ඔය සින්දු එක්ක රූප රචනා එනව නේද? අන්න ඒව ගැනයි මේ කතා කරන්න යන්නේ. රූප රචනා ගත්තම එක එක කන්සෙප්ට් වලට මේව නිර්මාණය වෙනවා. ඒ අතරින් සමහරක් රූප රචනා වල විප්‍රයෝග දුක දනවන්නේ පෙම්වතා හෝ පෙම්වතිය මිය යන දර්ශනයකින්. එහෙම නැත්නම් මිය ගොස් ඇති බව කලින්ම දැනගන්න සලස්වනවා. මේ වගේ ගීත කිහිපයක ලැයිස්තුවක් ඔබට ඉදිරිපත් කරන්නයි මේ සූදානම. බලන්නකෝ ඔබ මේ හැම ගීතයක්ම බලල තියෙද කියලා.
1. මල් පෙත්තක් සේ
“මල් පෙත්තක් සේ සුසිනිඳු සිත” මතකද මේ සින්දුව? 6th Lane කියන සංගීත කණ්ඩායමේ තමයි මේ ගීතය. යොවුන් ආදරය තමයි මේකට පාදක වෙන්නේ. මේ ගීතය 2005 අවුරුද්දෙ ගීතයක්. ඒ කාලෙ හිතන්නවත් බැරි වුණු විදිහෙ සරාගී දර්ශන කිහිපයකුත් මේ රූප රචනයට ඔබලා තියෙනවා. විශුවල් එක පටන් ගන්නෙම අවමංගල්‍ය අවසන් කටයුත්තක දර්ශනයකින්. එතන ඉඳල යන්නෙ ඒ මරණයට හේතු වුණ කාරණයන්. මැරිල තියෙන්නෙ පෙම්වතා. මිය යන්නෙ රිය අනතුරකින්. දෛවයේ සරදමට වගේ ඒ වෙලේම ඔහු පෙම්වතියට දුරකථන ඇමතුමක් දෙන ගමනුයි ඉන්නෙ.
2. මතු දාක කාසි
“මතු දාක කාසි නිසා
කරකාර බන්දන් ඔයා”
කියලා පටන් ගන්න ගීතය ඇතුළේ හිතන්නවත් බැරි තරම් ලස්සන වචන ටිකක් තියෙනවා. ගීතය වගේම විශුවල් එකත් ලස්සනයි. වචන වල තියෙන තේරුමට අනුවම “කාසි වෙනුවෙන්” පෙම්වතියව රවට්ටන්නෙ මේ පෙම්වතා. රවට්ටනවනම් කමක් නෑ. පෙම්වතියව ඇක්සිඩන්ට් එකකින් මරන්න කොන්ත්‍රාත් එකක් දෙනවා. කාර් එකේ ඔහුත් ඉන්න වෙලාවක මේ ඇක්සිඩන්ට් එක වෙනවා. පෙම්වතිය මිය යන හන්ද ඔහු සතුටු වෙනවා. ඒත් අන්තිමට බැලුවම මැරිල තියෙන්නෙ පෙම්වතා. ඒ ඔක්කොමත් හරි. අන්තිමට මෙන්න පෙන්නනවා මේ කොල්ල හීනයක් දැකලා නැගිටිනවා. මේ සින්දුව කියන්නෙ ජලින්ද.
3. වෙනදා වගෙ අදත්
මේක ඇවිල්ල ලස්සනම වචන පෙළක් තියෙන සින්දුවක්. ඒ වගේම විශුවල් එකේ කන්සෙප්ට් එක ගොඩක් වෙනස් එකක්. මේක පටන් ගන්න කොටම කොල්ල මැරිලා. කෙල්ල එනවා වෙනදා වගේ තමන්ගෙ පෙම්වතාව මුණ ගැහෙන්න. ඔහු නෑ. ඊට පස්සෙ ඇය දුකින් ඔහු හොයනවා. හොයලා හොයලා නැති තැන ඇය යන්න යනවා. පෙම්වතා භූතයෙක් වෙලා ඇය යන යන තැන යනවා. ඒක මෙහෙම කියනකොටනම් විහිලුවක් වගේ. ඒ උනාට විශුවල් එක බලද්දිනම් ඒක අමුතුම හැඟීමක් හිතට ගේනවා. සින්දුව කියන්නේ රවීන්ද්‍ර මීගමආරච්චි.
4. ලා රෝස
චිලී තිලංක කියන්නෙ දක්ෂ ගායකයෙක් වගේම දක්ෂ නර්තන ශිල්පියෙක් නොවැ. චිලීගෙ මේ සින්දුව අහපු නැති කෙනෙක් නැතුව ඇති. මේ විශුවල් එක ටිකක් බොලඳයි. ටිකක් නෙමෙයි ඇත්තටම කිවුවොත් ගොඩක්ම බොලඳයි. වීඩියෝ එක තියෙනවා විනාඩි 8 ක් ම. කෙටි චිත්‍රපටයක් වගේ. පටන් ගන්නකොටම කොල්ලයි කෙල්ලයි දෙන්නම ඇක්සිඩන්ට් වෙලා ඉන්නවා පේනවා. කෙල්ලගේ ඔලුව පල්ලෙහාට කඩන් වැටෙනවා. ඔන්න ඉතින් අනේ දෙයියනේ කෙල්ල මැරුණා කියලා හිතාගෙන විශුවල් එක බලන්න ගන්නවා. විනාඩි අටම බලලා ඉවරවෙද්දි අන්තිමට කෙල්ල කොල්ලගෙ සොහොන ඉස්සරහ පහන් පත්තු කරනවා පෙන්නනවා. මොන දෙයියන්ට මේ අවනඩුව කියන්නද?
5. මා දෙනෙත් පියවිලා
සාරංග දිසාසේකර කියන්නෙ ඉතින් මල්ටි ටැලෙන්ටඩ් කෙනෙක් නොවැ. සාරංග ඉඳලා ඉඳලා එලියට දාපු සින්දුව ගැනයි මේ කියන්න යන්නේ. මේක පටන් ගන්නකොටම ඩොක්ටර් කෙනෙක් වෛද්‍ය වාර්තා ටිකක් අතේ තියාගෙන බොහොම බැරෑරුම් ස්වරූපයෙන් කියන්නේ “වෙන්න තියෙන දේවල් නවත්තන්න බෑ සාරංග” කියලයි. ඒ කතාවත් අහලා සාරංග දුක ඇස් දෙකේ පුරවගෙන පාරෙ ඇවිදගෙන එන කොට මෙන්න දිනක්ශි ඇවිල්ලා සාරංගගේ ඇඟේ එල්ලෙනවා. ඒත් මේකෙ මැරෙන සීන් එකක් නෑ. හැබැයි සින්දුවෙ මුල සහ අග අපිට ඒත්තු ගන්වනවා මේ පෙම්වතියගේ මිය යෑම. ඉතාමත් විචිත්‍රවත් රූප රචනයක්.
6. රෑ අහසේ
බිලී ෆනෑන්ඩු කියන්නෙ ලංකාවේ සංගීතය වෙනස්ම මානයකට ගෙනියන්න දක්ෂකම් දක්වපු ගායකයෙක්. වාසව බදුගේ කියන්නෙ ලංකාවේ දක්ෂම නිර්මාණකරුවෙක්. මෙන්න මේ දෙන්නගෙ සංකලනයෙන් තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. හැමදාම ජීවිතේ ආදරය, දුක බෙදාගත්තු බිරිඳ තමන්ගේ පළමු දරුවට උපත දීලා මිය යන අවස්ථාවක් මෙහිදී රූප රචනය මත ලියවෙනවා. ඉතාම ආදරණීය විදිහට මේ විශුවල් එක නිමැවිලා කියලානම් හිතේ කිසිම කහටක් නැතුව කියන්න පුලුවන්.
7. යන තැනක
මිහිඳු ආරියරත්න ගායනා කරන ගීතයක් මේක. රූප රචනය හරිම ලස්සනයි. අත්භූත ජනක ගතියකුත් පේන්න තියෙනව ඒ වගේම. ගීතය පටන් ගන්න දර්ශනේම තියෙන්නෙ පෙම්වතියගේ නිසල දේහය ළඟ තබාගෙන ගීතය ගයන පෙම්වතා. ගීතය යන අතරෙදී මේ මරණයට හේතු වුණු නිධාන කතාව තමා පෙන්නන්නේ. පස්සෙ බැලුවම ඇය පෙම්වතිය නෙමෙයි බිරිය බව පේන්න තියෙනවා. ඇයගේ අනියම් පෙමක් අතේ මාට්ටු වීම නිසා පෙම්වතා යන්නම යනවා. ඇය ඔය ප්‍රශ්න දරාගන්න බැරුව සිය දිවි නසාගන්නවා.
8. උණුහුම 2
ටෙහාන්ගෙ උණුහුම 2 හිතපු නැති විදිහට ජනප්‍රිය වුණා. ඒකට හේතුව සින්දුවෙ ලස්සන වගේම විශුවල් එකේ ලස්සන කියන එකයි බොහෝ දෙනාගෙ අදහස වුණේ. ඉතින් මේ විශුවල් එකත් ශෝක ජනක අවසානයක් තියෙන එකක්. කාර් එකේ යන ගමන් පෙම්වතා පෙම්වතියට ප්‍රසන්ට් එකක් දෙනවා. පෙම්වතිය ඉතින් ඕකෙ හැඩ බල බල ඉන්නවා. පෙම්වතාත් වාහනේ ඩ්‍රයිව් කරන එක පැත්තක තියලා කෙල්ල හිනාවෙන දිහා බලන් ඉන්නවා. වාහනේ හැප්පෙනවා. හැප්පෙන්නැතුව තියෙයිද දෙයියනේ ඩ්‍රයිව් කරන අස්සෙ වෙන වෙන විකාර කරන්න ගියාම. ඔව් ඉතින් ඒකෙත් අන්තිමට මරණයක්. පෙම්වතිය මෙලොව හැර යනවා.
ඔන්න ඕව තමා මැරෙණ කතා තියෙන සිංහල විශුවල් සහිත සින්දු. ඔය ටිකක් විතරයි. ලංකාවේ තියෙන්නෙම බැලුවම මැරෙණ එවුව තමා.
Leave a Reply