ජොබ් එකේ කාර්යක්ෂමතාවය වැඩිකරගන්න වටිනා ගැජට් බැජට් 9ක්!

gadgets

ඩෙස්ක් ජොබ් එකක් කරන කෙනෙක් වැඩ කරන්නේ ඔ‍ෆිස් එකේ ඉඳන් වෙන්නත් පුලුවන්, ගෙදර ඉඳන් ‍ෆ්‍රී ලාන්සර් කෙනෙක් විදියට වෙන්නත් පුලුවන්. ඉතින් ඔය කොයි විදියට වැඩකළත් අනිවාර්යයෙන්ම මේසේ උඩ තියෙන උපාංගය වෙන්නේ කම්පියුටරයක්නේ. ඕක ලැප්ටොප් එකක් වෙන්නත් පුලුවන්, ඩෙස්ක්ටොප් එකක් වෙන්නත් පුලුවන්. එතනින් එහාට ඉතින් ෆෝන් එකත් අනිවා පාවිච්චි වෙනවා. නෝට් පොත්, පෑන් පැන්සල් අනං මනං කොහොමත් මේසේ උඩ තියෙනවනේ. හැබැයි ඊට අමතරව කෙනෙක් වැඩිය හිතන්නේ නැති ගැජට් බැජට්, අංගෝපාංග වලින් වැඩ ලේසි කරගන්න බැරිද? ආන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ!

 

1. Bluetooth headset

gadgets

Image Source – bhphotovideo.com

සාමාන්‍යයෙන් රාජකාරි කරන කාර්ය බහුල මනුස්සයෙක්ට දවසකට සෑහෙන කෝල් ප්‍රමාණයක් එනවා මොබයිල් ෆෝන් එකට. ඒ කෝල් වලින් ඕනෑ නැති කිහිපයක් අත ඇරියත් සැලකිය යුතු කෝල්ස් ප්‍රමාණයකට අනිවාර්යයෙන්ම ආන්සර් කරන්න වෙනවා. හැබැයි හිතන්න අපි බොහොම හදිසි ඊමේල් එකක් ටයිප් කරමින් හරි ඒ වගේ වෙනත් වැදගත් ඔ‍ෆිස් වැඩක යෙදිලා ඉන්නවා කියලා. ඒ වෙලාවට ෆෝන් එක අතට අරගෙන කෝල් කරන එක කරදරයක්. හැබැයි බ්ලූටූත් හෙඩ්සෙට් එකක් ඒ වෙලාවේ පැළඳගෙන ඉන්නවා නම් තියෙන ලේසිය කියලා නිම කරන්න බෑ. කවුද කතා කරන්නේ කියන එක ෆෝන් එක බැලුවහම පේනවා. ඒකේ ගැටළුවක් නෑ. හැබැයි කරන වැඩේ නතර කරන්නේ නැතුව, එක අතක් ෆෝන් එක අල්ලගෙන ඉන්න යොදවන්නේ නැතුව ඇමතුමට උත්තර දෙන්න බ්ලූටූත් හෙඩ්සෙට් එකක් පැළඳගෙන ඉන්නකොට පුලුවන්.

 

2. Smartphone holder

gadgets

Image Source – puckups.com

ස්මාට්ෆෝන් එකක් මේසේ උඩ පොඩ්ඩක් ආනතව සිරස් අතට රඳවලා තියන්න පුලුවන් විදියේ ස්මාට්ෆෝන් රඳවනයක් (Smartphone tablet holder) ගන්න ගොඩක් දෙනෙක් හිතන්නේ නෑ. ඇත්තටම වාහනයක් එළවන කෙනෙක් කාර් එකේ ස්මාට්ෆෝන් එක රඳවන්න පුලුවන් ගැජට් එකක් ගත්තත්, මේසේ උඩ ස්මාට්ෆෝන් එක හිටවලා තියන්න පුලුවන් ගැජට් එකක වටිනාකමක් ගැන හිතන්නේ නෑ. හැබැයි හිතන්න. එහෙම ස්මාට්ෆෝන් එක මේසේ උඩ සිරස්ව තියෙනකොට අවශ්‍ය වෙලාවට අතට ගන්න ලේසියි. බ්ලූටූත් හෙඩ්සෙට් එකක් පැළඳගෙන ඉන්නවා නම් පහසුවෙන්ම කෝල් කරන්නේ කවුද කියලා බලලා, ආන්සර් කරන්න පුලුවන්. හැබැයි චැට් පහසුකම් වලට එහෙමනම් කරදරයි. ඒකට හොඳම ක්‍රමය තමයි ෆේස්බුක් මැසෙන්ජර්, වට්ස් ඇප් මැසෙන්ජර්, වයිබර් මැසෙන්ජර් වැඩකරන පරිගණකයටම ඉන්ස්ටෝල් කරගන්න එක.

 

3. Bluetooth speaker

gadgets

Image Source – takealot.com

ඔ‍ෆිස් එකක නම් ගොඩක් වෙලාවට එක්කෝ ඇහෙන නෑහෙන ගාණට නිස්කලංක මියුසික් එකක් ප්ලේ වෙනවා. එහෙමත් නැතිනම් හැම මොහොතකම සිංදු යන රේඩියෝ චැනල් එකක් හෙමිහිට ප්ලේ වෙන්න දාලා තියෙනවා. මේකට හරියන්න සවුන්ඩ් සිස්ටම් එකකුත් ගොඩක් ඔ‍ෆිස් වල දැන් තියෙනවා. එහෙම වෙන්න හේතුවක් තියෙනවා. එහෙම මියුසික් එකක් වැඩට කරදරයක් නොවෙන ගාණට පසුබිමින් ප්ලේ වෙනකොට වැඩ කරන කාර්යක්ෂමතාවයට ඒක හොඳ උත්තේජනයක්. එහෙම මියුසික් එකක් බෑක්ග්‍රවුන්ඩ් එකෙන් ප්ලේ වෙන්නේ නැතිනම් ගොඩක් දෙනෙක් කරන්නේ හෙඩ්ෆෝන් එකක් දාගෙන තමන් ආස මියුසික් එකක් අහගෙන වැඩ කරන එක. හැබැයි ඉතින් ඊට වඩා හොඳ විසඳුමක් තමයි තමන්ටම කියලා බ්ලූටූත් ස්පීකර් එකක් ගන්න එක. ඒක මේසේ උඩින් තියලා ස්මාට්ෆෝන් එකට හරි ලැප්ටොප් එකට හරි කනෙක්ට් කරලා, නිස්කලංක මියුසික් ටිකක් ප්ලේ ලිස්ට් එකක් හදලා ප්ලේ වෙන්න දාලා වැඩ කරන්න තමයි තියෙන්නේ.

 

4. Smart speaker – Amazon Echo

gadgets

Image Source – currys.co.uk

හොඳ බ්ලූටූත් ස්පීකර් එකකට වඩා පොඩි ගාණක් වැඩිපුර වියදම් කරන්න පුලුවන් නම් ඉතාම හොඳ ආයෝජනයක් තමයි ස්මාට් ස්පීකර් එකක් කියන්නේ. ඇත්තටම අනාගතයේදී හැම ගෙදරකම සුලභ උපාංගයක් වෙන්නට නියමිත ස්මාට් ස්පීකර් එකකින් පහසුවෙන්ම හොඳ කොලිටි බ්ලූටූත් ස්පීකර් එකකින් සිදුකෙරෙන කාර්යභාරය ඉෂ්ට කරගන්න පුලුවන්. හැබැයි ඊට වඩා දෙයක් ස්මාට් ස්පීකර් එකකින් ලබාදෙනවා. ඒ තමයි ස්මාට් ඇසිස්ටන්ට් කෙනෙක්ගේ සේවය. ඇමසොන් එකෝ ස්පීකර් එකක එහෙම නම් ඉන්න ඇලෙක්සා ස්මාට් සහකරුට අපිට කටහඬින් විධාන කරන්න පුලුවන්. එහෙම විධාන කරලා විවිධ දේවල් ඉ‍ටු කරගන්න පුලුවන්. උදාහරණයක් විදියට වැඩ කරන අතරතුරේදී යම් යම් තොරතුරු අන්තර්ජාලයෙන් අවශ්‍ය නම්, ඔන්ලයින් මොනවා හරි ඕඩර් කරගන්න ඕන නම්, කාලගුණය ගැන හරි වෙනත් ඒ වගේ දෙයක් ගැන හරි දැනගන්න ඕන වුනොත් අහන්න විතරයි තියෙන්නේ. ඒ වගේම කෙනෙක්ට කෝල් කරන්න, මැසේජ් එකක් යවන්න අවශ්‍ය වුනත් ෆෝන් එක අතට නොගෙන කටහඬ විධානයකින්ම ඒක කරගන්න පුලුවන්. එතකොට සංගීතය වාදනය කරන එක වුනත් කටහඬින් විධානයක් දෙන්න විතරයි තියෙන්නේ!

 

5. Memory card/External hard drive/Pen drive

gadgets

Image Source – fzhdigital.com

සාමාන්‍යයෙන් පෙන් ඩ්‍රයිව් එකක් ළඟ නැති කෙනෙක් දැන් නැහැනේ. ඇත්තටම මෙමරි චිප් එකක්, පෙන් ඩ්‍රයිව් එකක් වගේම බාහිර හාඩ් ඩිස්ක් එකක් එහෙමත් ළඟ තියෙන එක හොඳයි. විශේෂයෙන්ම ‍ෆ්‍රී ලාන්ස් ඩිසයිනර් කෙනෙක් වගේ ජොබ් එකක් කරන කෙනෙක්ට මේ දේවල් අත්‍යාවශ්‍යයි. පෙන් ඩ්‍රයිව් එකක් නම් ඕනෑම ජොබ් එකක් කරන කෙනෙක්ට යම් මොහොතක වුවමනා වෙන උපාංගයක්. විශේෂයෙන්ම ටිකක් ඉහළ ධාරිතාවක්, ඒ කියන්නේ 32GB, 64GB වගේ පෙන් ඩ්‍රයිව් එකක්වත් ළඟ තියෙන එක වටිනවා.

 

6. Coffee pot

gadgets

Image Source – walmart.com

සාමාන්‍යයෙන් සෑහෙන දීර්ඝ පැය ගණන් වැඩ කරන ඕනෑම කෙනෙක්ට නොවරදවාම අවශ්‍ය වෙන දෙයක් තියෙනවා. ඒ තමයි කෝපි. ගොඩක් වෙලාවට ඔ‍ෆිස් එකක නම් තේ හරි කෝපි හරි හදන්නේ උදේට එක පාරයි, හවසට එක පාරයි. ඊට වැඩියෙන් කෝපි ඕන නම් තමන්ටම එක්කෝ ගිහින් හදාගන්න වෙනවා. ගෙදර ඉඳන් වැඩකරන ‍ෆ්‍රී ලාන්සර් කෙනෙක්ට වුනත් එහෙමයි. කෝපි ඕන නම් තමන්ට ගිහින් හදාගන්න වෙනවා. ගෙදර කෙනෙක් අනුකම්පා හිතිලා හදා දුන්නොත් ඇරෙන්න. හැබැයි මේකට හොඳ විසඳුමක් තියෙනවා. ඒ තමයි කොෆී පොට් එකක් තමන්ගේ වැඩ කරන අහළ පහළින්ම තියාගන්න එක. මේ විදියේ කොෆී පොට් එකක එක පොට් එකක් හැදුවට පස්සේ ඒක රත් වෙවී තියෙනවා. අවශ්‍ය වෙලාවට කෝප්පයක් වක් කරගන්න එක විතරයි තියෙන්නේ. සුපිරි සල්ලිකාරයෙක්ට නම් ඉතින් එස්ප්‍රෙසෝ මැෂින් එකක් වුනත් ඔ‍ෆිස් කාමරේ තියාගන්න පුලුවන්!

හැබැයි මතක තියාගන්න වුවමනා කරුණු දෙකක් තියෙනවා. වැඩුණු මනුස්සයෙක් දවසකට බිවුවට කමක් නෑ කියලා වෛද්‍යවරු රෙකමන්ඩ් කරන්නේ කෝපි කෝප්ප හතරයි. දෙවෙනි කාරණාව: කෝපි බිවුවට කමක් නෑ. හැබැයි වැඩ කරන දවසක් ඇතුළේ වතුර බෝතල් දෙකක්වත් බොන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඒ නිසා මේසේ උඩම වතුර බෝතලයක් තිබුණට කමක් නෑ.

