මොරාල් අප් වෙන කතන්දර තියෙන නියම ෆිල්ම් 10ක්

අපි ෆිල්ම් බලන්නේ එක එක හේතු උඩ. සතුටු වෙන්න, දුක් වෙන්න, බය වෙන්න අපි එක එක ෆිල්ම් බලනවා. ඔන්න ඔය ඔක්කොම අස්සේ අපි  සමහර ෆිල්ම් බලනවා මොරාල් අප් කරගන්න. එහෙම නැත්නම් හොඳ ගැම්මක් ගන්න. අන්න ඒ වගේ චිත්‍රපටි දහයක් ගැනයි මේ විස්තර කරන්න යන්නේ.

 

1. මාන්ජි – ද මවුන්ටන් මෑන් (2015)

Image Source – santabanta.com

සිය ගම්මානය සහ නගරය අතර තිබෙන ඉතා දුර මාර්ගය වෙනුවට නව මාර්ගයක් ඉදි කරගත හැකි බව ගැමියෙක් සිතනවා. ඒ සඳහා කළ යුතු වන්නේ ගම වටා ඇති ගල් කන්ද හරහා මාර්ගයක් ඉදිකිරීම බව ඔහු කල්පනා කරනවා. අවසානයේ ඔහු තනිවම මේ මාර්ගය ඉදිකිරීමේ කාර්යයට බහිනවා. මාන්ජි 2015 වසරේ පැමිණි, නවාසුද්දින් සිද්දික් ප්‍රධාන චරිතයට පණ පොවන සත්‍ය කතාවක් ඇසුරෙන් නිමැවුණු චිත්‍රපටයක්.

 

2. ගුරු (2007)

Image Source – santabanta.com

මේක 2007 ආපු හින්දි චිත්‍රපටයක්. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අභිශේක් බච්චන්. මේක බයෝපික් එකක්. මේ කතාව දිගහැරෙන්නේ දැනට ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස හැඳින්වෙන මුකේශ් අම්බානිගේ පියා වන ධිරුභායි අම්බානිගේ චරිතය වටා. ගුරුවරයෙක් වන තම පියාගේ විරෝධය උඩ ව්‍යාපාර ක්ෂේත්‍රයට ඔහු අවතීර්ණ වන්නේ ඔහු ප්‍රිය කළ ක්ෂේත්‍රය එය නිසා. එතැන් සිට දියුණුවේ හිනි පෙත්තට ඔහු ආ ගමන් මග ගැන මේ සිනෙරුව විවෘත විශ්ලේෂණයක නියැලෙනවා.

 

3. Remember the Titans (2000)

Image Source – rookerville.com

මේක 2000 අවුරුද්දෙ ආපු ඉංග්‍රීසි චිත්‍රපටයක්. ඒ උනාට මේ සිදුවීමට පාදක වෙන්නේ 1971 වසරෙදි වුණු සිද්ධියක්. ඇමරිකාව කියන්නේ අද ලෝකයට මානව හිමිකම් ගැන කියාදෙන රටක් වුණාට ඉහත කලක ජාති භේදය, වර්ණ භේදය ආදිය බොහෝ තදින් පැවති රටක්. ඉතින් පාසලකට එන කලු ජාතික පාපන්දු පුහුණුකරුවෙක්, මිශ්‍ර ජාතිකයන්ගෙන් යුක්ත වූ සිය කණ්ඩායම රැගෙන ජයග්‍රහණයේ සිහිනය හඹා ගිය කතාව තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. ඩෙන්සිල් වොශින්ටන් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනු ලැබුවා.

 

4. Pelé: Birth of a Legend (2016)

Image Source – youtube.com

පේලේ ගැන මේ සිනෙරුව නම් බොහෝ දෙනෙක් බලලා ඇති. මේක ඇවිල්ලා මාර ගැම්මක් දෙන ෆිල්ම් එකක්. ලෙජන්ඩ් එකක්, එහෙමත් නැත්නම් පුරාවෘත්තයක් වුණු පේලේ කියන චරිතය නිර්මාණය වුණේ මල් පාරක ඇවිල්ලා නෙමෙයි, කටු අතු බොහොමයක් රැඳුණු මාවතක ඇවිල්ලයි කියලා කියා දෙන චිත්‍රපටයක්. කෙවින් ඩි පෝලා තමයි මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.

 

5. Rocky Series

Image Source – Image Source – youtube.com

1976 තමයි රොකී ෆිල්ම් සීරීස් එකේ මුල්ම කොටස කල එළි දකින්නේ. ප්‍රධාන චරිතය රඟපාන්නෙ සිල්වෙස්ටර් ස්ටැලෝන්. මේක ඇවිල්ලා හොඳ මෝටිවේශන් එකක් දෙන චිත්‍රපටයක්. බොක්සින් ක්‍රීඩකයෙක්ගේ ජීවිතයේ ඇරඹුම, ඔහු ජයග්‍රහණය සඳහා කෙමෙන් කෙමෙන් පියමනින ආකාරය, මානුෂිකත්වය වගේ බොහෝ දේ ඉස්මතු කරන සිනරූ මාලාවක් මේක.

 

6. Catch Me If You Can (2002)

Image Source – virginmediastore.com

හොරෙක් උනත් හොඳම හොරෙක් වෙන්න ඕන. අලුත් දේ කරන්න ඕන. ඕනෑම ක්ෂේත්‍රයක ඉහළට යන්න නම් ඒ ක්ෂේත්‍රය ගැන හැම දැනුමක්ම තියෙන කෙනෙක් වෙන්න ඕන. කැච් මී ඉෆ් යූ කැන් කියන්නේ 60 දශකයේ ඇමරිකාව කළඹපු වංචාකරුවෙක් ගැන කතාවක්. ඔහු නමින් කනිෂ්ඨ ෆ්‍රෑන්ක් ඇබිග්නේල්. එකල භාවිත වුණු මුදල් නෝට්ටු, චෙක් පත් වල වැරදි හඳුනාගෙන, ඒ තැන් වලින් බොහොම අපූරුවට රිංගා යමින් වයස අවුරුදු 19 වෙද්දී මිලියනපතියෙක් වුණු ඔහුගේ කතාවයි මේ. ප්‍රධාන චරිතය රඟන්නේ ලියනාඩෝ ඩි කැප්‍රියෝ.

 

7. The Wolf of Wall Street (2013)

Image Source – oscarchamps.com

මේකත් ඩිකැප්‍රියෝම ප්‍රධාන චරිතයට පණ පොවන ෆිල්ම් එකක්. ඇමරිකානු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ජෝඩන් බෙල්ෆෝට් ගේ දියුණුවේ සහ පරිහානියේ කතාවයි මේ. පරිහානිය කිවුවට ඒකෙනුත් වැඩි හානියක් වෙන්නෙ නෑ. කොහොම උනත් පාඩම් ගොඩක් උගන්නන චිත්‍රපටයක්. පොඩි තැන ඉඳන් ඉහළට යන්න නම් අවදානම් දරන්න වෙනවාමයි කියලා කියා දෙන සිනෙරුවක්.

 

8. The King’s Speech (2010)

Image Source – narrativefirst.com

බ්‍රිතාන්‍යයේ රජ වුණු හය වෙනි ජෝජ් රජ්ජුරුවන්ට කතා කරද්දී පොඩි ගොත ගහන ගතියක් තියෙනවා. රජ වුණාට පස්සේ කතා කරන්න එපායැ රට වැසියන් අමතලා. පළවෙනි කතාවෙදී හොඳටම වැරදෙනවා වැඩේ. ඊට පස්සේ මේ රජතුමා බිරිඳත් එක්ක කාටත් හොරෙන් යනවා මේකට ප්‍රතිකාර කරන කෙනෙක් ගාවට. එතැන් සිට කතාව ඔබම බලන්නකෝ. අනෙකාට ගරු කිරීම, නිහතමානී වීම, කැප කිරීම මතින් නිවැරදි තැනට ළඟා විය හැකි බවට වන අපූරු පණිවිඩයක් මේ සිනෙරුව ඔබට ලබා දේවි. ප්‍රධාන චරිතය රඟපාන්නෙ කොලින් ෆර්ත්.

 

9. Bhaag Milkha Bhaag (2013)

Image Source – variety.com

දුවන්න මිල්කා දුවන්න කියන එක තමයි මේකෙ තේරුම. මිල්කා සිංග් කියන්නේ ඉන්දියාව බිහි කරපු විශිෂ්ට කෙටි දුර ධාවන ශූරයෙක්. ඔහු 1958 දී යාර 440 රන් පදක්කම පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලේදී ලබා ගැනීමට සමත් වුණා. ඉන්දියා පකිස්ථාන බෙදීමෙන් පවුල බැට කන මොහොතක ඔහු සිය සිහිනය පසු පස හඹා ගිය අපූරුව ගැන කියවෙන මේ සිනෙරුවේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ෆර්හාන් අක්තාර්.

 

10. චක් දේ ඉන්දියා (2007)

Image Source – themoviedb.org.com

කවුරුවත් ගණන් ගන්නෙ නැතුව තිබුණු ඉන්දියානු කාන්තා හොකී කණ්ඩායමේ පුහුණුකාර තනතුරට අලුතින් එන්නේ හිටපු පිරිමි හොකී නායකයෙක්. ඔහු ඇවිත් අලුතින්ම කණ්ඩායම හදන්න ගන්නවා. කණ්ඩායමට ඉතා තද පුහුණුවක් ලබා දෙන ඔහු සියලු දෙනාටම මේ එක රටක්ය, එක කණ්ඩායමක්ය යන හැඟීම උගන්නනවා. කැපවීම, අධිෂ්ඨානය සහ විශ්වාසය ඇති තැන ජය ගත නොහැකි දෙයක් නැතැයි උගන්නන අපූරු සිනෙරුවක් මේක. ශාරුක් ඛාන් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *