ඒ දවස්වල දිනචරියාව ගත කරේ කවදා ලොකු ලොක්කෝ වෙලා මේ ඒකාකාරී බවින් මිදෙන්න පුළුවන් වෙයිදෝ කියන චේතනාවෙන්. අන්තිමේ කෙළවර වුණේ තිබ්බටත් වඩා අජපල් ඒකාකාරී ලෝකෙක හිර වෙන එකෙනුයි. ඉස්කෝලේ යන කාලේ දින චරියාව මෙන්න මෙ විදියයි කියලා පැහැදිලි මතකයක් ඔබටත් ඇති. 90 දශකයේ උපන්න ඔබේ පාසල් කාලයේ දින චරියාව අපට මතක මේ විදියටයි.
1. කාටුන් බැලීමට උදැහැනැක්කේ නැගිටීම
බුදුඅම්බෝ ඒ ආතල් එක. උදේට නැගිටගන්න තිබුණ එකම බෙහෙත තමයි රූපවාහිනියේ ගියපු කාටුන් පෙළ. මතකේ හැටියට නම් ඇපල් ආදිපාදතුමා, ඥානකතා මල්ලියා සහ නයිල් නදී කුමරී කියන කාටුන් තමයි උදේ ගියේ. ඔය අතරේ දී ම මොනා හරි බඩට රිංගවන්න පුළුවන් කියලා අම්මලා දන්න නිසා එයාලාට ගින්නකුත් නැහැ. පැයක් විතර යන කාටුන් එක බලලා මූණ ඩිංගිත්තක් හෝදගන්න එක නේ තියෙන්නේ.
2. යකා නැටීම
කාටුන් බලලා අහවර වෙලා තමයි නියම කාටුන් එක පටන් ගන්නේ. ඒ කියන්නෙ පොත් බෑග් එක ලෑස්ති කරන එක සහ ඇඳුම් ලෑස්ති කරගන්න එක. එක මේස් කෑල්ලක් බොරැල්ලේ නම් අනික පංචිකාවත්තේ. සපත්තු දෙකත් මඩපාටයි. ඒ අස්සේ කලින් දවසේ කෑම පෙට්ටියත් එළියට ගන්න මතක් වෙන්නේ අම්මා බත් බෙදනකොටයි. ගෙදර අනික් පැත්ත ගැහීම සිද්ධ වෙන්නේ ඔය ටික වෙන අතරෙයි.
3. පාසලේ උදේ වරුව
8ට ඉස්කෝලේ පටන් ගත්ත කාලෙකුත් තිබුණා නේ. ඉතින් 7.30ට විතර ගෙදරින් පිට වෙලා 8 වෙන්න ඔන්න මෙන්න තියා ගේට්ටුවෙන් පැනගන්නවා. පරක්කු වුණා නම් වල්පැල ගලවන්න වෙනවා. ඒකෙත් හැටි කියන්නේ හැමදාම ගලවන්න පාසල් වත්තේ කොහේ හරි වල් තියන එක. ඊට පස්සේ අතුගාන යම යුද්ධේ. චාට් එකක් තිබ්බට ගොඩක් වෙලාවට හැමදාම එකම අය අතුගාන්නේ. ගාථා කියලා, රැස්වීම්වලට සහභාගී වෙලා, එතන කිර කිර ඉඳලා පන්තියට යනවා. රෙජිස්ටරේ ගේන්න දෙන්නෙක් දුවනවා. පළවෙනි කාලච්ඡේදය පටන් අරන් ඔන්න ඉදිරියට යනවා.
4. කැන්ටින් වන්දනාව
ඉන්ටර්වල් කියලා නිශ්චිත වෙලාවක් තිබුණාට ඕකම බලාගෙන ඒ වෙලාවටම කැන්ටින් එකට යන්න තරම් උපේක්ෂාවක් ඒ දවස්වල තිබුණේ නෑ. සමහරු නම් ලකුණු කරන ටිකට විතරයි පන්තියෙ හිටියේ. අනික් හැම වෙලේම කැන්ටිමේ. මේක තමයි අපේ වැයික්කිය ඩෝ වගේ ඉඳගෙන විදුහල්පති එනකොට සතර දිසා ජයගෙන ආතභූත නැතුව දුවනවා. කොහොමහරි එක බත්මුලකට දහයක් නැත්තම් විස්සක් වග කියනවා.
5. ක්‍රීඩා පිට්ටනි වන්දනාව
ගෑල්ලමයින්ට නෙට්බෝල් තමයි ඉතින් පරම පූජනීය සෙල්ලම. බාස්කට්බෝල් ගහන්න දුන්නත් ගහන්නේ නෙට්බෝල්. ඊළඟට කොලු රැළ යනවා ක්‍රිකට් ගහන්න. වන් බම්පර් එකෙන් පටන් අරන් පන්ති අතර තරඟයක් දක්වා මේවා ව්‍යාප්ත වෙන්න ගන්නවා. බෙල් එක ගහලා කියලවත් ඇහුන් නැති වුණාට පන්ති කාමරයට යන්න මතක් වෙන්නේ ඈතින් විදුහල්පති එනවා දැක්කමයි.
6. නිවසට සේන්දු වීම
2ටයි ඉස්කෝලේ ඉවර වුණේ. දුම්මල වරම අතේ තියන් දුවන්න ඕනි රූපවාහිනියේ රවුන්ඩ් ද ට්විස්ට් පෙන්වන්න යන නිසා. පේළි හැදිලා දෙන්නා දෙන්නා යන එක වෙලාවකට මහ වදයක් වෙන්නේ මේ නිසාමයි. ඒක බලලා, තියෙන දෙයක් කාලා පුංචි ඇලට් එකක් දානවා. ඇහැරෙනකොට දැනෙන්නේ අනික් පහුවෙනිදට එළිවෙළා කියලයි. ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනකොටම අම්මා ඇවිල්ලා බයිටට ගන්නවා.
7. ගෙදර වැඩ
සමහරු නම් පන්තියේ දී ම මේක ඉවර කරනවා. ඒත් ඒ මොන වගේ ජීවිතයක් ද! ගෙදර ගෙනල්ලා කරන්න ඕනි නිසානේ ගෙදර වැඩ කරන්න කියන්නේ. රෑ කෑමත් කාලා ගෙදර වැඩ කරන ගමන් නින්දක් එහෙම ගියොත් අනික් පහුවෙනිදා නැගිටිනකොට පුටුව උඩ නැහැ. ඒකත් ඔය කාලේ උණ ලොකු සප්‍රායිස් එකක්. මේ ගෙදර වැඩ කර හෝ නොකර රෑ 10ටත් කලින් ඒ පරම්පරාව නිදාගත්තා.
ඊට පස්සේ මේ චක්‍රය නිතිපතා සිද්ධ වුණා පොඩි ඈයෝ ලොකු වෙනකන්ම. පස්සෙන් පහු එකතු වුණ ටියුෂන් පන්ති සහ කොම්පියුටර් කෑලි එක්ක මේ ජීවිතේ අවුල් වුණා. ඒකේ ප්‍රතිඵල අපිම ද කියන ප්‍රශ්නයත් තියනවා.
Cover Image Source – dailynews.lk/ rafflespress
Leave a Reply