පොත් ගුල්ලෙක් නම් මේ ගැජට් බැජට් උපකරණ ළඟ තියෙන එක වටීවි!

පොත් කියවන එක සාමාන්‍යයෙන් විනෝදාංශයක් විදියට හැඳින්වුවත්, හොඳ පොත් ගුල්ලෙක්ට ඒක දැනුම හොයාගෙන යන මාර්ගයක්. එතකොට ගොඩක් වෙලාවට උසස් ඉගෙනුම් කටයුතු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වුනත් වැඩිපුර කාලයක් පොත පත ඇසුරු කරන්න වෙනවා. හරි, මේ කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි. දැන් ලෝකේ තාක්ෂණයත් එක්ක අපේ ගොඩක් කටයුතු පහසු වෙලා තියෙනවනේ. එතකොට පොත පත කියවන අයට කියැවීමේ කටයුතු වලට පහසුවක් වෙන්න හදපු තාක්ෂණික මෙවලම්, ඒ කිව්වේ ගැජට් බැජට් එහෙම නැද්ද? තියෙනවා. අන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ!

 

1. Clip-on book reading light

Image Source – caibana.com

පොත් කියවන කෙනෙක්ට පොතක් කියවන්න රෑද දවල්ද කියලා වෙනසක් නෑ. සමහර වෙලාවට හොඳ පොතක් අහුවුනහම එකදිගටම කියවනවනේ. අනික් කාරණාව තමයි ගොඩක් අයට තියෙන රෑට නින්ද යනකල් පොතක් කියවන පුරුද්ද. මේ පුරුද්ද හොඳයි, හැබැයි නිදිමත එනකල් ඇඳට වෙලා පොත කියවලා, ඉන් පස්සේ නැගිටලා ගිහින් කාමරේ ලයිට් එක ඕෆ් කරන්න වෙන එක තරම් එපා කරපු වැඩක් තව තියෙනවද? ආන්න ඒ ප්‍රශ්නය තියෙන අය වෙනුවෙන් ලබාදීපු උත්තරයක් තමයි මේ ක්ලිප්-ඔන් බුක් රීඩින්ග් ලයිට් කියන්නේ. මේක ගොඩක් වෙලාවට පොඩි ඔරලෝසු බැට්‍රියකින් වැඩ කරන්නේ. මේ ගැජට් එක පොතේ පි‍ටු ටිකක් අල්ලලා හරි, හාඩ්බයින්ඩ් කවරෙට හරි ක්ලිප් කරන්න පුලුවන්. ඕන විදියට නවලා ඇජස්ට් කරගන්න පුලුවන් ලයිට් එකෙන් පොතක් කියවන්න ප්‍රමාණවත් මෘදු ආලෝකයක් විහිදෙනවා. දැන් ලයිට් ඕෆ් කරලම ඇඳට ඇවිත් ක්ලිප්-ඔන් බුක් රීඩින්ග් ලයිට් එක ගහගෙන පොත් කියවන්න පුලුවන්!

 

2. Night Lamp සහ Bedside Table

Image Source – notonthehighstreet.com

අපි අර උඩින් කියපු විදියට නිදාගන්න කලින් පොතක් කියවන පුරුද්ද තියෙන අයට උදවුවක් වෙන තවත් උපකරණයක් තමයි නයිට් ටේබල් ලෑම්ප් එකක් කියන්නේ. දැන් ඕක තියන්නේ කොහෙද? තියන්නේ ඇඳට එහාපැත්තෙන් තියලා තියෙන බෙඩ්සයිඩ් ටේබල් එක උඩ. ඔවු, නින්දට කලින් අනිවාර්යයෙන්ම පොත් කියවන පොත් ගුල්ලෝ ඉන්නවා නම් මේ විදියේ බෙඩ්සයිඩ් ටේබල් එකකුත් ගන්න එක පාඩු නෑ. හේතුව මේකයි. එහෙම නැතිනම් රෑට කියවන පොත ගොඩක් වෙලාවට තියෙන්නේ ඇඳ උඩ. දැන් ඕක අපි එහාට මෙහාට පෙරළෙන කොට අපේ ඇඟට යටවෙලා පි‍ටු නැවෙන්න පුලුවන්, බිමට වැටෙන්න පුලුවන්. හැබැයි බෙඩ්සයිඩ් ටේබල් එකක් ඇඳ පැත්තකින් තියෙනවා නම් කරන්න තියෙන්නේ නිදාගන්න යද්දි කියවන පොත ඒක උඩින් තියන එක. නයිට් ලෑම්ප් එකත් බෙඩ්සයිඩ් ටේබල් එක උඩම තියෙනවා නම් ආයෙ ඇ‍ඳෙන් බැහැලා ඇවිත් ලයිට් ඕෆ් කරන්න කරදරේකුත් නෑ.

 

3. E-book reader

Image Source – youtube.com

මෙන්න පොත් කියැවීමේ විප්ලවයක් ඇති කරපු ගැජට් එක. හැබැයි ඉතින් පොතක් කියවන්න නම් අනිවාර්යයෙන්ම පොතේ සුවඳ බලන්නම ඕන, පොතේ පි‍ටු පෙරළන්නම ඕන, එහෙම නැතිනම් පොත් කියවන්න බෑ කියන අයට මේක ගැලපෙන්නේ නෑ. හැබැයි පොතක සුවඳ බලන, පි‍ටු පෙරළන සීන් රසවිඳින අතරේම, පොතක් කියවලා විනෝදය සහ දැනුම බලාපොරොත්තු වෙන, නවීන ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න බය නොවෙන අයට මේක මරු ගැජට් එක. ඇත්තටම හොඳ ඊබුක් රීඩර් එකක් කියවන එක පොතක් කියවනවා වගේම තමයි. මේ වල තියෙන්නේ ඔය ටැබ් වල වගේ දිස්න ගහන ස්ක්‍රීන් නෙවෙයි. ඊ-ඉන්ක් ඩිස්ප්ලේ කියන මේ තිරය අපිට ලබාදෙන්නේ මුද්‍රිත අකුරු තියෙන කඩදාසියක් කියවන අත්දැකීමක් තමයි. අනික සැහැල්ලු නිසා එක අතකින් අල්ල ගෙන කියවන්නත් පුලුවන්. පොත් දාස් ගාණක් තියාගන්නත් පුලුවන්. ඔය Kindle Paperwhite 2 වගේ බැක්ලයිට් තියන ඊබුක් රීඩර් එකක් ගත්තහම රාත්තිරියට වුනත් පොතක් කියවන්නත් පුලුවන්!

 

4. පොත් ඇප්

Image Source – play.google.com

මේක ගැජට් එකක් නෙවෙයි. හැබැයි පොත් කියවන අයට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙන ලංකාවේ අපේම කට්ටියක් හදපු ඇප් එකක්. මේක හදලා තියෙන්නේ ස්මාට්ෆෝන් එකෙන් පොත් කියවන අයට. හැබැයි ස්මාට්ෆෝන් තිරයකින් පොතක් කියවන එක ලේසි වැඩක් නෙවෙයි කියන එකත් කියන්න ඕන. කොහොම වුනත් මෙච්චර කල් ලංකාවේ සිංහල පොත් වල නියම ඊබුක් සංස්කරණයන් තිබුණේ නැහැනේ. එකක් දෙකක් ඇරුණු කොට තියෙන අනික් හැම එකක්ම පොතකින් ස්කෑන් කරපුවා. ඒවා කියවන එකත් අසීරුයි. හැබැයි මේ අය ලංකාවේ අවසර ලැබෙන පොත් වල නියම ඊ සංස්කරණයන්, එතකොට ඊ-සඟරා, ඊ-පුවත්පත් එහෙම ලබාදෙනවා. සමහර ඒවා නොමිලේ දෙනකොට තවත් සමහර ඒවාට පොඩි මුදලක් ගෙවන්න වෙනවා. අපි දිර්ඝකාලීනව පොත් කියවන්න නම් රෙකමන්ඩ් කරන්නේ ඊබුක් රීඩර් එකක් වුනත්, මේ වගේ ඇප් එකක් තියෙන එකේ ප්‍රයෝජනයත් කියලා නිම කරන්න බෑ.

 

5. Magnetic Book marks

Image Source – youtube.com

සාමාන්‍යයෙන් අපි පොතක් ගත්තහම එක හුස්මට කියවලා බිම තියෙන අවස්ථා එන්නේ බොහොම කලාතුරකින්. ඊට වඩා වෙන්නේ අපි පොතක් පුලු පුලුවන් වෙලාවට කියවලා ඉවර කරන එක. දැන් පොත ටික දුරක් කියවලා පැත්තකින් තියනකොට අපි බුක් මාර්ක් පාවිච්චි කරනවනේ. ඒකට හේතුව ආයෙමත් පොත අතට ගත්තහම පටස් ගාලා කියව කියවා හිටපු තැන හොයාගන්න පුලුවන් වෙන්න. හැබැයි ඉතින් ඔය පරණ තාලේ රිබන් පටියක් තියෙන බුක් මාර්ක් එකක් පොතෙන් වැටෙන්න පුලුවන්. අන්න ඒ නිසා තමයි චුම්භක ගුණය තියෙන පොත් සළකුණක් වැදගත් වෙන්නේ. මේ විදියේ බුක් මාර්ක් එකක් බොහොම පොඩියි. ඇඟිල්ලකට වඩා දිග සහ පළල නෑ. හැබැයි මේ බුක් මාර්ක් එක අපි කියවලා නවත්තපු පි‍ටුවට දැම්මට පස්සේ ඒකේ අග තියෙන මැග්නට් නිසා බුක් මාර්ක් එක ලොක් වෙනවා. දැන් ඒක පොතෙන් වැටෙයි කියලා බය වෙන්න කාරි නෑ!

ඒ වගේම තමයි දැන් කියවන පි‍ටුව විතරක් නෙවෙයි, අවසානයට කියවපු පේළියේ අවසානයට කියවපු වාක්‍යයේ කෙළවර සලකුණු කරන්න පුලුවන් විදියේ පොත් සළකුණුත් දැන් වෙළෙඳපොළේ තියෙනවා.

 

6. Prism Eye Glasses

Image Source – alibaba.com

මේ තියෙන්නේ සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන ජාතියේ උපකරණයක්. මේක හදලා තියෙන්නෙත් පොත් කාවුන්ටම තමයි. දැන් දීර්ඝ වෙලාවක් එකම ඉරියව්වක ඉඳන් පොතක් කියවන කෙනෙක්ට අනිවා මුහුණ දෙන්න වෙන අමිහිරි අත්දැකීමක් තමයි බෙල්ලේ සහ උරහිසේ වේදනාව. හේතුව අපි පොතක් කියවනකොට අනිවාර්යයෙන්ම බෙල්ල පොතට නවාගෙන කියවන්න සිදුවීම. හැබැයි මේ තියෙන කණ්ණාඩි දෙක දාගත්තට පස්සේ ඒ ප්‍රශ්නය එන්නේ නෑ. බෙල්ලට සහ උරහිසට වේදනාවක්, ආතතියක් නොදැනෙන සාමාන්‍ය කෙලින් බලාගෙන ඉන්න ඉරියව්වේ ඉඳන් මේ කණ්ණාඩි දෙක ඔස්සේ පොත කියවන්න පුලුවන්. විශේෂයෙන්ම ඇඳට වෙලා උඩුබැලි අතට පොතක් කියවන්නත් මේ ක්‍රමේ සෑහෙන්න ලේසියි.

 

7. Reading Stands

Image Source – amazon.in

අපි උඩිනුත් කිවුවා නේ නිරන්තරයෙන් පොත් කියවන කෙනෙක්, පොත තමන්ගේ අතේ තියාගෙන සෑහෙන්න වෙලාවක් කියවනකොට විඳින්න සිද්ධ වෙන ශාරීරික අපහසුතාවය ගැන. මේක දීර්ඝ කාලීනවත් සෞඛ්‍යයට බලපානවා. ආන්න ඒ නිසා තමයි නිරන්තර පොත් කියවන්නෙක් රීඩින්ග් ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කළ යුත්තේ. ඕනෑ නම් මේසේ උඩ හිටවලා තියන්න පුලුවන් රීඩින්ග් ස්ටෑන්ඩ් තියෙනවා. ඒ වගේම අවශ්‍ය නම් හිටගෙන පොත් කියවන්න පුලුවන් රීඩින්ග් ස්ටෑන්ඩ්ස් එහෙමත් තියෙනවා. දීර්ඝ වෙලාවක් එකම තැනක ඉඳගෙන ඉන්න එකේ අනි‍ටු සෞඛ්‍ය ප්‍රතිඵල මග හරවන්න ඒ වගේ ස්ටෑන්ඩ් එකක් හොඳයි. කොහොම වුනත් දැඩි පොත් කියවන්නෙක් නම් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න වුවමනා උපකරණයක් විදියට අපි මේ රීඩින්ග් ස්ටෑන්ඩ් එක රෙකමන්ඩ් කරනවා.

එකක් දෙකක් ඇර මේ ලැයිස්තුවේ තියෙන හැම ගැජට් එකක්ම, හැම උපකරණයක්ම ලංකාවේ ගන්න පුලුවන්. අවශ්‍ය නම් සමහර ගැජට් ඊබේ එකෙන් ගෙන්නගන්නත් පුලුවන්. ඔය DIY වැඩ වලට ආස කරන කෙනෙක්ට සමහර ඒවා තමන්ටම හදාගන්නත් පුලුවන්!

Cover Image Source – thedigitalbridges.com/ medium.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *