රටවල් 5ක ජනප්‍රියම කෑම ලේසියෙන්ම හදාගන්න රෙසිපි මෙන්න

ලංකාවෙ ආහාර සංස්කෘතිය කාලාන්තරයක් තිස්සෙ මෙහෙ ආව ගිය සංචාරකයින්, වෙළෙන්දන්, සංක්‍රමණිකයන් වගේම ආක්‍රමණිකයන්ගෙන් පෝෂණය වූවක්. මේ ආහාර සංස්කෘතීන් මිශ්‍ර වීම අපිට විතරක් නෙවෙයි, ලෝකයටම අදාළ දෙයක් කියල මේ රෙසිපි කියවන ඔයාලට තේරෙයි. ලංකාවෙ කෑම වලින් ඔබ්බට ගිහින් ලෝකයේ විවිධ රටවල ජාතික මට්ටමෙන් පිළිගැනෙන සාම්ප්‍රදායික ආහාර ගැන ලයිෆි කියවන අපේ පාඨකයින්ව දැනුවත් කරන්න අපි හිතුව. බලමුද එහෙනම් දන්න රටවල් වල නොදන්න ජාතික කෑම ගැන.

 

1. සොම් ටම් සැලඩ්

Image Source – gumshoegastronomy.com

මේක තායිලන්තයේ ඉතාම ජනප්‍රිය සැලඩ් එකක්. නැවුම් සහ සැර රසයක් තියෙන මේ සැලඩ් එක අපිටත් හොඳින්ම ගැලපෙනව.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සිහින්ව ග්‍රේට් කරගත් අමු ගස්ලබු පොඩි ගෙඩියක්
  2. සිහින්ව ග්‍රේට් කරගත් කැරට් අලයක්
  3. චොප් කරගත් ලපටි මෑ කරල් 4
  4. සුදුළූණු බික් 6
  5. 4ට කපාගත් චෙරි තක්කලි හෝ කපාගත් තක්කලි කප් 1
  6. චොප් කරගත් අමුමිරිස් කරල් 4
  7. සීනි මේස හැන්දක්
  8. දෙහි යුශ මේස හැඳි 3
  9. ෆිශ් හෝ සෝයා සෝස් මේස හැඳි 2
  10. චොප් කරගත් බැදපු රටකජු මේස හැඳි 3
  11. සලාද කොළ
  • සුදුළූණු ටික වංගෙඩියක දාල තලාගන්න. තලාගත් සුදුළූණු වලටම මෑකරල් සහ තක්කලි එක් කරල යන්තමට තලාගන්න. එයටම අමුමිරිස් ටික එක් කර එක වරක් පමණ තලාගන්න.
  • වෙනම බඳුනක දෙහි, සීනි සහ සෝයා සෝස් හොඳින් මිශ්‍ර කර සීනි දියකරගන්න.
  • දැන් සියළුම ද්‍රව්‍ය එකට මිශ්‍ර කරගන්න. අවශ්‍ය නම් පමණක් ලුණු එකතු කරගන්න.

 

2. සිංගප්පූරු හයිනානිස් චිකන් රයිස්

Image Source – bbc.com

චීනයේ දූපතකින් උපත ලැබුවයි කියන මේ ඩිශ් එක සිංගප්පූරුවේ ජාතික ආහාරය. සරල නමුත් රසවත් මේ බත් එක සිංගප්පූරුවට යන ඕනම කෙනෙක් කෑ යුතුම කෑමක් කියලයි කියන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය

චිකන් එක සඳහා

  1. කිලෝ 1 1/2ක සම්පූර්ණ කුකුලෙක්
  2. ලුණු තේ හැඳි 2
  3. ඉඟුරු සෙන්ටිමීටර් 5ක කැබැල්ලක්
  4. තලතෙල් මේස හැන්දක්

බත් එක සඳහා

  1. එළවළු තෙල් කප් 1/4
  2. ඉඟුරු සෙන්ටිමීටර් 3ක කෑල්ලක්
  3. සුදුළූණු බික් 4
  4. කපාගත් ළූණු ගෙඩියක්
  5. බාස්මතී හාල් 675g

ගානිශ් එකට

  1. සෝයාසෝස් මේස හැඳි 2
  2. ළූණු කොළ සහ කොත්තමල්ලි කොළ
  3. තල තෙල් තේ හැන්දක්
  4. පෙති කපාගත් පිපිඤ්ඤා
  • සම්පූර්ණ චිකන් එකම බැස්විය හැකි තරම් භාජනයක් ගෙන එයට වතුර පුරවා උතුරන්නට තබන්න. වතුර උතුරන විට එයට ලුණු සහ ඉඟුරු එක් කර චිකන් එකේ බ්‍රෙස්ට් කොටස යට පැත්තට හිටින විදියට චිකන් එකද එක් කරගන්න. ගින්දර අඩු කර විනාඩි 45ක් පමණ මදගින්නේ චිකන් එක පිසගන්න.
  • විනාඩි 45කට පසු චිකන් එක නොකැඩෙන ලෙස ප්‍රවේසමෙන් ඉවතට ගෙන, ලුණු එක් කරගත් අයිස් වතුරේ විනාඩි 10ක් තියාගෙන වතුර බේරෙන්න තියන්න. චිකන් ස්ටොක් එක පෙරා වෙනම තියාගන්න. තෙත බේරුන චිකන් එක මත තලතෙල් ආලේප කරගන්න.
  • බත් එකට තියාගත් තෙල් රත් වෙන්න ඇර එයට ඉඟුරු, සුදුළූණු සහ ළූණු එක් කර දුඹුරු පැහැ වෙන්න නොදී බැදගන්න. තෙල් ටික පෙරා අරන් තියාගෙන බැදගත් සියල්ල ඉවත් කරන්න.
  • හාල් සෝදා එයට බත ඉදෙන්නට අවශ්‍ය පමණට චිකන් ස්ටොක් එකතු කර, එයටම සකස් කරගත් තෙල් එක් කරගෙන බත පිසගන්න.
  • චිකන් එක කොටස් කපාගෙන, සෝයා සෝස් සහ තල තෙල් ඒ මත තවරාගෙන කොත්තමල්ලි කොළ සහ ළූණු කොළ වලින් සරසා පිපිඤ්ඤා සමඟ පිලිගන්වන්න.

 

3. ඔස්ට්‍රේලියන් මීට් පයි

Image Source – taste.com.au

මේ ඔස්ට්‍රේලියාවෙ සාම්ප්‍රදායික කෑම වලින් එකක්. ඔවුන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ හරක් මස් උනාට කැමති ඕනම මස් වර්ගයක් දාල මේක හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. අඹරාගත් මස් 500g
  2. චොප් කරගත් ළූණු ගෙඩියක්
  3. මස් ස්ටොක් කප් 1
  4. තක්කලි සෝස් කප් 1/4
  5. වූශ්ටර්ශයර් සෝස් තේ හැඳි 2 (තියෙනව නම්)
  6. පිටි මේස හැඳි 3
  7. රස අනුව ලුණු, ගම්මිරිස්
  8. පේස්ට්‍රි ශීට්ස් 2
  9. තවරාගැනීමට බිත්තර 1ක්
  • තෙල් ටිකක් රත් වෙන්න ඇර එයට ළූණු සහ මස් එක් කර රන්වන් පැහැ වනතුරු පිසගන්න. එයටම ස්ටොක් එකෙන් කප් 3/4ක් එක් කර ලුණු, ගම්මිරිස් සහ සෝස් වර්ග එක් කරගෙන උතුරුවා ගන්න.
  • ඉතිරි වතුරට පිටි එක් කර දියකරගෙන එය මස් මිශ්‍රණයටම එක් කර හිඳෙන්නට ඇර නිවෙන්න තියාගන්න.
  • තුනී කරගත් එක පේස්ට්‍රි ශීට් එකක් පයි ට්‍රේ එකක අතුරාගෙන, නිවාගත් මිශ්‍රණය එයට පුරවා පේස්ට්‍රි එක කෙලවර වතුර ආලේප කර, අනික් පේස්ට්‍රි ශීට් එකෙන් ආවරණය කර උඩින් බිත්තර තවරාගන්න.
  • සෙල්සියස් 230ට විනාඩි 15ක්ද සෙල්සියස් 190ට විනාඩි 20ක්ද බේක් කරගන්න.

 

4. ඇමරිකන් බ්‍රවුනීස්

Image Source – taste.com

ඇමරිකාවෙ එක් එක් ප්‍රාන්ත වල එක එක ජාතියේ කෑම සාම්ප්‍රදාය විදියට ගැනුනට බ්‍රවුනීස් කියන්නෙ ඒ හැම එකකින්ම ඉහළින් ඉන්න අතුරුපසක් නැත්නම් ස්වීට් එකක් කියන්න පුළුවන්. හදන ක්‍රමත් විවිධයි. මේ ලේසි ක්‍රමයක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පාන්පිටි කප් 3/4
  2. සීනි කප් 1
  3. ලුණු තේ හැඳි 1/4
  4. කොකෝවා පවුඩර් කප් 1/4
  5. මෘදු කරගත් බටර් කප් 1/2
  6. බිත්තර 2
  7. වැනිලා තේ හැන්දයි
  8. කජු කප් 1/2
  • පිටි, සීනි, ලුණු සහ කොකෝවා එකට මිශ්‍ර කරගන්න. එයටම බටර්, බිත්තර සහ වැනිලා එක් කර විනාඩි 2ක් බීට් කරගන්න. එයටම කජු එක් කර හැන්දකින් කලවම් කරගන්න.
  • අඟල් 8ක් දිග 8ක් පළල බටර් තවරාගත් තැටියක දමා, සෙල්සියස් 175ට විනාඩි 20-25ක් බේක් කරගන්න.

 

5. රශියන් පෙල්මෙනි

Image Source – thespruceeats.com

මේක ඩම්ප්ලින් එකක් රැවියෝලි විදියට තමා හදන්නෙ. කලිනුත් කිව්ව වගේ මේ සම්ප්‍රදායික කෑම ඒ රටෙන්ම බිහිවුන ආවේණික ඒවම නෙවෙයි. නමුත් ප්‍රසිද්ධ නිසාම ජාතික ආහාර විදියට ගැනෙන ඒව.

අවශ්‍ය ද්‍රව්‍ය

කවරය සඳහා

  1. බිත්තරයක්
  2. එළවළු තෙල් තේ හැන්දක්
  3. ලුණු තේ හැන්දක්
  4. ලා රස්නෙ වතුර කප් 3/4
  5. පාන් පිටි කප් 3
  6. වෙනම පාන් පිටි මේස හැන්දක්

ෆිලින් එක සඳහා

  1. අඹරාගත් මස් 500g
  2. චොප් කරගත් ළූණු ගෙඩියක්
  3. ලුණු සහ ගම්මිරිස්
  4. අයිස් වතුර මේස හැඳි 1 1/2
  • බිත්තර, තෙල් සහ ලුණු මෙශරින් කප් එකකට දමාගන්න. කප් එක පිරෙන තුරු වතුර පුරවාගන්න. මේ මිශ්‍රණය පිටි කප් තුනට එකතු කරගෙන මෘදු ඇදෙන සුළු ඩෝ එකක් අනාගෙන තෙත මිරිකාගත් පිරිසිදු රෙද්දකින් වසා විනාඩි 30ක් තියන්න.
  • ෆිලින්ග් එකට තියාගත් සියල්ලම එකට මිශ්‍ර කර අනාගන්න. විනාඩි තිහකට පසු ඩෝ එකෙන් කුඩා කොටසක් ගෙන රවුමක් විදියට පැතලි කරගෙන ෆිල්න්ග් එකෙන් ටිකක් මැදට තියා පැටිස් එකක් ආකාරයට හොඳින් ආවරණය කරගන්න. ඩෝ එක ඉවර වෙනකම් මේ ආකාරයට හදාගන්න.
  • සාදාගත් පෙල්මෙනි ඉතිරි පිටි හැන්ද ඉසගත් ට්‍රේ එකක් මත එකිනෙක ඈත්ව තබා විනාඩි 30ක් ෆ්‍රීසරයේ තියාගන්න.
  • වතුර භාජනයක් ලිප තියා එයට ලුණු ස්වල්පයක් එකතු කරගන්න. ෆ්‍රීස් කරගත් පෙල්මෙනි එකින් එක එක් කරගන්න. විනාඩි 5කින් පමණ තැම්බී උඩ පාවෙන්නට ගත් පසු හැන්දකින් කලවම් කර තවත් විනාඩි 5ක් පිසගෙන වතුරෙන් ඉවත් කරගන්න.(සියල්ලම එක ගොඩේ වන ලෙස නැතුව කීප වතාවකට තම්බාගන්න.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *