ටුවර් පැකේජ් එකක් තෝරාගන්න කලින් මේ දේවල් ගැනත් හිතන්න

ගොඩක් දේවල් කලින් සූදානම් කරලා අපි වෙනුවෙන් සකස් කරලා තියෙන නිසා පැකේජ් ටුවර් එකකට සෙට් වීම කියන්නේ ට්‍රිප් එකක් යන්න පහසුම ක්‍රමයක්. හතර අතේ ඉන්න නෑයින්ට යාලුවන්ට කියලා, ඒ අය ලෑස්ති කරගෙන ට්‍රිප් දහයක් ප්ලෑන් කරන වෙලේ එක පැකේජ් එකකට ජොයින් වුනා නම් සුටුස් ගාලා අපිට ට්‍රිප ගිහින් එන්නට පුුලුවන්. පැකේජ සංචාර කියන්නෙත් හොඳ ව්‍යාපාරයක්. ඉතිං එයාලත් අපිට ලස්සන තැන් වල රූප පෙන්වලා අපේ ආකර්ෂණය ලබාගන්නවා. ඒ වගේම ඇතැම් දේවල් ගැන වැඩිමනක් දැනුවත් කරන්නේ නැහැ. මේ විදියට පැකේජ් ටුවර් එකක් යන්න ඉන්නවා නම් බලන්න ඕනි මොනවද කියලා අපි දැනගනිමු.

 

1. ඇතුළත් දේ සහ ඇතුළත් නැති දේ

Image Source – thesmileytripsevents.com/lankatour.com/ travel.jumia.com

ටුවර් පැකේජ් එකකට යද්දි ගොඩක් වෙලාවට ඇතුළත් දේ සහ ඇතුළත් නැති දේ තියෙනවා. මෑතකදි පුවත්පත් බැලුවා නම් ඒවායේ තිබෙනවා මැලේෂියා, තායිලන්තයේ යන්න බොහොම අඩු මිලට පැකේජ. ඇතැම් ඒවායේ මිල සඳහන් වෙලා තියෙන්නේ ගුවන් ගාස්තුව නැතිව. ටුවර් පැකේජ් වලට නවාතැන් ගාස්තු, බලන්න යන තැන්වල පිවිසුම් ටිකට් ගාස්තු, ප්‍රවාහන ගාස්තු ආදියද ඇතුළත්ද කියලා හොයන්නට ඕනි. එහෙම නැතිනම් ඒ දේවල් වෙනුවෙන් අපි තවත් මුදලක් වෙන්කරගන්නට උවමනා වෙනවා.

 

2. ඒ ඒ තැන්වලට යන ගාස්තු ආදිය

Image Source – youtube.com

මැලේෂියා වල වුනත්, ලන්ඩන් වල වුනත් එහි තිබෙන කෞතුකාගාර, විනෝද උයන්, රඟහල්, සත්තු වත්ත ආදී ස්ථාන වල ටිකට් පත් මිල වැඩියි. ඒ ස්ථාන වලට ගියත් ඒවාට ඇතුල් වෙන්න යම් සැලකිය යුතු ගාස්තුවක් ගෙවන්නට වෙනවා. මේ ටිකට් පත් මිල කීයක් වෙනවාද? ඒවායේ බරපැණත් දරන්න වෙනවාද කියලා බලන එක වැදගත් වෙනවා. උදාහරණ විදියට ටාජ් මහාල් බලන්න ඉන්දීය ජාතිකයෙකුට රුපියල් විස්සක්, පණහක් වගේ ගාණක් යන්නේ. ඒත් ලංකාවේ අයෙක් ඒ වෙනුවෙන් රුපියල් හත්සීයක විතර ටිකට් එකක් ගන්නට ඕනා. ඒකත් ඉන්දියන් රුපියල්. ඉතින් ටජ්මහල් යනවා නම් ඒ මුදල් ගැන සූදානමකින් යන්නට ඕනා.

 

3. ට්‍රිප් එකේ එක් එක් දේට තියෙන කාලය (ටයිම් ‍ෆ්‍රේම් එක)

Image Source – roseandfig.com

අපිට සංචාරයට යුරෝපියයන්ට වගේ ලොකු කාල වෙලාවක් නැහැ. ඒ නිසා අපි බොහෝවිට එක දවසකට එක තැනක් හෝ නරඹන්න, විඳගන්න යන විදියට තමයි සංචාරක සැලසුම් සකස් කරන්නේ. ඒ අතර අපි බලන්න යන තැන් ගණන වැඩි නම්, එක දවසකට ගොඩක් දුර තැන් එහෙම බලා කියාගන්න තියේ නම්, එතනදි අපිට ටිකක් වෙහෙසක් දැනෙනවා. සංචාරයක් යද්දි ටිකක් සැහැල්ලු වෙන්නට ඕනා. එහෙම නැතුව දිගින් දිගටම තද ශෙඩූල් එකකට යද්දි අපේ හිතට, ගතට කිසි විවේකයක් දැනෙන්නේ නැහැ. ඒනිසා ටුවර් පැකේජ් යන්න කලින් කොහොමද වැඩසටහන තියෙන්නේ කියලා හොයලා බලන එක වැදගත්.

 

4. නවාතැන් ගන්නට නියමිත තැන් සහ ඒවායේ තත්ත්වය

Image Source – gokarna.com

ගාස්තු අඩු කරලා පාරිභෝගිකයට අඩු මිලක් පෙන්වන්න ඕනා නිසා සමහර සංචාරක පැකේජකරුවන් කරන්නේ ගාස්තුව අඩු කරන්න නවාතැන් ආදියේ තත්ත්වය අඩු කරන එකයි. හෝටල් කාමර වල නවතිනවා නම් ඒවා තනි පවුලට, තනි අයට එක බැගින් තියෙන ඒවාද? එහෙම නැත්නම් ඩෝමිටරිද? නවාතැන් වල නාන්න සහ ඇඟ හෝදගන්න පහසුව කොහොමද? ඇටෑච් බාත්රූම් ද කියලා කලින් අහන එක ලැජ්ජාවක් නෙමෙයි. උදාහරණ විදියට ඉන්දියාවේ යන සමහර නඩ වල අය නවාතැන් ගන්න තැන් වල තියෙන්නේ අඩු පහසුකම්. ඉතින් වෙන රටකට ගිහින් ඒ රටේදි අපහසුතාවයට පත් වෙනවාට වැඩිය, කලින් ඒවා අහලා දැනගෙන යන එක කෝකටත් හොඳයි නේද?

 

5. යන කාලේ ඒ රටේ දේශගුණේ, කාලගුණේ කොහොමද?

Image Source – bbc.com

ඔයාල දන්නවා වැහි කාලෙක කොළඹ බලන්න ආවොත් එපා වෙනවා. එතකොට වැස්ස තමයි බලන්න වෙන්නේ. එළියට බහින්න හැටියක් නැහැ, ඇවිදින්න හැටියක් නැහැ, එළිමහන් තැනක් බලන්න යන්න බැහැ වගේ ප්‍රශ්න ගොඩක්. අපිට වැස්ස විතරක් වුනාට ලංකාවෙම නුවර එළිය, බදුල්ල දිහාට යනවා නම් සීතල ගැනත් බලන්න ඕනා. හම්බන්තොට, කතරගම, නිලාවැලි, යාපනේ යනවා නම්, ඒත් කලින් කොහොමද රස්නේ කියලා බලන එක වැදගත්. රට සවාරියක් යනවා නම් මේ දේශගුණික තත්ත්වයන් බලන්නම ඕනි දෙයක්. ඇතැම් කාලයකදි ඉන්දියාවේ බුද්ධගයා ආසන්න පින්බිමේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 44ක් දක්වා ඉහළ නගිනවා. රෑටත් තද සීතල. යන්න නියමිත කාලේදි අදාළ පළාතේ දේශගුණය, කාලගුණය බැලුවා නම්, එක්කෝ යන්න කලින් ලෑස්ති වෙන්න පුලුවන්, නැත්නම් ඒ සුදුසු කාලයක යන කණ්ඩායමකට එකතු වෙන්නට පුලුවන්.

යුරෝපා රටවලට සහ ශීත කාලයට හිමාලේ පැත්තේ යනවා නම් අනිවාර්යෙන් යන කාලය වැදගත් වෙනවා. ශීත කාලයේ යනවා නම් ඒ රටවල තද සීතල අපිට දැනෙන තද සීතලට වඩා ගොඩක් වැඩියි කියලා මතක තියාගන්නට ඕනා. කාන්තාර තියෙන මැදපෙරදිග යනවා නම් ගොඩක් වෙලාවට ඒ මැදපෙරදිග නවාතැන් ආදිය වායුසමනය කරලා තියෙන්නේ. ඒත් රෑට එළියට බැස්සොත් තද සීතල දැනෙනවා. දවල් එළියට බැස්සොත් පිච්චෙනවා. මේ තත්ත්වයන් ගැන කලින් හොයල බැලුවනම් අපිට අපේ ඇඳුම් බෑග් එකත් ඒ කාලගුණයට, දේශගුණයට අනුව වෙනස් කරගන්න හැකියි.

 

6. යන කණ්ඩායම

Image Source – cdc.gov

යන කණ්ඩායම කිව්වම කොටස් දෙකක්. එකක් තමයි ගමනට එකතු වෙන සංචාරක පිරිස. වයස් මට්ටමෙන් සහ සමාජ මට්ටෙමෙන් ගොඩක් වෙනස් අය ගියොත් එකිනෙකාට සෙට් වෙන්න වෙලාවක් යනවා. ඒ නිසා යන අනික් අය කවුද කියන එක යාන්තමින් හෝ හොයා බලන්නට ඕන. ඒ වගේම අපිව සංචාරයේ එක්කරන් යන පිරිසගේ කලින් පළපුරුද්ද කොහොමද කියලාත් බලන්නට ඕනා. ටිකක් ලොකු ගමනක් නම්, කලින් ගියපු අය සොයාගෙන විස්තර ආදිය ගත්තාට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.

 

7. කෑම බීම

Image Source – youtube.com

හම්බෙන හැම තැනකින්ම තියෙන විදියට කන්න පුලුවන් අරුම පුදුම බඩක් තියෙන උදවිය ඉන්නවා. ඒත් අපි හැමෝටම එහෙම බැහැ. කෑම උයනවාද? එහේ තැනකින් ගන්නවාද? මොනවද කෑම බීම ආදිය කියලා හොයලා බලන්න ඕනි යන්න කලින්. විශේෂයෙන් රට ගමනක් යනවා නම් අපට ලංකාවේ විදියට කෑම ටික නොලැබුනත් අඩුගාණේ ආසන්නව හරි අපේ රටේ විදියට කෑම ලැබෙනවාද? ඒ කෑම අපිට කන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් හොයාල බලන්න ඕනි. මොකද දවසක් දෙකක් නම් නොකා ඉන්න හැකි. ඒත් ඉතිං සතියක් හමාරක් රට යන ගමනකදි නොකාම ඉන්න බැහැ. අපි මොනාහරි කන්න ඕනි නේ.

මේවා වගේම යන දිහාවේ ආරක්ෂක තත්ත්වය, රට යනවා නම් වීසා ආදිය, යන ස්ථාන වල වෛද්‍ය පහසුකම් ආදිය ගැනත් ටිකක් හොයා බලන්නට ඕනා. පැකේජ් ටුවර් එකක් නිසා අපිම  සැලසුම් කරන තරම් හිතට ලොකු වදයක් නැහැ. ඒත් අපිට දෙන දේවල්, නොදෙන දේවල්, ඇතිවන දුෂ්කරතා ආදිය ගැන කලින් දැනගන්න එක වටිනවා. එතකොට අපිට කලින් සංචාරය වෙනස් කරගන්න හැකියි. නැතිනම් ඒ ඇතිවන දුෂ්කර තත්ත්වයන්ට ලෑස්තිවෙලා යන්නත් හැකියි.

Cover Image Source – fluentin3months.com

 

 

zvr
Your Reaction

Comments