ආදරය කියන මහා විශාල මාතෘකාව ඇතුළේ තියෙන එක්තරා කොටසක් තමයි සහෝදරයන් අතර ඇති වෙන ආදරය. ආදරේ කිව්ව ගමන් ඔය මොකක්වත් නෑ අපේ අයියලට මතක් වෙන්නේ පඳුරු අස්සේ ඉඳන් මුකුළු කරන ආදරේ විතරයි. හැබැයි කලාව පවතින තුරාවට කිසිම මාතෘකාවකට හැංගිලා ඉන්න බැහැ. සහෝදර බැඳියාවටත් ඒ න්‍යාය අයිතියි. ශ්‍රී ලංකාවේ දක්ෂ කලාකරුවන් අතින් සහෝදර ප්‍රේමය ගැන ලියවුණ, සහ ගැයුණ භාවාතිශය ගීත පෙළක් තමයි මේ.
1. මා වවුලන් රෑ පුරාම

Image Source – srilankafoundation.org
සහෝදරයෙකුගේ සේයාවක්වත් ඇඟට වැටුණේ නැති කෙනෙක්ව වුණත් සහෝදර ප්‍රේමයෙන් කම්පනයට පත් කරවන්න පුළුවන් හරි අමුතු නිර්මාණයක් තමයි මේ. ලියන්නේ කුලරත්න ආරියවංශ. සංගීතය රෝහණ වීරසිංහ. තමන්ගේ මල්ලි එක්ක ගෙවුණ අතීතය ස්මරණය කරන අයියා කෙනෙකුගේ හදවත අවදි කරවන මේ නිර්මාණයට හඬ සපයන්නේ අමරදේවයන්. මේ සින්දුවේ කියවෙනවා පුංචි කාලේ මල්ලි එක්ක මී ඇට ඇහිඳින්න ගියපු විදිය, දර කඩන්න ගියපු විදිය සහ පැදුරකට වෙලා ගුළි වෙලා ආදරෙන් හිටපු විදිය ගැන. සමහරවිට මේ එකම අත්දැකීමක්වත් අසන්නන්ට නැති වෙන්න පුළුවන්. ඒත් ඒ හැමෝටම තමන්ට අනන්‍ය වෙච්ච මතක ගොන්නක් තියනවා. මේ ගීතයේ අයියා විඳින තනිකම අසන්නන්ගේ නහරවලටම දැනෙන්නේ අන්න ඒ නිසයි.
2. අම්මා නැති මට

Image Source – victorrathnayake.lk
අක්කා කෙනෙක්ගේ ආදරය දැනෙන්න එක්කෝ අක්කා කෙනෙක් වෙන්න ඕනි, නැත්නම් මල්ලියෙක් හරි නංගියෙක් හරි වෙන්න ඕනි, ඒත් නැත්නම් මේ සින්දුව අහලා ඉන්න ඕනි. අක්කා කෙනෙක්ගේ ආදරය තමයි සමහර අයට හැමදේම. පුංචි කාලේම අම්මා කෙනෙක්ගේ ආදරය අහිමි වුණ කෙනෙක්ට නම් ඒ ආදරය මහමෙරක් තරම්. දරුවෙක් උස්මහත් කරන්න අම්මා දරන උත්සාහයම අක්කලා අතින් සිද්ධ වෙනවා. ඒක මේ විදියට කියනවට වඩා ගීතයෙන් කිව්වාම මිනිස්සුන්ට දැනෙයි කියන අරමුණෙන්ද මන්දා ලූෂන් බුලත්සිංහලගේ පදවලට වික්ටර් රත්නායකගේ හඬ සහ තනුව මුසු වෙලා නිර්මාණයක් බිහි වෙනවා. ගීතය අවසානයේ ඇහැට කඳුළක් ආවේ නැත්නම් ඒක පුදුමයක්.
3. අද දීගෙක

Image Source – en.wikipedia.org
මංගල උත්සව චාලිත්තරයක් තරමට මේ ගීතය ගායනා කිරීම හෝ වාදනය වීමට ඉඩ සලසන එක අනිවාර්ය අංගයක් බවට පත් වෙලා. මහප්‍රාණ වටේයාම් නැතුව සරලව අයියා කෙනෙක්ගේ හිතේ තමන්ගේ නංගි කෙරේ ඉපදුණු ආදරය ගැන කියන නිසා වෙන්න ඇති ඒ. අපේ සංස්කෘතියේ විවාහය කියන්නේ හැම අතින්ම ආදරය බෙදන තැනක්. ඔතනදී මනමාලිගේ පාර්ශ්වය සතුට වගේම වෙන්වීම නිසා ලොකු දුකකුත් විඳිනවා. උපන්දා සිට එකට ඉඳපු සහෝදරයාට ඒ වෙන්වීම ගීයකින් කියන්න බැරි තරම් දරාගන්න අමාරුයි. හැබැයි ධර්මසිරි ගමගේ ඒ කර්තව්‍ය කරනවා. රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හැඩවෙලා සුනිල් එදිරිසිංහගේ ලයාන්විත හඬත් එක්ක මේ හැඟීම් ලෝකයත් එක්ක මුසු වෙනවා.
4. රණ්ඩු වෙවී යාළු වෙවී

Image Source – smule.com
මේකත් නංගිගේ විවාපත් සමය එක්ක නංගි සහ අයියා අතර හැඟීම් හුවමාරු කරගන්න ගීතයක්. මේ ගීතයේ විශේෂත්වයක් තියනවා. ඒ තමයි ගායනා කරන චන්ද්‍රිකා සිරිවර්ධන සහ සුනිල් සිරිවර්ධන කියන දෙදෙනාම ඇත්ත ජීවිතෙත් අයියා සහ නංගි වීම. අසූව දශකයේ නිතර ඇසුණ ප්‍රේම ගීත අතරේ සහෝදර ප්‍රේමය සම්බන්ධයෙන් ලියන්න පන්හිඳ මෙහෙයවූවේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ. සංගීතය සරත් දසනායකයන්ගෙන්.
5. කීන දම් මිටක්

Image Source – youtube.com
චංචල රේඛා චිත්‍රපටයට නීලා වික්‍රමසිංහ සහ මිල්ටන් මල්ලවාරච්චි යන දෙපළ ගායනා කළ මේ ගීතය යුග ගණනාවක් තිස්සෙම අයියා-නංගි සහෝදර බැඳියාව සම්බන්ධයෙන් ජනප්‍රියම ගීතයයි. ට්‍රිප් එකක දී කියන්න, මොන්ටිසෝරි ප්‍රසංගයකදී නටන්න වගේම සම්භාව්‍ය කලා ප්‍රසංගයකදී කියන්නත් මෙන්න අයිටම් එක. ගීතය අහද්දී අපිට මැවිලා පේනවා ගැමි පරිසරයක තරුණ අයියා කෙනෙක් සහ නංගි කෙනෙක් සහෝදර ප්‍රේමයෙන් එහෙමෙහෙ දුවපැන ඉන්න හැටි. ගී පද අජන්තා රණසිංහයන්ගෙන්.
6. දෙතොල නොකී දේ

Image Source – geeyakawathagotha.wikia.com
සාමාන්‍යයෙන් අයියලා ඉන්න නංගිලාට බැල්මට් දාන කොල්ලෝ කරන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක්. පොඩ්ඩ ගැස්සුනත් ඇති නංගි වෙනුවෙන් අයියා ඇවිල්ලා දතකට ඔක්කොම ගලවලා දීලා යයි. එහෙව් එකේ නංගිගේ හිත රිද්දපු කාටම වුණත් අයියා කෙනෙක් අතක් පයක් උස්සන්න පසුබට වෙන්නේ නැහැ. ඒ ආවේග ඔක්කොම යටපත් කරගෙන නංගි කෙරේ ආදරෙන් ගයන මේ ගීතය ලූෂන් බුලත්සිංහලයන්ගේ පද සිත්තමක්. ගායනය සහ සංගීතය ගුණදාස කපුගේ.
7. මාගේ නංගි

Image Source – youtube.com
ඊයේ පෙරේදා ආපු ගීතයක් නොවුණාට මේ තාක් කතා කරපු ගීත එක්ක බලද්දී අලුත්. රනිදු ලංකාගේ කියන තරුණයා ලංකාවේ වෙනසක් ඇති කරපු ගායකයෙක්. කලාකරුවෙක්ට තියෙන්න ඕනි සංවේදීබව උරුමකරගත්තෙක්. ඒ නිසාම තමන්ගේ තාත්තා, අම්මා සහ නංගි කියන තිදෙනාම වෙනුවෙන් රනිදු ගීත කීපයක් ගයනවා. ඔතනින් නංගිගේ කතාව ඔහුටම අනන්‍ය වුණ දෙයක් නෙවෙයි. කොණ්ඩෙන් අදින්න, බොරු රණ්ඩු දාගන්න, හුරතල් වෙන නංගි කෙනෙක් ඉන්න කොයි අයියටත් අදාළයි. රූප රචනයත් මල් මසුරං. පද රචනය බන්දුල නානායක්කාරවසම්ගෙන්.
Leave a Reply