ගුවන් ගමන් කියන්නේ ලෝකයේ තියෙන අනතුරු අඩුම ගමන් මාධ්‍යය. එහෙම වුනත් ඉඳහිට සිදුවන ගුවන් අනතුරු ලොව පුරා හදවත් සලිත කරන්නට සමත්වෙනවා. ලංකාව තුළත් එක් එක් කාල වලදී ගුවන් අනතුරු ගොඩක් වාර්තා වෙලා තියෙනවා. නමුත් ලංකාවේ ගුවන් සේවය විදියට තිබුණු එයාර් සිලෝන්, එයාර් ලංකා වගේම දැන් ශ්‍රී ලංකන් විදියට තියෙන ගුවන් යානාවන් අනතුරට ලක්වෙලා තියන අවස්ථාවන් බොහොම අඩුයි. ඇත්තටම ගුවනේදී ප්‍රධාන පෙළේ ගුවන් අනතුරකට අපේ ජාතික ගුවන් සේවයේ යානාවක් ලක් වෙලා නැතිම තරම්. ලංකාවෙන් වාර්තා වුණු දරුණුතම ගුවන් අනතුරු මොනවාද? අපි ඒ ගැන ටිකක් විස්තර දැන කියාගනිමු.
1. සප්ත කන්‍යාව සිපගත් ඩී සී 8 අහස් යන්තරේ
ඉන්දුනීසියාවේ සුරබයා සිට මක්කම බලා ගමන් ගත් ගුවන් යානයක් 1974 දෙසැම්බර් 04 වැනිදා රාත්‍රියේ සප්ත කන්‍යා කඳු වැටියේ වැදී කඩා වැටුණි. යානයේ ගමන් කළ කාර්යමණ්ඩලය ඇතුළු 191 දෙනාම මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් විය. යානයේ කාර්මික දෝෂයක් නිසා කටුනායකට ගොඩ බස්සවන්නට යානය පැමිණ තිබේ. ඒ අතර ලක්ෂපාන විදුලි බලාගාරයේ විදුලි එළි වලට ගුවන්තොටුපල යැයි රැවටුණු නියමුවා එයට බස්සවන්නට ගුවන් යානාව පහත් කර තිබේ. ඉන් පසු එය ගුවන් තොටක් නොවේ යැයි නියමුවා සැකහැර දැනගන්නා විට නැවත ගුවන් යානය ඉහළට නංවා ගැනීමට කාලය මද වී තිබේ. යම් යම් සන්නිවේදන දෝෂ නිසාද මේ අනතුර සිදුවූ බවට මත පළවී තිබුණි. මෙම යානාව කඩා වැටීමට නිල වශයෙන් හේතුව ලෙස දක්වා තිබුනේ කාර්මික දෝෂයකි. අදද එම ඉන්දුනීසියානුවන්ගේ සොහොන්කොත් සප්ත කන්‍යා කඳුවැටිය අසබඩ තැනක තිබේ. මෑතක් වනතුරුම සිය ඥාතින්ගේ සොහොන් දැකබලාගැනීමට ඉන්දුනීසියානුවන් සප්ත කන්‍යා මායිමට පැමිණ තිබුණි.
2. කටුනායක ත්‍රස්ත ප්‍රහාරය
ලංකා ගුවන් අනතුරු ඉතිහාසයේ විශාලතම ගුවන් අනතුර කටුනායක ත්‍රස්ත ප්‍රහාරය වේ. මගී ගුවන් යානා 3ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර, ගුවන් හමුදාවේ ගුවන් යානා 8ක් විනාශයට පත්විය. තවත් යානා 14කට අලාබහානි සිදුකරන්නට මෙම ප්‍රහාරය සමත් විය. මෙම අනතුරින් හානි වූ සිවිල් ගුවන් යානා වල පමණක් වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 350කට වඩා වැඩි විය. 2001 ජූලි 24 වැනිදා හිමිදිරි පාන්දර 3.30ට පමණ ගුවන් තොටුපලට ඇතුළු වූ ත්‍රස්තවාදින් 14 දෙනෙක් එදින උදෑසන 11 දක්වා ප්‍රහාර දියත් කළහ. ඒ ත්‍රස්තවාදීන් 14 දෙනාම මිය ගිය අතර, ලංකා හමුදාවේ 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. මෙයින් සිදු වූ ආර්ථික හානිය තක්සේරු කිරීමට අපහසු තරම් විශාල දිර්ඝකාලීන එකක් විය. සංචාරක ස්ථානයක් ලෙස ප්‍රකට වූ ලංකාවේ ප්‍රධාන ගුවන් තොටට ත්‍රස්ත ප්‍රහාර එල්ල වීම සංචාරක ව්‍යාපාරයට මරු පහරක් විය. එසේම ලංකාවේ කිර්ති නාමයට මේ හරහා ලොකු කළු පැල්ලමක් එකතු විය.
3. 1978 අයිලන්ඩික් එයාලයින් අනතුර
මේ ගුවන් අනතුරද කලින් ඩී සී 8 ගුවන් අනතුරට මදක් සමානය. ගරුඩා ඉන්දුනීසියා යානය සෞදියේ මක්කම සිට ඉන්දුනීසියාවේ සුරබයා බලා ගමන් කළේය. මෙහිදී සෞදි අරාබියේ ජෙඩා නුවරින් නික්මුණු ගුවන් යානාව සුරබයා දක්වා පියාසැරිය අතරමග ලංකාවේ කටුනායක ගුවන් තොටේ තෙල් ලබාගැනීමට නවත්වන්නට නියමිත විය. ගුවන් යානය ගොඩබෑමට යෑමේදී සිදු වූ දෝෂයකින් කටුනායක අසබඩ රබර් පොල් වත්තකට ගුවන් යානාව කඩා වැටුණි. එයින් යානයේ සිටි 183 දෙනෙක් මරුමුවට පත් විය. මෙය ගුවන්යානය ගොඩබැස්වීමේදී යානයේ නියමුවාගේ වරදක් නිසා සිදුවූ ගුවන් අනතුරක් බව පසුව කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය විය. මෙහිදී පුදුමයකට මෙන් ගුවන් යානාවේ මුල් කොටස ගින්නට හසු නොවීය. එම කොටසේ සිටි මගීන් 47ක් දිවි ගලවාගන්නට සමත් විය.
4. 2007 අනුරාධපුර ත්‍රස්ත ප්‍රහාරය
ගුවන් අනතුරක් යැයි සෘජුවම දැක්වීමට මදක් අපහසු වුවත්, අනුරාධපුර ගුවන් තොටුපලට සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය ලංකාවේ ගුවන් හමුදාවට දැඩි බලපෑමක් එල්ල කළ ප්‍රහාරයක් විය. මෙහිදී රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුතු යානා 16ක් ලංකා ගුවන් හමුදාවට අහිමි විය. මෙම ප්‍රහාරය අවස්ථාවේ යානා 22ක් පමණ අනුරාධපුර ගුවන් තොටේ නවත්වා තිබුණි. ඒ අතර කෆීර්, මිග් වැනි ප්‍රහාරක ගුවන් යානාද විය. කටුනායක ගුවන් තොටට එල්ල වූ ප්‍රහාරයෙන් වසර 6කට පසු නැවතත් ගුවන් තොටකට ප්‍රහාරයක් එල්ල වීම තරමක් විමතියට කරුණකි. අනුරාධපුර ගුවන් තොටුපලේ වූ දුර්වල ආරක්ෂක විධිවිදාන නිසා ත්‍රස්තයන්ට කඳවුර තුළට විත්, ගුවන් යානා දැවී අළු වී යන්නට ප්‍රහාර එල්ල කිරීමට පහසු වී තිබුණි.
5. 1995 අප්‍රේල් 28-29 ගුවන් යානා අනතුරු
මේ ද්විත්ව අනතුරට ලක් වූ ගුවන් යානා දෙකම ඇව්රෝ යානාවන් විය. කටුනායකින් ගමන් ආරම්භ කරන එම යානා අනුරාධපුරයේ නවත්වා, ඉන් පසු පලාලි බලා යන්නේය. මෙම යානා දෙකටම කොටින්ගේ යටතේ තිබූ වන්නියේදී මිසයිල ප්‍රහාර එල්ල වී තිබුණි. එයින් 28 වැනිදා බිමවැටුණු යානයේ ගමන් කළ 51 දෙනෙක් සහ 29 වැනිදා ගුවන් යානයේ ගමන් කළ 52 දෙනකු මෙම අනතුරු දෙකෙන් ජීවිතක්ෂයට පත් විය. තැන තැන ගෙන යා හැකි, කර මත තබා එල්ල කරන මෑන්පොඩ් ලෙස හැඳින්වෙන මිසයිල වලින් මෙම ගුවන් යානා දෙකට ප්‍රහාර එල්ල කර තිබුණි. 28 වැනිදා ගුවන් යානාවේ එන්ජිමකට ගිනි ඇවිලී තිබුණ අතර, ඒ කුමක් නිසාදැයි කිසිවෙකු දැන සිටියේ නැත. එක් සෙබලෙක් පමණක් ගුවන් යානා තටුවට කුමක් හෝ වදිනවා දැක තිබුණත්, එය මිසයිලයකැයි කිසිවෙකු සිතා තිබුණේ නැත. එහෙත්, 29 වැනිදා දෙවන ඇව්රෝ යානාවත් බිම හෙලූ පසු එල් ටී ටී ඊ ත්‍රස්තයෝ සිය කොටි හඬ ගුවන් විදුලිය හරහා මෙම ප්‍රහාර දෙකේ වගකීම බාරගත්හ. මෙම ගුවන් යානා වල ගමන් කළේ නිවාඩු ලබා සිටි සෙබළු සහ නිළධාරින්ය. දෙවැනි ගුවන් යානාවේ ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදීන් තිදෙනෙකුද වූ අතර ඔවුහුද අනතුරින් ජීවිතක්ෂයට පත් විය.
6. 2011 කෆීර් යානා ගැටීම
ගුවනේදී ශබ්දයේ වේගය පරයා ඇදෙන කෆීර් යානා, ත්‍රස්තවාදී සතුරු බලවේග විනාශ කරන මාරයෙක් විය. යුද්ධ කාලසීමාවත් පසුවී ඉතාමත් අවාසනාවන්ත ලෙස ලංකා ගුවන් හමුදාවට කෆීර් යානා දෙකක් අහිමි වූයේ ඒවා එකිනෙක ගැටීමෙනි. 2011 මාර්තු 2 වැනිදා ගුවනේදී ගැටුණු මෙම අනතුරින් පසු, ගුවන් යානා දෙකේම නියමු අසුන් අහසට විසි වී ගියේ කෆීර් ප්‍රහාරක යානා වල නියමු අසුන යට ඇති කුඩා රොකට්ටු බලයෙනි. නියමුවන් දෙදෙනාගෙන් ජීවත් වීමට වාසනාව ලද්දේ එක් නියමුවෙක් පමණි. අනෙක් නියමුවා මියගොස් තිබුණි.
7. ලයන් එයාර් ගුවන් යානාව
ලයන් එයාර් නම් කුඩා ගුවන් සේවාවක් මගින් රත්මලානේ සිට පලාලි දක්වා මගීන් සහ හමුදා ප්‍රවාහන කටයුතු සිදුකෙරුණි. එම ගුවන් යානයෙහි රුසියානු ජාතික කාර්යමණ්ඩලය 4 දෙනෙක් විය. නියමුවාද රුසියානු ජාතිකයෙක් විය. ගුවන් යානය මුහුද මතින් පියාසර කළද, එල් ටී ටී ඊ සංවිධානයේ මොනොපොඩ් මිසයිල එයට ප්‍රහාර දියත් කර තිබුණි. එහි ගමන් ගත් මගීන් 48 සහ කාර්යමණ්ඩලයේ 7 දෙනා එම අනතුරින් මරුමුවට පත් විය. 2012 දී ඉරණතිව් දූපත ආසන්නයේ තීබී මෙම ගුවන් යානාව සොයාගන්නා ලදී. මෙම ගුවන් යානාවට ප්‍රහාර එල්ල කළ මිසයිල කරුවන් ඉරණතිව් දූපතේ සිට මිසයිල ගුවන් යානාව වෙතට එල්ල කර තිබුණි.
අහසින් ගමන මහත් අවදානමක් යැයි ගුවන් ගමන් සොයාගත් මුල් කාලයේ ජනතාව විසින් සලකනු ලැබුවා. ඒත් දැන් නම් ගුවන් යානා තාක්ෂණයේ දියුණුව එක්ක යානා අනතුරු වාර්තා වීම අඩු වෙලා තියෙනවා. ලංකාව මුහුණ දුන් ගොඩක් අනතුරු ත්‍රස්තවාදී කලබල නිසා සිදුවුන ඒවා. දැන් ත්‍රස්තවාදී කලබල ඉවර නිසා තවත් ඒ විදියේ ත්‍රස්ත ප්‍රහාර ගැන විශාල බයක් නැහැ.
Cover Image Source – youtube.com
Leave a Reply