මේ මොහොතේ වැඩිම පිරිසක් එක්වෙන YouTube චැනල් 7

YouTube කියන්නෙ මේ වෙද්දි මුදල් උපයන මාර්ගයක්. අපේ රටෙත් යූටියුබ්වලින් මුදල් උපයන අය ඉන්නවා. දෙවුමි ගවුම අඳිද්දි සමල්කා කරපු වැඩේ, ශානිකා සින්දුව කියනකොට රොෂාන් කලිසම හදපු හැටි, ටීනා අලුත්ම නාට්ටියට නිරුවතින් මුහුණ දීපු හැටි, ලිංගය වර්ධනය කරගන්න මේ බෙහෙත් බොන්න වගේ කතා ගහන බොහෝමයක් අතරේ හරි විදියට වැඩේ කරගෙන යන අයත් ඉන්නවා. මේ සටහනට එකතුවෙන්නෙ යූටියුබ් ජාලයේ වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් හිමි චැනල් 7 ගැන විස්තරයි. මේ වෙද්දි අංක 1 සහ 2 අතරෙ උණුසුම්කාරී සටනක් පැවතෙන නිසාම මේ ගැන කිව යුතුමයි.

 

1. PewDiePie

Image Source – youtube.com

වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න යූටියුබ් චැනල් එක තනියෙන් කරගෙන යන, තනි පුද්ගලයෙක් පෙනීහිටින තැනක්. කරන්නෙ තාමත් අවුරුදු 28ක් වයස වෙන ෆීලික්ස් කේල්බර්ග්. 2010 සිට මේ වෙනකං කරගෙන ආපු යූටියුබ් චැනල් එක ඇතුළෙ මිලියන 69.3ක් (සටහන තබන මොහොත වන විට) ස්බ්ස්ක්‍රයිබර්ස්ලා ඇති කරගන්නට වගේම තමන්ගේ වීඩියෝ වීව්ස් බිලියන 19කට ආසන්න වන තරම් ජනගත කරන්නට ඔහුට හැකියාව ලැබී තිබෙනවා. PewDiePieගෙ විශේෂත්වය වෙන්නෙ සරළකම. උපහාසයත් අපහාසයත් එක සේ කරන්නට පුළුවන්, හාස්‍ය පිරුණු කතාබහත්, ඕනම දෙයක් දිහා හැමෝම දකිනවාට වඩා වෙනස් කෝණයකින් බලන්නට තියෙන හැකියාවත් නිසා ඔහු සුවිශේෂයි. මේ වෙද්දි අංක දෙක ස්ථානයේ සිටින ඉන්දියානු සංගීත චැනලය සමග තරඟ කළත්, තනි මිනිසෙකු විසින් පවත්වාගෙන යන වැඩිම දෙනෙකු සම්බන්ධ වුණු යූටියුබ් චැනලය බවට PewDiePie සදා ඉදිරියෙන් සිටීවි. 2016දි Time සඟරාවෙන් “The World’s 100 Most Influential People” අතරට මොහුව ඇතුළත් කරනවා. තමුන්ගෙ යූටියුබ් චැනලය හරහා බොහෝ වැදගත් ව්‍යාපෘතීන්ට අරමුදල් එක් රැස් කරවන්නට වගේම වැදගත් කටයුතු බොහෝමයක් කරන්නට PewDiePie මුල් තැන ගෙන සිටිනවා.

ජනප්‍රියම වීඩියෝව –

 

2. T-Series

Image Source – en.wikipedia.org

දැනට දෙවැනි තැන තියෙන්නෙ හින්දි ගීත පිරුණු අපේ අල්ලපු රටට හිමි මේ යූටියුබ් චැනලය. තනි මිනිසෙකුගේ නිර්මාණ අන්තර්ගත නොවන නිසාත්, ලොව සිටින විශාලතම රසික ප්‍රජාවක් ග්‍රහණය කරගැනීමේ හැකියාව නිසාත් මෙම යූටියුබ් චැනලයට දෙවැනි තැන ලැබීමේ පුදුමයක් නැහැ. 2006 වසරෙදි ආරම්භ වන මෙම චැනලයට මිලියන 68ක රසික ප්‍රජාවක් සබ්ස්ක්‍රයිබ් වී සිටිනවා වගේම මේ වන විට බිලියන 50ක යූටියුබ් වීව්ස් වාර්තා කරන්නට ඔවුන් සමත් වී තිබෙනවා. T-Series කියන වැඩේ පටන්ගන්නෙ ගුල්ෂාන් කුමාර් වුනාට ඔහුගේ ඝාතනයෙන් පස්සෙ මේක යූටියුබ් චැනලයක් විදියට ආරම්භය ගන්නෙ ඔහුගේ පුතා සහ මල්ලිගේ මැදිහත් වීමෙන්. ලොකු රෙකෝඩ් ලේබලයක් වගේම ෆිල්ම් හදන සමාගමක් විදියට T-Series ඉදිරියෙන්ම සිටිනවා.

ජනප්‍රියම වීඩියෝව –

3. Canal KondZilla

Image Source – ambrosia.com

සතියකට පෙරාතුව තිබුණු තත්ත්වය වෙනස් කරමින් ජස්ටින් බීබර්ව පහළට ඇද දමා තෙවැනි ස්ථානයට පත්වෙන්නට Canal KondZilla සමත් වෙලා තියෙනවා. බ්‍රසීල ජාතික මියුසික් වීඩියෝ අධ්‍යක්ෂකවරයෙක් වෙන Canal KondZilla තමන්ට වයස අවුරුදු 18දි මව මිය යාමෙන් අනතුරුව ලැබුණු රක්ෂණ වන්දියෙන් ලබාගත් කැමරාවෙන් වීඩියෝ නිපදවීමට පිවිස තිබෙනවා. මේ වන විට අතිශය ජනප්‍රිය ඔහුගේ යූටියුබ් චැනලයේ සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 42 පසුකර ඇති අතර, බිලියන 20කට ආසන්න යූටියුබ් වීව්ස් ඔහුට ලැබී තිබෙනවා.

ජනප්‍රියම වීඩියෝව –

 

4. Justin Bieber

Image Source – tubefilter.com

සිවුවැනි තැන ප්‍රකට ගායක ජස්ටින් බීබර්ට හිමි වෙනවා. බොහෝ තරුණියන්ගේ ලැදියාවටත්, තරුණයින්ගේ අනාදරයටත් පත් Justin Bieber, පෙර සඳහන් කළ බ්‍රසීල මියුසික් වීඩියෝ අධ්‍යක්ෂකවරයා සමග කරට කර තරඟ කරමින් සබ්ස්ක්‍රයිබර්ස් මිලියන 41ක් දිනාගෙන තිබෙනවා. ඒ වගේම වසර 11ක් තිස්සේ සංගීතයේ නියැලෙන මේ 24 හැවිරිදි තරුණයා ගීත ගැයීමේ හැකියාවට අමතරව ගීත ලිවීම, ඩ්‍රම්ස් වාදනය සහ ගිටාර් වාදනයේද හැකියාවන් දක්වනවා. මෙම කැනේඩියානු ජාතිකයා සංගීතය නිපදවන තනි නිර්මාණකරුවන් අතරේ මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින සංගීත නිර්මාණකරුවා බවට පත්වෙනවා.

ජනප්‍රියම වීඩියෝව – 

 

5. 5-Minute Crafts

Image Source – facebook.com

අපිට එදිනෙදා දවසේ වැදගත් වෙන නිෂ්පාදන රැසක් සකසා දෙන අතිප්‍රසිද්ධ ‌යූටියුබ් චැනලයක් විදියට 5-Minute Crafts හඳුන්වන්න පුළුවන්. මිනිත්තු පහකට අඩු හෝ නොඉක්මවන වෙලාවකදි එහි සිදුකරන නිර්මාණ අපේ එදිනෙදා ජීවිතයට බොහෝවිට ප්‍රයෝජනවත් වන, පහසුවෙන් හදාගන්නටත් හැකි, වැඩි ශ්‍රමයක් හෝ බඩු බාහිරාදිය අවශ්‍ය නොවන නිර්මාණ නිසා 5-Minute Crafts වෙත වැඩි පිරිස‌කගේ ආකර්ෂණය හිමි වෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 39ක් සිටින මෙම චැනලය ගෙදර දොරේ වැඩකටයුත්තකට පහසුවෙන්ම උදවුවක් ගන්නට කදිම චැනලයක්.

ජනප්‍රියම වීඩියෝව – 

 

6. Dude Perfect

Image Source – youtube.com

මිතුරන් කිහිප දෙනෙක් එකතු වෙලා කරන ආකර්ෂණීය, උද්වේගකර වැඩක් තමයි මේ. දවසින් දවසට තේමාව වෙනස්. දවසින් දවසට එහි ඇති ක්‍රියාශීලීත්වය සහ අරමුණු වෙනස්. සැබැවින්ම මිතුරන් කිහිප දෙනෙකුගේ එකමුතුවක් නිසාත් ඔවුන්ට අනුග්‍රාහකත්වය සපයන ඒ ඒ ආයතන අනුව ඔවුන් සිදුකරන තේමා වෙනස නිසාත් අලුත් වීඩියෝවක් පැමිණි විගස Dude Perfect නරඹන්නට බොහෝදෙනෙකු පෙළඹී තිබෙනවා. ටයිලර්, කෝබි, කෝරි, කෝඩි සහ ගැරට් කියන යාලුවො පස්දෙනාගේ මේ සම්මුතියට යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 36කට අධික ප්‍රමාණයක් එක්වී සිටිනවා. 2009 වසරේදී මේ පාසල් මිතුරන් පිරිස එක්ව ඇරඹූ Dude Perfect චැනලය බොහෝ තරුණයින්ගේ ආකර්ෂණය දිනාගෙන තිබෙනවා.

ජනප්‍රියම වීඩියෝව – 

 

7. WWE

Image Source – en.wikipedia.org

මෑතකදි බොහෝදෙනෙකුගේ මුවඟ රැඳුණු ගීතයක් ගයපු Ed Sheeran තමන්ගේ පළමු සංගීත ඇල්බමයම අතිශය සාර්ථක කරගන්නට සමත් වුනා. ඉන්පසු ඔහුගේ කැපීපෙනෙන වීඩියෝව වුනේ ප්‍රකට රැප් ගායක එමිනෙම් සමග සිදුකළ වීඩියෝව. පසුගිය සතිය පුරාම මෙම ස්ථානයේ සිටි ඔහුව පසුකර, මිලියන 36ක සබ්ස්ක්‍රයිබර්ස්ලා දිනාගනිමින් 7වන ස්ථානයට පත්වන්නට ලෝ ප්‍රකට WWE ‌‌ජාලයට හැකි වුනා. රෙස්ලින් වෙනුවෙන් සහ එහි මවන නිර්මාණශීලී කතා නිසාම බොහෝදෙනෙකු හින්දි මෙගා ටෙලියක් බලන්නා සේ ආශක්ත වී WWE නැරඹීම නිසාම, ඔවුන් මෙවැනි ඉහළ තලයකට නැගීම පුදුමයක් නොවෙයි.

ජනප්‍රියම වීඩියෝව –

Cover Image Source –  itv.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *