ත්‍රීරෝද රථ කියන්නේ අපේ එදිනෙදා ජීවිතයේ පහසුව සලසන තවත් එක වටිනා අංගයක්නේ. කතාවට අපි කියන්නෙත් කාගෙත් හිතවතා කියලානේ. එදිනෙදා ජීවිතයට සලසන මේ පහසුව වගේම ත්‍රීරෝද රථ රියදුරන් නිසා බොහෝම අපහසුතාවයට පත්වෙන පිරිසත් දිනෙන් දින ඉහළ යමිනුයි තියෙන්නේ. විශේෂයෙන්ම බහුලවම මෙම තත්ත්වයට ගොදුරු වන්නේ කාන්තා පක්ෂයයි. පසුගිය කාලය පුරාවටම එවන් සිදුවීම් දිනපතාම වාගේ වාර්තා වුනා. ශ්‍රී ලංකාවේ අගනගරයේ ත්‍රීරෝද රථ රියදුරන් මගීන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම ඉහළ ගොස් ඇති බව පවසා, ඇමරිකානු පුරවැසියන්ට ලංකාවෙදි ත්‍රීරෝද රථ භාවිතයෙන් වලකින ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමකුත් පසුගිය දා නිකුත් කර තිබුණා. ඔවුන් ප්‍රකාශ කරන්නේ ත්‍රිරෝද රථ රියැදුරන් කාන්තා මගීන් නොමනා ලෙස අතපත ගෑමේ සිදුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බවයි. වාර්තා වූ බොහෝ සිද්ධි සිදුව ඇත්තේ ගමනාන්තයේදී බවත්, ඒ අවස්ථාවේ වඩාත් විමසිල්ලෙන් සිටිමින් ත්‍රිරෝද රථය තුළ තනිව ගත කරන කාලය සීමා කිරීමට උත්සාහ ගන්නා ලෙසත් ඔවුන් මගීන් දැනුවත් කර තිබෙනවා. ඒ වගේමයි බොහෝමයක් කාන්තා අපහරණ ක්‍රියා සම්බන්ධ සිදුවීම් වලදී ත්‍රීරෝද රථ හා එම රියදුරන්ගේ මැදිහත් වීම් වැඩි වශයෙන් දැක ගන්න ලැබෙනවා.
මේ නිසාම අපි හිතුවා අපේ ආදරණීය ලයිෆි හිතවතියන්ව මේ සම්බන්ධව දැනුවත් කළ යුතුයි කියලා. අපි මේ කියන්න හදන්නේ ඔබ කාන්තාවක් නම් ත්‍රීරෝද රථ භාවිතයේදි සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්.
1. කලින්ම බුක් කරලා යන ගමනක් නම්, පිළිගත් තැනකින් බුක් කරන්න
හදිස්සියට යන ගමනක් නෙමෙයි නම්, කලින්ම සූදානම් වෙන ගමනක් නම් ඔයාට පුළුවන් පිළිගත් තැනකින් ත්‍රීවීල් රථයක් බුක් කරගන්න. රියදුරා ගැන වගකීමක් එම ආයතන දරන නිසා රියදුරා උනත් ආයතනයේ නමට හානියක් වෙන දෙයක් කරන්න පෙළඹෙන්න ඉඩ අඩුයි. රියදුරාගේ තොරතුරු ආයතනය දන්නා නිසාත් යම්කිසි කරදරයක් වීමට ඇති ඉඩ ඉතාම අවමයි.
2. හතර වටෙන්ම කවර් කරලා තියෙන වීල් වලට ගොඩ වෙද්දි දෙපාරක් හිතන්න
ඔබ ගොඩවෙන ත්‍රීරෝද රථයේ ස්වරූපය කෙරේ ඔබ අවධානය ලබා දිය යුතුමයි. අනවශ්‍ය ආකාරයට හතරවටින්ම කවර් කර, පිටුපස කොටස වෙනමම කොටසක් ලෙස සකසා ඇති ත්‍රීරෝද රථවලට ගොඩ නොවීම ඔබගේ ආරක්ෂාවට වඩාත් සුදුසු බව මතක තබාගන්න. එය අනතුරක ලකුණක් විය හැකියි. හදිසියේ හෝ ඔබට ත්‍රීරෝද රිය තුළදි යම් කරදරයකට ලක්වීමට සිදු වුවහොත් අවටින් උදව්වක් ලබා ගැනීමට නම් ඔබව පිටතට පෙනෙන්නට අවශ්‍යයි. ඔබට අසාමාන්‍ය ආකාරයක් දැනෙන වීල් වලට ගොඩ නොවෙන්න සැලකිලිමත් වෙන්න.
3. ඇඳුම ගැන සැලකිල්ලෙන්… සයිඩ් කණ්ණාඩි ඔබ වෙතයි
වෙනත් වාහන මෙන් නොවෙයි, ත්‍රීවීල් වල ගමන් කරන විට ඔබේ ඇඳුම ගැන වඩාත් කල්පනාකාරී විය යුතුයි. කෙටි ගවුම්, කෙටි සායවල් වලින් මෙන්ම ඔබේ ශරීරයේ අංග පිටතට පෙනෙන සේ සැකසුන ඇඳුමකින් ඔබ සැරසී ඉන්නවා නම්, ඔබ වඩාත් කල්පනාකාරී විය යුතුයි. ඔබේ දෙපා එකිනෙකට ළංවන සේ තබා අසුන් ගැනීමටත්, යමකින් දෙපා ආවරණය කර ගැනීමට හැකිනම් එසේ කරන්නත් අමතක කරන්න එපා. රියදුරුට සයිඩ් කණ්ණාඩි මඟින් ඔබව මනා සේ දැකබලා ගත හැකි බව සිහි තබාගන්න.
4. වීල් එකේ යන අතරතුර පුද්ගලික තොරතුරු කතා කරන්න එපා
ත්‍රීවීල් රියදුරන් කියන්නේ ස්වභාවයෙන්ම කතාවට දක්ෂ පිරිසක්. ගමන අතරතුර යම්කිසි සංවාදයක් ගොඩනැගුණහොත්, ඔබ කල්පනාකාරී විය යුතුයි ඔබේ පුද්ගලික තොරතුරු හෙලි නොකර සිටීමට. ඔබ බෝඩිමක නතරවී සිටිනවා නම් එහි විස්තර, ඔබගේ නිවසේ විස්තර, රාජකාරි ස්ථානය, ඔබ නිතර යන එන තැන් හෝ ඔබේ නිවැරදි තොරතුරු කිසිවක් ඔහු වෙත හෙලි නොකිරීමට වග බලා ගන්න. යලිත් ඔහුට ඔබව සොයා ආ හැකි කිසිදු මඟක් ඔබ විසින් පෙන්වා නොදිය යුතු වෙනවා.
5. දුරකතන ඇමතුම් වලින් තමන්ගේ විස්තර කතා කරන්න එපා
ගොඩාක් වෙලාවට අපි කරන්නේ ත්‍රීවීල් රථයට ගොඩ වුන හැටියේම අපේ දුරකතනය ගෙන පෙම්වතා හෝ සැමියා සමඟ දවසේ විස්තර කතා බහ කරන එක වෙන්න පුළුවන්. ඔබේ ගමන අතරතුර ඔබට වෙනත් කාර්‍යයක් නැති නිසා ඒ සඳහා හොඳම වෙලාව වීල් එකේ ගමන් කරන වෙලාව සේ ඔබට හිතෙන්න පුළුවන්. නමුත් එය තවත් අනතුරකට මඟක් වෙන්නත් හැකියාව තියෙනවා. පෙම්වතා, සැමියා හෝ කා සමඟ උනත් ගමන අතරතුරදී ඔබ ඔබේ විස්තර කතා කිරීම හැකිතාක් අවම කරගන්න උත්සහ ගන්න. ඒ වගේම ඔබගේ එදා දවසේ සැලසුම්, ඔබ යන්නෙ එන්නේ කොහේටද වැනි දේවල්ද රියදුරාට ඇසෙන සේ වැඩිපුර කතාබහ කරන එකෙන් වැළකෙන්න.
සැබවින්ම ඔබ ඉදිරියේ අසුන් ගෙන සිටින්නේ ඔබට එම මොහොතේ මුණගැසුණු, නාඳුනන පුද්ගලයෙකු බව මතක තබා ගන්න. ඔබේ ආරක්ෂාව සපයා ගත යුත්තේ ඔබ විසින්මයි.
6. පෙම්වතා සමඟ ඇති අමනාපකම් ගැන, මුදල් ප්‍රශ්න, නිවසේ ප්‍රශ්න ගැන කතා කරන්න යන්න එපා
ආදරවන්තයෝ අතර ඉඳලා හිටලා පොඩි පොඩි අමනාපකම් ඇතිවෙනවානේ. ඉතින් වීල් එකකට ගොඩවුනාම දැනෙන නිදහස එක්ක කෝල් එකක් අරන් පෙම්වතා එක්ක අමනාපකම විසඳාගන්න උත්සහ කරන්න තියෙන ඉඩකඩ හරිම වැඩියි. මේ වගේ වෙලාවල ඔබේ දුක බෙදාගැනීමට ත්‍රීරෝද රථ රියදුරා ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න සැරසෙන්නත් පුළුවන්. මේ විතරක් නෙවෙයි, ඔබේ මුදල් ප්‍රශ්න, නිවසේ ප්‍රශ්න, රැකියාවේ ගැටළු, රෝගාබාධ ආදී මේ කිසිවක් ඔබ නාඳුනන ඔහු සමඟ පැවසීමට නොයා යුතුයි. ඔබට උදව් කිරිමේ පවිත්‍ර චේතනාවෙන් මෙන් පැමිණ ඔබව විශාල කරදරයකට වුනත් ලක් කරන්න පුළුවන්.
7. මොනවාද අපට කරන්න පුළුවන් පොඩි පොඩි උපක්‍රම?
මුලින් අප සඳහන් කළ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල නිවේදනයෙන් කරදරයක් වුවහොත් බලය යොදන ලෙසද තානාපති කාර්යාලය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා. “කෑ ගසන්න, බලය යොදාගන්න, තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙරලා පහර දෙන්න” යි එම නිවේදනයේ සඳහන්. ත්‍රිරෝද රථයක ගමනක් යාමට සිදුවේ නම්, ගොඩවීමට පෙර රියැදුරාගේත්, අංක තහඩුවේත් ඡායාරූප ගන්නා ලෙස එක්සත් ජනපද තානාපති කාර්යාලය කාන්තාවන්ට උපදෙස් දී තිබෙනවා. ඔවුන් සඳහන් කළ මේ කරුණු වගේම මේ සඳහා ඔබට ගත හැකි තවත් ක්‍රියාමාර්ග කිහිපයකින් ඔබව දැනුවත් කරන්න අපි හිතුවා.
- බොරුවට අහන සින්දු – ඔයාට පුළුවන් රියදුරා අනවශ්‍ය ලෙස ඔබෙන් යම් යම් විස්තර අහන්න සැරසෙනවා නම් Earphones වලින් සිංදු අහන බව ඔහුට අඟවන්න. ඔහු පවසන දෑ ඔබට නොඇසෙන බව වටහා ගැනීමෙන් ඔහුගේ කතාබහ නවතාගනීවී.
- රියදුරුගේ ක්‍රියාපිළිවෙල ඔබට නුරුස්සනවා නම්, ඔහුව ඔබේ ගමනාන්තයට ගෙනියන්නෙ නැතුව මඟින් බහින්න – රියදුරුගේ ක්‍රියාකලාපය සැක උපදවන සුළු නම් ඔබ කිසිසේත්ම ඔබෙ නිවස අසලට නැත්තම් ඔබේ නවාතැන අසලට, ඔබේ ගමනාන්තයට ඔහුව ගෙන යන්න එපා. මදක් කලින් රියෙන් බැස ඔහුව මඟ හැරීමට කල්පනාකාරී වෙන්න.
- රාත්‍රියේ තනි ගමන් හැකිතරම් අඩු කරගන්න උත්සහ කරන්න – රාත්‍රී කාලය අනතුරට අතවැනීමක් වගෙයි. රාත්‍රී ගමන් යොදා ගැනීම දහවලටත් වඩා අනතුරකට මඟ පාදා දීමක් විය හැකි නිසා, ගැහැණු ළමයි හැකිතරම් රාත්‍රියේදී ත්‍රීරෝද ගමන් අඩු කරන එක තමයි හොඳ.
- පාළු පාරවල් වලින් යන්න තියෙන ගමනක් නම් වඩාත් සැලකිලිමත් වෙන්න – රාත්‍රියට උනත්, දහවලට උනත් ඔබ ගමන් කරන මාර්ගය පාළු අඳුරු මාර්ගයක් නම් වඩාත් ප්‍රවේශම් විය යුතුයි. එවන් ගමනකට පෙර ඔබ ගොඩවෙන ත්‍රීරෝද රථයෙහි රියදුරුව ඔබේ ඇසේ මට්ටමෙන් හෝ පූර්ව නිරීක්ෂණයක් කිරීමට අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඔබට හදිසි කරදරයක් වුවහොත් ඔබේ ශරීර ශක්තිය යෙදිය හැකිදැයිවත් පූර්ව නිගමනයකට එන්න. ගමන ගැන දන්නේ ඔබ නිසා එයට සූදානම් විය යුත්තේත් ඔබමයි.
- දුරකතන ඇමතුමකින් ත්‍රීරෝද රථයේ තොරතුරු තව අයෙක්ට ලබාදෙන බව රියදුරුට අඟවන්න – ඔබ ගොඩවෙන ත්‍රීරෝද රථයේ අංකය, වර්ණය ආදිය දුරකතනය මගින් රියදුරුට ඇසෙන සේ තව කෙනෙක්ට දැනුම් දෙන්න. ඔබ පැමිණෙන තුරු බලා සිටින අයෙකුට ලබා දෙන ආකාරයට තොරතුරු ලබා දීමෙන් ඔහු ඒ ගැන සැක හිතන එකක් නැහැ. එමෙන්ම වරින් වර ඔබ පසු කරන ස්ථාන පිළිබඳව කිසිවෙක් දැනුවත් කරන බව අඟවන්න. එය ඔබ කළයුත්තේ ඉතාම සාමාන්‍ය ආකාරයටයි, කලබලයකින් තොරවයි. වටපිටාව නොදන්නා බවක් නොවෙයි, ඔබ බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයාගේ හදිසිය නිසා ඔබ ඔහු දැනුවත් කරන බවක් පෙන්වන්න. ඒ ඔබගේ පියා, පෙම්වතා, ස්වාමිපුරුෂයා හෝ කවරෙකු හෝ විය හැකියි. වඩා වැදගත් තවකෙක් ඔබගේ ගමන පිළිබඳව දැනුවත් බව රියදුරාට ඇඟවීමයි.
- ෆෝන් එක හෝ පොත් පත්තර බලමින් යන්න එපා… ඔබේ ගමන් මඟ ගැන අවධානයෙන් යන්න – අපේ තරුණ ළමයි දුරකතනයට මුහුණ ඔබා ගත්තාම ගමනේ අවසානේ තමයි ඔළුව උස්සලා බලන්නේ. ඉතින් එහෙම වෙලාවට රියදුරා ඔබේ ගමන් මඟ වෙනස් කරලා වෙනත් පාරකින් ඔහුට අවශ්‍ය ස්ථානයකට ඔබ ගෙනියන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ගමන ගැන හොඳ අවධානයෙන් ඉන්න ඔබ කල්පනාකාරී විය යුතුයි.
- අදාළ ආයතනය දැනුවත් කරන්න – ඒ වගේම ඔබට හැකියාව තියෙනවා රියදුරුගේ ක්‍රියාපිළිවෙල නුසුදුසුයි නම්, ඔබ ආයතනයක් මගින් කළ වෙන්කිරීමක් නම්, මෙම රියදුරු සම්බන්ධයෙන් එම ආයතනය දැනුවත් කරන්නට.
සැලකිය යුතුයි – අපි මේ සඳහන් කළේ ත්‍රීරෝද රථ ගමනකදී ඇතිවිය හැකි අවදානම්කාරී අවස්ථාවක් වේනම් එය මගහරවා ගැනීමට කෙනෙක්ට ගත හැකි උපක්‍රම කිහිපයකුයි. මේ මගින් සෑම ත්‍රීරෝද රථ රියැදුරෙක්ම මගීන්ව අපහසුතාවයට, හිරිහැරයට පත් කරන වගක් නෙමෙයි අපි පවසන්නේ. ත්‍රීරෝද රථ රියදුරන් අතර ඉඳහිට හෝ දකින්නට ලැබෙන, ත්‍රීරෝද රථ වෘත්තිය පහතට ඇද දමන සමහරුන්ගෙන් තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට උපදෙසුයි මේ.
Cover Image Source – apenoni.com/ 1mobile.com/ thumbs.dreamstime,com
Leave a Reply