ලංකාවට එන සංචාරකයින් සීගිරියම සොයා යන්නේ ඇයි?

sigiriya

ඉන්දියාවට යන සංචාරකයින්ට ටජ් මහල වැදගත් වන්නේ යම් සේද, ලංකාවට එන අයට සීගිරිය යනු මහත් වස්තුවකි. සීගිරිය, සංචාරක ස්ථාන කිහිපයක්ම තිබෙන වර්තමානයේ ලංකාවේ ජනප්‍රියම  සංචාරක කලාපයකි. මේ සීගිරිය බලන්න යන විදේශිකයන්ට සීගිරි ගල සහ ඒ අවට උරුමය පමණක්ම නෙමෙයි, තවත් බොහෝ දේ නරඹන්නට ඉතිරි වෙලා තියෙනවා. අපිට වුනත් ටිකක් විවේක පාඩුව තියෙනවා නම්, සීගිරිය පළාත සංචාරයක් ගිහින් අත්දැකීම් ගොඩක් අරගෙන එන්න පුලුවන් ප්‍රදේශයක්.

 

1. සීගිරි උද්‍යානය

sigiriya

Image Source – manvsglobe.com

සීගිරිය කියන්නේ ගල මුදුනේ තිබෙන මාලිගයත් අතරමග තිබෙන චිත්‍ර සහ කැටපත් පවුරකුත් විතරක්ම නෙමෙයි. සීගිරියේ ජල උද්‍යානය, ශිලා උද්‍යානය ආදී උද්‍යාන සීගිරි ගලට පහළ බිමේ පිහිටලා තියෙනවා. හරියට සීගිරිය බලනවා නම් ඇත්තටම එක දවසකින් බලලා නිම කරන්න අමාරුයි. ඒකට දවස් දෙක තුනක්වත් යනවා. සීගිරියේ කැණීම් කරද්දි සොයාගත් දේ සහ කැණීම් කටයුතු අතර මතක සටහන් සීගිරිය කෞතුකාගාරයේ තිබෙනවා. මීට වසර දෙතුන් දාහකට පෙර ලක් රජදරුවන් කළ වැඩ ගැන විදේශිකයන්ට මෙන්ම අපේ දරුවන්ටත් අවබෝධයක් ලබාගැනීමට සීගිරිය කදිම තැනක්.

 

2. පිදුරංගල

sigiriya

Image Source – manvsglobe.com

බැක්පැකින් සංචාරකයින් කියන්නේ ලෝකයේ මෑතකදි ජනප්‍රිය වුණු මෝස්තරයක්. බැක්පැකර්ස්ලා කියන්නේ අඩුවෙන් වියදම් කරන අය වුනත්, ඔවුන් සංචාරක කර්මාන්තයට අලුත් දේවල් හොයා දෙනවා. ඔවුන්ගේ අරමුණ හුදෙක් නමගිය සංචාරක ස්ථාන සලකුණු කිරීම පමණක් නෙමෙයි. එහෙම ලංකාවට එන සංචාරකයින්ට සීගිරියේ ඩොලර් 30ක මුදල අයකිරීම වැඩියි කියලා හිතෙනවා. ඒ නිසා ඔවුන් දැන් පිදුරංගල යනවා. පිදුරංගල යන්න ඩොලර් 3ක් වගේ තමයි යන්නේ. විදෙස් සංචාරකයින්ට හිතුනොත් ඔවුන් උදේ නැගලා පිදුරංගල උදෑසන ඉර උදාව බලනවා. හවස හිතුනොත් ආයෙම හවසත් පිදුරංගල නගිනවා ඉර බැසීම බලාගන්න. සීගිරිය තරම් වැඩි සෙනඟක් නැතිවුණු පිදුරංගල වීව් එක ඉතා ඉක්මණින්ම ජනප්‍රිය වුණා.

 

3. විලේජ් ටුවර්

sigiriya

Image Source – asmilankatours.com

ඉන්දියානු, චීන ආදී ආසියාතිකයන්ට එතරම්ම වැදගත් නොවුනත්, අපේ ගම්බද ජීවිතය කියන්නේ බටහිර රටක සංචාරකයන්ට අමුතු දෙයක්. ඇත්තටම අපේ ගම් වල අපිට වැඩිය අලුත් දෙයක් පේන්නේ නැති වුනාට, විදෙස් සංචාරකයන්ට ගමේ තියෙන දේවල් විඳගැනීම අලුත් දෙයක් වෙලා තියෙනවා. පොඩි කණ්ඩායම් වගේම, විශාල හෝටල් වලිනුත් සීගිරියේ විලේජ් ටුවර් සංවිධානය කරනවා. මේ විලේජ් ටුවර් වලදී අදාළ කෑම බීම, ඇවතුම් පැවතුම් විඳින්නට වගේම, ගොවිතැන් වැඩ ආදියත් කරන්න අවස්ථාව සංචාරකයින්ට ලැබෙනවා.

 

4. සෆාරි ටුවර්

sigiriya

Image Source – ceysites.blogspot.com

ලංකාවේ සෆාරි ටුවර් ජනප්‍රිය වෙන්න එක ලොකු හේතුවක් තමයි වන සතුන් සුලභව දැකගන්නට ලැබීම. සීගිරියට එන අය සීගිරි ගල බලන්න වගේම මේ සෆාරි වැඩේටත් ගොඩක් ආසයි. කවුඩුල්ල සහ මින්නේරිය ජාතික වනෝද්‍යාන සීගිරියට එන සංචාරකයින් නිතර යන එන තැනක්. මේ සංචාර බැක්පැකර්ස්ලාගේ පොකට් එකට පවා ටිකක් පහසු ඒවා නිසා සතුන් දැකබලාගන්න යන මේ සෆාරි ගමන් සීගිරියේ ජනප්‍රිය වෙලා තියෙනවා. අලියා, වල් ඌරා, මොණරුන් ආදී කුරුල්ලන් සහ සර්පයින් සංචාරකයින් තමුන්ගේ දෑසින් දැකගෙන, කැමරා හරහා මතක සටහන් විදියටත් තබාගන්නවා.

 

5. රිටිගල

sigiriya

Image Source – lakpura.blog

රිටිගල කියන්නේ නුවර කළාවියේ තියෙන මීටර 750ක් වගේ උස පොඩි කන්දක්. මේ කඳුවැටිය ආශ්‍රිත වනයේ කොටසක් දැඩි ස්වභාවික රක්ෂිතයක් ලෙසත් ප්‍රකාශ කර තිබෙනවා. රිටිගල අපේ ඉතිහාසයේ වංශකතාවල එන තවමත් සුරැකිව නටඹුන් තිබෙන පුරාණ සිද්ධස්ථානයක්. මෙම රිටිගල කන්ද ආශ්‍රිත වැසි වනාන්තරය මෙන්ම එතුළ ඇති පෞරාණික නටඹුන්ද සංචාරකයින්ගේ සිත් ඇදගන්නට සමත් වී තියෙනවා. ඓතිහාසික වැදගත්කමකින් මෙන්ම ස්වභාව සෞන්දර්යයකින්ද හෙබි රිටිගල වැනි ස්ථාන සංචාරය කිරීමේදී එම ස්ථාන පිරිසිදුව අනාගතයට දායාද කිරීම ගැනත් සැලකිලිමත් වීම වඩාත් වැදගත්.

 

6. දඹුලු විහාරය

sigiriya

Image Source – pinterest.com

ලෙන් විහාර අතර දඹුලු විහාරයට ලැබෙන තැන විශේෂ එකක්. පැරණි සිතුවම් රැසක් තවමත් යුග ගණනක් ගොසිනුත් දඹුලු විහාරයේ දකින්නට තිබෙනවා. දඹුලු විහාරය තුළ ලෙන් වල ඇති බුදුපිලිම දැකබලාගන්න විදෙස් සංචාරකයිනුත් එනවා. දේශීය බෞද්ධයින්ට නම් විහාරයේ මුල ඉදිකර ඇති යෝධ බුදුරුව වඩාත් වැදගත් ස්මාරකයක්. ඒත් විදේශිකයින් අදාළ පෞරාණික නටඹුන්, ලෙන් විහාර සහ චිත්‍ර දැකබලාගන්නට වගේම ඒ අවට පරිසරය විඳගන්නටත් හරිම කැමතියි.

 

7. කළුදිය පොකුණ සහ වෙනත් ස්ථාන

sigiriya

Image Source – brownshotels.com

සීගිරිය පළාතේම තිබෙන කළුපැහැති දිය සහිත කළුදිය පොකුණ පෞරාණික එකක් යැයි ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එහි ස්නානය කිරීමෙන් ලෙඩ රෝග දුරු වෙන බවට ජනයා අතර ජනප්‍රිය මතයකුත් තිබෙනවා. සීගිරියේ එන සංචාරකයින් අලි පිට නැගී රට තොට බලන්නට යන එලිෆන්ට් සෆාරි වලත් යනවා. ස්පයිස් ගාඩ්න් ආදී විවිධ සංචාරක අත්දැකීම්ද සීගිරිය කලාපයේ දකින්නට තිබෙනවා. පොඩි ඔරුවකට වී හබල් ගාමින් අහල පහල වැවක, ඇලක යන සංචාරකයිනුත් සීගිරිය අවට දකින්නට පුලුවන්.සීගිරිය කලාපයේ ස්මාරක, අත්කම්, ලියකම් ආදී දේ මෙන්ම දේශීය ආහාර ආදියද සංචාරකයින්ට පහසුවෙන්ම ලබාගන්නට හැකියි.

 

sigiriya

Image Source – silktrails.lk

සීගිරිය ආසන්න පිදුරංගල පහුගිය කාලයේ සමාජ ජාල තුළ විශාල පෙරළියක් ඇතිකළ සිද්ධියක් වුණා. එහෙත් සීගිරියට පැමිණෙන විදෙස් සංචාරකයින්ට නම් එය එතරම්ම බලපෑමක් කර තියෙන බවක් පේන්නට නැහැ. හුදෙක් සීගිරි ගල බැලීමෙන් එහාට ගොස් සීගිරිය අවට බලන්නට සහ විඳගන්නට දේවල් ගොඩක් සංචාරකයින්ට ලැබිලා තියෙනවා. අපිටත් උවමනානම් රට යන්නේ නැතිවම සංචාරකයෙක් විදියට ටුවර් එකක් දාල එන්න සීගිරිය හොඳ තැනක්.

Cover Image Source – nkartravelhouse.com/srilankatravelhub.com/tannedtonedtravelled.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *