සමනලයා කියන්නේ හරි අහිංසක සතෙක් කියලා අපි හැමෝම කිසිම වාදවිවාදයක් නැතුව පිළිගන්නවා. ‘සමනලයාගේ හිතේ වෛරය නෑලු පුතේ, ඌ හරි අහිංසක සතා’ කියලා සිංදුවකත් කියනවනේ ඉතින්. විවිධ වර්ගයේ සමනල්ලු අපේ පරිසරය ලස්සන කරනවා වගේම ශාක පරාගණයටත් විශාල වැඩකොටසක් කරනවා. සාහිත්‍ය නිර්මාණ තුළ වගේම අපේ රටේ ජනප්‍රවාදවලත් සමනලයා සුවිශේෂී සතෙක් විදිහට සැලකෙනවා. ශ්‍රී පාදය වඳින්න යන සමනල්ලු ගැන වගේම, ඒ නිසාම ශ්‍රී පාදයට සමනල කන්ද කියන නම ලැබුණා කියන එක අපි අහන්නේ අපේ පුංචි කාලේදිම. ඒ වගේම අපි ගොඩක් දෙනෙක්ට දලඹුවෙක් අල්ලන් ජෑම් බෝතලයකට දාලා මුලින්ම ඌ කෝෂයක් හදන්නේ කවදද කිය කිය බලන් ඉඳන්, ඊටත් පස්සේ කෝෂයෙන් එළියට සමනලයෙක් එන්නේ කවද්ද කියලා බලන් හිටපු සුන්දර අතීතයක් තියෙනවා. සමනල්ලු මේ විදිහට අපිට සමීප වුණත් ඔයා දැනන් හිටියද ශ්‍රී ලංකාවේ ජාතික සමනලයා විදිහට එක්තරා සමනල් විශේෂයක් නම් කරලා තියෙනවා කියලා?
මෙච්චර කල් ජාතික පුෂ්පය විදිහට මානෙල් මලත්, ජාතික වෘක්‍ෂය විදිහට නා ගසත්, ජාතික සත්වයා විදිහට දඬු ලේනාවත් සහ ජාතික පක්ෂියා විදිහට වළි කුකුළා ගැනත් දැනන් හිටිය ඔයාලට දැන් අපි කියන්න යන්නේ අපේ රටේ ජාතික සමනලයගේ වතගොත ගැන.
1. ජාතික සමනලයාගේ උප්පැන්නේ
අපි කතා කරන සමනලයාගේ උප්පැන්න සහතිකේ නම විදිහට සඳහන් වෙන්නේ “ශ්‍රී ලංකා මහ කුරුලු පිය පැපිලියා” කියන නම. විද්‍යාත්මක නාමය වෙන්නේ Troides darsius. සාමාන්‍ය ඉංග්‍රීසි ව්‍යවහාරයේදී හඳුන්වන්නේ Sri Lankan Birdwing නමින්. හැබැයි සාමාන්‍ය ජනතාව අතර මේ සමනලයා හඳුන්වන නම් පළාතෙන් පළාතට සුළු සුළු වෙනස්කම්වලට ලක් වෙනවා. සියොත් පියාසැරියා, සියොත්වැන්නා සහ සියොත්පියා විදිහට මේ සමනලයා හැඳින්වෙනවා.
2. මෙයාට ජාතික වෙන්න Qualification තිබ්බද?
ලංකාවේ සමනල විශේෂ 250කට ආසන්න ගාණක් ඉන්නවා කියලා මේ වෙනකොට තහවුරු කරන් තියෙනවා. ඒ අතරින් සමනල් විශේෂ 26ක් ශ්‍රී ලංකාවට ආවේණිකයි. මේ අතරින් “ශ්‍රී ලංකා මහ කුරුලු පිය පැපිලියා” ලංකාවට ආවේණික විතරක් නෙමෙයි, ශ්‍රී ලංකාවේ හම්බවෙන විශාලතම සමනලයාත් වෙනවා. ඉතින් මෙයාව ජාතික සමනලයා විදිහට තෝරගන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඒ වගේම මෙයාව ජාතික සමනලයා විදිහට තෝරගනිද්දි ලංකාව පුරා ව්‍යාප්‍ත වෙලා ඉන්න එක, ආකර්ෂණීය බාහිර රූපයක් තිබීම, ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවලදී පලිබෝධකයෙකු ලෙස වාර්තා නොවීම, රෝග වාහකයෙකු ලෙස ක්‍රියා නොකිරීම වගේම පාරම්පරික විශ්වාස සහ ඇදිහිලිවලට සෘණාත්මක බලපෑමක් නොකිරීම කියන සාධකත් විශේෂයෙන් සලකා බලලා තියෙනවා.
3. කවුද මෙයාව ජාතික කළේ? ඒ තීරණේ ව්‍යවස්ථානුකූලයිද?
ඔව්, ඔව්. ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරලා තියෙනවා. මුලින්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික සමනලයෙකු ප්‍රකාශයට පත් කරන්න අවශ්‍යයි කියලා හිතපු පරිසර අමාත්‍යාංශය ඒ සඳහා විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබුවා. එම කමිටුව “ශ්‍රී ලංකා මහ කුරුලු පිය පැපිලියා” ශ්‍රී ලංකාවේ ජාතික සමනලයා විදිහට නිර්දේශ කළා වගේම සමනලුන්ගේ සංරක්ෂණය වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මකුත් ඉදිරිපත් කළා. ඒ අනුව 2010 දී කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් පසුව නිල වශයෙන් “ශ්‍රී ලංකා මහ කුරුලු පිය පැපිලියා” ශ්‍රී ලංකාවේ ජාතික සමනලයා ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
4. හම්බ වුණොත් අඳුරගන්නේ කොහොමද?
පිරිමි සමනලයන්ගේ ඉදිරි පියාපත් කළුයි. නහර රේඛා දෙපැත්තේ ලා සුදු පැල්ලම් තියෙනවා. පසුපස තටුත් කළුයි, ඒත් රන්වන් කහ පැහැයට හුරු පැල්ලම් දකින්නට ලැබෙනවා. ගෑනු සමනලයෝ පිරිමි සමනලයන්ට වඩා ප්‍රමාණයෙන් ලොකුයි. මෙයාලගෙත් ඉදිරි පියාපත් කළුයි, ඒත් බාහිරින් කහ පාට රේඛා පිහිටා තියෙනවා. පසුපස පියාපත්වල කහ පැහැති පැල්ලම් කෙමෙන් කෙමෙන් කුඩා වෙනවා. මෙන්න මේ විදිහට තමයි මෙයාලව අඳුන ගන්න පුළුවන්
5. ඕන තැනකදි මෙයාලව සෙට් වෙන්න පුළුවන්ද?
මෙයාලා වැඩි වශයෙන් පැතිරිලා ඉන්නේ පහතරට තෙත් කලාපය ඇතුළේ. ගංගා ඉවුරු ආශ්‍රිත සහ කුඩා කඳු ආශ්‍රිත ප්‍රදේශවලත් මෙයාලව මුණ ගැහෙන්න පුළුවන්. මාර්තු සහ මැයි කාලවල වැඩි වශයෙන් මුණ ගැහෙන මෙයාලා, සාමාන්‍යයෙන් උදෑසන කාලයේ අතිශය ක්‍රියාශීලියි. මල් පැණි හොයන එකයි, සහකාරයෙක්/ සහකාරියක් හොයාගන්න එකයි තමයි මෙයාලගේ ප්‍රධානම වැඩ රාජකාරි වෙන්නේ.
6. මෙයාලට නැතිවම බැරි දේවල්
“ශ්‍රී ලංකා මහ කුරුලු පිය පැපිලියා” ගැහැනු සත්තු බිත්තර දැමීමට තෝරාගන්නේ සප්සඳ (Aristolochia indica) කියන වැල් වර්ගයම පමණයි. ඒ වැල් උඩ දාපු තැඹිලි පාටට හුරු කුඩා බිත්තරයකින් පිටතට එන දම් පැහැයට හුරු දලඹුවන් සප්සඳ කොළ ආහාරයට ගනිමින් වැඩෙනවා. කහපාට කෝෂයක දිගු කෝෂ කාලයක් ගත කරලා ඒකෙන් ලස්සනම ලස්සන සමනලයෙක් එළියට එනවා. මෙයාලා මල්පැණි හොයද්දි වැඩි වශයෙන් ප්‍රිය කරන්නේ ඉද්ද, රත්මල්, තිත්ත වෙරළු වගේ ගස්වල හැදෙන මල්වලට. ගෙවල් ආශ්‍රිත පරිසරවලදී වදමල්, පින්න, බෝගන්විලා වැනි ගස්වල මල් ඔවුන්ගේ තේරීම වෙනවා.
7. මෙයාලට අපි දෙන්න ඕන සපෝර්ට් එක මොකද්ද?
කලින් අපි කිව්වා වගේ “ශ්‍රී ලංකා මහ කුරුලු පිය පැපිලියා” බිත්තර දාන්න තෝරාගන්නේ සප්සඳ වැල් විතරයි. ඉතින් දවසක සප්සඳ වැල් වඳ වෙලා ගියොත් මේ සමනල් විශේෂයේ පැවැත්මත් එතනින් ඉවර වෙලා යනවා. ඒක හින්දා ගෙවතු ආශ්‍රිතව සප්සඳ වැල් පුළුවන් විදිහට වගා කරලා අපිට අපේ ජාතික සමනලයාගේ පැවැත්ම වෙනුවෙන් සුළු හෝ දායකත්වයක් ලබා දෙන්න පුළුවන්.
Cover Image Source – kissfromtheworld.com/ igoterra.com
Leave a Reply