මේ හැඟීම් තියෙනවානම් ඔයත් ලංකාවේ දේශපාලකයෙක් වෙන්න සුදුසුයි

රටක දේශපාලකයෙක් වෙන්න අවශ්‍ය කරන සුදුසුකම් මොනවාද කියන එක ගැන හිතද්දි උගත්කම, රාජ්‍යකරණයේ දැනුම, මානව හිතෛෂී භාවය, චතුර කථිකත්වය මෙන්ම තැනට සුදුසු නිවැරදි තීරණ ගැනීමේ හැකියාව වැනිදේ හිතෙන එක වළක්වන්න බැහැ. හැබැයි වෙන රටවල එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ… අපි එහෙම අය පාර්ලිමන්ට් යවන්නෑ… අන්න ඒ නිසාම නිවැරදි ලෙස රෝඩ් ටු පාර්ලිමන්ට් එකට පිවිසෙන්න තියෙන්න ඕන ගුණාංග මොනවද කියලා හිතට එකඟව ලියන දේශීය සටහනක් තමයි මේ. මේ කියන හැඟීම් ඔබ තුළත් තියෙනවානම් දැන්වත් නිවැරදි මාවතට පිවිසිලා, පරම්පරා 7ක් ගොඩයැවීමේ පුණ්‍යකර්මය සිද්ධ කරගන්න.

 

1. හැම දෙයක්ම මගේ

Image Source – groundviews.org

මේ කියන හැඟීම ඔබ තුළත් ඇතිවෙනවානම් මේක අනාගතයට සුබ සිහිනයක්. ඔබේ දරුවන්ටත් කිසි ප්‍රශ්නයක් නැතුව කප් දිනලා ලංකාවට එන ජාතික කණ්ඩායම්වල නිල ඡායාරූපයේ ඉදිරි අසුනේම වාඩිවෙන්නට බලපවත්වන, රටේ මිනිස්සු වියදං කරන සල්ලිවලින් රොකට් යවන්න පුලුවන් විදියෙ රාජ යෝග හැඟීමක්. බුෆේ ටේබල් එකක් දැක්කම‌ මේ හැම කෑමක්ම ම‌ගේ කියලා හිතෙනවද? නැත්තං කොච්චර බෙදාගත්තත් මදියි කියලා හිතෙනවද? ආයෙ එද්දි ඉස්සො ඉවරවෙලා තියෙයි කියලා තව බෙදාගන්න හිතෙනවද? එහෙනං නොපමාව එන්න. ඔබව රජකරන්න, ප්‍රාඩෝ දෙන්න, රත්තරන් කක්කුස්සි දෙන්න බලාගෙන ජනතාවක් ඉන්නවා.

 

2. එයා කොහොමද එහෙම ඈනුම් අරින්නෙ?

Image Source – independent.co.uk

ඔයා ඉන්න තැන අනිත් හැමෝම දණින් වැටිලා ඉන්න ඕන වගේ හැඟීමක් හිතේ තියෙනවද? ඔයා අනිත් අයගෙ බත් එකට අත දාලා කෑවට අනිත් අය ඔයාගෙ බත් එකට අත දාද්දි කේන්ති යනවද? අනිත් අය ඔයා කතාවක් කිය කිය ඉන්නකොට මැදට පැන්නොත් හොම්බට අනින්න හිතෙනවද? අනිත් අය ඔයා ඉස්සරහා ඈනුමක් ඇරියොත්, ඔයා කතා කර කර ඉන්න වෙලාවක ෆෝන් එකක් රිංග් වුනොත් කේන්ති යනවාද? ඔය හැඟීම යටපත් වෙන්නට නම් දෙන්නෙපා. අපරාධයක්!

 

3. ඌ කවුද මගෙන් අහන්න?

Image Source – groundviews.org

ඔබ සිදුකළ යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් වග උත්තර බඳින්න ඔබ සූදානම්ද? ඒ ගැන යම් පාර්ශවයක් කරුණු විමසුවොත් කේන්ති යනවද? උපාධිය ගන්න පෙර සිදුකළ ව්‍යාපෘතිය ගැන වයිවා එකේදි “මෙහෙම දෙයක් ඇයි කළේ?” කියල ලෙක්චරර් කෙනෙක් ඇහුවම, “ඌ කවුද මගෙන් එහෙම අහන්න? දෙන්න හිතෙනව හොම්බට” වගේ හැඟීමක් ඇතිවෙනවානම් උපාධිය ගැන අදහස එහෙම්මම අතෑරලා දාලා, හොම්බට දීලා එන්න හරිපාරට.

 

4. මට වාසිම තීරණේ

Image Source – enidnews.com

හැම තිස්සෙම ඔයාට වාසිම තීරණේ ගන්න විදිය ගැන හිතනවාද? ගෙදර තීරණයකදි වුනත්, අම්මා තාත්තාට ප්‍රශ්නයක් වුනත් ඔයාට වාසිම තීරණේ ගන්න, ඉගෙනගනිද්දි පන්තියටම කෙළ වුනත් ඔයාට වාසිම තීරණේ ගන්න හිතෙනවද? එහෙම නම් මේ කියන සුළු පරීක්ෂණය කරලා බලන්න. සමව බෙදන්න පුළුවන් දෙයක් තවත් කෙනෙක් එක්ක බෙදාගෙන බලන්න. වැඩි කොටස නොදැනුවත්වම ඔයාට ඇවිල්ලා නම් ඔයා තුළ දේශපාලකයෙක් ඉන්නවාමයි.

 

5. මම අවුට් නැහැ

Image Source – srilankamirror.com

ක්‍රිකට් ගහනකොට විකට් ගැලවිලා විසි වුනත් මම අවුට් නැහැ, ඌ චක් කළා, ගලක් උඩට බෝලේ වැටුනෙ, එහා පැත්තෙන් ආපු සද්දෙ නිසා මගේ අවධානය නැතිවුනා, බෝලර්ගෙ සිප් එක ඇරිලා තිබ්බ නිසා හිනා ගිහිල්ලයි අවුට් වුනේ, බැට් එක ඇදයි, බෝලෙ රවුම් නැහැ, කාලකන්නි කපුටෙක් කෑගැහුවා වගේ හැඟීම් ඇතිවෙනවාද? පරාජය භාරගන්න සූදානමක් ඇත්තෙම නැද්ද? එහෙනම් ඒ සුබවාදීත්වයට ඉඩ දෙන්න

 

6. මට දැන් මතකයක් නැහැ

Image Source – srilankamirror.com

කරපු වැරදි ගැන ඉක්මනින්ම අමතක වෙනවාද? කොටින්ම ඒ වරදින් අසරණ වුණු පාර්ශවය දවසකට පස්සෙ වැරදි කරුවො කියලා හිතෙන්න ගන්නවාද? ඒ පාර්ශවය කළ වරදට දඬුවම් දෙන්න හිතෙනවාද? තමුන්ට අවාසි දේවල් අමතක වෙනවද? මල්ලිටයි ඔයාටයි තම්බපු බිත්තර දෙකම කෑවට පස්සෙ අම්ම බිත්තරේ කෝ කියල ඇහුවම මොන බිත්තරේද කියන ප්‍රශ්නෙද මුලින්ම හිතට ආවෙ? එහෙනං මේ ඔක්කොම වෙන්නෙ හොඳට තමයි.

 

7. මමයි කළේ

Image Source – groundviews.org

ඔෆිස් එකේ ටීම් එකක් එකතු වෙලා කරපු වැඩක ක්‍රෙඩිට් එක තනියම අරගන්නවද? පන්තියේ හැමෝම එකතු වෙලා පිරිසුදු කළාට පස්සෙ පන්ති භාර ගුරුවරයා ඉදිරියේ තනියෙන් හොඳ නම ගන්නවාද? කැම්පස් එකේ හැමෝම එකතු වෙලා හදපු වෙසක් කූඩුවේ නිර්මාණ හිමිකම තනියෙන් අරගන්නවාද? වෙනිං අයගේ යෝජනා තමුන්ගේ යෝජනා වගේ ඉදිරිපත් කරනවාද? මාක්ස් ‌පවසපු බුදුන් දේශනා කරපු දේවල් ප්‍රභවය හලලා තැන තැන කියවනවද? එහෙනං ඉතිං බඩුම තමා!

Cover Image Source –  axios.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *