ලංකා නාමය බැබළවූ ඉංජිනේරුවන් 7 දෙනෙක්

ලංකාව කුඩා රටක් වුවත් ලංකාවෙන් බිහිවූ ලෝ පතල දක්ෂයින් දෙස බැලූ විට ලංකාව පොඩි රටක් ලෙස පේන්නේ නැහැ. නිතරම ලෝකයේ ජනප්‍රිය නොවූවත්, ඉඳහිට හෝ ජාත්‍යන්තර පුවත්වල පවා ලංකාවේ පුද්ගලයින්ගේ විස්කම් ගැන අපිට අහන්නට ලැබෙනවා. අපේ ඉංජිනේරු ක්ෂේත්‍රය දෙස බැලූ විට එවැනි වූ දක්ෂයින් රැසක් සිටිනවා. එයින් කිහිප දෙනෙකු ගැන අපි දැනගනිමු.

 

1. සෙල්වදුරෙයි මහාලිංගම්

Image Source – efacmemories.blogspot.com

වරක් එංගලන්තයේ රෝල්ස් රොයිස් සමාගමේ ඇව්රෝ ජෙට් එන්ජිමේ දෝෂයක් හටගත්තා. එවිට ඒ වෙනුවෙන් මැදිහත් වුණු යාන්ත්‍රික ඉංජිනේරු සෙල්වදුරෙයි මහාලිංගම් මහතා එය විසඳීමට සමත් වුනා. ලංකාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වූ සෙල්වදුරෙයි මහාලිංගම් මහතා මහාචාර්යවරයෙක් ලෙස වසර ගණනාවක් යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයට දැනුම ලබා දුන්නා. බාහිර ශිෂ්‍යයකු ලෙස ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාවෙන් පළමු පෙළ සාමාර්ථයක් ලබාගැනීමට මහාලිංගම් මහතා සමත් වුනා. ඉන් පසුව පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ එතුමා 1952 සිට 1991 දක්වා කාලය තුළ සිසුන් දහස් ගණනකට ඉංජිනේරු විද්‍යාව ඉගැන්වූවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඇති ජෙට් එන්ජිම එවකට රෝල්ස් රොයිස් සමාගමෙන් මහාලිංගම් මහතාට ලැබුන ත්‍යාගයක්.

 

2. සරත් ගුණපාල

Image Source – accimt.ac.lk

1994 වර්ෂයේදී අඟහරු වෙත නාසා ආයතනයෙන් යැවූ පාත්ෆයින්ඩර් යානයේ අධෝරක්ත කැමරාවේ නිර්මාතෘවරයා ආචාර්ය සරත් ගුණපාල මහතාය. කෑගල්ල යටියන්තොට පළාතේ උපන් සරත් ගුණපාල මහතා 1979 භෞතික විද්‍යා උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. ඉන් පසුව ඇමරිකාවේ පීටර්ස්බර්ග් සරසවියෙන් විදුලි ඉංජිනේරු උපාධියක්ද සරත් ගුණපාල මහතා ලබාගති. ඉන් පසුව ඇමරිකාවේ තවමත් ජනප්‍රිය සෙලියුලර් ජාලයක් වන ATNT සමාගමේ පර්යේෂකයෙක් ලෙසද සරත් ගුණපාල මහතා සිය දායකත්වය ලබා දුන්නේය. ඉන් පසුව නාසා ආයතනයට සම්බන්ධ වී, ඒ යානා වලට අවශ්‍ය රොබෝ කොටස් සහ කැමරා උපාංග ආදිය නිමැවීමට සරත් ගුණපාල මහතා දායක විය.

 

3. යසන්ත රාජකරුණානායක

Image Source – theprint.in

ඇමසන් වෙළඳ ජාලය ඇමරිකාවේ ඔන්ලයින් වෙළඳාමෙන් 50%කටත් වඩා හිමි දැවැන්ත සමාගමකි. එහි ප්‍රධාන විධායක ජෙෆ් බේසොස් ළඟදී ලාංකිකයෙකු ගැන ඔහුගේ සාකච්ඡාවකදී විශේෂයෙන් සඳහන් කර තිබුණි. ඒ යසන්ත රාජකරුණානායකයි. ජෙෆ් බේසොස් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේදී පැන නැගුණු ගණිත ගැටළුවක් යසන්තගේ උදවුවෙන් විසඳාගෙන තිබුණි. එම ගණිත ගැටලුව යසන්ත විසඳන අපූරුවත් එහි අමාරු ස්වභාවයත් දුටු ජෙෆ් බොසෝස් ට ගණිතය හැරයන්නට එම සිදුවීම හේතුවක් වී තිබුණි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වූ යසන්ත වසර තිස් ගණනකට පෙර මොරටුව විශ්ව විද්‍යාලයේද අධ්‍යාපනය ලබා තිබේ. දැන් ඔහු මහාචාර්යවරයෙකි. කේබල් මොඩම් නිෂ්පාදනයට මහත් දායකත්වයක් ලබා දී ඇති යසන්ත සතුව පේටන්ට් බලපත්‍ර 54කි. ටෙලිකොම් සහ පරිගණක අංශය කෙරෙහි විශාල දායකත්වයක් ඇති යසන්ත ලොව කිර්තිමත් පුද්ගලයකුගේ පවා මතකයේ නම රැඳුණු කීර්තිමත් ලාංකික ඉංජිනේරුවරයෙකි.

 

4. ඒ. එන්. එස්. කුලසිංහ

Image Source – srilankastamps.lk

ලංකාවේ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ එදා මෙදාතුර බිහිවූ කීර්තිමත්ම ඉංජිනේරුවරයා ඒ. එන්. එස්. කුලසිංහ මැතිතුමාය. වරක් දැවැන්ත මාලිගාවිල බුදු පිළිමය දොඹකර තුනක් ආධාරයෙන් ඔසවන්නට යාමේදී අවාසනාවට එක් කේබලයක් කැඩී ගියේය. දැන් පිළිමයද, දොඹකරද, ව්‍යාපෘතියද අනතුරේය. ඒ කාර්යය කළ ඉංජිනේරු මහැඳුරු සිටියේ කොළඹය. නමුත් පිළිමය ඔසවමින් සිටි පිරිසට ගණනය කිරීම් කර දුරකථනයෙන් උපදෙස් දුන් කුලසිංහ මහත්මයා නිසා මාලිගාවිල දැවැන්ත පිළිමය ඔසවා ලීමට හැකි විය. කළුතර චෛත්‍යය, වරාය චෛත්‍යය, කොත්මලේ මහා සෑය. රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල, තංගල්ල ධීවර වරාය ආදී දැවැන්ත නිර්මාණ රැසක් කුලසිංහ මැවිසුරු අතින් නිමවිය. එවකට රජයේ ඉදිකිරීම් සඳහා විශාල මිලක් වෙනත් ආයතන වලට ගෙවන්නට වෙන බව දත් කුලසිංහ මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ශක්තිමත් කර ඉදිකිරීම් කාර්යයන් සඳහා CECB ආදී ආයතන ඇතිකළේය. දේශපාලන පලිගැනීම් නිසා රටින් පිටවීමට සිදුවූවත්, කුලසිංහ මහතා තායිලන්තයේ කොන්ක්‍රීට් බෝට්ටු බිහි කළේය, මැලේසියාවේ ධීවර වරාය ඉදිකළේය. ඔහුගේ පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය ලොව පුරාම ජනප්‍රිය වූ ශක්තිමත් නිමැවුමක් විය.

 

5. රේවත විජේවර්ධන

Image Source – danazwelter.blogspot.com

රේ විජේවර්ධන අත් ට්‍රැක්ටරයේ නිර්මාතෘය. එවකට ලක් රජය මගින් ඔහුගේ නිර්මාණය එතරම් ගණන් ගත්තේ නැත. ඉන් පසු ඔහු එංගලන්තයේ ලෑන්ඩ්මාස්ටර් සමාගමට සිය දැනුම ලබා දුන්නේය. ඒ හරහා ඉන්දුනීසියාව, පිලිපීනය වැනි රටවල ගොවියන්ට මේ අත් ට්‍රැක්ටරය මාර්ගයෙන් ගොවිතැන් කටයුතු සරල කරගන්නා සැටි කියාදෙන්නට රේ විජේවර්ධන මහතාට හැකි විය. ඔහු හුදෙක් ඉංජිනේරුවෙක්ම නොවේ. වගා කටයුතු, වැවිලි වැඩ ගැනද ඔහුගේ පර්යේෂණ කටයුතු රැසක් තිබුණි. ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් ඇතිකිරීම ගැන අලුත්ම මානයකින් සිතූ ආචාර්ය රේවත නුවර කොළඹ ආදී ප්‍රදේශ වල සැහැල්ලු ගුවන් යානා පැදගෙන යෑමට සමත් විය. අදද නේපාලය වැනි රටවල ජනයා නගර අතර ගමන් යෑමට සැහැල්ලු ගුවන් යානා පාවිච්චි කරති. කඳුකර පළාත්වලට පහසුවෙන් පිවිසිිය හැකි මේ කුඩා ගුවන් යානා නිපදවීමට මෙන්ම ඒවා පැදවීමටත් ආචාර්ය රේවත සමතෙක් විය. නිර්මාණ රැසකින් ලෝ පතල වූ ආචාර්ය රේවත නිර්මාණකරුවෙක් මෙන්ම රටේ දියුණුව ගැන අලුත්ම මානයකින් සිතූ ප්‍රායෝගික දක්ෂයෙක්ද විය.

 

6. ඩී. ජේ. විමලසුරේන්ද්‍ර

Image Source – en.wikipedia.org

නෝටන් බ්‍රිජ් පළාතේ සංචාරය කරන විට විමලසුරේන්ද්‍ර නැමැති කුඩා විදුලි බලාගාරයක් හමුවේ. මේ අපේ ලංකාවට ජල විදුලිය හඳුන්වා දුන් විමලසුරේන්ද්‍ර මහතා සිහිවීම වෙනුවෙන් තැනූ පැරණි විදුලි බලාගාරයකි. එවකට යටත්විජිත ලංකාවේ අද මෙන් විශාල විදුලි ජාලයක් තිබුනේ නැති අතර, තැන තැන විශාල ජෙනරේටර මගින් විදුලිය ලබා ගැනුණි. එකල යටත්විජිත පාලකයින්ට මේ ජල විදුලිය ගැන සඳහන් කළත්, ඔවුන් එතරම් මෙය තැකීමක් කළේ නැත. අවසන විමලසුරේන්ද්‍ර මහතා මැතිවරණයට ඉදිරිපත් වී, පාර්ලිමේන්තුවට පැමිණ විදුලිබල ඇමතිවරයෙක් විය. ඉන් පසු ඔහුගේ විදුලි සැලසුම් ලංකාවේ ලක්ෂපාන ආදී දැවැන්ත ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක විය. වැඩි මිලට විදුලිය ලබාදෙන පුද්ගලික ජෙනරේටර් වෙනුවට අඩුමිල ජල විදුලිය කෙරේ බලධාරීන්ගේ ඇස් ඇරෙව්වේ විමලසුරේන්ද්‍ර ශ්‍රීමතාණන්ය. විදුලිය නිෂ්පාදනය මෙන්ම බෙදාහැරීම සහ සම්ප්‍රේෂණ ජාලා සැකසීමටත් විමලසුරේන්ද්‍ර මහතා විශාල දායකත්වයක් දැක්වූයේය. එම නිසා කලාපයේ රටවල් අතර මහජනයාට විදුලිය ලබාදීම අතින් අදද ලංකාව ඉදිරිපෙළ තැනකට පැමිණ තිබේ.

 

7. ප්‍රෙමිලා සිවප්‍රකාශ පිල්ලෙයි සිවශේකරම්

Image Source – facebook.com

වල්පොල රාහුල හිමියෝ ජනප්‍රියව සිටි අවධියේ උන් වහන්සේට කෝට්ටේ පාර්ලිමේන්තුව ආසන්නයෙන් ඉඩමක් ලැබුණි. එතැන කුඩා ආරාමයක් තනා ගැනීමට අදහස් කළ වල්පොල හිමි ප්‍රෙමිලා ශිවප්‍රකාශපිල්ලෙයි ඉංජිනේරුවරියගෙන් ඒ ගැන උපදෙස් පැතුවේය. ඇය එතැන පස් සාම්පල පරික්ෂා කර බලා, මෙතැන පස වගුරු බිමක් වැනි අස්ථායී තැනක් බැවින් ගොඩනැගිල්ල ඉදිකිරීමට පයිල් ගැසිය යුතුයැයි දැන්වීය. එතරම් මුදලක් රාහුල හාමුදුරුවෝ අත නොතිබුණි. එවර ඇය කොටස් වෙන වෙනම ඉදිකොට ගිලාබැසීම් වලට එරෙහිව නොව ගිලා බැසීම් සමගාමීව ස්ථායී වන ගොඩනැගිල්ලක් තැනිය හැකි යැයිද, එවැන්නක් ලංකාවේ කලින් ඉදිකර නැතැයිද දැන්වීය. තිබුණු මුදලට එය ගැලපුන බැවින් වල්පොල හිමි එයට එකඟ විය. අදද එතැන වල්පොල රාහුල ආයතනය නමින් එම ඉදිකිරීම් තිබේ.

මේ ඉංජිනේරුවරිය ලංකාවෙන් බිහිවූ මුල්ම සිවිල් ඉංජිනේරුවරියකි. කොළඹ සරසවි ඉංජිනේරු පීඨය ආරම්භ කළ 1950 වකවානුවේම ඇය ඉංජිනේරු සිසුවියක් විය. ඉංජිනේරු විද්‍යාව යනු පිරිමි විෂයක් යැයි පතල වූ යුගයක යකඩ වැඩ, වඩු වැඩ, ඉදිකිරීම් වැඩ සමග හැප්පෙන සිවිල් ඉංජිනේරු විෂය ඉගැනීම ගැන ඇගේ දෙමාපියන්ද මුලින් කැමති වූයේ නැත. අවට සමාජයද ඇයගේ මෙම ඉගැනීම ගැන පුදුමයකින් බැලූහ. එහෙත් ඇය එයින් සැලුනේ නොවේ. පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උපදේශකවරියක් වශයෙන් එහි ඇති යන්ත්‍ර සූත්‍ර පිහිටුවීමටද ප්‍රෙමිලා මහත්මිය දායක විය. 1965 දී ඇය ඔක්ස්ෆර්ඩ් සරසවියටද ඇතුළත් වී අධ්‍යයන කටයුතු කළාය. ලංකාවේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව හරහා රජයේ ගොඩනැගිලි රැසකට සිය දායකත්වය දෙන්නට ලංකාවේ ප්‍රථම ඉංජිනේරුවරිය වූ ප්‍රෙමිලා සමත් වී තිබුණි. ජාතික පුස්තකාලය, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පොලිස් මූලස්ථානය ආදී ඉදිකිරීම් රැසක් ප්‍රෙමිලාගේ නම ඉදිරියෙන් සඳහන් වී තිබේ.

 

රටක් ලෙස ලෝකයට යන්නේ අපේ දේශපාලකයින් නිසා යැයි අප සිතාගෙන සිටියත් විදේශිකයින් ලංකාවේ දේශපාලකයින්ට වඩා කීර්තිමත් ලාංකිකයින් ගැන උනන්දුය. උදාහරණයක් ලෙස ඇමසන් ප්‍රධාන නිලධාරියාට ලංකාව යැයි කී විට මතක් වන්නේ ඔහුටත් වඩා දක්ෂයෙකු වූ යසන්ත මහාචාර්යතුමාය. ඒ  වගේ ලංකාවේ නම ලෝකයේ ප්‍රචලිත වීමට නිර්මාණකරුවන්ගෙන් නොමද සේවයක් වේ. මේ නියම නිර්මාණකරුවන්, ඉංජිනේරුවරුන් ගැන දැනුම අපේ අධ්‍යාපනය හරහා දරුවන්ට ලබා දිය හැකි නම්, අපේ රටේ දරුවනුත් ලෝ ප්‍රකට දක්ෂයින් වෙන්නට තවත් උනන්දු වන කාරණාවක් වේවි.

zvr
Your Reaction

Comments