ටෙස්ට් මැච් එකක දවස ඉවරවෙන්න ඔන්න මෙන්න වගේ තියලා විකට් එකක් යනවා කියන්නේ පන්දු යවන කණ්ඩායමට මානසිකව වාසියක් ගෙන දෙන අවස්ථාවක්. ඒ වගේම පන්දුවට පහර දෙන කණ්ඩායමටත් ඒක අවාසියක් වෙන අවස්ථා තියනවා. මේ විදිහෙ දැවීයාමකින් පස්සේ ඊළඟට එන්න ඉන්නෙත් හොඳ පිතිකරුවෙක් නම්, පන්දුවට පහරදෙන කණ්ඩායම බොහෝවිට කරන්නේ ඒ පිතිකරුවාව පිටියට නොයවා ඒ වෙනුවට නයිට් වොච්මන් කෙනෙක් හැටියට පසුපෙළ පිතිකරුවෙක්ව එවන එකයි. මෙහෙම කරන්නේ ආලෝක තත්ත්වය එහෙම ඒ හැටි යහපත් නොවන ඒ වගේ අවස්ථාවකදී තවත් හොඳ කඩුල්ලක් පූජා කරලා පන්දු යවන කණ්ඩායමට තරඟයේ වාසියත්, මානසික ජයග්‍රහණයකුත් නොදෙන්නටයි.
නයිට් වොච්මන්, එහෙමත් නැත්නම් සැඳෑ ආරක්ෂකයෙක්ව පිටියට එවන එකේ ප්‍රධානම අරමුණ තමයි දවස අවසාන වෙනකම් තව කඩුල්ලක් පූජා නොකර කඩුල්ල රැකගෙන ඉන්න එක. හැබැයි එහෙම හිතලා යවපු සමහර නයිට් වොච්මන්ලා පෙරළිකාර ඉනිම් ක්‍රීඩා කරපු අවස්ථා රැසක් ක්‍රිකට් ඉතිහාසය තුළින් හමුවෙනවා.
මේ කියන්න යන්නේ ඒ විදිහේ සුපිරිම නයිට් වොච්මන් ඉනිම 7ක් ගැනයි.
1. ජේසන් ගිලෙස්පි නොදැවී ලකුණු 201 – බංග්ලාදේශයට එරෙහිව

Image Source – espncricinfo.com
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණ හොඳම නයිට් වොච්මන් හැටියටත් ජේසන් ගිලෙස්පිව අපිට හඳුන්වන්න පුළුවන්. තමන්ගෙ සමුගැනීමේ තරඟයෙදි ද්විත්ව ශතකයක් ගහනවා කියන්නෙ ලේසි පාසු වැඩක් නෙමෙයි. දක්ෂතම පිතිකරුවෙක්ට වුණත් හිතාගන්න බැරි තරම් අමාරු මේ වැඩේ කරන්න ජේසන් ගිලෙස්පි සමත් වෙනවා. 2006 දි බංග්ලාදේශයත් එක්ක පැවති ටෙස්ට් තරඟයකදී ඕස්ට්‍රේලියාවේ මුල්ම කඩුල්ල 67කට දැවී ගියහම තමයි ගිලෙස්පි පිටියට පිවිසෙන්නේ. අවසානයේදි ඕස්ට්‍රේලියාව ලකුණු 581ක් ගහලා ඉනිම අත්හිටුවද්දිත් ගිලෙස්පි ලකුණු 201ක් ලබාගෙන නොදැවී ක්‍රීඩා කරනව. මයික් හසී සමග 4 වැනි කඩුල්ල සඳහා ලකුණු 320ක සම්බන්ධතාවක් පවත්වන්නත් ගිලෙස්පි මේ තරඟයෙදි සමත් වෙනවා.
2. ටෝනි මාන් ලකුණු 105 – ඉන්දියාවට එරෙහිව

Image Source – pinterest.com
මේ කියන්න යන නයිට් වොච්මනුත් ඕස්ට්‍රේලියානුවෙක්. ඔහුගේ නම තමයි ටෝනි මාන්. 1977 දී ඉන්දියාවත් සමග පැවැත්වූ ටෙස්ට් තරඟයකදී 4 වැනි දිනය අවසානයේදී ඕස්ට්‍රේලියාව තම දෙවෙනි ඉනිම අරඹන්නේ තරඟය ජයගන්නට ඔවුන්ට ලකුණු 339ක ඉලක්කයක් එල්ල වී තිබියදීයි. මෙහිදී ඕස්ට්‍රේලියාවේ මුල් කඩුල්ල ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යනවා. නයිට් වොච්මන් හැටියට ටෝනි මාන් පිටියට එන්නේ ඒ අවස්ථාවේදීයි. හතරවන දිනය අවසන් වන තුරු කඩුල්ල රැකගනු පිණිස එව්වත් ටෝනි මාන්ගේ ඉනිම අවසන් වෙන්නේ ඔහුව ඒ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා කරවමින්. වැඩි පන්දු ගණනක් නාස්ති නොකර පන්දු 165කින් ලබාගන්නා මේ ලකුණු 105 නිසාවෙන් ඉන්දියාවේ ලකුණු 339 ඉලක්කය හඹා ගොස් ජයගන්නට ඕස්ට්‍රේලියාවට හැකියාව ලැබෙනව.
3. ඇලෙක්ස් ටියුඩර් නොදැවී ලකුණු 99 -නවසීලන්තයට එරෙහිව

Image Source – youtube.com
ජයග්‍රහණය සඳහා ලකුණු 208ක ඉලක්කයක් හඹා යන එංගලන්ත කණ්ඩායමේ මුල්ම කඩුල්ල ලකුණු 3කට දැවී යාමත් සමගම නයිට් වොච්මන් හැටියට පිටියට පිවිසෙන්නේ ඔවුන්ගේ වේග පන්දු යවන ක්‍රීඩක ඇලෙක්ස් ටියුඩර්. දවස අවසාන වෙනකොට ලකුණු නොලබා තමන්ගේ කඩුල්ල රැකගෙන ඉන්න ටියුඩර් සමත් වෙනවා. පසු දිනයේදී ටියුඩර් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරන්නේ එංගලන්තය වෙත ජයග්‍රහණය ළඟා කරවමින්. තරඟය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරන ටියුඩර්ගේ ලකුණු 99ට හතරේ පහර 21ක් ඇතුළත්. මේ සුපිරි දස්කම ශතකයක් දක්වා ගෙනයාමට ටියුඩර්ට නොහැකිවන්නේ ටියුඩර්ගේ එහා අන්තයෙන් ක්‍රීඩා කරපු ග්‍රැහැම් තෝර්ප් නිසයි. ශතකය පෙනි පෙනී ඉන්න ටියුඩර්ට අවස්ථාව නොදී ග්‍රැහැම් තෝර්ප් වේගයෙන් ලකුණු රැස්කර තරඟය අවසන් කළ නිසා, අවාසනාවන්ත විදිහට ටියුඩර්ට ශතකය අහිමි වෙනවා.
4. ජේසන් ගිලෙස්පි ලකුණු 26 – ඉන්දියාවට එරෙහිව

Image Source – espncricinfo.com
නයිට් වොච්මන් කෙනෙක් විසින් රැස් කරපු වැඩිම ලකුණු ගණන වන ලකුණු 201 හිමිකරුවා වන්නෙත් ගිලෙස්පිම තමයි. එහෙම වුණත් 2004දී ඉන්දියාවට එරෙහිව ගිලෙස්පි වාර්තා කරපු ලකුණු 26 ඉනිම ඒ ඉනිමටත් වඩා විශිෂ්ට ඉනිමක් හැටියටයි වැඩි දෙනෙක් සළකන්නේ. තම දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම අරඹන ඕස්ට්‍රේලියාව සිටින්නේ ඉන්දියාවට වඩා ලකුණු 140 ගණනක් පිටුපසින්. තුන්වැනි දිනය හමාර වන්නට ආසන්නයේදී ලකුණු 145කට ඕස්ට්‍රේලියාවේ 4 වැනි කඩුල්ලත් දැවී යාමත් සමග ගිලෙස්පි පිටියට පිවිසෙනවා. කුම්බ්ලේ සහ හර්බජාන් සිංග්ගේ තර්ජනාත්මක දඟපන්දු වලට මුහුණ දෙමින් මිනිත්තු 242ක් කඩුල්ල ආරක්ෂා කරගනිමින් ක්‍රීඩා කරන්න ගිලෙස්පි සමත් වෙන්නේ එහා අන්තයෙන් ක්‍රීඩා කරපු ඩේමියන් මාටින්ට අනගි සහයක් ලබාදෙමින්. සිවු වන දිනයේ තේ පානය ආසන්න වෙනකම්ම ගිලෙස්පි තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගනිමින් පිටියේ රැඳී සිටිනවා. ගිලෙස්පිගේ මේ ආරක්ෂාකාරී ඉනිම නිසා පරාජයේ මරු කටින් ගැලවී, තරඟය ජය පරාජයෙන් තොරව නිමා කරගන්නට ඕස්ට්‍රේලියාවට අවකාශ ලැබෙනවා.
5. එඩී හෙමින්ග්ස් ලකුණු 95 – ඕස්ට්‍රේලියාවට එරෙහිව

Image Source – gettyimages.ca
එඩී හෙමින්ග්ස් කියන්නේ බොහොම පමා වෙලා තමන්ගේ ටෙස්ට් දිවිය අරඹපු එංගලන්ත දඟපන්දු යවන්නෙක්. 1983 දී ඕස්ට්‍රේලියාවත් සමග පවත්වපු ටෙස්ට් තරඟයකදී එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 460ක දැවැන්ත ඉලක්කයක් යොමු වෙනවා. හතරවැනි දිනය අවසාන වන්නට ඔන්න මෙන්න තියා එඩී හෙමින්ග්ස් නයිට් වොච්මන් හැටියට පිටියට පිවිසෙන්නේ එංගලන්තයේ මුල් කඩුල්ල ලකුණු 3කට දැවී යාමත් එක්කයි. පස්වැනි දිනයේදී තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගන්නා ගමන් ලකුණු එකින් එක රැස් කරමින් ස්ථාවර ඉනිමක් ගොඩනගන්න හෙමින්ග්ස් සමත් වෙනවා. අනිත් අන්තයේ ක්‍රීඩකයින් එකා දෙන්නා දැවී යද්දී, තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් එංගලන්තය පරාජයෙන් ගලවාගන්නට හෙමින්ග්ස් තම පිත්ත ක්‍රියාත්මක කරනවා. අවසානයේදී 5 වැනි කඩුල්ල හැටියට හෙමින්ග්ස් දැවී යන්නේ ලකුණු 95කට. හෙමින්ග්ස්ගේ මේ ඉනිම නිසාවෙන් දවස අවසාන වනවිට කඩුලු 7ක් පමණක් දැවුණු එංගලන්තයට තරඟය ජය පරාජයෙන් තොරව නිමා කරගන්න හැකියාව ලැබෙනවා.
6. ස්ටීවන් ෆින් ලකුණු 56 – නවසීලන්තයට එරෙහිව

Image Source – independent.co.uk
2013 දී පවත්වපු මේ තරඟයෙදි නවසීලන්තය පළමු ඉනිම අවසන් කරන්නේ එංගලන්තයට වඩා ලකුණු 300ක් පමණ ඉදිරියෙන් සිටිමින්. මේ නිසා එංගලන්ත පිතිකරුවන්ගේ කරමත දැඩි වගකීමක් පැටවෙනවා සංයමයකින් යුතුව කඩුලු ආරක්ෂා කරගෙන ක්‍රීඩා කරන්න. මෙහිදී එංගලන්ත ආරම්භක පිතිකරුවන් වන කුක් සහ කොම්ප්ටන් විශිෂ්ට ආරම්භක සබඳතාවයක් පිහිටුවමින් එංගලන්ත ඉනිම සවිමත් කරනවා. කොහොම වෙතත් පළමු දිනය අවසාන වෙන්න ආසන්නයේදී කුක් දැවී යන්නේ එංගලන්ත ලකුණු පුවරුවේ ලකුණු 231ක් සටහන්ව තිබියදීයි. ඉන්පසු නයිට් වොච්මන් හැටියට පිටියට පිවිසෙන්නේ ස්ටීවන් ෆින්. දිනය අවසන් වන විට ලකුණු නොලබා වුවත් කඩුල්ල ආරක්ෂා කරගෙන සිටින්නට ෆින් සමත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, කවුරුත් නොහිතූ විදිහට පස් වැනි දිනයේ මුල් පන්දුවාර කිහිපයේදීත් තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගෙන ඉන්නට ෆින් සමත් වෙනවා. අනෙක් ආරම්භක පිතිකරු කොම්ප්ටන් දිනයේ මුල් භාගයේදී දැවී යනවා. ඉන්පසු පිටියට පිවිසෙන ජොනතන් ට්‍රොටුත් අර්ධ ශතකයක් රැස්කර දැවී යනවා. ඒ වන විටත් ෆින් තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගනිමින් පිටියේ රැඳී සිටිනවා. අවසානයෙදී ලකුණු 56කට ෆින් දැවී යන්නේ එංගලන්තයේ 5වැනි කඩුල්ල හැටියටයි. පන්දු 203ක් කා දමමින් කඩුල්ල ආරක්ෂා කරගත් ෆින්ගේ ඉනිම නිසා එංගලන්තයට පරාජයෙන් ගැලවීමට තවත් පහසු වෙනවා.
7. නිකී බෝයේ ලකුණු 85 – ඉන්දියාවට එරෙහිව

Image Source – en.wikipedia.org
2000 අවුරුද්දේ ඉන්දියාවේ බෙංගලූරු වලදී තමයි දකුණු අප්‍රිකානු දඟපන්දු යවන ක්‍රීඩක නිකී බෝයේ මේ ඉනිම ක්‍රීඩා කරන්නේ. මේ තරඟයේදි ඉන්දියානු පිළේ පළමු ඉනිම ලකුණු 158කට සීමා කරන්නට දකුණු අප්‍රිකාව සමත් වෙනවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්න එන දකුණු අප්‍රිකාවේත් පළමු කඩුල්ල ලකුණු 10කට බිඳ වැටෙන්නේ නිකී බෝයේට නයිට් වොච්මන් කෙනෙක් හැටියට පිටියට එන්නට අවස්ථාව සළසමින්. නොදැවී දිනය නිමා කරන නිකී බෝයේ පසුදින තම ඉනිම අරඹන්නේ පළපුරුදු මුල්පෙළ පිතිකරුවෙක් විදිහටයි. ඉතාම මනරම් පහරවල් එල්ල කරමින් ලකුණු රැස් කරන නිකී බෝයේ එහා අන්තයේ සිටින ගැරී කර්ස්ටන්ගේ ලකුණු ප්‍රමාණයත් අභිබවා යන්නට සමත් වෙනවා. අවසානයේදී ලකුණු 85ක් රැස් කරන නිකී බොයේ දෙවැනි කඩුල්ල හැටියට දැවී යනවිට දකුණු අප්‍රිකාව ලකුණු 171ක් ලබා සිටියා. ඒ වන විට දෙවැනි දිනයේ තේ පානය වන්නටත් ආසන්නයි. ඉන්පසුව පිටියට එන කලිස්, ක්ලූස්නර් වැන්නවුන් නිකී බෝයේ දුන් ගැම්ම ඉදිරියට ගෙනයමින් දකුණු අප්‍රිකාවේ ලකුණු පුවරුව තවත් ඉදිරියට ගෙනගොස් ඉන්දියාව අසීරු තත්ත්වයකට පත් කරන්න සමත් වුණා. ඉන්දීය දෙවැනි ඉනිමේදී කඩුලු 5ක්ද දවාගන්න සමත් වුණු නිකී බෝයේ තරඟයේ වීරයා හැටියටත් පිදුම් ලැබුවා.
බෝනස් –
කුමාර් ධර්මසේන ලකුණු 40 – ඉන්දියාවට එරෙහිව

Image Source – gettyimages.co.uk
1997 අවුරුද්දේ ඉන්දියාවත් සමග මුම්බායේදී පවත්වපු ටෙස්ට් තරඟයකදීයි කුමාර් ධර්මසේන මේ ඉනිම ක්‍රීඩා කරන්නේ. පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම ලකුණු 512ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් රැස් කරනවා. දෙවැනි දිනය අවසාන වීමට ආසන්නයේදී ලංකාවේ මුල් කඩුල්ල හැටියට සනත් ජයසූරිය දැවී යන්නේ මුල් ලකුණු ප්‍රමාණය 65ක්ව තිබියදීයි. කුමාර් ධර්මසේන තමයි නයිට් වොච්මන් හැටියට ඊළඟට පිටියට පිවිසෙන්නේ. තුන්වැනි දිනයේදීත් පිටියට පිවිසෙන්න වරම් ලබන ධර්මසේන ඉතාම ආරක්ෂාකාරීව පන්දුවට පහර දෙමින් ලකුණු 40ක් රැස් කරන්නට සමත් වෙනවා. මාවන් අතපත්තු සමග දෙවැනි කඩුල්ලට ලකුණු 115ක සම්බන්ධතාවයක් පිහිටුවන්නටත් ධර්මසේන සමත් වෙනවා. මේ සම්බන්ධතාවයේද උපකාරයෙන් ලකුණු 361ක් දක්වා යන්නට ලංකා කණ්ඩායමට හැකි වෙනවා. මේ තරඟයේ දෙවැනි ඉනිමේද තරමක් ඉහළින් පන්දුවට පහර දෙන්න එන ධර්මසේන පන්දු 58ක් තුළ ලකුණු 8ක් රැස් කරමින් පරාජයේ සෙවනැල්ලෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගලවාගන්නට සහය දෙනවා.
සැළකිය යුතුයි – අපි මේ සඳහන් කරලා තියෙන්නේ ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත්ත නයිට් වොච්මන්ලාගේ ලැයිස්තුවක් නොවෙයි. තරඟයක තීරණයට බලපාන විදිහට අති දක්ෂ අන්දමින් ක්‍රීඩා කරපු නයිට් වොච්මන්ලාගේ ඉනිම කිහිපයකුයි.
Cover Image Source – icc-cricket.com/ kortsigns.com
Leave a Reply