ලංකාවේ විකාශය වුණු ජනප්‍රියම සංගීත වැඩසටහන්

අපිට රටක් විදියට නොස්ටැල්ජියාව පපුවටම දැනෙන විදියේ දේවල් ගොඩක් තියනවා. ඒ අතරින් සංගීත වැඩසටහන් විශේෂ වෙන්න තවත් හේතුවක් තියනවා. මොකද ඒ කාලේ ඔය ඉන්ටර්නෙට් අරක මේක ඒ තරමට නැහැනේ. අලුත් සින්දුවක් එහෙම ආවොතින් ඕක ටීවී එකෙන්මයි දැක බලා ගන්න වෙන්නේ. දැන් නම් ඒ ගැන හිතෙනකොටත් මොකද්දෝ වගේ. ඇයි ඉතින් දැන් තියෙන චාට් ෂෝ බලන්න තියා හිතන්නවත් බැහැනේ. අනික ඉතින් අතේ දුරින් ඉන්ටර්නෙට් තියෙද්දී ආයේ මොකද්ද!

 

1. රස රිසි ගී

Image Source – music.yandex.com

එදා මෙදා තුර විශාල විදියට තරුණ ආකර්ෂණය දිනා ගත්තු සංගීත වැඩසටහන විදියට රස රිසි ගී හැඳින්වුවොත් ඒක වැරදි නැහැ. තාමත් මේ නමින් වැඩසටහන පවතිනවා. හැබැයි උන්මාදයක් ඇති වුණේ තනූජා ජයවර්ධන එක්ක නාරද බක්මීවැව මේ වැඩසටහන කරපු කාලේ. 1997දී තමයි මියුසික් චැට් ෂෝ එකක් විදියට අමුතුම ආරකින් මේ වැඩසටහන පටන් ගන්නේ. කාලයෙන් කාලයට ජනප්‍රිය වුණ සින්දු පෙළට බලාගන්න ඕනි නිසාම බඩේ බත් නැතත් රස රිසි ගී බැලීමේ වුවමනාවක් හැමෝටම තිබුණා. සිරස තමයි චැනල් එක.

 

2. මනෝහාරී

Image Source – youtube.com

අලුත්ම විදියේ සංගීත අත්දැකීමක් දුන්න වැඩසටහනක් තමයි මේ. මේක චැට් ෂෝ එකක් නෙවෙයි. මියුසිකල් ෂෝ එකකුත් නෙවෙයි. ඒ දවස්වල අය මේකට කිව්වේ සංගීතමය රූප කාව්‍යයක් කියලා. වැඩසටහනේ මාස්ටර්මයින්ඩ් රවීන්ද්‍ර මුණසිංහ. නඳුන් උයන (ඒකත් එළකිරි වැඩසටහන) වගේ සංගීත වැඩසටහන්වලත් මොළකරු. මේක රූපවාහිනියේ කුටියකට සීමා වුණ වැඩසටහනක් නෙවෙයි. තිබුණෙත් එළිමහනක. ප්‍රේක්ෂකයන් පිරිසකුත් ඉන්නවා. කථනය සමන් අතාවුදහෙට්ටිගෙන්. සංගීතය සිහ ශක්ති. අමරදේව මාස්ටර්, අතුල-සමිතා, රූකාන්ත ගුණතිලක, ජැක්සන් ඇන්තනි, නන්දා පතිරණ මේ වැඩසටහනේ ගීත ගායනා කරපු කිහිප දෙනෙක්. චැනල් එක ජාතික රූපවාහිනිය.

 

3. හිතට වදින එක

Image Source – facebook.com

මේ තවත් පෙරළියක් ඇති කරපු සංගීත වැඩසටහනක්. නම කිව්ව ගමන් වැඩසටහන මතකයි. ඉතින් ළහිරු මුදලිගේ කිව්වොත් හිතට වදින එක. හිතට වදින එක කිව්වොත් ළහිරු මුදලිගේ. සතියේ දවස්වල එක වෙනකොට කට්ටිය ස්වර්ණවාහිනිය දාගෙන ඉන්නේ. පස්සේ සතිඅන්තයේ දී ත් විකාශය වෙන්න පටන් ගත්තා. භාෂාවේ භේදයක් නොමැතිව සිංහල, ඉංග්‍රීසි, හින්දි සහ දමිළ යන භාෂාවල ඒ කාලයේ ජනප්‍රියම ගීත පැයක් පුරාවටම පෙන්නුවා.

 

4. හාට් බීට්

Image Source – facebook.com

ජයන්ත අතපත්තු එක්ක නිරාෂා ඒකනායක කරපු මේ වැඩසටහන ස්වර්ණවාහිනිය ළදරු අවධියේදී කරපු, වැඩුණු සංගීත වැඩසටහනක්. නිකන්ම සින්දු පෙන්නනවට වඩා නිවේදකයන් දෙන්නා තමන් කරන්නේ මේ රූපවාහිනී වැඩසටහනක් ය කියලා සීරියස් නොවී පුල් ආතල් එකේ කරපු පළවෙනි වැඩසටහන ද මන්දා. මේ වැඩසටහනත් එක්ක ගොඩක් ජනප්‍රිය ගීතවලට මියුසික් වීඩියෝ ආවා. මේ වැඩසටහන බලපු අයට ඔබ ඇපල් මලක් වාගේ, අනන්තයට යන පාර දිගේ, කුසුමට ළං වී රොන් ගන්නා වගේ ගීතවල රූප රචනා මතක ඇති.

 

5. යාත්‍රා

Image Source – youtube.com

මනෝහාරී වගේම යාත්‍රා කියන්නෙත් ජාතික රූපවාහිනිය කරපු ලොකු පුණ්‍යකර්ම දෙකක්. යාත්‍රා සෙනේෂ් දිසානායක බණ්ඩාරගේ වැඩක්. ඉදිරිපත් කළේ අප අතරින් වෙන් වුණු සොඳුරු මාධ්‍යවේදී හේම නලින්. මේකෙත් ගීතවලට හාට් බීට් එකේ වගේම රූප රචනා අමුතුවෙන්ම නිර්මාණය කරා. මොන තරම් පැරණි වැඩසටහනක් වුණත් පුදුමේ කියන්නේ අදටත් මේ දේවල් මතකයේ තියෙන එක. වැඩසටහනේ නම අමතක වෙන්න පුළුවන් ඒත් මේ ගීත අමතක නැහැ. ඉවාන් පවුලූෂා, තුමුල නමුණුකුල ගිරිහිස, සිත පෙමට මුලා වී වගේ ගීත යාත්‍රා තුළින් ඉපදුණු ඒවා.

 

6. හීන හතක්

Image Source – youtube.com

සෙනසුරාදා දවසට රූපවාහිනී මහගෙදර බලන්න මිනිස්සු වාඩිගන්නේ සතියේ හොඳම ගීත හතක් අහන්න. ඉදිරිපත් කළේ ගායක රොෂාන් ප්‍රනාන්දු එක්ක ආශා එදිරිසිංහ. මේ දෙන්නත් දෙන්නට දෙන්නා විහිළු කර කර (හැබැයි ඉතින් ඩීසන්ට් ඒවා) ලස්සනට වැඩසටහන කරා. ගියපු සින්දුත් ලස්සනයි. තව ඉතින් මෙයාලාට ලස්සන තේමා ගීතයක් එහෙමත් තිබ්බා.

දේදුණු යායේ
තරුකැට අතරේ ජීවිතයේ අනන්තයට
විඳින විඳවන හීන අරන්
පීපෙනා හීන හතක්

 

7. දිගන්තය

Image Source – youtube.com

මේ වැඩසටහනට හරියටම සෙට් වුණ නිවේදිකාව තමයි ලෝචනා ඉමාෂි. ඒ දවස්වල ඔරලෝසුවේ වෙලාව උදේ 11 වැදුණා විතරයි එතැන් පටන් පැයක් යනකන් නෝ හෙල්ලුම්. කෝල් කරලා එහෙම සින්දුවක් ඉල්ලන්නත් පුළුවන්කමක් තිබීම හෙනම ලොකු දෙයක් විදියට සලකපු කාල නොවැ. මේකත් චාට් ෂෝ එකක් තමයි. විකාශය ළඟම නෑයා වන සිරසෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *