කවුරුත් කියවපු රෝල්ඩ් ඩාල්ගේ ළමා කතා පොත් පෙළෙන් සිනමාවට ගිය ගමනක්

ඉටිකිරිස් ළමා කාලයක් තියෙන්න නම් හත්පණ, හීන්සැරය, මඩොල් දූව කියවනවා වගේම පිටරැට්ටුන්ගේ කතා පොතුත් කියවන්න ඕනි. ඉනිඩ් බ්ලයිටන්, ආතර් කොනන් ඩොයිල් වගේ ළමා කාලයත් එක්ක සම්බන්ධ විදේශ කතුවරු ගොන්නේ ඉන්න සුපිරිම බුලට්ටුව තමයි රෝල්ඩ් ඩාල් උත්තමයා. එහෙම කියන්න හේතු ගොඩයි. එකක් ඒ පොත් ඇතුළේ තියෙන චිත්‍ර. අනික තමයි කතාව ලියවිලා තියෙන විදිය. පොතක් ගත්තොත් පැත්තකින් තියන්නේ කියවලා ඉවර වෙලා. ළමයින්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත් හොටු පනිනකන් හිනා වෙන්න පුළුවන් ඉතින්. හැබැයි මේ කතා කෙරෙන්නේ ඒ පොත් ගැන නෙවෙයි. ඒ ආශ්‍රයෙන් නිර්මාණය වුණ චිත්‍රපටි ගැන කතාවක්.

 

1. Matilda (1996)

Image Source – theedgesusu.co.uk

පිස්සු පීකුදු වර්ම්වුඩ් පවුල, අසරණ මිස් හනී, අමනුස්ස ට්‍රන්ච්බුල් කියන චරිත වටා ජීවත් වුණ මැටිල්ඩා කියන පොත් ගුල්ලිගේ කතාව තමයි මේ. පොත කියවනකොට ඉල ඇදෙනකන් හිනා වුණ අයට ඒවා තව ටිකක් ඇදගන්න පුළුවන් මේක බැලුවොත්. සාමාන්‍යයෙන් පොතක් අනුසාරයෙන් වෙන සිනමා නිර්මාණයක ඇදකුද විසිතිස් ගාණක් තියනවනේ. ඒත් මේක නම් ආය ඉතින් පොතම තමයි එහෙම් පිටින්ම. කුණු වෙච්ච තක්කාලි දර්ශකය හෙවත් Rotten Tomatoes 90%ක් ලෝස් නැතුව දීලා තියෙන්නෙත් ඒකමයි. පුංචි මැටිල්ඩාට රඟපාන්නේ මාරා විල්සන්. සෝයි වැඩේ කියන්නේ දැන් හැබෑ ජීවිතේ ඇය පොත් ලියන්නියක් වීම. අසරණ මිස් හනීට රඟපාන්නේ එම්බෙත් ඩේවිඩ්ට්ස්. අගතා ට්‍රන්ච්බුල් හෙවත් පොඩි කෙල්ලොන්ගෙන් කොණ්ඩෙන් අල්ලලා කරකවලා විසි කරන්නියට ඉන්නේ පෑම් ෆෙරිස්.

 

2. Charlie and the Chocolate Factory (2005)

Image Source – bustle.com

කතාව හින්දා ආසාවෙනුත් කට්ටිය බලන්න ඇති. ඒත් ඉතින් විලී වොන්කාට ජොනී ඩෙප් තමයි රඟපාන්නේ කිව්ව නිසා ආසාව වැඩි වෙන්නත් ඇති. මේක නම් ඉතින් හැම පොඩ්ඩෙක්ම බලන්න ඕනි කතාවක් තමයි. පුංචි ගෙදරක පට්ට අමාරුවෙන් ජීවත් වෙන කොල්ලෙක්ගේ ජීවිතයම වෙනස් වෙන හැටි, පවුලක ආදරය, බඩජාරිකමයි බකපණ්ඩිතකමයි දඬුවම් ලබන හැටි හරි අපූරුයි. උම්පා ලුම්පලා ටික නම් හුරතලේ බැහැ. දුප්පත් චාලි බකට්ට ජීවිතය දුන්නේ ෆ්‍රෙඩි හයිමෝර්. වොන්කා මහත්තයා නම් ජොනී ඩෙප් තමයි. මේ චිත්‍රපටයට අමතරව ඔය කතා සාරයම තියෙන එකක් ආවා 1971 වසරේ දී. ඒකෙ නම Willy Wonka and the Chocolate Factory. ඒකෙ නම් තිර පිටපත ලියන්නෙත් රෝල් ඩාල්මයි.

 

3. The Witches (1990)

Image Source – consequenceofsound.net

මායාකාරියෝ ආසම වැඩේ තමයි පොඩි උන්ට කෙළවන එක. කොහේ ඉඳන් මතු වෙනවද කින්ද මන්ද දන්නේ නැහැ. මේ දැන් වුණත් ඔයාගේ වටේ ඉන්න පුළුවන්. ඉතින් මොකෝ. ලූක් එක්ක හෙල්ගා එකතු වෙලා මායාකාරියෝ ටික මීයන්ව කරා නේ. ඊට පස්සේ උන්ට පාර හම්බු වෙනවා තොලොංචි වෙලාම යන්න. මහ මායාකාරිට රඟපාන්නේ ඇන්ජලිකා හැට්සන්. මිස්ටර් බීනුත් ඉන්නවා. එහෙම නම් ඉතින් මේක ඩාක් කොමඩියක් තමයි. 1990 තරම් පට්ට පරණ වුණත් වෝනර් බ්‍රොස්ලගේ වැඩක් නිසා කැටයම් පාර තියනවා.

 

4. The BFG (2016)

Image Source – disney.wikia.com

අනාථ නිවාසෙක හැදෙන වැඩෙන පුංචි කෙල්ලක්ව යෝධයෙක් ඇවිත් යෝධලන්තයකට එක්කගෙන යනවා. එක්කගෙන යනවා කියන්නේ ඉතින් පැහැරගන්නවා. ඒක එහෙම වුණේ යෝධයන් ගැන රහස මේ කෙල්ල වමාරයි කියන බයට. අන්තිමේ කෙල්ල තේරුම් ගන්නවා මේ ඉන්නේ හිතහොඳ යෝධයෙක් කියලා. ඒ අස්සේ මිනී කන යෝධයෝත් ඉන්නවා. උන්ට එරෙහිව පුංචි කෙල්ල මොනවා කරයිද? ස්ටීවන් ස්පීල්බර්ග්ගේ වැඩක්. ඒ තරම් වයස නැති මේ චිත්‍රපටය 2016 අවුරුද්දේ තමයි උපත ලබන්නේ. සජීවිකරණ තාක්ෂණයෙන් උපත ලබපු යෝධයාට හඬකවන්නේ මාක් රයිලන්ස්.

 

5. James and the Giant Peach (1996)

Image Source – imdb.com

1996 අවුරුද්දේ කලඑළි බැහැපු ක්ලැසික් ඇනිමේෂන් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ජේම්ස් හිතාගෙන හිටියේ අම්මත් තාත්තත් නැතුව එයාට ජීවිත කාලේ පුරාම කන්දක් උඩ ගෙදර හදාගෙන ඉන්න එයාගේ කටුකරෝසා නැන්දලා දෙන්නා එක්ක ඉන්න වේවි කියලා. ඒත් එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ පීච් ගෙඩියක් නිසා. විස්තර වශයෙන් කිව්වොතින් පීච් ගෙඩිය ඇතුළේ දී එයාට මුණ ගැහෙන යාළුවො නිසා. මේ සෙට් එකට පීච් ගෙඩි සවාරියේදී හරි හරි දේවල් තමයි වෙන්නේ. කැන්සාස් චිත්‍රපට උළෙල ඇතුළුව ගොඩක් සම්මාන උළෙලවල්වලදී හොඳම සජීවීකරණ චිත්‍රපටිය විදියට සම්මාන ලබලත් තියෙනවා. කුණු වෙච්ච තක්කාලි නඩේ 92%කුත් දීලා තියෙන්නේ ඒකනේ.

 

6. Fantastic Mr. Fox (2009)

Image Source – theplaylist.net

ඔස්කාර් සම්මාන උළෙලට වගේම ගෝල්ඩන් ග්ලෝබ්ස් සඳහාත් නිර්දේශ වෙන මට්ටමට සුපිරියටම හදපු ඇනිමේෂන් අයිටමයක් තමයි මේ. අනික හඬකවන්නෙත් ජෝර්ජ් ක්ලූනි, මෙරිල් ස්ටීප් වගේ තද පොරවල් තමයි. එළකිරි නරි නයිදේ කෙනෙක් තමන්ගේ පවුල වගේම අනික් යාළු සත්තුත් වටේ පිටේ ඉන්න ගොවිරාළලාගෙන් බේරගන්න කරන දහංගැටයක් තමයි මේ කතාවේ පෙන්නන්නේ. IMDb එකෙන් 7.8කුත් කුණු වෙච්ච තක්කාලි හාදයෝ 92%කුත් දීලා තියෙනවා.

 

7. Esio Trot (2015)

Image Source – youtube.com

ඊයේ පෙරේදා එළිබැහැපු රෝල්ඩ් ඩාල්ගේ පිලුමකට තියෙන්නේ 2015 අවුරුද්දේ දී හදපු මේ චිත්‍රපටිය. මේක ගම් හතකට අඬබෙර ගහලා හදපු එකක් නෙවෙයි. BBC එකෙන් නත්තල් කාලේ අල්ලලා තමයි මේක හැදුවේ. ඒ කියන්නේ ඉතින් ටෙලිවිෂන් ෆිලුමක්. තියෙන්නෙත් විනාඩි අනූවයි. හැබැයි හරිම රසවත්. ලැජ්ජාව උපතින්ම උරුම කරන් ආපු මිස්ටර් හොපී, අල්ලපු ගෙදර කරුණාවන්ත ගැහැණිය මිසිස් සිල්වර්, මේ දෙන්නා අතර ආදරේ දළුලන්න මග පාදපු ඉබ්බා ඇල්ෆි . Esio Trot කියන්නේ කුණුහබ්බයක් නෙවෙයි. වචනේ මුල ඉඳන් අගට කියවපුවම එන්නේ Tortoise.

Cover Image Source – independent.co.uk/ booktrust.org.uk

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *