සෙක්සි වුනාට කමක් නෑ, හැබැයි ක්ලාස් එක තියාගෙන! මෙන්න ඒකට ක්‍රම 8ක්!!

සෙක්ස් කියන්නේ හොරෙන් කියන්න ඕන වචනයක් කියලා හිතන රටක සෙක්සි වෙනවා කියන්නේත් පොලීසි ගෙනියන්න ඕන අපරාදයක් විදියට තමයි සමහරු දකින්නේ. හැබැයි මේ සෙක්සි වෙනවා කියන්නේ කුණුහරුපයක්ද? නෑ. සෙක්සි වෙනවා කියන්නේ විරුද්ධ ලිංගිකයින්ගේ ආකර්ෂණය ලැබෙන විදියේ මනුස්සයෙක් වෙනවා කියන එක. එතකොට ලිංගික නැඹුරුතාවය අනුව ඕක සමාන ලිංගිකයින්ගේ ආකර්ෂණයටත් හේතු වෙන්න පුලුවන්. සෙක්සි වෙන්න ඕන කෙනෙක්ට පුලුවන්. ඒකට මාර ලස්සනක් තියෙන්න ඕන නෑ. හැබැයි සෙක්සි වෙන එකත් ක්ලාස් එකක් තියාගෙන කරන්න ඕන දෙයක්. දන්නවද කොහොමද ක්ලාස් එකට සෙක්සි වෙන්නේ කියලා? දන්නෙ නැතිනම් මෙන්න කියවන්න!

 

1. කෙල්ලෙක්ට නම් සෙක්සි ඇඳුමක්!

Image Source – aliexpress.com

ඇත්තටම කෙල්ලෙක් සෙක්සි විදියට අඳිනවා කියන්නේ මොකක්ද? මයික්‍රෝ ස්කර්ට් එකක් අඳින එකද? හින්දි පිචර් එකක වගේ ඇඟටම ඇලිලා විනිවිද පේන සාරියක් අඳින එකද? ඔව්, ඒවත් සෙක්සි තමයි. හැබැයි ක්ලාස් එකට සෙක්සි වෙනවා කියන්නේ හැමදෙයක්ම පෙන්නන එක නෙවෙයි. අවශ්‍ය දේ අවශ්‍ය තැනදී අවශ්‍ය විදියට පෙන්නන එක. උදාහරණයක් විදියට ගත්තොත්, ඔ‍ෆිස් යනකොට අර ත්‍රී පීස් ඔ‍ෆිස් කිට් එක අඳිනවා නම් ඒක ක්ලාසි සහ සෙක්සි විදියට අඳින්න ඕන විදියක් තියෙනවා. ඒකට මුලින්ම තමන්ගේ ඇ‍ඟේ හැඩය සහ විදිය ගැන හිතන්න ඕන. හැඩ ඇඟක් තියෙනවා නම් අන්න ඇ‍ඟේ ගාණට තියෙන ත්‍රී පීස් කිට් එක අඳින්න පුලුවන්. ඒකට කකුල් පේනවා වුනාට කමක් නෑ. ඒක ක්ලාසි සහ සෙක්සි!

දෙවෙනියට අඳින්න ඕන තැන ගැන හිතන්න ඕන. උදාහරණයක් විදියට ඔ‍ෆිස් දවසක ගෑණු ළමයෙක් ශෝර්ට් එකක් සහ ස්කිනි එකක් ඇඳලා සාමාන්‍ය ගමනක් යන එක සෙක්සි වෙන්න පුලුවන්, හැබැයි ක්ලාසි නෑ. ඒත් ඒ කිට් එකෙන් ට්‍රිප් එකක් හරි වෙන විනෝද ගමනක් හරි යනවා නම් අන්න ඒක ක්ලාසි සහ සෙක්සි!

 

2. කෙල්ලෙක් සෙක්සි විදියට හැසිරෙන්නත් ඕනා!

Image Source – telegraph.co.uk

දැන් කෙල්ලෙක් සෙක්සි විදියට හැසිරෙනවා කියන්නේ මොකක්ද? පොදු තැනක හිටියත් ඇස් කරකවලා බලන එක, තමන්ගේ ඇඟ දිගේ අත ගෙනියන එක, ඇඹරෙන එක එහෙමද? ආන්න වරදින තැන. ඒක සෙක්සි නෙවෙයි. ඒක කොහොමටවත් ක්ලාසිත් නෙවෙයි. ඔහොම එකක් සෙක්සි වෙන්න පුලුවන් ආදරවන්තයෙක් එක්ක තනිවුණු මොහොතක. හැබැයි පොදු තැනක ඉන්නකොට වඩාත් විනීත හැසිරීම තමයි ක්ලාසි වෙන්නේ. ඒ විනීත හැසිරීම සහ තමන් ඇඳපු ඇඳුම එක්ක පහසුවෙන් ඉන්න එක තමයි සෙක්සි වෙන්නේ. උදාහරණයක් විදියට කියනවා නම්, සමහර ගෑණු ළමයි සෙක්සි වෙන්න හිතාගෙන කොටට අඳිනවා. එහෙම ඇඳලා කොච්චරවාත් සායේ වාටියෙන් අල්ලලා පහතට අදිනවා. අන්න ඒක හරි කැතයි. ඊට වඩා කොට ස්කර්ට් එකක් ඇඳලා බොහොම සැහැල්ලුවෙන්, පහසුවෙන් ඉන්න ගෑණු ළමයෙක්, වාඩි වෙනකොට ලස්සනට කකුලක් පිට කකුලක් දාගෙන වාඩිවෙන ගෑණු ළමයෙක්, කොට ස්කර්ට් එකෙන් නිරාවරණය වූ තමන්ගේ කකුල් ගැන අපහසුතාවයක් නැතුව ඉන්න ගෑණු ළමයෙක් ක්ලාසි වගේම සෙක්සි!

 

3. ඕනෑවට වඩා නැති නම් කෙල්ලෙක් සෙක්සි!

Image Source – papers.co

දැකලා ඇති සමහර ගෑණු ළමයි ඉන්නවා තොරොම්බල් කරත්ත වගේ. කණේ ටසල් කරාබු දාලා. නහයේ, තොලේ, අරහේ, මෙහේ දාන්න පුලුවන් හැම තැනකම තව කරාබු දාලා. එක එක මාල වළලු ගණනාවක් දාලා. එහෙම නැතිනම් දීප්තිමත් එකිනෙකට ගැලපෙන්නේ නැති පාට වලින් ඇඳුම් ඇඳලා. ආන්න ඒක සෙක්සි නෙවෙයි නංගිලා. ඒක කොහොමටවත් ක්ලාසි ලුක් එකක් දෙන්නෙත් නෑ. සෙක්සි සහ ක්ලාසි විදියට අඳින්න නම් මුලින්ම තමන් අඳින තීම් එක ගැන අදහසක් තියෙන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත් හිපී ස්ටයිල් එකට ඉන්දියන් ස්කර්ට් එකක් ඇඳලා, කුර්තාවක් ඇඳලා ඉන්නවා නම් මාල, වළලු ගණනාවක් දැම්මට කමක් නෑ. හැබැයි ඒවා සිම්පල්, විසිතුරු ඒවා නම් තමයි ගැලපෙන්නේ. ඒවා එකකට එකක් ගැලපෙන්නත් ඕන. එහෙම විසිතුරු මාල වළලු මිනි ස්කර්ට් එකකට කොහෙත්ම ගැලපෙන එකක් නෑ. ගොඩක් වෙලාවට කොයි තරම් සෙක්සි විදියේ ඇඳුමක් ඇන්දත්, බොහොම සරල පළඳනාවකින් දෙකකින් සරාගී බව මතුකරලා පෙන්වන්න පුලුවන්. ඒකට ඕනෑවට වඩා දේවල් පළඳින්න වුවමනා නෑ. අන්න එතකොට සෙක්සි වගේම ක්ලාසි!

 

4. කොල්ලෙක්ට සෙක්සි ඇඳුමක්!

Image Source – indulgexpress.com

කොල්ලෙක්ට සෙක්සි විදියට අඳින්න නම් මුලින්ම තමන්ගේ ශරීරය ගැන, සමේ පැහැය ගැන හිතන්න ඕන. ලස්සන ඇඟක් තමන්ට නැතිනම් එක්කෝ ලස්සන ඇඟක් හදාගන්න පුලුවන්. එහෙම නැතිනම්  ඇ‍ඟේ ලස්සන නැති කම හැංගෙන විදියට අඳින්න පුලුවන්. කොල්ලෙක්ට සෙක්සි විදියට අඳින්න කොටට අඳින්න ඕන නැහැනේ. හැබැයි ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇන්දත් කොල්ලෙක්ට පිරිසිදුවට, පිළිවෙලට අඳින්න පුලුවන් නම් හොඳ සෙක්සි පෙනුමක් වගේම ක්ලාසි පෙනුමකුත් ලබාගන්න පුලුවන්.

 

5. කොල්ලෙක් හරියට ඉන්න විදියත් සෙක්සි!

Image Source – anabolichealth.com

දැන් ගොඩක් වෙලාවට කොල්ලෙක් කොයි තරම් හොඳට ඇඳලා හිටියත් සමහර වෙලාවට ඉන්නේ මඩේ හිටවපු ඉන්නක් වගේ වෙන්න පුලුවන්. සමහර කොල්ලෙක්ට කොහේ හරි තැනක කෙලින් හිටගෙන ඉන්න බෑ. එක්කෝ බිත්තියකට හරි මොකකට හරි හේත්තු වෙන්න ඕන. එහෙම නැතිනම් මොකක් හරි දේක අත තියාගෙන ඉන්න ඕන. අන්න එතකොට අර සෙක්සි විදියට ඇඳලා පැළඳලා ඉන්න එකේ ගැම්ම ඔක්කොම නැති වෙනවා. කොල්ලෙක්ට පුලුවන් වෙන්න ඕන හොඳ පෞරුෂත්වයක් පේන විදියට සෘජුව, ස්ථාවරව හිටගන්න. එතකොට ඇවිදින කොට තමන් ගැන හොඳ ෂුවර් එකක් තියෙන විදියට ශක්තිමත්ව ඇවිදින්න. ආන්න ඒ වගේ දේවලින් කොල්ලෙක්ට ලැබෙන සෙක්සි පෙනුම මාරම දෙයක්. ඒ වගේම තමයි ඒකෙන් ලැබෙන ක්ලාස් එකත්!

 

6. මැනර්ස් තිබීමත් සෙක්සි!

Image Source – menwit.com

මැනර්ස් නැතිනම් යහපත් ආචාර ධර්ම කියන්නේත් අද කාලේ ගොඩක් දෙනෙක් වැඩිය හිතන්නේ නැති, ගණන් ගන්නේ නැති දෙයක්. හැබැයි විනීත ආචාර ධර්ම, විනීත පුරුදු කියන්නේ අනිවාර්යයෙන්ම කෙල්ලෙක්ගේ වුනත්, කොල්ලෙක්ගේ වුනත් සෙක්ස් ඇපීල් එක වැඩි කරවන දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත් වේටර් කෙනෙක්ට, ‍ටුක් ‍ටුක් රියදුරු මහතෙක්ට වගේ කතා කරනකොට ලොකු සයිස්, පාට් නොදමා විනීතව, සුහදව කතා කරන කොල්ලෙක්, කෙල්ලෙක් දකින්න ආස හිතෙනවා. “කරුණාකරලා”, “ස්තුතියි” වගේ වචන පාවිච්චි කරන කොල්ලෙක්, කෙල්ලෙක් ගැන අපිට බොහොම ප්‍රසන්න හැඟීමක් ඇති වෙනවා. ආන්න ඒක තමයි තමන්ගේ සෙක්සි බව වැඩි කරන්න උපකාරී වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, තමන්ට හොඳ ක්ලාස් එකක් තියෙනවා කියන එකත් ඒ වගේ මැනර්ස් දන්න හැසිරීමකින් ගම්‍ය වෙනවා.

 

7. ඉන්ටෙලිජන්ස් ඊස් සෙක්සි!

Image Source – thinkaloud.net

මෙන්න මේක කාන්තාවෝ සහ පිරිමි දෙගොල්ලෝම දැනගන්න ඕන දෙයක්. කොච්චර සෙක්සි විදියට ඇඳලා පැළඳලා හිටියත් වැඩක් නෑ කට ඇරියොත් ගම විනාසයි නම්. ගැහැණු පිරිමි ඕනෑ කෙනෙක්ට පුලුවන් නම් මෝඩ කතා හරි ඕප දූප හරි කියන්නේ නැතුව බොහොම වැදගත්, හරබර සංවාදයකට වුනත් සහභාගී වෙන්න, කතා කරනකොට පැහැදිලි විදියට, සරලව කතා කරන්න, ආන්න ඒක ඉතාම සෙක්සි. ඒ වගේම ක්ලාසි. හැබැයි මේ කියන්නේ කොහේ ගියත් බර පණ්ඩිත දේවල් කියන්න කියලා නෙවෙයි. ඒක කොහෙත්ම සෙක්සි නෑ. ඒත් අවස්ථාවේ හැටියට ලෝකේ දෙයක් ගැන පැහැදිලි, වටිනා අදහසක් ඉදිරිපත් කරන්න පුලුවන් හැකියාව, හොඳ හාස්‍ය රසයක් තිබීම වගේ දේවල් බොහොම සෙක්සි සහ ක්ලාසි කියලා කියන්න ඕන. විශේෂයෙන්ම කොල්ලෙක්ට ෆනී වෙන්නත්, ඉන්ටෙලිජන්ට් වෙන්නත් පුලුවන් නම් ඒක මාරම සෙක්සි දෙයක් කියලා ගැහැණු ළමයි හිතාවි.

 

8. හරියට ඉඟි බිඟි පෑමත් මාරම සෙක්සි!

ඔය ඉඟි බිඟි පෑම නැතිනම් ෆ්ලර්ට් කිරීම කියන්නේම එක්තරා කලාවක්. අපි සරලවම ගමු කොල්ලෙක් හරි කෙල්ලෙක් එක්ක හරි කතා කිරීම කියලා. එතකොට ළඟට ගිහින් බලෙන් කතා කරන එක සෙක්සි නෑ. ළඟට ගිහින් කතා කරන්න බැරුව ඇඟිල්ලෙන් බිම හාරන එකත් සෙක්සි නෑ. ඒවා කොහොමටවත් ක්ලාසි නෑ. හැබැයි තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව සරලව කතා බහක් ආරම්භ කිරීම, ඒ කෙනාට යහපත් ප්‍රශංසාවක් කිරීම වගේ දෙයක් අපිට සෙක්සි සහ ක්ලාසි කියන කාණ්ඩයට දාන්න පුලුවන්. විශේෂයෙන්ම මෙතනදී සෙක්සි සහ ක්ලාසි වෙන්නේ අනෙක් කෙනාට නිසි ගෞරවයෙන් යුතුව, තමන්ගේ සමානයෙක් විදියට සැලකීම. ඒ කියන්නේ කෙල්ලෙක්ගේ ශරීරාවයවයක් ගැන ප්‍රශංසා කිරීම සෙක්සි නෑ. කෙල්ලෙක් අසීරුතාවයට පත් වෙන විදියට කතා කිරීම සෙක්සි නෑ. එතකොට කෙල්ලෙක් ගිහින් කොල්ලෙක් දිහා නාහෙට පහළින් බලලා ගණන් ගන්නෙ නැතුව කතා කිරීමත් සෙක්සි නෑ. තමන් එක්ක කතා කරන්න එන කොල්ලෙක්ව මඩවන්න උත්සාහ කිරීමත් සෙක්සි නෑ. මේ එකක්වත් කොහොමටවත් ක්ලාසිත් නෑ!

Cover Image Source – thinkaloud.net

 

 

Leave a Reply

Your email address will not be published.