ඉස්සරහට ගැහුවට යන්නෙ පිටිපස්සට. දුවන්නෙ කැඩිච්ච අටපට්ටම වගේ. ඉස්සරහට පැන්නොත් බෝලෙ උඩ. පනහක් ගැහුවොත් ගහන්නෙ අනිත් පැත්ත කැච් ටික බෑවොත් විතරයි. හතරක් ගැහුවොත් පෑඩ් ග්ලවුස් හෙල්මට් ඔක්කොම ගැලවිලා වැටෙනවා. මෙන්න මේ වගේ කාරණා නිසා අපි මේ කියන පොර ලොකුවටම බැනුම් අහනව. හැබැයි කොච්චර බැනුම් ඇහුවත් මෙයා තමයි ලංකාවෙ ක්‍රිකට්වලට සිද්ධ වෙච්ච හොඳම දේ. අපි එහෙම කියන්නෙ වගකීමක් සහ හේතු ඇතුව. මේ සටහන ඒ හේතු ටික පහදන්නයි. අදින් පස්සෙවත් අපේ චන්දිට බනින්න කලින් දෙපාරක් හිතන්න.
1. නෝ කතා නෝ සිනා
වෙන උන් වගේ මැච් එකක් පැරදුනාම “අපේ උන් ගැහුවෙ නෑ. ඉතිං කොහෙද මැච් දිනන්නෙ. අනිත් පැත්තෙ උන් ආනමාලු කෙසෙල් ගෙඩි කාලයි ආවෙ. මෙහෙ බජට් එකෙන් කොහෙද සුදෝ ආනමාලු කන්නෙ. දැන් මේ හිතේ දුකටවත් අඩියක් ගහමුකො මැණිකෙ” කියල වයිෆ් එක්ක දුක බෙදාගන්නෙ නෑ. කෙලින්ම ගෙදර ආවා. නිදියගත්ත. පොර කතා කරන්නෙ නෑ වචනයක්. අන්න ඒකයි දුක දරාගන්න හරිම විදිය. එංගලන්තෙ එක්ක සීරීස් එකත් මුල් මැච් ටික ඉවර වෙනකංම කතා නොකර ඉඳලා ගොලු වෙයි කියල යාලුව ගැන දුක හිතලයි කුසලුයි දික්වැල්ලයි ෆෝම් එකට ආවෙ. නැත්තං එයාලා එහෙම ආවට ගියාට සටන පාවා දෙන අය නෙමෙයි.
2. කොච්චර බැරිවුනත් දාලා යන්නෙ නෑ
ඉස්කෝලෙට සීයක් ගහලා තමුන්ගෙ අයියා විදියටම සෙලිබ්‍රේෂන් එක දාපු මල්ලි ටීම් එකට එනකං මේ අයියනං ඕකෙන් හෙල්ලෙන්නෙ නෑ. වන්ඩේවල බෝල හතලිහට විස්ස ගහන මනුස්සයෙක් වෙලත් විස්සයි විස්සෙ වන් ඩවුන් බැට් කරන්න එන්නෙ අන්න ඒ අත් නොහරින ගුණය නිසානෙ. රටේ අගමැතිලා දෙන්නගෙන්ම ගත්තු උතුම්ම ආදර්ශය තමයි ඒ.
3. දාන මාන
වෙනිං ප්ලේයර්ස්ලා ඉන්ස්ටග්‍රෑම් පුරවන්නෙ ඩේ අවුට් විත් ෆ්‍රෙන්ඩ්ස්, ඊටින් බර්ගර්ස් විත් චූටි කුකූ, හිටින් ද ජිම් වගේ ෆොටෝ දාලා. අපේ කොල්ල බැලුවොත් ඇත්තං පිරිකරක් අතේ. අර කොහෙවත් ඉන්න සුදු ඇඳගත්තු මහත ගෑනියෙක් ක්‍රෙඩිට් එක ගන්න හැදුවට කොල්ල කිසිසේත්ම මිත්‍යා ඇදහිලි තියෙන කෙනෙක් නෙමෙයි. සුපිරි බුද්ධාගං කාරයා. එහෙවු මනුස්සයෙක් කවදාවත් වෙනිං කැප්ටන්ලා වගේ ටීම් එකට නරකක් නපුරක් කරනවාද? නැහැනෙ.
4. අයිපීඑල් එපා!
අයිපීඑල් එකට තෝරගත්තෙ නැති එක වෙනම කතාවක්. හැබැයි අපේ කොල්ලා සල්ලි පස්සෙ ගියේ නෑ. 96 කප් එක උස්සලා තෙල් සංස්ථාවෙන් කැමා කලිසම ඇඳලා එළියට බැහැපු බඩා මාමගෙ ඉස්කෝලෙටම ගිය, ඒ අඩි පාරෙම යන පුතයනෙ. ඉතිං අනවශ්‍ය විලාසිතා කරන්නෙ නෑ, කොණ්ඩෙ වවන්නෑ, රැවුල් කට් ගහන්නෑ, කුණුහරුප කියන්නෙ නෑ, බොන්නෙ නෑ, කාමර ඇතුළෙන් බංගලි කෙල්ලො එළියට පනින්නෙ නෑ, ටැටූ ගහන්නෙ නෑ, සල්ලි පස්සෙ දුවන්නෙ නෑ, අයිපීඑල් දිහා හැරිලවත් බලන්නෙ නෑ (උන් බලන්නෙත් නෑ), ලකුණු ගහන්නෙත් නෑ. යුක්තිගරුකයි ඒයි!
5. පෙර පුහුණුව
මිනිස්සු පෙර පුහුණුව කියන්නෙ මොකද්ද කියල තාම දන්නෙ නෑ. වන්ඩේ පහකටයි ටීටුවෙන්ටියකටයි පස්සෙ තියෙන්නෙ ටෙස්ට් සීරීස් එකක්. ටෙස්ට් කියන්නෙ ක්‍රිකට්වල ජීව ගුණය රැඳෙන තැන. එතනයි හරි හමං ක්‍රිකට් තියෙන්නෙ. ඒකට මේ ඔහෙං මෙහෙං ප්‍රැක්ටිස් කරලා බෑ. අනික මැච් අතරේ හම්බෙන ඉඩ ඒකට ප්‍රැක්ටිස් කරන්න හොඳටම මදියි. අන්න ඒ නිසායි අපේ චන්දි කොල්ලා වන්ඩේ මැච් යන අතරෙම ඉඳන් ටෙස්ට්වලට ප්ලේ කරන්න පුරුදු වුනේ. හෙමීට බෝලෙ තල්ලු කරලා එකක් දුවන්න, පුළුවන් තරං ලීවු කරන්න, බෝලෙ පරණ වෙනකං ඉවසගෙන ඉන්න ට්‍රයි කරද්දි ගෙවල්වල ඉන්න ක්‍රිකට් ඔස්තාද්ලා බැන්නෙ කොහොමද?
6. ගේමෙන්
ලංකාවෙ අපේ සාමාන්‍ය සිරිත මොකද්ද? ඕපනිං ජෝඩුව ඕවර් පහළොවට ලකුණු සීයක් ගහලා, දෙන්නම පනහේවා දාලා, හොඳ ස්ට්‍රයික් රේට් එකකින්, ස්ට්‍රෙස් නැතුව ගහගෙන යද්දි අපේ රටේ උන්දලගෙ හිතේ මැවෙනවා හීනයක්. ඊළඟට එන බැට්ස්මන්ලා දෙන්නාත් සීයේ ඒවා දාවි, ඊටපස්සෙ එන පොල් අඩි අයියලා අන්තිමේ පනහේවා දාවි කියලයි එයාලා හිතන්නෙ. හැබැයි එක විකට් එකක් ගිය ගමන් එන්නෙ අපේ චන්දි කොල්ලා. ඉතිං ස්ට්‍රයික් රේට් අහුලන්න යන්න ඕන විල්බැරෝ අරගෙන. නාකි බල්ලො කොළඹ යනව වගේ තමයි ස්කෝ එක කැරකෙන්නෙ. අන්න ඒ විදියටයි අපේ කොල්ලා අපේ හිතේ ගේම් එක ඇති කරවන්නෙ. දැන් අපිට අපේ උන් මුල ඉඳන් කොච්චර හොඳට ගැහුවත් අද දිනයි කියල හිතෙන්නෑ. අන්න ඒ නිසා අපි අන්තිම වෙනකංම ඇස් ඇරගෙන මැච් එක බලනවා. මොකද අපිට ෂුවර්නෙ මැද්දෙන් ඇවිල්ලා ලකුණු ගාණ බස්සලා දෙන විත්තිය.
7. බාල්දු නොවෙන නායකකම
වෙනිං නායකයො පැරදුනාම ජාත්‍යන්තර විස්තර විචාරකයො ඉස්සරහ බාල්දු වෙනව බාල්දු විල්ලක් ගන්නම දෙයක් නැති වෙන්න. හැබැයි චන්දි කොල්ලා එහෙම නෑ. එයා පැරදිච්ච දවසට පෝස්ට් මැච් ප්‍රසන්ටේෂන් එකට ඔලුව වන වන ඉන්න යවන්නෙ අකිලව. එයා නායකකමේ ගෞරවේ රකිනවා. ඒ වගේම එයා කෝකටත් කියලා පරදින්න කලින්ම මුං තමයි ලෝකෙ අංක එකේ ටීම් එක, ඒ නිසා අපි පැරදුනත් ගින්නක් නෑ කියන අදහස ලෝකෙට දෙනවා. අනික ලෙල්ලට හීරෙන්නම මැච් පැරදුනාට පස්සෙත් බෝයිස් ප්ලේඩ් එක්ස්ට්‍රාඕඩිනරි ක්‍රිකට් වගේ කතා කියනවා. අපි ඉතිං එක්ස්ට්‍රාඕඩිනරි කියන වචනෙ තේරුම නොදන්න නිසා හොඳයි.
Cover Image Source – cricket.com.au/ dnaindia.com
Leave a Reply