බුදුන් වහන්සේ විසූ කාලයේ විසූ නිගන්ඨනාථපුත්ත බෞද්ධ සාහිත්‍යයේ නිතර කියවෙන චරිතයකි. නිගන්ඨනාථපුත්තගේ අනුගාමිකයෝ එවකට සමකාලීනව වැඩුණු බුදුදහම සමග විටින් විටි ගැටෙන්නට වූ බවද බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ජෛන මහාවීරගෙන් ආරම්භ වූ මේ ජෛන ආගමද බුදුන් විසූ ක්‍රි. පූ 6 වන සියවසේ සිට මේ දක්වා ලොව පවතින සක්‍රිය දහමකි. වලගම්බා රජු පලා යනවිට “මෙන්න මහා කළු සිංහලයා පලා යනවෝ” යැයි කෑ ගැසුවේ නිගන්ඨයෙකි. එම කාල සීමාව බැලූ කල නිගන්ඨයින්ගේ ජෛන ආගම දකුණු ඉන්දියාවේ ප්‍රබලව තිබූ වකවානුවක් බව පෙනේ.
1. ජෛන මහාවීරතුමා
ජෛන ආගමෙහි දෙවියෙක් නොමැත. ජෛන මහාවීරයෝ ජෛන ආගමේ මහා වීරයාණන් ලෙස ජෛන ආගමිකයෝ සලකති. ජෛන මහාවීරයෝද ක්ශත්‍රිය රජ කුමාරයෙකි. ජෛන දහම සහ බුදුදහම ලොවට පහළ වන්නේ එකම කාලවකවානුවකදී ගංගා නම් ගඟේ ඉහළ පළාතේදීය. මෙම ආගම් දෙකම එවකට පැවති බ්‍රාහ්මණ ආධිපත්‍යයට අභියෝග කරන්නට විය. ජෛන මහාවීර අවුරුදු 30දී සිද්ධාර්ථ මෙන්ම සත්‍ය සොයා යන්නේ සිය වස්තුව දුප්පතුන්ට දන් දෙමිනි. සිද්ධාර්ථ කුමාරයා මෙන් කුමාර වස්ත්‍ර හැරදා ශ්‍රමණ වස්ත්‍ර වලට නොයන මහාවීර, නිරුවතින්ම මේ ජීවිතයේ කෙළවර සොයන්නට උත්සාහ ගත්තේය. මහාවීරයන් සත්‍ය සොයා දොළොස් අවුරුද්දක් ශ්‍රමණ දහම් පිරූ අතර, ඒ කාලයේදී හෙතෙම ලෝක ධර්මතාවය මැනවින් අවබෝධ කරගත්තේය.
2. ජෛන ආගමේ කොටස්
ප්‍රධාන වශයෙන් ජෛන ආගමිකයෝ කොටස් දෙකකි. එනම් දිගම්බරා සහ ශ්වේතම්බරා යනුවෙනි. දිගම්බරා නිකායිකයෝ ජෛන මහාවීරයෝ පරිද්දෙන්ම නිරුවතින් සිට ජීවිතයේ අඩු වශයෙන් ඇඳුමකටවත් ඇලී සිටීම යුතු නැතැයි විශ්වාස කරති. එසේම දිගම්බරා ජෛනයෝ තරමක් තද පිලිවෙත් ඇත්තෝය. ජෛන මහාවීරයෝ ස්ත්‍රීන්ට මෝක්ෂ්‍ය ලබාගැනීමට නොහැකි බව පවසා තිබේ. ශ්වේතම්බරා පාර්ශ්විකයෝ සුදු ඇඳුමින් සැරසී සිටිති. ශ්වේතම්බරා පාර්ශවයේ ස්ත්‍රීන්ද ශ්‍රමණ වෙස් ගෙන සිටින අතර ඔවුන්ට අනුව ස්ත්‍රීන්ට මෝක්ෂය ළඟා කරගත හැකිය. නූතනයේ වුවත් යාන වාහන වලින්, සතුන් පිටින් ගමන් යෑම වැනි දේ පවා ප්‍රතික්ෂේප කරන දිගම්බරා පාර්ශ්විකයෝ සිටිති. එහෙත් ශ්වේතම්බරා පිරිස් යම්තාක් දුරකට දැඩි මත වලින් එපිටට විත් ප්‍රායෝගිකව දහම වෙනස් කරගෙන සිටිති.
3. ජෛන ආගමේ ව්‍යාප්තිය
අද වනවිට ජෛන ආගම අදහන පිරිස මිලියන බාගයකටත් අඩුය. එහෙත් පුරාතන ඉන්දියාවේ ප්‍රධානතම ආගම් වලින් එකක් ලෙස ජෛනාගම පතල විය. ක්‍රි. ව 3 වන සියවසේ සිට 14 වන සියවස දක්වා ඉන්දියාවේ ඩෙකෑන් කලාපයේ මෙන්ම පහළ තමිල්නාඩු කර්ණාටක පළාත්වලද ජෛන දහම ප්‍රචලිතව තිබී ඇති බවට පුරාවිද්‍යා සාධක හමු වේ. දිගම්බරා අන්තයේ ජෛනයෝ බොහෝ දකුණු ඉන්දීය රජවරුන්ගේ උපදේශකවරුන්, පුරෝහිතයින් ලෙස රාජ්‍ය පාලනයටද උපදෙස් දී තිබේ. දකුණු ඉන්දියාව සේම රාජස්ථාන් ඇතුළු ගුජරාටයේ පළාත් කීපයක ජෛන ආගමිකයෝ සියවස් ගණනාවක සිට පැවති සිය ඇදහීම් පිළිවෙත් වර්තමානයේ පවා පවත්වාගෙන එති.
4. ජෛන සමාජ වටිනාකම්
ජෛනයෝ අහිංසාව තදබල ලෙස විශ්වාස කරන පිරිසකි. ඔවුහු යුද කැරලි කෝළහල තබා කුහුඹුවෙකු මරණයට පත් කිරීම පවා මහත් පාපකර්මයක් ලෙස දකිති. හින්දු වේදික ආගමෙහි ඇතැම් කොටස් සත්ව ඝාතන, බිලිපූජා අනුමත කරන විට ජෛනයෝ සහ බෞද්ධයෝ වඩාත් ඉදිරිගාමීව සිතමින් සියලු ආකාරයේ හිංසාවන් පිටුදකින්නට ක්‍රියා කළහ. ජෛන ආගමේ මහාවීර කුල ක්‍රමය පිටුදැක්කේය. ක්ෂත්‍රියයෙකු වූ ජෛන මහාවීර සිය දහම තුළ බ්‍රාහ්මණ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම බමුණු ආධිපත්‍යය අභියෝගයට ලක් කිරීමක් ලෙස ඉතිහාසඥයෝ පැහැදිලි කර ඇත.
5. විශ්වය, කාලය, අවකාශය
විශ්වය ගැන ජෛන දැක්ම තරමක් සංකීර්ණ එකකි. බුදුදහම සහ හින්දු දහම පරයා ජෛන ආගමේ ලෝකය ගැන වඩාත් යථාර්ථවාදී අදහස් පැතිර ඇතැයි ඇතැම් විද්වතුන් ගේ මතය වේ. සිත, ද්‍රව්‍ය, අවකාශය, චලනය සහ කාලය මගින් ලොව නිර්මාණය වී ඇති බවත්, මෙම චලනය හෝ වෙනස්වීම නැවැත්වීමෙන් පරම සුවය ලැබෙන බවත් ජෛන ආගමිකයෝ විශ්වාස කරති. ජෛන දහම අනුව විශ්වය ආකාර පහකි. යටම ඇත්තේ අධෝලෝකයයි, අප ජීවත් වෙන මැද ලෝකය මධ්‍ය ලෝකයයි. ලෝකයේ මධ්‍යය හෙවත් විද්වතුන් බිහිවන භූමිය ජම්බුද්වීපයයි, ඊට ඉහළ ඇත්තේ ඌර්ධව ලෝකය වන අතර එහි දිව්‍ය ලෝකය වැනි ලෝක දෙකකි. එක දිව්‍යලෝකයක් ජෛන ආගම අදහන අයටය. අනෙක ජෛන ආගම ප්‍රතික්ෂේප කරන සත්පුරුෂයන්ටය.
6. ජීවය පිළිබඳ ජෛන මතය
ලොව පවතින ගස්, ගල්, ලෝහ වර්ග, ජලය ආදී සෑම දෙයකටම ජීවයක් තිබේය යන්න ජෛන අදහස විය. ජෛන ආගමිකයෝ දැඩි ලෙසම එළවලු පමණක් ආහාරයට ගන්නා අය වෙති. ඔවුන්ගේ විශ්වාසයන් අනුව ආහාර ගැනීමද, පිසගැනීමද රාත්‍රිය උදාවීමට පෙර අවසන් කළ යුතුය. ජෛනයාගේ ඇවිදීම, ආහාර ගැනීම සහ ඇවතුම් පැවතුම් සියල්ලම පාහේ අවට ලෝකයට අඩුවෙන්ම හිංසාවක් වන පරිදි ඉටුකිරීමට ජෛන දහම උගන්වා තිබේ. ජෛන ශ්‍රාවකයින් ලිංගික ජීවිතයෙන් බැහැරව, සිරුරට දුක් දෙමින්, සිරුරට සැප දීමෙන් ඈත්ව කල් ගත කළ යුතු බව ජෛනාගමේ දක්වා තිබේ.
7. ජෛන විශ්වාසයන්
ජෛන ආගමේ මුල පටන්ම වස්ත්‍ර අත්හළ ජීවිතයකට ජෛන ශ්‍රාවකයෝ හුරු වූහ. මෙය එක්තරා විහිළු සහගත දෙයක් යැයි බාහිර ලෝකයාට දිස්විය හැකි වුවත්, වස්ත්‍ර යනු කිසියම් ආගමිකයෙකුට තවත් බරකි. වස්ත්‍ර තිබෙන විට ඒවා රැකගත යුතුය. ඒවා සෝදා පිරිසිදු කරගත යුතුය. සොරුන්ගෙන් ආරක්ෂා කරගත යුතුය. දායකයින්ගෙන් වස්ත්‍ර ලබාගත යුතුය. එහෙත් වස්ත්‍ර නොමැතිව සිටීමෙන් වස්ත්‍ර ගැන ඇතිවන සියලු අවහිරතාවන්ගෙන් ජෛනයෝ නිදහස් වෙති. ජෛන පිරිස් සිය යන එන ගමනේදී මැසි මදුරුවන් පලවා හැරීමට මිට සහිත පිස්නාවක් භාවිතා කරති. මුඛය සහ නාසය ඇරගෙන සිටින විට ඒවායේ සතුන් රිංගා සතුන්ට හිංසා වේ යැයි සිතන ජෛනයෝ මුව සහ නාසය වැස්මකින් වසා ගනිති.
ජෛන දහම තුළ පරම සුවය ලබාගත හැක්කේ මරණින් මතුවය. එනම් යමෙක් මෝක්ෂය ළඟා කරගත්තද ඔහුට එය සම්පූර්ණ කරගත හැකි වන්නේ මරණයෙනි. මේ විශ්වාසය පිට ඉන්දියාවේ රාජස්ථාන් වල ඇතැම් ජෛන පිරිස් උපවාස කරමින් මෝක්ෂයට යන්නට උත්සාහ කිරීම් මෑතකදීද වාර්තා විය. ඉන් පසු ඉන්දියානු අධිකරණය මගින් මෙසේ උපවාස කර මරණයට පත් වීම වරදක් යැයි ප්‍රකාශ කළ අතර, ඒ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සහ ජෛන ආගමික නායකයින් අතර මත ගැටුමක් තිබේ. ආගම යනු විශ්වාසය පදනම් වූ ඇදහීම් ක්‍රියාවලියකි. ජෛනයින්ගේ ඇතැම් පිලිවෙත් බාහිර ලෝකයට විහිලු සහගත ලෙස පෙනුනත්, ඒ ධර්මය අදහන අයට සිය දහම පිලිපැදීම පරම සුවයට යෑමට පහසු මගකි.
Cover Image Source – christopheboisvieux.com
Leave a Reply