මේ වෙද්දි ලෝකයේ වැඩිම ආදායමක් ලබන ක්‍රීඩකයින් 7දෙනා

සල්ලි වලට ක්‍රිකට් යට වෙලාය. සල්ලි නිසා ක්‍රිකට් පාවා දෙනවාය කියල කිවුවට ලෝකේ ධනවත්ම ක්‍රීඩකයෝ ගැන කතාකරද්දි ක්‍රිකටර්ස්ලා ඒ අතර පේන්නටවත් නැහැයි කියන එක තමයි ඇත්ත. මේ කියන්න යන්නේ 2018 වෙද්දි වාර්ෂිකව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන් ගැනයි. ගිය අවුරුද්දේ මේ ලැයිස්තුවේ ඉහළින්ම හිටපු නම් කීපයක්ම මේ අවුරුද්ද වෙද්දි වෙනස් වෙලා. ඒ වගේම සමහර ක්‍රීඩකයෝ හිතන්නෙවත් නැති විදිහට උඩට ඇවිල්ලා. බලමුද කවුද මේ අවුරුද්දේ ලොකුවටම සල්ලි හොයපු ක්‍රීඩකයො 7 දෙනා කියලා.

 

1. ෆ්ලොයිඩ් මේවෙදර් – බොක්සිං

Image Source – knowledgeformen.com

අපරාජිත බොක්සිංග් තරුව ෆ්ලොයිඩ් මේවෙදර් තමයි පහුගිය අවුරුද්දක කාලයක් ඇතුළේ වැඩිම ආදායමක් ලබපු ක්‍රීඩකයා වෙන්නෙ. පසුගිය වසරේ ෆ්ලොයිඩ් මේවෙදර්ගෙ ආදායම වෙන්නෙ ඇමරිකානු ඩොලර් මිලියන 285ක්. ෆ්ලොයිඩ් ලබපු මේ වාර්තාගත ආදායමට මූලිකම හේතුව වෙන්නේ ගිය අවුරුද්දේ ඔහු සහ MMA ක්‍රීඩක කොනර් මැග්‍රෙගර් අතර පවත්වපු බොක්සිංග් තරඟයයි. ඒ තරඟය ජයගැනීමත් එක්ක මේ වෙද්දි තමන් සටන් කරපු බොක්සිංග් තරඟ 50ම ජය ගන්නට මේවෙදර් සමත්වෙලා තියනවා.

 

2. ලියොනල් මෙසී -පාපන්දු

Image Source – independent.co.uk

ලෝකයේ වැඩිම ආදායම් උපයන ක්‍රීඩක ලැයිස්තුවේ ගිය අවුරුද්දේ මෙසීට හිමිවුණේ 3 වැනි ස්ථානයයි. මෙසීගේ ප්‍රතිවාදී රියාල් මැඩ්‍රීඩ් තරුව වුණ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝව අභිබවා මෙවර 2 වැනි ස්ථානයට පිම්මක් පනින්න බාසිලෝනා නායක ලියොනල් මෙසී සමත් වෙලා තියනවා. මෙසීගේ පසුගිය වසරේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 111ක්. 2017අවුරුද්දේදී බාසිලෝනා කණ්ඩායම එක්ක ගහපු අලුත්ම ගිවිසුම නිසා මෙසීගේ වාර්ෂික වැටුප ඇමරිකානු ඩොලර් මිලියන 84ක් දක්වා ඉහළ නැග්ගා. ඒ හේතුවෙන් තමයි මෙවර ලෝකයේ වැඩිම ආදායම්ලාභී පාපන්දු ක්‍රීඩකයා වන්නට මෙසීට අවස්ථාව උදා වුණේ.

 

3. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ – පාපන්දු

Image Source – goal.com

ගිය වසරේ වැඩිම ආදායම්ලාභී ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන්නට සමත්වුණේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමයි. ඒ ඩොලර් මිලියන 93ක ආදායමක් ලබමින්. මේ අවුරුද්ද වෙද්දි ක්‍රිස්ටියානෝගෙ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 108 දක්වා ඉහළ නැගලා තියනවා. එහෙම වුණත් ඔහුගේ ප්‍රතිවාදියා වන ලියොනල් මෙසීව අභිබවා යන්න ක්‍රිස්ටියානෝට හැකියාව ලැබිල නැහැ. මේ වෙද්දි තමන් කාලයක් තිස්සේ ක්‍රීඩා කරපු රියාල් මැඩ්‍රීඩ් කණ්ඩායමෙනුත් ඉවත්වෙලා ඉතාලියේ යුවෙන්ටස් කණ්ඩායමට තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩා කරන්නෙ.

 

4. කොනර් මැග්‍රෙගර් – MMA

Image Source – mmafighting.com

UFC යටතේ සටන් කරන MMA ලෝකයේ අංක එකේ සටන් තරුව තමයි කොනර් මැග්‍රෙගර්. ගිය වසරේදී ලෝකයේ වැඩිම ආදායම්ලාභී ක්‍රීඩක ලැයිස්තුවේ මැග්‍රෙගර්ට හිමිවුණේ 24 වැනි ස්ථානයයි. මෙවර ස්ථාන 20ක් පන්නගෙන ඉස්සරහට එන්නට කොනර් මැග්‍රෙගර්ට හැකියාව ලැබෙන්නේ මේ ලැයිස්තුවේ අංක එකේ ඉන්න ෆ්ලොයිඩ් මේවෙදර් එක්ක පවත්වපු මනී ෆයිට් එක හින්දයි. මේ සටනින් මැග්‍රෙගර් පරාද වුණත් මුදල් අතින් නම් විශාල ජයක් හිමිකරගන්නට ඔහු සමත්වුණේ ඩොලර් මිලියන 85ක පමණ මුදලක් හිමි කර ගනිමින්. පසුගිය වසර තුළ කොනර් මැග්‍රෙගර්ගේ ආදායම වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 99ක්.

 

5. නේමාර් – පාපන්දු

Image Source – youtube.com

බ්‍රසීල පාපන්දු තරුව නේමාර් ද සිල්වා 2017 අවුරුද්දෙදි ප්‍රබල බාසිලෝනා කණ්ඩායම අතහැරල ප්‍රංශයේ පැරිස් සේන්ට් ජර්මාන් කණ්ඩායම තෝරගන්නේ සුවහසක් බාසිලෝනා රසික රසිකාවියන්ව ශෝකයටත් කෝපයටත් පත් කරමින්. යුරෝ මිලියන 222ක මුදලකට පැරිස් සේන්ට් ජර්මාන් කණ්ඩායම විසින් නේමාර්ව ලබාගන්නේ ලෝකයේ එතෙක් මෙතෙක් වැඩිම මිලකට හුවමාරු වූ ක්‍රීඩකයා බවට නේමාර්ව පත් කරමින්. නේමාර්ගේ වාර්ෂික වැටුප මේ වෙද්දි ඇමරිකානු ඩොලර් මිලියන 42ක්. ඔහු පසුගිය වසරේ ලබපු මුළු ආදායම ඩොලර් මිලියන 90ක්.

 

6. ලීබ්‍රොන් ජේම්ස් – පැසිපන්දු

Image Source – urbanx.nyc

ගිය වසරේ වැඩිම ආදායම්ලාභී ක්‍රීඩක ලැයිස්තුවේ අංක 2හි වැජඹුණු ලීබ්‍රොන් ජේම්ස්ට මෙවර හිමිවෙලා තියෙන්නේ 6 වැනි ස්ථානයයි. ගිය වසරේ ලීබ්‍රොන්ගේ වාර්ෂික ආදායම වුණේ ඩොලර් මිලියන 86.2ක්. මේ වසරේදී ඒ මුදල ඩොලර් මිලියන 85.5ක් දක්වා පහත බැස තිබෙනවා. කොහොම වෙතත් පැසිපන්දු පිටියේ ඔහුගේ ප්‍රතිවාදියා වන ස්ටීවන් කරීට වඩා වැඩි ආදායමක් ලබමින් තවමත් වැඩිම ආදායම්ලාභී පැසිපන්දු ක්‍රීඩකයා හැටියට වැජඹෙන්නට ලීබ්‍රොන් සමත් වෙලා තියනවා.

 

7. රොජර් ෆෙඩරර් – ටෙනිස්

Image Source – thenational.ae

ස්විස් ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් කියන්නෙත් කාලයක් තිස්සේ වැඩිම ආදායම්ලාභී ක්‍රීඩක ලැයිස්තුවල ඉහළින්ම වැජඹෙන ක්‍රීඩකයෙක්. ටෙනිස් ජයග්‍රහණ වගේම ෆෙඩරර් සන්නාම ප්‍රවර්ධක හැටියට පෙනීහිටින සුඛෝපභෝගී නිෂ්පාදන නිසාත් ෆෙඩරර්ගේ ආදායම සැළකිය යුතු ලෙස ඉහළ මට්ටමකයි පවතින්නේ. ෆෙඩරර්ගේ ගිය වසරේ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 77.2ක්.

Cover Image Source – steemit.com/fool.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *