කෙල්ලෝ කොටට අඳින නිසා ලිංගික අපරාධ වැඩිවෙනවද?

short clothes

ඉස්සර නං අපි දන්නේ කෙල්ලෝ කොටට අඳින එක ගැන බර බරේ දාන්නේ අම්මලා නැත්තං ආච්චිලා කියලනේ. හැබැයි කියන්නත් සතු‍ටුයි පිංවතුනි, දැන් කාලේ කෙල්ලෝ කොටට අඳින එක ගැන වැඩියෙන්ම ගේම ඉල්ලන්නේ, අපහාස කරන්නේ, උපහාස කරන්නේ ෆේස්බුක් එකේ ඇටිකිචි පේජ් කාරයෝ, රඟ දෙන කොල්ලෝ එහෙම තමයි. උන් විතරක් නෙවෙයි, වැඩිහිටි පිරිමිත් සෑහෙන්න මේ මතය දරනවා. මේ ගොඩක් දෙනෙක්ගේ හිතේ තියෙන කාරණයක් තමයි ලංකාවේ ස්ත්‍රී පාර්ශවේට මඟතොටේදී, පොදු ප්‍රවාහනයේදී කරදර, හිරිහැර වෙන්නේ, කාන්තාවන්ට ලිංගික අපරාධයන්ට එහෙම මුහුණ පාන්න වෙන්නේ මේ ඇඳගෙන යන ඇඳුම නිසාය කියන එක. නැත්තං අපේ පත්තර වල ලියන අයියලා වාහනයක් ඇක්සිඩන්ට් වෙච්ච එක ගැන ප්‍රවෘත්ති වාර්තාවක් ලියන්න ගිහිල්ලා, ඒ වෙනුවට වාහනේ ආපු නෝනා ඇඳගෙන හිටපු කොට ගවුම ගැනයි, ඊට යටින් මොකුත් තිබුණාද නැද්ද කියන එක ගැනයි ලියයිද?

කොහොම වුනත් මේවා විහිළු නෙවෙයි. මේවා සමාජ ප්‍රශ්න. ඊළඟ පරම්පරාවකට යනකොට තවත් උග්‍ර වෙන්න පුලුවන් සමාජ ප්‍රශ්න. ආන්න ඒ නිසා අපි හිතුවා මේ ගැන පොඩි අදහසක් දෙකක් ලියලා තියන්න. මේ තියෙන්නේ ලයිෆී අපේ අදහස!

 

1. කාන්තා පාර්ශවේ කොටට අඳින්නේ ඇයි?

Image Source – wheredidugetthat.com

මෙන්න මේකට ඔය ෆේස්බුක් පේජ් කරන සමහර පොඩි කොල්ලොන්ට වගේම වැඩිහිටි තරුණ පරම්පරාවලටත් හොඳ උත්තරයක් තියෙනවා. “උන්ට සෙක්ස් ඕන හින්දා!” දැන් මේ උත්තරේ කොයි තරම් මැන්ටල්ද කියලා අමුතුවෙන් කියන්න ඕනද? කෙල්ලොන්ට සෙක්ස් ඕන නම් ඒකට පොදුවේ කොටට අඳින්නේ නෑ කියලා අපිට බය නැතුව කියන්න පුලුවන්. හැබැයි කෙල්ලෝ කොටට අඳින්න හේතු තියෙනවා.

එක එක කාලෙට තියෙන ඇඳුම් විලාසිතා තියෙනවා. ඔය 60, 70 දශක වල තරුණ කෙල්ලෝ වෙලා හිටපු අම්මලා ඉන්න අය පොඩ්ඩක් පරණ ෆොටෝ ඇල්බම් එකක් අරගෙන බලන්න. ඒ කාලේ ප්‍රසිද්ධ ෆැෂන් එකක් තමයි කොට බතික් ගවුම්. ඉතින් කොට ගවුමක් හරි ඔ‍ෆිස් කිට් එකක් හරි ෆැෂන් එක වෙනකොට ගෑණු ළමයි කැමතියි ඒ ෆැෂන් කරන්න.

කොටට අඳින එකේ පහසුවක් තියෙනවා කියන එක අමතක කරන්න බෑ. සමහර ගෑණු ළමයි කොට ඇඳුමක් ඇඳලා හරිම අපහසුවෙන් ඉන්නවා තමයි. ඒ ගැන අපි පස්සේ කතා කරනවා. හැබැයි සමස්තයක් විදියට ගත්තහම කොට ඇඳුමක් රාජකාරියට වගේම නිදහස් ගමනකට එහෙමත් අඳින එක පහසුවක්. දැන් ඔය ක්‍රීඩිකාවන් එහෙම ටයිට් ෂෝර්ට් එකකට කෙටි සායක් අඳින්නේ ඇයි? උපරිම පහසුවට.

 

2. සමහරු කියනවා කෙල්ලෝ කොටට අඳින්නේ ඇඟ පෙන්නන්න තියෙන වුවමනාවට කියලා. ඒක ඇත්තද?

Image Source – dhgate.com

මෙන්න මේකට උත්තර දෙන එක ටිකක් සංකීර්ණ වැඩක්. එක්තරා විදියකට කාන්තාවෝ කැමතියි තමන්ට අවධානය ලැබෙනවට. එතකොට දැන් කෙනෙක් අහයි එහෙනම් මොකටද ගෑණු ළමයෙක්ගේ අඟ පසඟ දිහා කොල්ලෙක් කන්න වගේ බැලුවොත් ඒක වැරදි වැඩක් වෙන්නේ කියලා. ඔව්. ඒක වැරදි වැඩක් තමයි. හේතුව මේකයි. එක්තරා අතීතයක් තිබුණා ගැහැණිය පිරිමියාට අයත් භාණ්ඩයක් විදියට සැලකුණු. දැනුත් කාන්තාව ලිංගික වස්තුවක් විදියට සැලකීම කොයි තරම් සිද්ධ වෙනවද? ආන්න ඒ නිසා කොටට ඇඳලා යන ගෑණු ළමයෙක් බලාපොරොත්තු වෙන්නේ පාරේ ඉන්න කොල්ලෙක් තමන් දිහා ලිංගික භාණ්ඩයක් දිහා බලන ආකාරයට බැලීම නෙවෙයි. ඒ ගෑණු ළමයා බලාපොරොත්තු වෙන්නේ කොට ඇඳුමෙන් නිරාවරණය වෙන කකුල් දෙක දිහා බලලා කෙළ හලන එක නෙවෙයි. ඒ ගෑණු ළමයා බලාපොරොත්තු වෙන්නේ තමන් දිහා අවධානය යොමු කරනවට. ඒ කියන්නේ සම්පූර්ණ පැකේජ් එක දිහා බලලා ලස්සන ගෑණු ළමයෙක් කියලා හිතන එක. එහෙම නැතුව හිතින් කෙල්ලව නිරුවත් කරන එක නෙවෙයි. ඔය දෙක දෙකක් කියන එක තේරෙනවා නේද?

දැන් තව කෙනෙක් කියයි කෙල්ලොන්ගේ තියෙන සමයං කියලා. එතකොට කොල්ලෝ ඇයි බොඩි ‍ෆිට් අඳින්නේ? එකම කාරණාව තමයි. මිනිස්සු කැමතියි අවධානයට. විලාසිතා කියන එකත් එතනට එක තැනකදී සම්බන්ධ වෙනවා.

 

3. අපහසුවෙන් කොට ඇඳුම් අඳින ගෑණු ළමයිනුත් ඉන්නවද?

Image Source – shopplanetblue.com

ඔව්. ඒ මෙහෙමයි. දැකලා තියෙනවද සමහර ගෑණු ළමයි ඉන්නවා කොට ගවුමක් නැතිනම් කොට සායක් ඇඳලා, නිතරම පුලුවන් තරම් ඒක පහළට අදින්න උත්සාහ කරනවා? දැකලා තියෙනවද සමහර ගෑණු ළමයි කොට සායක් ඇඳලා, වාඩිවෙනකොට කකුල් දෙක වැහෙන්න ලේන්සුවක් එලා ගෙන වාඩි වෙනවා? ආන්න එහෙම වෙන්න හේතුව තමයි කොට ඇඳුමක් අඳින්න තියෙන අපහසුතාවය. ඒ කියන්නේ සරලවම කොට ඇඳුමක් කඩෙන් ගත්තු පලියට අඳින්න බෑ. ඒ ෆැෂන් එක තමන්ට අවුලක් නොවෙන්න ඕන. ඒ ෆැෂන් එකට තමන්ට හුරුවක් තියෙන්න ඕන. උදාහරණයක් විදියට කොට ස්කර්ට් ඇඳලා වාඩි වෙනකොට බොහොම සැහැල්ලුවෙන් කකුලක් පිට කකුලක් දාගෙන වාඩි වෙන ගෑණු ළමයි දැකලා නැද්ද? තමන්ට කකුල් වැහෙන්න අඳින්න ඕන නම්, ෆැෂන් එක කියලා හිතාගෙන කොටට අඳින්න යන්න ඕන නෑ. තමන්ට හිතේ පහසුවෙන්, සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් විදියේ ඇඳුමක් අඳින්න. එදිනෙදා ජීවිතේ ෆැෂන් කියන්නේ ඇඳලා අපහසුවෙන් ඉන්න ඕන ඇඳුම් නෙවෙයි. කොට ඇඳුම් ෆැෂන් වලට හුරු අයට මේ ගැන කිසිම ගැටළුවක් නෑ. ඒ අයට තියෙන්නේ තමන්ට ගැලපෙන විදියේ ඕන කොට ඇඳුම් ෆැෂන් එකක් තැනට ගැලපෙන්න කරන්න!

 

4. කොට ඇඳුම් තමන්ට ගැලපෙන්නත් ඕනෑද?

Image Source – revolve.com

අනිවාර්යයෙන්ම ඔව්. දැන් සෑහෙන්න මහත බඩක් තියෙන හාදයෙක් බොඩි ‍ෆිට් එකක් ඇඳලා හිටියොත් මොකද වෙන්නේ? ඒ ෆැෂන් එකේ එයාට ලස්සනක් තියෙනවද? නැති වෙන්න පුලුවන්. හැබැයි බඩ තියෙන හාදයා ඒ බොඩි ‍ෆිට් ටී ෂර්ට් එක ඇඳලා මට නෙවෙයි වගේ සැහැල්ලුවෙන් ඉන්නවා නම් කිසිම අවුලක් නෑ. ආන්න ඒ වගේ තමයි කොට ඇඳුම් කියන්නෙත්. කොට ස්කර්ට් එකක් හරි ගවුමක් හරි අඳින්න නම් තමන්ගේ ඇඟ නිරාවරණය කරන්න කන්‍ෆිඩන්ස් තියෙන්න ඕන. දැන් ලස්සන කකුල් දෙකක් තියෙන ගෑණු ළමයෙක් ගොඩක් වෙලාවට පහසුවෙන් කොට ස්කර්ට් එකක් ඇඳලා ඉන්නේ ඒකයි. හැබැයි මේ කියන්නේ සුදු කකුල් ගැන නෙවෙයි. ඒ මිනිස්සුන්ගේ හිත් වල තියෙන මිත්‍යා මත. වෙන්න වුවමනා තමන්ගේ ශරීරය ගැන තමන්ට කොන්‍ෆිඩන්ස් තියෙන එකයි. අන්න එහෙම කෙනෙක් කොට ඇඳුමක් ඇඳලා පහසුවෙන් ඉන්නකොට බොහොම ලස්සනයි. බැරි වෙලාවත් තමන්ගේ ශරීරය ඒ කොට ඇඳුම් විලාසිතාවට ගැලපෙන විදියට නැතිනම් කරන්න තියෙන දේත් සරලයි. ඇඟ හදාගන්න!

 

5. ගෑණු ළමයි කොටට ඇන්දහම සංස්කෘතියට මොනවා වෙයිද?

Image Source – shopplanetblue.com

ඔව්. මේක කොට ඇඳුම් සම්බන්ධයෙන් ගෑණු ළමයින්ට නැගෙන බොහොම බරපතළ චෝදනාවක්. කොටට ඇඳලා ගෑණු ළමයි ඉන්නකොට සංස්කෘතියට බුදු අම්මෝ වෙලා යනවය කියන එක. හැබැයි එහෙම කියන කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න ඇත්තටම මොකක්ද සංස්කෘතිය කියන්නේ කියලා. ගොඩක් වෙලාවට ලැබෙන උත්තරේ තමයි අවුරුදු 2500 ක ඉඳලා අපි පවත්වගෙන එන හොඳ ගුණ ධර්ම, සදාචාරයන් තමයි සංස්කෘතිය කියලා. ඒක සියේට සීයක් හරි උත්තරයක් නෙවෙයි. ඒ කියන්නේ සංස්කෘතියේ එක කොටසක් ගැන. හැබැයි ඒ ගැන වද නොවී ඊළඟට අහන්න ගෑණු ළමයි කොට ඇඳුම ඇන්දොත් මොකක්ද හානි වෙන ගුණ ධර්මය හෝ සදාචාරය කියලා. ඕකට වටෙන් වටෙන් ගිහින් ලබාදෙන උත්තරේ වෙන්න පුලුවන්, මේවා දැක්කහම අපේ දරුවෙක් වත් හදාගන්න බැහැයි කියන එක. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දරුවෝ ගැහැණියකගේ කකුල් දෙක මැජික් කියලා හිතාගෙන වැඩෙන එකේ කියලා තේරුම් ගන්න ඔය සංස්කෘතිය රකින්න හදන කෙනෙක්ට බැරි වෙන්න පුලුවන්.

ඇත්තටම ප්‍රශ්නය තියෙන්නේ සංස්කෘතියේ නෙවෙයි. සංස්කෘතිය කියන්නේ අපි අනිවාර්යයෙන්ම රකින්න ඕන දෙයක්. හැබැයි සංස්කෘතික වෙනවා කියන්නේ කොට ඇඳුමක් ඇඳපු කෙල්ලෙක් දැක්කහම බුදු අම්මෝ සංස්කෘතිය කියන එකවත්, ආගම දහම රකින්න අනිත් මිනිස්සුන්ව කැති ගාන්න ඕන කියලා හිතන එකවත් නෙවෙයි!

 

6. කොට ඇඳුම් ඇන්දහම නරක ළමයෙක් වෙනවද?

Image Source – milada.eu

මෙන්න මේක තමයි ජනප්‍රියම කතන්දරේ. කොට ඇඳුම අඳින්නේ සෙක්ස් වුවමනාවෙන් පෙළෙන ගැහැණු, අසහනයෙන් පෙළෙන ගැහැණු කියන එක. ඇත්තටම ඇත්ත ජීවිතේදී කොට ඇඳුමක් ඇඳපු ගෑණු ළමයෙක්ට ආමන්ත්‍රණය කෙරෙන්නේ ඔයිටත් වඩා බොහොම නරක විදියට කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කොහොම වුනත් කථාව මෙච්චරයි. කෙල්ලෙක් කොටට අඳින්නේ සෙක්ස් වුවමනාව හින්දා හරි අසහනේ හින්දා හරි කියලා කියන කෙනෙක්ගෙන් අහලා බලන්න ඇයි තමුන් නාහේ එළියේ දාගෙන යන්නේ කියලා. එහෙම නැතිනම් කොල්ලෙක් කකුල් පේන කලිසමක් ඇන්දහම ඒක ගැටළුවක් නොවෙන්නේ ඇයි කියලා. ඒකට දෙන උත්තරේ කොහෙන් හරි ඇවිත් කෙළවර වෙන්නේ ‘කාන්තාවගේ අඟ පසඟ ලිංගිකත්වය උලුප්පනවාය’ කියන තැනින් නම් කියලා දෙන්න ගැටළුව තියෙන්නේ කෙල්ලෙක්ගේ කකුල් දෙක දැකලා ඉන්න බැරි අසහනේකින් පෙළෙන මනුස්සයෙක්ගේ හිතේ මිසක් කකුල් දෙකේ නෙවෙයි කියලා!

සමහරු හිතනවා කොට ඇඳුම් කියන එක තවමත් සමාජයේ හැම ගැහැණියක්ම කරන්න නිර්භීත වෙන්නේ නැති විලාසිතාවක් නිසා, කොට ඇඳුමක් ඇඳලා යන්න පුලුවන් තරුණියක් ඕන එහෙකට රෙඩී කියලා! හැබැයි ඉතින් ඒක මෝඩ හිතලුවක් කියලා තේරෙන්නේ කොටට ඇඳලා ගමනක් යන කෙල්ලෙක්ට මොනවා හරි කියන්න ගිහින් සෙරෙප්පු පාරක් කාපු දවසට තමයි!!

 

7. ඕන තැනකට කොටට ඇන්දට කමක් නැද්ද?

Image Source – nextvseriesmumbai.com

මෙන්න මේක උත්තර දෙන්න බොහෝම අසීරු තැනක්. හේතුව මේකයි. රටකින් රටකට කොට ඇඳුම සහ ඒ ගැන සමාජයේ තියෙන ආකල්ප වෙනස්. යුරෝපීය රටක ගොඩක් වෙලාවට කාන්තාවකගේ සාමාන්‍ය ඔ‍ෆිස් ඇඳුම වෙන්නේ දණහිසට විතරක් දිග, සමහර විට ඊටත් කොට ස්කර්ට් එකක් එක්ක එන ත්‍රී පීස් කිට් එක. හැබැයි ඒක බොහොම හුරුපුරුදු දර්ශනයක් නිසා පොදු ප්‍රවාහනය පාවිච්චි කරන කොටට ඇඳපු කාන්තාවක් දිහා වුනත් වුවමනාවෙන් බලන අය සෑහෙන්න අඩුයි. හැබැයි ඉතින් ලංකාවේ බස් එකකට ඒ විදියට ඇඳලා ගොඩවුනාට පස්සේ විඳින්න වෙන අමිහිරි අත්දැකීම් ගැන අපිට වඩා කාන්තාවෝ දන්නවනේ. එතකොට ඒකට මොකක්ද විසඳුම? කොටට අඳින්නේ නැතුව හොඳට ඇඟ වැහෙන්න ඇඳලා යන එකද? නැහැ. වෙන්න ඕන දේ තමයි මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන එක. ලස්සන කාන්තාවක් දිහා සුන්දර වස්තුවක් විදියට සුන්දර ඇහැකින් බලන්න මිනිස්සු ඉගෙන ගන්න එක. කාන්තාවක් කියන්නේත් මනුෂ්‍යයෙක්ය කියන ගෞරවය දෙන්න මිනිස්සු ඉගෙන ගන්න එක.

කෙනෙක් දැන් අහයි පිරිමි කොටට ඇඳලා ඔ‍ෆිස් යන්නේ නැත්නම් ඇයි ගැහැණු කොටට ඇඳලා ඔ‍ෆිස් එන්නේ කියලා. මේවා සම්මුතීන්. බොහෝ විට ආයතනයෙන් ආයතනයට නිර්මාණය වුණු නොනිල එකඟත්වයන්. හැබැයි පිරිමි කරන ෆැෂන්ම ගැහැණු කරන්න ඕන කියලා නියමයක් නැහැනේ. ඒ නිසා ඇයි ඒ ගැන වදවෙන්නේ?

 

8. කොටට ඇඳීම නිසා ලිංගික අපරාධ වැඩි වෙනවද?

මෙන්න මේක තමයි අපි උත්තර දෙන්න ආරම්භයේදීම හිතපු ප්‍රශ්නය. ලංකාවේ ලිංගික අපරාධ සැලකිය යුතු ප්‍රමාණයකින් සිද්ධ වෙනවා. එතකොට ඔය ලිංගික අපරාධ සිද්ධ වෙන්නේ පිරිමින් අතින් ගැහැණුන්ට මිසක් ගැහැණුන් අතින් පිරිමින්ට නෙවෙයිනේ. ආන්න ඒ නිසා ගොඩක් වෙලාවට පිරිමිත්, සමහර වෙලාවට සමහර ගැහැණුත් මේ ලිංගික අපරාධ වලට වැ‍රැද්ද පටවන එක් තැනක් තමයි අසංවර ඇඳුම් විලාසිතා කියන එක. දැන් මේ අසංවරයි කියන්නේ මොකක්ද කියලා හොයලා බැලුවොත් ගොඩක් දුරට පේනවා ඔ‍ෆිස් ත්‍රී පීස් කිට් එකට අඳින ස්කර්ට් එකක් වුනත් අසංවර ඇඳුමක් විදියට මේ අය හිතනවා කියන එක. ඇත්තටම සංවර ඇඳුම් සහ අසංවර ඇඳුම් කියලා දෙකොටසක් තියෙනවා. මිනිස්සු වුනහම මේ දෙවිදියේම ඇඳුම් අඳින්න ඕන. හැබැයි අසංවර ඇඳුම් අපි ප්‍රසිද්ධියේ අඳින්නේ නෑ. දෙවෙනියට, මනුස්සයෙක් සංවර හෝ අසංවර වෙන්නේ ඇඳුමින් නොව ක්‍රියාවෙන්ය කියන එකත් මේ වෙනකොට අපි හැමෝම දැනගෙන තියෙන්න ඕන කාරණාවක්.

දැන් හරියටම ප්‍රශ්නයට බැස්සොත්, කොට ඇඳුම් නිසා ලිංගික අපරාධ වැඩි වෙනවද? මේකට උත්තර දෙන්න අපි සමාජ විද්‍යාත්මක සමීක්ෂණයක් කරලා නැහැ. හැබැයි ලංකාවේ සිද්ධ වෙන ලිංගික අපරාධ වාර්තාවන් දිහා බලනකොට පොදුවේ පේන රටාවක් තමයි ඇඳුම පැළඳුම මේකට බලපාන්නේ නැහැයි කියන එක. ලිංගික අපරාධකරුවෙක්ට රෑ පානේ කොට ඇඳුමක් ඇඳලා තනියෙන් යන කාන්තාවක් පාලු තැනක මුණගැහුනොත් ඒ කොට ඇඳුම සුළු උත්ප්‍රේරකයක් වෙන්න පුලුවන්. හැබැයි ඔය පාලු පාරේ, රෑ පානේ තනියෙන් යන කාන්තාව මුළු ඇඟම වැහෙන්න ඇඳලා හිටියත් ඔය කියපු අපරාධකාරයා නිකම් ඉඳීද? නැහැ නේද? අන්න එතනම ඔය ප්‍රශ්නෙට උත්තර තියෙනවා. ලිංගික අපරාධ කියන්නේ සමාජයක් හැටියට අපි හැමෝම විරුද්ධ වෙන්න වුවමනා සමාජ ගැටළුවක්. එතකොට ‘කොට ඇඳුම් නිසා තමයි ඕවා වැඩිවෙන්නේ’ වගේ බොළඳ සිල්ලර කතාවලින් ඒ ගැටලුව පසුපස්සේ තියෙන හැබෑ හේතු වහන්න යන්න එපා!

මේ හැමදේම කියවලත් ඔබ කොට ඇඳුමක් ඇඳලා යන කාන්තාවක් දැක්කහම ඉන්න බැරි වෙන පිරිමියෙක්ද? එහෙමනම් වහාම හිත දමනය කර ගන්න ක්‍රියාමාර්ගයක් ගන්න! ඒ ක්‍රියාමාර්ගය වෙන්නේ කොට ඇඳුම් අඳින කාන්තාවන්ට බැණ වදිමින් ඇවිදින එක නම් නෙවෙයි!

Cover Image Source – amazon.co.uk/dawn.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *