දවසින් බලලා ඉවර කරන්න පුළුවන් ඉංග්‍රීසි මිනි ටීවී සීරිස් 7ක්

mini tv

මිනිස්සුන්ගේ ජීවිතවල එක එක විදියේ ඇබ්බැහිවීම් තියනවා. සමහරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. ඒ හා සමානම වුණත් ඊට වඩා අහිතකර බලපෑම අතින් අඩු එක ඇබ්බැහියක් තමයි ටීවී සීරිස් ඇබ්බැහිය. ආය ඉතින් කන්න බොන්න බුදියගන්න ඕනි නැහැ හොඳ ටීවී සීරිස් එකක් සෙට් වුණා නම් එච්චරයි. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ මාගල් වගේ හෙන පතරංග ඒවා සෙට් වුණාම. හැබැයි සමහර සීරිස් තියනවා දවසින් බලලා ඉවර කරන්න පුළුවන් විදියටම හැදුණු. මේ එහෙම කරන්න පුළුවන් ඉංග්‍රීසි ටීවී සීරිස් කීපයක්.

 

1. The Woman in White

mini tv

Image Source – thesavvyscreener.com

විල්කි කොලින්ස්ගේ මේ නමින්ම තිබුණ පොත “සුදු වත හැඳි කත” කියන නමින් පරිවර්තනය වෙලා තිබ්බා. ආන්න ඒක පට්ට ගහපු අතීතයක් අපි හැමෝටම තිබ්බා. ඒ තරම්ම ඒක රසවත්. 2018 අවුරුද්දේ දී මේ කතාව සාරයෙන් ටීවී සීරිස් එකක් කරලා පෙන්නන්න බීබීසී එක සමත් වුණා. කොටස් පහකින් යුතු මේක එක හුස්මට බැලිය හැකි. තවත් සීසන් එකක් එනෝ කියලා රාවයක් තියෙනවා. ඕවා ඉතින් සුවර් නැහැනේ. බෙන් හාර්ඩි ප්‍රධාන චරිතයක් විදියට රංගනයෙන් දායක වෙනවා.

 

2. Band of Brothers

mini tv

Image Source – lighthifi.blogspot.com

ටිකක් විතර පරණයි. මීට අවුරුදු 17කට කලින්, ඒ කියන්නේ 2001 අවුරුද්දේ දී තමයි එලියට එන්නේ. යුද්ධය තේමා කරගෙන මේ නමින්ම ලියවුණ පොතක් අනුසාරයෙන් තමයි වැඩේ නිර්මාණය වෙලා තියෙන්නේ. කොටස් ගණන 10යි. IMDb අගය 9.5ක්. ඒ වගේ අගයක් ගන්න තරමටම විශිෂ්ටයි. යුද්ධ භූමියේ දී තමන්ගේ ඇස් ඉස්සරහාම ආදරේ කරන මිත්‍රයන් නැති වෙන හැටි වගේ සංවේදී කාරණා එක්ක බොහොම දැවැන්ත විදියට මේ නිර්මාණය කරලා තියනවා. ඩේමියන් ලුවිස් වගේ හුරුපුරුදු මූණක් දෙකක් රංගන දායකත්වය සපයනවා.

 

3. Pride and Prejudice

mini tv

Image Source – today.com

1995 වගේ කාලයක දී තමයි මේ මිනි සීරිස් එක ගොඩබහින්නේ. කතාව ගෙතිලා තියෙන්නෙත් සුද්දගේ කාලේ පරණ කතාවක් එක්කයි. මේකත් නුපුරුදු කතාවක් නෙවෙයි. මේ නමින්ම ජේන් ඔස්ටන් ලියපු කතාව අනුසාරයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ස්ත්‍රී චරිත කේන්ද්‍ර කරගෙන ඉංගිරිසි ප්‍රභූ සමාජයේ තිබුණ සිදුරු ගැන ලියන්න ඔස්ටින් දක්ෂයි. ඒ වැඩේ මෙතනදීත් එහෙමයි. නිකන්ම නිකන් ප්‍රේම කතාවකට වඩා මිනිස්සුන්ගේ හැඟීම් ගැන තියෙන විශිෂ්ට විවරණයක් තමයි මේ. ඉතින් ඒ වගේ දෙයක් තවත් කලා මාධ්‍යයකට දාද්දි පරිස්සම් වෙන්න ඕනි. ඒ පරිස්සම කොතරම් ද කියනවා නම් මේ පොත අනුසාරයෙන් බිහි වුණ හොඳම නිර්මාණය විදියටත් මේ ටීවී සීරීස් එක සැලකෙනවා. මිස්ටර් ඩාර්සි විදියට රඟපාන කොලින් ෆර්ත්ගේ වැඩකිඩ ලෝකයා හරියට දැනගන්නෙත් මේ නිසා. කොටස් 6යි. පැය 6යි.

 

4. The Night Manager

mini tv

Image Source – digitalspy.com

මේකත් කොටස් 6ක් තියෙන මිනි සීරිස් එකක්. ප්‍රධාන නළුවා ටොම් හිඩ්ල්ස්ටන්. IMDb අගය 8.2යි. කතාවේ සාරය ගැන කිව්වොත් හිටපු බ්‍රිතාන්‍ය හමුදා සොල්දාදුවෙක්ට ලැබෙන මිෂන් එකක් ගැන තමයි තියෙන්නේ. හමුදා වැඩෙන් පස්සේ තරු පන්තියේ හෝටලයක කළමනාකාර තනතුරකට පත් වෙන ඔහුට හෝටලේ නවාතැන් අරන් ඉන්න ව්‍යාපාරික මහත්තයෙක් ගැන ඔත්තු බලන්න වෙලා. කුතුහලය සහ ත්‍රාසය පිරි මේ ටීවී සීරිස් එකෙන් තවත් සීසන් එකක් ඕනි කියන මතයේ තමයි ප්‍රේක්ෂකයෝ ඉන්නේ. එහෙම කසුකුසුවකුත් තියනවා. බලමුකෝ ඉතින්.

 

5. Patrick Melrose

mini tv

Image Source – nytimes.com

කොටස් තියෙන්නේ 5යි. කොහොමත් ගැම්මට බලන්න පුළුවන් බෙනඩික්ට් කම්බර්බැච් ප්‍රධාන චරිතය විදියට ඉන්නකොට. මේකත් මේ නමින් ලියවුණ අර්ධ චරිතාපදානයක් අනුසාරයෙන් තමයි ලියවෙන්නේ. ඒ කියන්නේ මේ කතාවේ සමහර දේවල් ඇත්ත. අන්න ඒ කරුණ මොන තරම් කම්පනයක් ද කියලා සීරිස් එක බලනකොට තේරෙයි. මෙල්රෝස් පරම්පරාවේ තිබුණ ආධිපත්‍යය පොඩි මනුස්සයාට විතරක් නෙවෙයි ගෙදර ඉන්න පුංචි එකාටත් හිටියේ නරක විදියට. ඒක නතර වෙන්නේ මොහොතක්වත් මත්ද්‍රව්‍ය නැතුව බැරි උන්මන්තකයෙකු වගේ පුද්ගලයෙක් නිර්මාණය වීමෙන්. ඒ තමයි පැට්‍රික් මෙල්රෝස්.

 

6. The Night Of

mini tv

Image Source – musingsite.wordpress.com

අපරාධ ගණයේ නිර්මාණවලට කවුරුත් ආසයි. එහෙම අයට හරියනම මිනි සීරිස් එකක් තමයි මේ. පාටි එකක දී හමුවන කාන්තාවක් එක්ක එක්තරා පුද්ගලයෙක් රාත්‍රිය ගතකරනවා. උදේ බැලින්නම් මෙන්න ඒකිට කවුදෝ පිහියෙන් ඇනලා මරා දාලා. ඒ මදිවට ඒකට අහුවෙන්නෙත් අර අහිංසකයා. කතාවේ කොටස් ගණන අටයි. Rotten Tomatoes එකෙනුත් 94%ක රේටින් එකක් තියනවා. ඒ කියන්නේ ඉතින් සිරාම තමයි.

 

7. The Missing

mini tv

Image Source – vox.com

කතාවේ නම වගේ ම අන්තර්ගතයත් අතුරුදන්වීමක් ගැන. එකක් කියලා හිතුවට ඇත්තටම බැලුවොත් අතුරුදහන්වීම් දෙකක්. මේ කතාවේ සීසන් දෙකක් තියනවා එකකට කොටස් 8 ගාණේ. පළවෙනි සීසන් එක කතා වෙන්නේ කුඩා පිරිමි දරුවෙකුගේ අතුරුදන්වීමක් ගැන. දෙවෙනි එක පුංචි ගැහැණු ළමයෙකුගේ අතුරුදන්වීමක්. අපරාධ සහ අබිරහස් ගණයට තමයි වැටෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *