ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග. මෙහෙම කිවුවහම සමහරුන්ට කොයිල් වගේ. “සමාජ රෝග කියන්නේ, අන්න ඒවා”! එහෙම කිවුවහම සමහරුන්ට වැඩේ මීටර්. ඒත් කොයිල් වෙලාම ඉන්න ඩයල් තව සෑහෙන්න ඉන්නවා. “ඒඩ්ස්, ඒඩ්ස්!” ආන්න එහෙම කිවුවහම තමයි ගොඩක් අය ඔලුව වනන්නේ. හැබැයි මේවට සමාජ රෝග කිවුවේ ඉස්සර. මේවලට කියන හරි වචනය තමයි STD නැතිනම් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග. එතකොට හැමෝම දන්නේ ඒඩ්ස් ගැන විතරක් වුනාට, තව ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග හැටහුටාමාරක්ම තියෙනවා. ලිංගික අධ්‍යාපනය ලබනවා කියන්නේ මෙන්න මේවා ගැනත් ඉගෙනගෙන ඉන්න ඕන කියන එක. අවදානමට පෙර සූදානම කියලා අහල තියෙනවනේ!
1. මොනවද මේ STD?
ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග කියලා සරලවම කියන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමක් නිසා ඇතිවෙන්න පුලුවන් රෝග. දැන් ලිංගාශ්‍රිත ප්‍රදේශයන් වල ඇතිවෙන රෝග ප්‍රධාන වශයෙන් බෝ විය හැකි රෝග සහ බෝ විය නොහැකි රෝග විදියට බෙදන්න පුලුවන්. හැබැයි අපි ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගණයට ගන්නේ, ලිංගික එක්වීම් වලින් බෝ විය හැකි රෝග තමයි. ඇයි මේවා ගැන අපි කතා කරන්නේ? හේතුව සරලයි. ගොඩක් මේ සම්බන්ධයෙන් තියෙන්නේ අඩු දැනීමක්. ඒඩ්ස් ගැන අහලා තිබුණට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන සමාජේ ගොඩක් දෙනෙක්ට තියෙන්නේ අඩු දැනුමක්. ඒ අඩු දැනුම නිසාම සාපේක්ෂව ලේසියෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වලට නිරාවරණය වෙන්න හැකියාවක් තියෙනවා වගේම තවත් අයට රෝගය සම්ප්‍රේෂණය කරන්නත් ඉහළ හැකියාවක් තියෙනවා.
2. මේවා භයානක ලෙඩද?
සෑහෙන්න භයානකයි. ඒ කියන්නේ මේවා ඔය එදිනෙදා හැදෙන උණ හෙම්බිරිස්සාව වගේ සරලව හිතන්න පුලුවන් ලෙඩ නෙවෙයි. අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නම වෙනවා. ගොඩක් වෙලාවට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග නිවැරදි ප්‍රතිකාර මගින් සුව කරන්න පුලුවන්. හැබැයි ඉතින් ඒඩ්ස් වගේ රෝග වලට තවමත් සුව කරන්න පුලුවන් විදියේ ප්‍රතිකාර හොයාගෙන නැහැ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සමහර ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වලින් ආසාදනය වුණු මවකට ලැබෙන දරුවාත් ඒ රෝගයම එක්ක ඉපදෙන්න සෑහෙන්න ඉඩ තියෙනවා.
3. මටත් හැදිලද දන්නෙ නෑ!
සාමාන්‍යයෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන කියන කොටම ගොඩක් දෙනෙක්ට ඔලුවට එන කාරණාව මේකයි. ඒ බය පුදුමයක් නෙවෙයි. ඒ වගේම එහෙම බයක් අනිවාර්යයෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග සම්බන්ධයෙන් තියෙන්නත් වුවමනායි. ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග කියලා හඳුන්වන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීම් වලින් හැදෙන්න ඉඩක් තියෙන රෝග කියලා අපි කලිනුත් කිව්වනේ. ඉතින් නොදන්න කෙනෙක් එක්ක ආරක්ෂාකාරී නොවෙන ලිංගික සම්බන්ධයක් පැවැත්වූවා කියන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් වැළඳීමේ අවදානමට ඔබ නිරාවරණය වෙලා කියන එක තමයි. තමන්ට එහෙම රෝගයක් වැළඳිලාද කියලා දැනගන්න පුලුවන් අපි මීලඟට කියන විවිධ රෝග සහ රෝග ලක්ෂණ දිහා බලලා. හැබැයි ඉතින් වෙනත් සාමාන්‍ය රෝගයකටත් ඔය කියන විදියේ රෝග ලක්ෂණ මතුවෙන්න පුලුවන්. එතකොට සමහර කෙනෙක්ට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් වැළඳිලාත් ඔය රෝග ලක්ෂණ මතු නොවෙන්න පුලුවන්. ඒ නිසා නිශ්චිතවම ඒ ගැන දැනගන්න නම් වෛද්‍ය පරීක්ෂාවකට යන්න වෙනවා. ඒ ගැනත් අපි කියනවා.
4. බහුලව තියෙන ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග සහ රෝග ලක්ෂණ
Genital Herpes (ලිංගික හර්පීස්)
අපේ රටේ ඉතාම වේගයෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් කියන්න පුලුවන් ලිංගික හර්පීස් වෛරසයක් නිසා තමයි ඇතිවෙන්නේ. මේකට යෝනි සංසර්ගය, ගුද සංසර්ගය, මුඛ සංසර්ගය විතරක් නෙවෙයි, වයිබ්‍රේටර් වගේ දේවල් ඇතුලු කිරීම මගින් වුනත් සම්ප්‍රේෂණය වෙන්න ඉඩ හැදෙනවා. ලිංගික හර්පීස් වෛරසය කෙනෙකුගේ ඇඟට ඇතුළු වුනාට පස්සෙ මුළු ජීවිත කාලෙම වෛරසය ඇඟේ තියෙනවා. අනික් අතට සමහරු රෝග ලක්ෂණ පෙන්වන්නෙත් නැහැ. මේකේ රෝග ලක්ෂණ වෙන්නේ ලිංගික ප්‍රදේශයේ දැවිල්ල සහ වේදනාව හට ගන්න එක තමයි. ඉන් පස්සේ යෝනි ප්‍රදේශය අවට, ශිෂ්ණය අවට පැපොල බිබිලි ආකාරයේ බිබිලි ඇතිවෙන්න පටන් ගන්නවා. ඒවා පුපුරලා කැඩිලා ගියහම අධික වේදනාවක් ඇති වෙනවා.
Syphilis (උපදංශය)
යෝනි සංසර්ගය, මුඛ සංසර්ගය, මුඛයට මුඛය තබා සිපගැනීම වගේ දේවලින් බෝ වෙන්න පුලුවන් සිෆිලිස් රෝගය දැන් ඒ තරම් දකින්න නැතත් නැහැමයි කියන්නත් බැහැ. නරකම දේ තමයි සිෆිලිස් රෝගයෙන් පෙළෙන ගර්භණී මවකගෙන් දරුවාටත් රෝගය බෝ වීමේ හැකියාවක් තිබීම. මේක අවස්ථා තුනකින් තමයි රෝග ලක්ෂණ පෙන්වන්නේ.
මුලින්ම විෂබීජය සිරුරට ඇතුළු වුණු ස්ථානයේ හටගන්නා වේදනාකාරී නොවන තුවාලයක් හෝ තුවාල සමූහයක් පෙනෙන්න තියෙන්නේ. මේක ප්‍රතිකාර නොකළත් හොඳ වෙන්න පුලුවන්. හැබැයි දෙවෙනි අවස්ථාවේදී හිසරදය, උගුරේ ප්‍රදාහය නිසා හට ගන්නා වේදනාව, උණ, සිරුරේ තැනින් තැන කුද්දටි සහ වසා ගැටිති ඉදිමීම, සිරුරේ සමහර තැන්වල කෙස් හැලී යාම, චර්ම රෝග, ලිංගික සහ ගුද ප්‍රදේශයේ සුදු පැහැ ඉන්නන් වැනි ගෙඩි ඇතිවීම සිදුවෙනවා. මේ අවස්ථාවේදීත් ප්‍රතිකාර කළත් නොකළත් රෝග ලක්ෂණ පහවෙලා ගිහින් රෝගය යටපත් වෙනවා. හැබැයි වසර කීපයකට පස්සේ එන තුන්වෙනි අවස්ථාවේදී බොහෝ ඉන්ද්‍රියන් විනාශ වීම ඇරඹෙන නිසා රෝගියාට අධික වේදනාකාරී කාලයක් ගත කරන්න, බොහෝම දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා සැකයක් තියෙන මොහොතක වහාම වෛද්‍යවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගැනීම වැදගත්.
Gonorrhea (සුදු බිංදුම)
ලෝකය පුරාවටම වැඩිපුරම පැතිර ඇති රෝගයක් විදියට දක්වන්න පුලුවන් ගොනෝරියාව යෝනි සංසර්ගය, ගුද සංසර්ගය වගේම මුඛ සංසර්ගය හරහාත් බෝ වෙන්න පුලුවන්. ගොනෝරියාව වැළඳුණු පිරිමියෙක්ට ඇතිවෙන රෝග ලක්ෂණ වෙන්නේ මුත්‍රා කරන විට ඇතිවන දැවිල්ල, මුත්‍රා කිරීමෙන් පසුව උකු කිරිවන් දියරයක් ශිෂ්ණයෙන් පිටතට ඒම සහ එය ඉක්මනින්ම ඝන වීම කියලා කියන්න පුලුවන්. හැබැයි පිරිමින්ගෙන් 10% කට විතර මේ රෝග ලක්ෂණ නැතිවෙන්න පුලුවන්. එතකොට කාන්තාවන්ට ඇතිවෙන රෝග ලක්ෂණ වෙන්නේ අධික මුත්‍රා දැවිල්ල, අධික යෝනි ශ්‍රාවය හෙවත් සුද යාම, සංසර්ගයේදී වේදනා ඇතිවීම සහ යටි බඩේ වේදනාව තමයි. හැබැයි කාන්තාවන්ගෙන් 50%කට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ.
Hepatitis B
මේක යෝනි සංසර්ගය, ගුද සංසර්ගය, මුඛ සංසර්ගය වගේම මුඛයට මුඛය තබා සිපගැනීම මගින් බෝ වුනත් ඇත්තටම රෝගී තත්ත්වයන්ට පත්වෙන්නේ ලිංගේන්ද්‍රියන් නෙවෙයි, අක්මාවයි. මේ වෛරසය ශරීරගත වුනොත් ටික දිනකින් වෛරස් උණට සමාන උණක්, කෑම අරුචිය, වමනය, ඔක්කාරය සහ විශේෂයෙන් ඇස් කහපාට වීම දකින්න පුලුවන්. එතකොට අක්මාව පිහිටි උදරයේ දකුණු ඉහළ කොටසේ වේදනාවක් ඇතිවීමත් සිදුවෙන්න පුලුවන්.
Trichomoniasis
ක්ෂුද්‍ර ජීවී ආසාදනයක් නිසා හටගන්නා මේ තත්ත්වයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් කහවන් පෙණ සහිත දුර්ගන්ධයෙන් යුත් ශ්‍රාවයක් ගැලීම සිදුවෙනවා. ඒ වගේම සංසර්ගයේදී වේදනාව හා දැවිල්ල ඇති වෙනවා. පිරිමින්ට රෝග ලක්ෂණ පෙන්වන්නේ ඉතාම කලාතුරකින්.
Genital warts (ලිංගික ඉන්නෝ)
ඉන්නෝ කියන්නේ නොදන්න දෙයක් නෙවෙයිනේ. හැබැයි ලිංගාශ්‍රිත ප්‍රදේශ වල හටගන්න ඉන්නෝ ඉබේම හොඳ වෙන්නේ නෑ. ඒකට ප්‍රතිකාර ගන්න ඕන. ඇත්තටම මානව පැපිලෝමා වෛරස් නිසා හටගන්න මේ රෝගයත් සංසර්ගයෙන් තවත් කෙනෙක්ට බෝ වෙනවා. මේවා වේදනාකාරී නොවෙන නිසා සමහරු මේවා හංගගෙන ඉන්නවා. අන්න ඒක කේස්. අනිවා වෛද්‍යවරයෙක් ගාවට යා යුතු රෝගයක් මේක.
Chlamydia
බැක්ටීරියාවක් නිසා ඇතිවන ක්ලැමීඩියා ආසාදනය බෝවෙන්නේ ප්‍රධාන වශයෙන්ම යෝනි සංසර්ගයෙන්. සමහර විට ක්ලැමීඩියා ආසාදනය වුණු කාන්තාවන්ගෙන් 20% කට වගේ යෝනි මාර්ගය තුළින් සැරව සහිත සෙවල ශ්‍රාවයක් ගලන්න පුලුවන්. එතකොට පිරිමින්ට මූලිකවම මුත්‍රා දැවිල්ල හටගන්න පුලුවන්.
Non-Gonococcal Urethritis (ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය)
මේක ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ පිරිමින් අතර තමයි. හරියටම කියනවා නං ගොනෝරියා හැරෙන්නට අන් සියලුම මූත්‍ර ප්‍රදාහයන් මේ කාණ්ඩයට වැටෙනවා. මූත්‍ර මාර්ගයෙන් අවර්ණ හෝ සැරව සහිත දියරයක් පිටවීම සහ මූත්‍රා කරනවිට ඇතිවෙන දැවිල්ල තමයි ප්‍රධානතම රෝග ලක්ෂණ වෙන්නේ. ප්‍රතිජීවක වලින් සුවපත් කරන්න පුලුවන් වුනත් මෙතැනදී අනිවා සහකාරියටත් ඒ ප්‍රතිකාරයම ලබාදෙන්න වෙනවා, ඇය රෝග ලක්ෂණ පෙන්නුවේ නැතත්. එහෙම නැත්තං පළක් වෙන්නේ නෑ. මොකද සහකාරියට පිරිමියාගෙන් මූත්‍ර ප්‍රදාහයක් වැළඳිලා, රෝග ලක්ෂණ පෙන්නුම් නොවී තියෙන්න පුලුවන් හින්දා පිරිමියාට සුව වුනත් ආයෙමත් සහකාරියගෙන් බෝවෙන්න පුලුවන් නිසා.
5. කොහොමද මේ වලින් පරිස්සම් වෙන්නේ?
සරලයි. ඔය නිල් පාට පිචර් වල එහෙම පෙන්නන්නේ ෂොපින්ග් කරන්න ගියහම සුපර් මාකට් එකේ හම්බුවෙන ලස්සන අක්කියෙක් එක්ක කතා කරලා ඊළඟට කෙලින්ම අක්කිත් එක්ක ලිංගික ඇසුරකට යන විදියේ කතන්දර. ආන්න ඒ වගේ සීන් ඇත්ත ජීවිතේදී වුනත් කරන්න යන්න නරකයි. ඒ විතරක් නෙවෙයි, සතියක් දෙකක් විතරක් කතා කරපු කෙනෙක් එක්ක වුනත් අනාරක්ෂිත ලිංගික ඇසුරකට යනවා කියන්නේ අපි අනවශ්‍ය කරදරේකට අතවනනවා කියන එක තමයි. සමහර වෙලාවට ඒ කෙනා කොච්චර හිතට ෆිට් වුනත්, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් වැළඳිලා තියෙන කෙනෙක් වෙන්න පුලුවන්. ඒක එයාත් නොදැන ඉන්නවා වෙන්න පුලුවන්. හැබැයි අපි දෙන්නට දෙන්නා හොඳින් හැඳිනගන්නවා කියන්නේ, එකිනෙකාගේ ලිංගික ඇසුරුකිරීම් ගැන අතීතයත් කතාබහට ගන්නවා කියන එක. අන්න එතකොට පුලුවන් අවශ්‍ය නම් වෛද්‍ය පරීක්ෂණයකුත් කරලා සහතික වෙන්න. එතැනින් එහාට දෙන්නා තම තමන්ගේ විශ්වාසවන්ත සහකරුවාට/සහකාරියට විතරක් ලිංගික ආශ්‍රය සීමා කරලා හිටියම ප්‍රශ්නේ විසඳෙනවා.
දෙවෙනි කාරණාව තමයි යම් හෙයකින් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක යෙදෙනවා නම් හැමවිටම කොන්ඩමයක් පැළඳීම.
6. එච්.අයි.වී සහ ඒඩ්ස් කියන්නේ මොකක්ද?
එච්.අයි.වී සහ ඒඩ්ස් කියන්නේ ගොඩක් දෙනා පටලවා ගන්නා දේවල් දෙකක්. එච්.අයි.වී කියන්නේ මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය කියන එක. මේ වෛරසය ශරීරයට ඇතුළු වුනාට පස්සේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පහර දීලා දුර්වල කරන එකයි කරන්නේ. අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ වෙනවා කියන්නේ බාහිරින් වගේම ශරීරය තුළින් පැමිණෙන්නට පුළුවන් ආක්‍රමණිකයන්ගෙන් අපිව ආරක්ෂා කරන එක අඩාල වෙන එක. එතකොට වෙන්නේ අපේ ශරීරය ඉතාමත්ම පහසුවෙන් විවිධ රෝග හා ආසාදන වලට ගොදුරු වෙන එක. අන්න ඒ විදියට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අතිශයින්ම දුර්වල වුනහම තමයි “ඒඩ්ස්” කියන්නේ. ඒඩ්ස් කියන්නේ ඔබේ ඒ ශාරීරික තත්ත්වය ගැන තියෙන වෛද්‍ය විග්‍රහය.
මතක තියාගන්න ඕන, ඒඩ්ස් වලට මෙතෙක් කිසිම ප්‍රතිකාරයක් හොයාගෙන නැති බව. වෛරසය යම් ප්‍රමාණයකට මර්දනය කරන්නටත්, ඒ මගින් ජීවත් වීමේ හැකියාව වැඩිකරගන්නත් දැන් ක්‍රම තියෙනවා. හැබැයි සම්පූර්ණයෙන්ම වෛරසය මර්දනය කරන්න හෝ විනාශ කරන්න ක්‍රමයක් තවමත් වෛද්‍ය විද්‍යාවෙන් හොයාගෙන නෑ. ඒ නිසා හොඳම දේ තමයි එච්.අයි.වී වෛරසය ශරීරගත වීමට ඇති හැකියාව වළක්වන එක.
7. එච්.අයි.වී වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද?
එච්.අයි.වී ආසාදිතයෙක්ගෙන් තවත් පුද්ගලයෙක්ට වෛරසය බෝවෙන්න පුලුවන් විදියේ තරල අපේ ඇඟේ තියෙන්නේ හතරයි. පළවෙනිම සහ ප්‍රධානතම එක තමයි රුධිරය. රුධිරයේ තමයි වෛරසයේ වැඩිම සාන්ද්‍රණයක් තියෙනවා කියන්නේ. දෙවෙනි තරලය ශුක්‍රානු. තුන්වෙනි තරලය යෝනි මාර්ග ශ්‍රාවය. අවසාන වර්ගය ඉතාම කළාතුරකින් සිදුවිය හැකි වුනත් සිදු නොවිය හැකි එකක් නෙවෙයි. ඒ තමයි මව් කිරි. එතැනින් එහාට දහදිය, කෙළ, කඳුළු, මූත්‍රා හෝ වෙනත් ශ්ලේෂ්මල තරලයක මේ වෛරසය බෝ වීමේ හැකියාවක් නෑ. ඒ වගේම තමයි, එච්.අයි.වී ආසාදිතයෙකුගේ රුධිරය ඔබේ ඇඟේ නිකම්ම තැවරුනාට ඒත් වෛරසය ශරීරයට ඇතුළු වෙන්නෙ නෑ. ඒකට ඔබේ ඇඟේ තියෙන කැපුමක් හෝ තුවාලයක වෛරසය තැවරෙන්න ඕන. අන්න ඒ නිසා තමයි එච්.අයි.වී පැතිරෙන්න ප්‍රධාන මාර්ගයක් විදියට අනාරක්ෂිත ලිංගික එක්වීම් සඳහන් කෙරෙන්නේ. එතනදී යෝනි සංසර්ගය විතරක් නෙවෙයි, ගුද සංසර්ගය හෝ මුඛ සංසර්ගයත් ඇතුළත් වෙනවා.
හැබැයි එතනින් එහාට ඔය එන්නත් කටු, අනාරක්ෂිත බ්ලේඩ් තල, දැලිපිහි තල වලිනුත් ඕකම සිද්ධ වෙන්න පුලුවන්. හැබැයි බාබර් සාප්පු වල නම් දැන් එක් කෙනෙක්ට විතරක් පාවිච්චි කරන බ්ලේඩ් තල පාවිච්චි වෙන්නේ. පච්ච කෙටීම වගේ දේවල් වුනත් ප්‍රමිතියක් ඇතුව කරගන්නකොට එක් එක් පුද්ගලයාට වෙනම කටු භාවිතා කරන නිසා ගැටළුවක් නෑ. හැබැයි මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක්ට නම් සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා, හවුලේ එන්නත් කටු පාවිච්චි කරන නිසා.
8. සැකයි වගේ නම්?
තමන්ට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් තියෙනවා කියලා සැකයක් තියේ නම් කරන්න දේවල් තියෙනවා. මූලිකවම ඒ ගැන ලැජ්ජා වෙලා හංගාගෙන ඉන්න හදන එක වළක්වගන්න ඕන. ගොඩ වෙදකම් කරන්න යන එකත් නවත්තන්න ඕන. කෙලින්ම යන්න ශ්‍රී ලංකා ජාතික ලිංගශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන තියෙන සායනයකට. ඒ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ව හමුවෙලා වෛද්‍ය පරීක්ෂණයක් කරගන්න. එතැනින් තමන්ට ලිංගාශ්‍රිත රෝගයක් තියෙනවා කියලා තහවුරු වුනා නම් වෛද්‍ය උපදෙස් පරිදි ප්‍රතිකාර ගන්න සිද්ධ වෙනවා. හැබැයි ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් කියන්නේ ලෝකේ අවසානය නෙවෙයි කියන එකත් මතක තියාගන්න වුවමනාමයි.
Cover Image Source – wkyt.com/ bimcbali.com
[…] ලෙඩ කියලා කියන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන. මෙතනදී කතාව මෙහෙමයි. විවාහ වෙන්න […]
[…] ඒ නිසා විශ්වාසය මූලික විය යුතුයි. ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග සම්බන්ධයෙන් ඉතිහාසයක් තියෙන, එහෙම […]