තමන්ගේ මෝටර් බයික් එක හොඳින් මේන්ටේන් කරගන්නේ මෙහෙමයි!

දැන් මෝටර් බයික් එකක් අලුත් පිටම ගත්තු කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ ඊළඟ හීනේ මොකක්ද? කුරුල්ලා වගේ මෝටර් බයික් එකේ නැගලා රවුමක් යන එක. කොහොමත් අලුතින් මෝටර් බයික් එකක් ගත්තු කෙනෙක් ටික කාලයක් ගතවෙනකල් බයික් එක පරිස්සම් කරන්නේ පණ වගේ. ආයෙ දූවිලි පොදක් වදින්න දෙන්නෙ නෑ. කොච්චරවාත් පිහිදනවා. හැබැයි ඉතින් ඕනම දේකට වෙනවා වගේම ටික කාලෙකින් ඔය උනන්දුව අඩු වෙන්න පටන් ගන්නවා. ආන්න ඒක තමයි අවාසනාවට ඇත්ත කතාව. එහෙම උනන්දුව අඩුවෙලා, අඩුවෙලා ගිහින් බයික් එක ඔහේ තෙල් ගහ ගහා පදින තත්ත්වෙට පත් වෙනවා. පදින්නම බැරි තත්ත්වයක් ආවහම ගිහින් සර්විස් පාරක් දාගෙන එනවා. එතකොට ඔන්න ආයෙමත් බබා වගේ වැඩ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ගොඩක් මෝටර් බයික් එහෙම රළු පාවිච්චියට හොඳ වුනත්, අපි බයික් එක නොසලකා හරින තරමට ඒකේ ආයුකාලයත් අඩු වෙනවා. අපිට බයික් එකට කරන්න වෙන වියදම් වුනත් එන්න එන්න වැඩිවෙනවා. අන්තිමට පරම්පරා ගණනාවක් සුපර් එකට දුවන්න ඉඩ තිබුණු බයික් එකක් පරම්පරාවක් යන්නත් කලින් පරණ යකඩ වලට දීලා දාන්න වෙනවා!

හැබැයි එහෙම නොවෙන්න කරන්න තියෙන්නේ සරල දෙයයි. තමන් පදින වාහනේට තියෙන සැලකිල්ල කොයි තරම් කල් ගියත් අඩු නොකරන එක. කොයි තරම් වැඩ තිබුණත් බයික් එක පවත්වා ගැනීම වෙනුවෙන් අපිට කරන්න තියෙන බොහොම සුළු සුළු වැඩ කටයුතු අතපහු නොකර ඉෂ්ඨ කරන එක. අපි එහෙම බයික් එකට සලකන කොට, බයික් එකත් අපිට පෙරළා සලකනවා සත්තයි!

මේ කියන්න යන්නේ ඒ විදියට බොහොම පහසුවෙන් කරන්න පුලුවන් බයික් මේන්ටේනන්ස් ටිප්ස් කීපයක් ගැන!

 

1. මැනුවල් එක හරියට කියවමු

Image Source – gumtree.com

දැන් ඔය බයික් එකක් ගත්තු ළමයින්ගෙන් කීදෙනෙක් ඒ බයික් එකත් එක්ක දීලා තියෙන යූසර් මැනුවල් එක, ඒ කිව්වේ අර පොඩි පොත කියෝලා තියෙනවද? ඕන නම් එකෙක් දෙන්නෙක් කියවන්න ඇති. හැබැයි තමන්ගේ බයික් එක හොඳ තත්ත්වයෙන් තියාගන්න නම් කළ යුතු පළවෙනිම දේ තමයි මේ මැනුවල් එක කියවන එක. තමන්ට ඒක කියවගන්න අමාරුයි නම් ඉංග්‍රීසි හොඳ කෙනෙක් ලව්වා කියවගෙන තේරුම් කරගන්න. මේක අනිවාර්යයි. මොකද තමන් අරගෙන තියෙන්නේ ලක්ෂ ගණන් වටින යන්ත්‍රයක්. ඒකට හරියට සලකන විදිය ගැන තමයි මේ මැනුවල් එකේ තියෙන්නේ. කළයුතු දේවල් වගේම නොකළයුතු දේවල් ගැනත් මේකේ තියෙනවා. දැන් කියවලා තේරුම් ගත්තට පස්සේ මැනුවල් පොතේ හැටියට වැඩ කරන්නයි තියෙන්නේ!

 

2. හරි කාලෙට ඔයිල් මාරු කරමු

Image Source – youtube.com

තෙල් මාරු කරන එක හරි කාලෙට හරියටම කරන්න ඕන වැඩක්. එහෙම නැතුව තෙල් මාරු කරන්න ඕන කාලයත් පහුවෙලා දිගටම බයික් එක දුවනවා කියන්නේ පැට්‍රල් වැඩියෙන් පිච්චෙන්න ගන්නවා. ඊටත් වඩා එංජිමේ ආයුකාලය ඉතාම වේගයෙන් පහත බහිනවා. ඒ නිසා සාමාන්‍යයෙන් එක්කෝ දුවන දුර අනුව හෝ කාලය අනුව ඔයිල් මාරු කරන්න ඕන. ඒ කියන්නේ මෙහෙමයි. අපි කියමු බයික් එකක් පාවිච්චි කරන්නේ ඔය ළඟ කඩේට ගිහින් එනවා වගේ වැඩකට කියලා. ඒත් අවුරුද්දකට සැරයක්වත් ඔයිල් මාරු කරන එක හොඳයි. අවුරුද්දකට සැරයක් සර්විස් කළොත් ඒක කොහොමත් වෙනවනේ. හැබැයි හොඳට දුවන බයික් එකක් නම් කිලෝමීටර් 5000 කට සැරයක් වගේ ඔයිල් මාරු කරන්න වෙනවා. කොහොමත් බයික් එකේ ඔයිල් මාරු කරන එක හොඳයි කියලා දැනෙන්න පටන් ගන්නවා පදින කෙනාට. ඒ වගේම බොහොම රළු තත්ත්ව යටතේ දුවන බයික් එකක් නම් මේ ඔයිල් මාරු කිරීම කිලෝමීටර් 3000 කට සැරයක් කරන්න වෙයි. මේ ගැනත් මැනුවල් එකේ සඳහන් වෙනවා.

 

3. ටිප් ටොප් එකට ටයර් තියාගමු

Image Source – conti-bike.co.uk

ඕනෑ නම් බයික් එකේ ටයර් වල එයාර් ප්‍රෙෂර් එක මනින්න ඔය පෝටබල් ප්‍රෙෂර් ගේජ් එකක් ගන්න පුලුවන්. එහෙම නැතිනම් පැට්‍රල් ගහන්න යන වෙලාවක ෂෙඩ් එකෙන් වුනත් කරගන්න පුලුවන්. බයික් එකේ ටයර් දෙකේ තියෙන්න ඕන එයාර් ප්‍රෙෂර් එක PSI ඒකක වලින් සඳහන් වෙනවා මැනුවල් එකේ. ඉතින් පුරුද්දක් විදියට මාස කීපයකට සැරයක් නැතිනම් දුර දුවනවා නම් මාසෙකට සැරයක් වත් චෙක් කරන එක හොඳයි. එහෙම චෙක් කරනකොට සෑහෙන්න දුරක් දවසේ දිව්වට පස්සේ චෙක් කරනවට වඩා බයික් එක පාරට දැම්ම ගමන් චෙක් කරන එකත් හොඳයි. ඊට අමතරව ටයර් වල තත්ත්වය චෙක් කළ යුතුමයි. ඒ කියන්නේ ගෙවිලා ‍රැල් වෙනකල් පට්ට ගහන්නෙ නැතුව ටයර් හරි කාලේදී මාරු කරන්න කියන එක තමා.

 

4. චේන් එකත් හරියට තියාගන්න

Image Source – wallpapercraze.com

බයික් එකක් පදින කෙනෙක් ගාව තියෙන්න ඕන දෙයක් තමයි Chain Lube එකක්. චේන් එක දුර දිව්වට පස්සේ සුද්ධ පවිත්‍ර කරලා කුණු දූවිලි වලින් තොරව තියාගන්නවා වගේම නිරන්තරයෙන්ම චේන් එක ලිහිසිව තියාගන්න එකත් වැදගත්. ඒ වගේම කාලෙකට සැරයක් චේන් එක හරි ආතතියෙන් තියෙනවාද කියලත් චෙක් කරලා බලන්න ඕන. මේක බලන්න පුලුවන් චේන් එක අවශ්‍ය ප්‍රමාණයට වඩා ලූස්ද කියලා චෙක් කිරීමෙන්. පොදුවේ චේන් එක මේන්ටේන් කිරීම දුර ගමනකට කලින් සහ පසුව කිරීම වටිනවා.

 

5. බ්‍රේක්ස් හරියට වදින්න තියාගන්න

Image Source – bikebandit.com

බයික් එකක බ්‍රේක් කියන්නේ ජීවිතයත් මරණයත් අතර සාධකයක් වෙන්න පුලුවන්. ඒ නිසා දුර ගමනක් එහෙම යන්න කලින් බයික් එකේ බ්‍රේක් හොඳට වැඩ කරනවද කියලා චෙක් කරලා බලන්න. බයික් එකේ බ්‍රේක් හරියට වදින්නේ නෑ කියලා දැනුණු ගමන් වහාම ඇජස් කරගන්න. ඒ වගේම Brake Fluid ලෙවල් එකත් චෙක් කරන්න. සාමාන්‍යයෙන් අවුරුද්දකට දෙකකට සැරයක් සාමාන්‍යයෙන් දුවන බයික් එකක මේ Brake Fluid මාරු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම සෑහෙන කාලයක් ගියාට පස්සේ බ්‍රේක් පෑඩ්ස් මාරු කරන්නත් වෙනවා. ඒ නිසා බ්‍රේක් වල වෙනසක් දැනුණු ගමන් කල් දදා ඉන්නෙ නැතුව වැ‍රැද්ද තියෙන්නේ කොහේද කියලා හොයලා බලන්න ඕන.

 

6. බයික් එක ස්ටාර්ට් කරන්නත් ඕන

Image Source – youtube.com

වර්තමානයේ තියෙන ගොඩක් මෝටර් බයික් වල සෙල්ෆ් ස්ටාට් වගේම කික් ස්ටාට් දෙකම එනවා. නවීන බයික් වල කික් ස්ටාට් එකක් තවදුරටත් දකින්න ලැබෙන්නේ නෑ. දැන් ඔය කික්ස්ටාට් එක තියෙන ටිකක් බර මෝටර්බයික් වගේම කික්ස්ටාර්ට් නැති නවීන මෝටර්බයික් වුනත්, ඔය දෙකටම අදාළ නැති එදිනෙදා ගමනට ගන්න කික්ස්ටාට් තියෙන හෝ නැති සාමාන්‍ය කමියුටර් මෝටර්බයික් වුනත් අනිවාර්යයෙන්ම ස්ටාට් කරන්න ඕන. ඒ කියන්නේ සති ගණන් ස්ටාට් නොකර තිබීම බයික් එකට හොඳ නෑ. දවස් කීපයකට සැරයක්වත් උදේට ස්ටාට් කරලා පොඩි වෙලාවක් එන්ජිම රන් වෙන්න දීලා තියෙන එක හොඳයි. කික්ස්ටාට් තියෙන බයික් එකක නම් මෙහෙම ස්ටාට් කරන්න ඕන කික් එකෙන්. ඊට පස්සේ බයික් එකේ එලියට යනවා නම් දවසේ ඉතිරි වෙලාවේදී සෙල්ෆ් ස්ටාට් එක පාවිච්චි කළාට අවුලක් නෑ.

 

7. හරි කාලෙට සර්විස්!

Image Source – motorbikewriter.com

සාමාන්‍යයෙන් බයික් එකකට ‍ෆ්‍රී සර්විස් වාර කීපයක් ලැබෙනවා. මේ මූලික සර්විස් වාර කිහිපය කොයි තරම් කිලෝමීටර් ගණනකට පස්සේ සිදුකරන්න ඕනෑද කියන එක බයික් එකේ මැනුවල් එකේ සඳහන් කරලා තියෙනවා. අන්න ඒ කිලෝමීටර් ප්‍රමාණය දිව්වට පස්සේ වැඩිකල් යන්නේ නැතුව මූලික සර්විස් වාර කිහිපය සිදුකරන එක ඉතාම වැදගත්. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ ඉන් පස්සේ බයික් එකේ එන්ජින් එක වද දෙන්න පටන් ගන්නකල්, බයික් එක පදිනකොට එක එක සද්ද එන්න පටන් ගන්නකල් සර්විස් නොකර දුවන එක. අන්න ඒක බොහොම වැරදියි. සාමාන්‍යයෙන් ‍ෆ්‍රී සර්විස් වාර කීපයෙන් පස්සේ දුවන හැම කිලෝමීටර් 4000-6000 අතර ප්‍රමාණයකදී සර්විස් එකක් යන්න ඕන. රළු පාවිච්චියේ තියෙනවා නම් කිලෝමීටර් 4000 පැන්න ගමන් සර්විස් කරන එක සුදුසුයි.

 

මේ මෝටර්බයික් එකක් හරියට මේන්ටේන් කිරීම සම්බන්ධයෙන් ඉතාමත්ම මූලික කරුණු වලින් කීපයක් විතරයි. මීට අමතරව කොහේ හරි දුරක් දුවලා ආවට පස්සේ බයික් එක කූල් වෙන්න දීලා පිහිදාන එක, හෝදන එක වගේ දේවල් පවා බයික් එකේ යහපැවැත්මට වැදගත්. ඒ දේවල් ගැන ඉස්සරහට කතා කරමු.

Cover Image Source – bikebandit.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *