අලුත් ලේඛකයන්ගේ ඔබ කියවිය යුතුම පොත් 7ක්

පොත්… පොත්.. පොත්… සාහිත්‍ය මාසෙ ඉවර වුණාට තාම පොත් ගැන කතන්දර අහවර වෙලා නෑ. ඒ වගේම සාහිත්‍ය මාසයේදී අලුත් පොත් ලොට් එකක්ම සිංහල සාහිත්‍යගාරයට ගොඩ වැදුණා. ඒ පොත් අතරේ ප්‍රවීණ ලේඛකයන්ගේ පොත් වගේම, නවකයන්ගේ පොත් රාශියකුත් තිබුණා. ප්‍රවීණයො ගැන අපි ඇති පදම් කතා කරනවා නොවැ. මේ ලිපියෙන් කියන්න හදන්නේ අලුතින් ආපු ඔබ කියවිය යුතුම නවකයන්ගේ පොත් හතක් ගැනයි.

 

1. ඉස්කිරීම

Image Source – facebook.com

ඉස්කිරීම කියන්නේ ඇඳුම් රඳවනයක් නේ. නෑ මේ ඉස්කිරීම කියන්නේ නම් නවකතාවක්. මේකෙ රචකයා දමිත් උදයංග දහනායක. මේක ප්‍රේමය හදවත කරගත්තු පොතක්. ප්‍රේමණීයයි කියන බොහෝ ප්‍රවීණ ලේඛකයන්ගේ පොත් වලට වඩා මේකෙ කතාව ශක්තිමත් වගේම ඉතාම අර්ථ පූර්ණයි. විශේෂයෙන්ම කතාව ඇතුළේ ව්‍යංග්‍යාර්ථයන් තුළින් බොහෝ දේ කියන්නට කතුවරයා උත්සාහ අරගෙන තියෙනව අපූරුවට. ඉතින් අරගෙන කියවන්න මේ අපූර්ව වියමන. ඔබ මොහොතකට හෝ ආදරණීය වෙනවා සත්තයි…

“‘අක්කගෙ කුඩ මිට තාම මං ලඟ.’

‘කුඩයක් නැතුව මිටක් විතරක් මොකටද ඔයාට?’

‘හෙට ගෙනත් දෙන්නම් ද ඒක අක්කට?’

‘එපා. ඒක ඔයා තියාගන්න. නොතෙමි – තෙමි තෙමි ඉන්න.'”

(ඉස්කිරිම – 65 පිටුව)

 

2. ආදරේ රත්නපුර වගේ

Image Source – facebook.com

චමල් අකලංක පොල්වත්තගේ තමයි මේ පොතේ රචකයා. ෆේස්බුක් එකේ, රැස පත්තරේ අමුතු අමුතු ලියමන් ලියන, ලොකු ලොක්කන්ගේ කණ පැලෙන්න අකුරු වලින් වැඩ දාන හාදයෙක් විදිහට අපි අඳුනගෙන හිටපු ඔහුගේ පළමු කවි පොත තමයි මේ. කවි ටික රහයි වගේම තරුණයි. ඒ වගේම හිටි ගමන් තැන් වල තත් කාලීන සමාජයට එල්ල කරලා තියෙන පොඩි පොඩි හින්ට් ටික මාරයි. කියවන්න ඕනම පොතක්. ආරංචි හැටියටනම් පළවෙනි මුද්‍රණය උණු කැවුම් වගේ විකිණිලා ඉවර වුණා. මිලදීගන්න බැරිනම් හොයාගෙන කියවන්න.

 

3. මූසිලය

Image Source – facebook.com

කවුරුත් කලණ ගුණසේකරව දන්නේ ප්‍රියන්ත මහඋල්පතගම කියලයි. එහෙම වෙන්න හේතුව කූඹියෝ. කූඹියෝ එකේ ප්‍රියන්තගේ පළවෙනි පොත තමයි මූසිලය. කවි පොතක්. අපූරුවට වචන ගොඩ ගහපු කවි වලින් හරඹ කරපු පොතක්. ආරංචි වෙන විදිහටනම් මේක කලණ ගොඩක් කාලෙකට කලින් ලියපු කවි ගොන්නක්. ගුත්තිල කාව්‍යයේදී මූසිල ට යම් කිසි අසාධාරණයක් වුණා කියලයි කලණ අදහන්නේ. පැරණි කවි ආර ඔප් නැංවුණු කවි පොතක් මේක. කියවලම බලන්නකෝ.

 

4. එකසිය තිස් අට

Image Source – kbooks.lk

138 කියන්නේ ලංකාවේ කාර්යබහුලම බස් මාර්ගයක් නේ. මේකෙ බස් ඇතුලේ විවිධාකාර උප සංස්කෘතීන් නිමැවෙනවා. මේ බස් රූට් එකේ හැමදාම යන කෙනෙක් තමන් ගත්තු අත්දැකීම් වලින් කවි පොතක් ලිවුවොත්..? අන්න ඒ පොත තමයි මේ. පොතේ රචකයා වෙන්නෙ මධුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය. කවි වල වචන බොහොම අපූරුයි. මුවහත්. පසුවදන ලියලා තියෙන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කියන්නේ එහෙමයි. රස විඳින්න හොඳ පොතක් මේක.

 

5. ඇද අකුරු

Image Source – womansstage.blogspot.com

අකුරු ඇද කතාවක් ගැනයි මේ කියන්නේ. ඇද අකුරු කියන්නේ අජිත් සංජීවගේ පළමු කෘතිය. මේක කෙටි නවකතාවක්. පොතේ පිටු 127 යි තියෙන්නේ. හැබැයි බොහොම ව්‍යක්ත ලිවිල්ලක් මේ කතාවේදී අපට මුණගැහෙනවා. ඒ වගේම ඒ ලිවිල්ල බොහොම මානවවාදීයි. තරුණ පරපුර එදිනෙදා මුහුණ දෙන ගැටලු, පවුල් ප්‍රශ්න ආදිය ගැන සංවේදී වන කතුවරයා මනා සංයමයකින් මෙය ලියලා තියෙන බවත් පේනවා. අපූරු කෘතියක්.

 

6. කළුපාට රොමෑන්තිකයාගේ ආදරවන්තිය

Image Source – roar.media

ආදරවන්තයෝ ආදරය කරනවා. කළු පාට ආදරවන්තයොත් ආදරේ කරනවා. අන්න ඒ ආදරේ ගැන අපට කියන්න මේ එන්නේ ඉරෝශාන් ප්‍රනාන්දු. ඉරෝශන් ප්‍රනාන්දු කියන්නේ ඔහුගේ හැඳින්වීමට අනුව ඇඩ්වර්ටයිසින් කාරයෙක්. ඔහුගේ මේ පොත කෙටි කවි එකතුවක්. ඒ වගේම මේ කෙටි කවි හරිම ආදරණීයයි. සමහර කවි සරාගියි. මේක සංහිඳ ප්‍රකාශනයක්. කියවලම බලමු.

 

7. බුදුන්ගේ රස්තියාදුව

Image Source – facebook.com

මේ පොත ගැන නම් කියන්නත් ඕන නැතුව ඇති. ඔබ සමහරවිටෙක නම හන්දා මේ පොත නොකියවා ඉන්න ඇති. එහෙම නැත්නම් නම හන්දම පොත කියවන්න ඇති. මගේ යෝජනාවනම් ඒ අන්ත දෙකම අත ඇරලා සාමාන්‍ය පොතක් විදිහට මේක කියවන්න. සාම්ප්‍රදායික කතාවක් වගේ මුලක් මැදක් අගක් නොමැති වුණාට කතාවක් විදිහට හරිම ලස්සන, නිර්මාණශීලී කතාවක්.

 

මේ පොත් වගේම අලුත් ලේඛකයන්ගේ ඔබ ආස කරන තවත් පොත් තිබේනම් ඒව ගැනත් පල්ලෙහයින් කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා. 

Cover Image Source –  facebook.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *