සාමාන්‍යයෙන් කොල්ලන්ගේ ජීවිතේ තියෙන සාපේක්ෂව කරදරකාරී සීන් එකක් තමයි ඔය රැවුල බාන එක. ඔව්, දැන් කාලේ ෆැෂන් එක රැවුල වවන එක තමයි. හැබැයි ඉතින් ඒකටත් රැවුල ක්‍රමානුකූලව පීරලා, ට්‍රිම් කරලා එහෙම තියාගන්න ඕනනේ. දැන් මේ උපදෙස් වටින්නේ රැවුල ෆුල් ෂේව් කරන කොල්ලන්ට තමයි. මොකද රැවුල බානවා කියන්නේ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් සබන් ටිකක් මූණේ අතුල්ලලා රේසරෙන් කපාගෙන කපාගෙන යන එක නෙවෙයි. ටිකක් වැඩ වැඩි වුනත් මේ උපදෙස් අනුගමනය කරනවා කියන්නේ බොහොම නීට්, පිරිසිදු, වඩාත් හැන්ඩ්සම් පෙනුමක් ෆුල් ෂේව් එකකින් ලබාගන්න පුලුවන් කියන එක තමයි!
1. රස්නේ වතුර සහ සීතල වතුර
මෙන්න සාර්ථකව ෂේව් කරන්න අත්‍යාවශ්‍ය කාරණයක්. ගෙදර හොට් වෝටර් ගීසර් එකක් එහෙම තියෙනවා නම් මඳ රස්නේ වතුරෙන් ෂවර් පාරක් දාලා රැවුල කපන්න ආවට කමක් නෑ. එහෙම නැතිනම් රස්නේ වතුරෙන් මුහුණ හොඳට සෝදලා රැවුල කපන්න පටන් ගන්න එක හොඳයි. මෙහෙම මූණ හෝදන කොට සුමුදු සබන් වර්ගයක් හරි ෆේස් වොෂ් එකක් හරි පාවිච්චි කළත් කමක් නෑ.
ඊළඟට රැවුල සම්පූර්ණයෙන්ම කපලා ආයෙමත් මූණ හෝදනවනේ. ආන්න ඒකට ගන්න ඕන සීතල වතුර. ඒකෙන් රැවුල කපලා ඉවර වුනහම මූණේ තැන් තැන්වල ඉදිමුම් ගතියක් එන එක සහ දැවිල්ල අල්ලන එක නැතිවෙනවා.
2. හොඳ ෂේවින්ග් ක්‍රීම් එකක්!
ගොඩක් දෙනෙක් ෂේවින්ග් ක්‍රීම් පාවිච්චි කරන්නේ නැත්තේ විවිධ මිත්‍යා මත නිසා. සමහරු කියනවා රැවුල ෂේවින්ග් ක්‍රීම් හින්දා ඉක්මනට ඉදෙනවා කියලා. තවත් සමහරු කියනවා රැවුල ගොරෝසු වෙනවා කියලා. හැබැයි ඉතින් හොඳ ෂේවින්ග් ක්‍රීම් එකක් තෝරගත්තොත් ඔය මොන ප්‍රශ්නයක්වත් නෑ. ඔය හොඳ ෂේවින්ග් ක්‍රීම් එකක් කියලා අදහස් කරන්නේ, සමට හිතකර සහ ෂේවින්ග් ක්‍රීම් එකකින් වෙන වැඩේ හරියටම සිද්ධ වෙන ෂේවින්ග් ක්‍රීම් එකක්. ඕන නම් පොඩි අන්තර්ජාල සෙවුමක් කරලා හොඳ බ්‍රෑන්ඩ් එකක් හොයාගන්න පුලුවන්.
හොඳ ෂේවින්ග් ක්‍රීම් එකකින් හම හොඳින් ස්නේහනය කරන එක වගේම රැවුලත් පහසුවෙන් කපන්න පුලුවන් විදියට තෙත් කරන එකත් සිද්ධ වෙනවා. ඒ වගේම රැවුල රේසරෙන් කපනකොට හමට උඩින් ආවරණයක් විදියටත් ක්‍රියාත්මක වෙනවා.
3. හොඳ ෂේවින්ග් බ්‍රෂ් එකක්!
ගොඩක් දෙනෙක් ෂේවින්ග් ක්‍රීම් පාවිච්චි කළත්, සබන් පාවිච්චි කළත් ගාන්නේ අතෙන්. හැබැයි ඒක සාර්ථක වැඩක් නෙවෙයි. හේතුව මේකයි. හොඳ ෂේවින්ග් බ්‍රෂ් එකකින් ෂේවින්ග් ක්‍රීම් එක මුහුණේ රැවුල තියෙන ප්‍රදේශයේ හැම අස්සක් මුල්ලක් නෑරම සමානව පතුරුවන්න ඉඩ ලබාදෙනවා. එහෙම හැම රැවුල් ගහකම ක්‍රීම් තැවරුණහම සමට හානියක් නොවෙන්න රැවුල බාන එක බොහොම පහසුයි. ඒ වගේම අර උඩින් කියපු සම ආරක්ෂා කරනා තෙත් ස්ථරයක් ඇතිවෙන විදියට ක්‍රීම් ආලේප කරන එකත් බ්‍රෂ් එකෙන් මිසක් අතින් කරන්න බෑ. ඒ වගේම බ්‍රෂ් එකෙන් ක්‍රීම් තවරන කොට මැරුණු සම ඉවත් කරලා, රේසරේට සුමටව රැවුල බාන්න පරිසරයත් ෂේවින් බ්‍රෂ් එකකින් නිර්මාණය කරලා දෙනවා. හැබැයි මතක තියාගන්න, ෂේවින්ග් බ්‍රෂ් එකකින් ෂේවින්ග් ක්‍රීම් මූණේ ගාන එකත් පොඩි ආට් එකක්, හොඳ මසාජ් එකක් මූණට ලැබෙන විදියට රවුමට රවුමට තමයි මේ වැඩේ කරන්න ඕනා!
4. හොඳ රේසරයක් හෝ දැලිපිහියක්!
දැලිපිහියෙන් රැවුල බාන එකේ අමුතු ක්ලැසික් සීන් එකක් තියෙනවා, හා නැද්ද? හැබැයි පුතෝ දැලිපිහියෙන් රැවුල බාන එක කරන්න පුලුවන් රැවුල බාන්න සුපිරි ප්‍රැක්ටිස් එකක් තියෙන, හොඳටම අත හුරු ඩයල් එකකට විතරයි. අනික දැලිපිහියක් ටිකක් පාවිච්චි කරන කොට මුවාත තියන්නත් වෙනවා. හොඳම දේ තමයි දැන් ඕනෑ තරම් තියෙන ආරක්ෂිත රේසරයක් භාවිතා කරන එක. හැබැයි මේ විදියේ රේසරයක් එක දිගට පාවිච්චි කරන්න බෑ. ඝනව රැවුල තියෙන සමහරුන්ට එක පාරක් හෝ දෙපාරක් රැවුල බෑවට පස්සේ රේසරේ විසි කරන්න වෙනවා. හැබැයි ඒකට හොඳ විකල්පයක් තමයි බ්ලේඩ් තල දාන්න පුලුවන් පැරණි තාලේ රේසර්. මේකෙන් රැවුල බාන්නත් හොඳ ප්‍රැක්ටිස් එකක් වුවමනා නිසා දැලිරැවුල ඊයෙ පෙරේදා ආපු මල්ලිලාට මේ රේසර් අපි රෙකමන්ඩ් කරන්නේ නෑ. හැබැයි මතක තියාගන්න ඕන දේ මේකයි. රේසර් එකක් වුනත්, බ්ලේඩ් එකක් වුනත් ඉතාම හොඳ තියුණු මුවාතක් තියෙන්න ඕන. එතකොට තමයි සමට අවම හානියකින් රැවුල බාන්න පුලුවන් වෙන්නේ.
ඒ වගේම ඔය නිකම්ම වතුරේ තිබිලා පුස් බැඳිලා තියෙන, මලකඩ කාලා තියෙන රේසර් මූණට ළං කරන්නවත් හිතන්න එපා. එතකොට රැවුල බෑවට පස්සේ රේසර් එක සුපිරියටම පිරිසිදු කරන්න ඕන. මෙහෙම කියන්නේ නැතිනම් ආසාදන ඇතිවෙන්න ඉහළ ඉඩක් තියෙන නිසා.
5. හරි ටෙක්නික් එකට රැවුල බාන්න!
ගොඩක් අලුතින් රැවුල බාන මල්ලිලා ආයෙ උඩ ඉඳන් පහළට, පහළ ඉඳන් උඩට, හරහට විතරක් නෙවෙයි, සමහර වෙලාවට හැරෙන හැරෙන පැත්තටත් රැවුල බානවා. ආන්න ඒක බොහොම නරක ක්‍රමයක්. හැම මොහොතකම රැවුල බාන්න ඕන උඩ ඉඳන් පහළට. ඒක වෙනස් වෙන්නේ උඩු තොලට උඩින් තියෙන පොඩි ප්‍රදේශයේදී විතරයි. එතනදී පොඩ්ඩක් කෝණිකව, ඒත් උඩ ඉඳන් පහතට රේසරේ ගෙනියන්න ඕන. එතකොට පටන් ගන්නකොට රේසරය අංශක අනූවකට ආසන්න කෝණයකින් සම මත තියාගෙන, එතනින් පහළට අංශක තිහකට වගේ ආනත කරන්න ඕන. ඇත්තටම ඕක කෝණමානෙකින් බල බලා කරන්න වුවමනා නෑ. සරලවම පුහුණුව විතරයි වුවමනා.
අනික උඩ ඉඳන් පහළට සම්පූර්ණයෙන්ම රේසරේ ඇදගෙන යන එක වැරදියි. බොහොම කෙටි ඇදීම් ගොඩක් එක්ක තමයි රැවුල කපන්න ඕන. ඒ කියන්නේ එක පාරකට අඟලක් හෝ උපරිම දෙකක් දුරට රේසරේ ගෙනියන එක ප්‍රමාණවත්. ඒ වගේම මේ එක් එක් වරකට සැරයක් රේසර් එක වතුරේ ගිල්වලා ක්‍රීම් සහ රැවුල් කොට සහ ඒකේ රැඳෙන තවත් දේවල් සෝදාහරින්න වුවමනායි.
රේසරය සම මතට දැඩිව තද කරලා ඇදගෙන යෑම හෝ වුවමනාවට වඩා සැහැල්ලුවෙන්, බයෙන් බයෙන් රැවුල කපන්න යෑම හරියන්නේ නෑ. බොහොම සුමට රැවුල බෑමක් කරන්න අත හුරුකරගන්න වෙනවා.
6. මූණේ රැවුල තියෙන්නේ කොහේද?
ආන්න හොඳ ප්‍රශ්නයක්. දැන් ගොඩක් දෙනෙක් රැවුල කපන්න පටන් ගන්නේ පැති රැවුලෙන්. ඒක හරි. එතනදී ගොඩක් දෙනෙක් පැති රැවුලේ සීමාවත් රේසරෙන්ම කපනවා. අන්න ඒක පොඩි ප්‍රැක්ටිස් එකක් තියෙන ඕන දෙයක්. මොකද පැති රැවුල ඇරඹෙන තැන කෙස් ඝනව වැවිලා තියෙන නිසා අත ඕනෑවට වඩා තද කරපු ගමන් මූණ කැපෙනවා. කොහොම හරි එතන ගොඩදාගෙන එතනින් පහතට පහතට ඇවිත් කම්මුල් අවසන් කරලා නිකටට එන්න ඕන. මතක තියාගන්න, බෙල්ල ෂේව් කරන්නේ අන්තිමට. සමහරු නහය පහළ සහ කට අවට ප්‍රදේශය අවසානයට ෂේව් කරන්න තියාගන්නවා, එකත් ලොකු ගැටළුවක් නෑ. කොහොම වුනත් ෂේව් කරනකොට රේසරයට මුහුණේ විවිධ තැන් වල පහසුවෙන් ගමන් කරන්න උදවු වෙන විදියට මූණ හදන එක ඔටෝමැටිකලි වෙන දෙයක්. එහෙම වෙන්නේ නැතිනම් මැනුවලි ඒක කරන්න අමතක කරන්න එපා.
සමහර වෙලාවට බෙල්ලේ අන්තිමට හරියේ නැතිනම් කම්මුලේ උඩම හරියේ රැවුල නෑනේ කියලා අත අරිනවා ගොඩක් දෙනෙක්. හැබැයි ඒක හරියන්නේ නෑ. ඒ වපසරියම ආවරණය වෙන්න රේසර් එක ගෙනියන්න ඕන. මොකද ඇහැට නොපෙනුනාට රැවුල් කොට ඒ ප්‍රදේශ වල තියෙන්න පුලුවන්.
එක පාරක් ෆුල් ෂේව් එකක් දුන්නට පස්සේ අතගාලා බලනකොට තැනක දෙකක රැවුල් කොට තියෙන්න පුලුවන්. කිසි ගැටළුවක් නෑ. ඒ තැන් ආයෙමත් ෂේව් කරන්න. හැබැයි ඒ තැන් ෂේව් කරද්දී වුනත් ෂේවින්ග් ක්‍රීම් ගාලා තමයි වැඩේ ආයෙමත් පටන් ගන්න ඕන.
7. අන්තිමට වැඩේ අවසාන කරලා, ආෆ්ටර් ෂේව් පාරක් දාලා!
මෙහෙම සම්පූර්ණයෙන්ම රැවුල බාලා අවසන් කළාට පස්සේ අපි මුලින්ම කිවුව විදියට සීතල වතුරින් මූණේ ඉතුරු වෙලා තියෙන ෂේවින්ග් ක්‍රීම්, රැවුල් කොට සහ වෙනත් දේවල් හොඳින් සෝදා හරින්න ඕන. හැබැයි මතක තියාගන්න, රැවුල බාලා ඉවර වෙලා මූණ තදින් අතුල්ලන්න යන්න එපා. සුමටව වතුරෙන් සෝදන්න. ඉන් පස්සේ සිනිඳු, පිරිසිදු තුවායකින් තෙත මාත්තු කරන්න ඕන. ආයෙමත් මතක තියාගන්න, තෙත මාත්තු කරනවා මිසක් තුවාය මූණේ අතුල්ලනවා නෙවෙයි!
ඉන්පස්සේ තියෙන්නේ ආෆ්ටර් ෂේව් ටිකක් අත්ලට අරගෙන මූණට පොඩ්ඩක් ගල්වන එක. දන්නවනේ, අත් දෙකෙන් මූණේ මතුපිටට මෘදුව තට්ටු කරන එක? එහෙම නැතුව ආෆ්ටර් ෂේව් ගාන්න යන්න එපා. ඒ වගේම ආෆ්ටර් ෂේව් කියලා ඇල්කොහොල් අඩංගු නිෂ්පාදන ගන්නත් එපා. විශේෂයෙන්ම ආෆ්ටර්ෂේව් නොගාන එක හොඳයි, හමට හිතකර නොවෙන ආෆ්ටර් ෂේව් එකක් ගානවට වඩා. දැන් වෙළෙඳපොළේ තියෙන ආෆ්ටර් ෂේව් ලෝෂන් වඩාත් සාර්ථකයි මේ වැඩේට.
දැන් කණ්ණාඩියෙන් බලන්න. පේනවද නිකම්ම රැවුල බෑමකයි, ෆුල් ක්ලීන් ඇන්ඩ් නීට් රැවුල බෑමකයි වෙනස?
Cover Image Source – liveabout.com/ mensstyle.com
Leave a Reply