.”
2. පෙර වලි
ෂොපින් යාම නිසා කලින් දවසක ඇතිවුණු වලියක් සිහිපත් කරන්න. වලියක් සිහිපත් කරන එකේ ඉතිං ලා වලියක් නැතුව දරුණු වලියක් සිහිපත් කරන්න. වයිෆ් තෝරන ඇඳුමකට අඩුපාඩුම කියපු නිසා ගිය වලියක්, එතන හිටපු කෙල්ලෙක් දිහා කන්න වගේ බලං ඉඳලා පටන් ගත්තු වලියක්, වයිෆ්ව ෆිටෝන් රූම් එකේ දාලා දුමක් දාන්න යෑම හේතුවෙන් ඇතිවුණු වලියක් සිහිපත් කරන්න. ඔහොම වලියක් හේතුවට දාලා “නිකං රණ්ඩු වෙන්න බලාගෙන මට ගමන් යන්න බෑ” කියල නෝක්කාඩු පිට කියලා ඉන්න.
3. පගාව
ඉල්ලන්න වයිෆ්ගෙන් පගාවක්. ඉල්ලන එකේ වයිෆ් කෙනෙක් ටිකක් ඇඹරෙන සුළු පගාවක් ඉල්ලන්න. නිකමට කිවුවොත් සල්ලිම විතරක් නොවෙන දෙයක්. හරි මම අද ඔයා එක්ක යන්න එන්නං හැබැයි ඔයා මට නෙක්ස්ට් ලෝං වීක්එන්ඩ් එකේ යාලුවො එක්ක ට්‍රිප් එකක් යන්න සල්ලි දෙන්න ඕන වගේ පගාවක් තමයි ඉල්ලන්න ඕන. ඒ වෙලාවට වයිෆ්ගෙ ඔලුවෙ මැවෙන්නෙ මුං ටික තනියෙන් ගිහින් මොන හත්ඉලවුවක් කරගනීවිද කියන හීනෙ. එයාලා ඒ වගේ දෙයක් වෙනුවෙන් එයාලගෙ වර්තමාන අරමුණ යටපත් කරගන්න සූදානම්.
4. වේලකින් ෂේප්
තවත් කතා කරගන්න පුළුවන් හොඳ ඩීල් එකක් තමයි වේලකින් ෂේප් කිරීම. ඒ කිවුවෙ ෂොපිං කරලා එන වයිෆ් වෙනුවෙන් කෑම වේලක් හදලා දෙන එක. සාමාන්‍යයෙන් වයිෆ් එක්ක ෂොපින් ගියාම පැය තුනක් විතර ඇවිදලා, රුපියල් එකොළොස්දාහකට විතර ඩෙනිමයි ටීෂර්ට් එකයි අරගෙන, සෙල්ෆි 23ක් ගහලා, මහන්සියට ෂෝට් ඊට්ස් කාලා, බීම බීලා, රෑට කඩෙන් කෑමත් අරගෙනනෙ එන්නෙ. ඉතිං ඔය කෙරුවාව කරනකං බලං ඉඳලා කෑමත් අරන් දෙනවට වඩා හොඳයි වයිෆ්ගෙ ඇස් උඩ ඉන්දවන්න මෙහෙම රික්වෙස්ට් එකක් කරන එක. එයාලා ඔය වගේ දේවල් ලොකුකමට යාලුවො එක්ක කියන්න ඉන්ස්ටා ස්ටෝරීස් දාන්න හරී ආසයි. මේ බලහං මගේ මිනිහා මට උයලත් කන්න දෙනවා, ද බෙස්ට් මෑන් අ වයිෆ් කැන් ගෙට්… යමී ෆුඩ් කුක්ඩ් බයි හිම් කියලා සමරන්නෙ ඒකනෙ. හොඳට නින්දක් ගහලා, වයිෆ් එන්න පැය බාගෙකට කලින් ඇහැරිලා, කඩෙන් ෆ්‍රයිඩ් රයිස් ගෙනාවා. ගෙදර උයන භාජනේකට දාලා රත් කරලා කැරකැවුවා. ලස්සනට මේසෙ උඩින් තිබ්බා. ගේම ක්ලෝස්!
5. වලියක්
ගොඩක් වයිෆ්ලා හස්බන්ඩ්ලා බොන්න යනකොට හිතේ නිදහස නැති කරන්න කරන දේ තමයි වලියක් දාගන්න එක. මේකම දෙන්න වයිෆ්ලාටත්. එයාලටනං හබියලාට හිත නිදහසේ බොන්න බැරි වෙනවා වගේ සීන් එකක් වෙන්නෙ නෑ. සිල්ක් රෙදි කෑල්ලක් හැන්ගර් එකක එල්ලි එල්ලි තියෙනව දැක්ක ගමන් ගෙදර මිනිහෙක් ඉන්නව තියා අප්පච්චිගෙ නමත් අමතක වෙන තත්ත්වයක් තියෙන්නෙ. හැබැයි පුතෝ මේ වලිය හොඳ උදවුවක් විදියට අරගෙන ඔයාට පුළුවන් නොබියව කියන්න මම කැමති නෑ මෙහෙම මරාගෙන ඔයා එක්ක ගමන් යන්න කියල. අන්න ඒ වෙලාවට “තී පල ඌබර් එකක චපල ඉස්තිරිය” කියල රුපියල් 500ක් දීලා එන්න ගේ ඇතුළට.
6. රිදුම්
ගන්න බඩේ කැක්කුමක්. බඩේ කැක්කුමක් කියලා නිකංම “අමාරුයි ඒයි!” කියන්නෙපා. කලින් දවසෙ කඩේකින් හොඳට බඩ පැලෙන්න කාලා ටිකක් පහු වෙලා ඇවිත් නින්දක් ගහන්න. ඇහැරිලා “මට අද කෑම එපා අනේ කෝපි එකක් හදලා දෙන්න” කියන්න. ඔන්න ඔහොම බඩ අල්ලගෙන ඉඳලා උදේම අසමෝදගම් බෝතලයක් ගෙනත් ගහලා දාන්න. කොහොමත් කලින් දවසෙ කාපු MSG තොගෙන් ඇතිවෙන අපුල ගතියටවත් උදවුවක් වෙන්නැතෑ. හැබැයි අන්තිම මොහොත වෙනකං එයාට එන්න බෑ කියල කියන්නෙපා. එයාගෙ කටින්ම වචනෙ එනකං ඉන්න. එච්චරටවත් හිතක් පපුවක් නැති ගෑණියෙක්වනං බැඳගත්තෙ, යන්න හදන අන්තිම මොහොතේ ආයෙමත් ටොයිලට් එකට දුවන්න. ගෑණු මේකප් දාලා එනකං පිරිමි බලං හිටියට… පිරිමි ටොයිලට් ගිහින් එනකං ගෑණු බලං ඉන්නෑ මහත්තයො.
7. ඒ මොහොතට
කිසි වෙනසක් නොපෙන්වා ෂොපින් යන්න. යනගමන් එයා හප හප යන්න ආසා කරන ඔය ටිපිටිප් එකක් වගෙත් අරං දෙන්න. වයිෆ් පිස්සු වැටෙයි. ෂොපින් මෝල් එක පෙනි පෙනීම කලින් ප්ලෑන් කරපු යාලුවගෙ කෝල් එක ඔෆිස් එකෙන් විදියට ආන්සර් කරන්න. කම්පනිය අද මේ දැන් වැටෙන්න යන්නෙ. බෝඩ් මීටින් එකක් දාලා, ඔයාට අද ෂොපින් කරන්න විතරක් නෙමෙයි, අපිට ඉස්සරහට කන්නවත් නැතිවෙනව මේක සිද්ධ වුනොත් කියල කියන්න. එයාගෙ උත්තරයක් හෝ අවසරයක් එනකං ඉන්නෙපා. එයාව ටක් ගාලා වාහනෙන් බස්සන්න. වාහනේ හරවගෙන යන්න එයා ඉස්සරහම.
Cover Image Source –pratishthabanga.wordpress.com/ weeklysauce
Leave a Reply