 

7. Standing Desk

gadgets

Image Source – lifespanfitness.com

ඩෙස්ක් ජොබ් කරන අපි ගොඩක් දෙනා දවසකට සෑහෙන වෙලාවක් පු‍ටුවක එක දිගට ඉඳගෙන වැඩකරන්නේ. ඒකෙන් සෑහෙන්න සෞඛ්‍ය ගැටළු ඇතිවෙනවා කියන එක දැන් ලෝකේම පිළිගන්න කාරණාවක්. කොහොම නමුත් ඒකට විසඳුම් තියෙනවා. එක දිගට වාඩි වෙලා වැඩ කරන්නේ නැතුව කඩින් කඩ විවේක වේලාවන් ලබාගනිමින් වැඩ කිරීම එක විසඳුමක්. ඒ වගේම තමයි ස්ටෑන්ඩින් ඩෙස්ක් හෙවත් හිටගෙන වැඩ කරන්න පුලුවන් මේසයක් තබාගැනීමත් හොඳ අදහසක් විදියට දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතිනවා. සාමාන්‍යයෙන් කියන්නේ එක පැයකට විනාඩි පහළොවක් විතර හිටගෙන වැඩ කිරීම යෝග්‍යයි කියලා තමයි. සමහර විද්‍යාඥයෝ කියනවා මේ විනාඩි පහළොව විනාඩි තිහක් වෙනකල් දීර්ඝ කරන එකෙන් සෞඛ්‍යයට යහපතක් තියෙනවා කියලා. දැන් වෙළෙඳපොළේ වෙනම ස්ටෑන්ඩින් ඩෙස්ක් වගේම සාමාන්‍ය මේසයක් සහ හිටගෙන වැඩ කරන මේසයක් බවට උස් පහත් කරන්න පුලුවන් මේසත් තියෙනවා.

 

8. White board

gadgets

Image Source – lelong.com.my

වයිට් බෝඩ් එකක් කියන්නේ ගැජට් එකක් නෙවෙයි. හැබැයි ඔ‍ෆිස් එකකට අත්‍යාවශ්‍ය අංගයක්. ඒ කියන්නේ ‍ෆ්‍රී ලාන්සර් කෙනෙක්ගේ ගෙදර ඔ‍ෆිස් එකට වගේම කාර්යාල කියුබිකල් එකකට වුනත්. ඇයි? තමන්ට හොඳට පැහැදිලිව පේන්න වුවමනා දේවල් ලියලා තියන්න පුලුවන්. තමන්ට යම් කිසි සැලැස්මක්, සැකිල්ලක් ගැන කන්සෙප්ට් එකක් නිර්මාණය කරගන්න, යම් කිසි ආටිකල් එකක ස්කෙච් එක ගහගන්න වගේ දේකට නෝට්බුක් එකකට වඩා සාර්ථකව වයිට් බෝඩ් එකක් භාවිතා කරන්න පුලුවන්. වයිට් බෝඩ් එකෙන් කරන්න දෙයක් නැති දවසට සිත නිවන කථාවක්, දවස ජවගන්වන ආදර්ශ පාඨයක් එහෙම ලියලා තියාගත්තත් කමක් නෑ!

 

9. Dictaphone

gadgets

Image Source – grandado.com

ඩික්ටාෆෝන් කියන නම නුහුරුයි වගේද? දැන් හැමෝම ගාව ස්මාට්ෆෝන් තියෙනවනේ. ඔය ස්මාට්ෆෝන් වල වොයිස් රෙකෝඩර් ඇප් එකක් තියෙනවනේ. ආන්න ඒ හැකියාව විතරක් තියෙන උපාංගයකට තමයි ඩික්ටාෆෝන් කියන්නේ. ඒ කියන්නේ අතට හුරුබුහුටි විදියට නිර්මාණය කරපු ඩිජිටල් වොයිස් රෙකෝඩරයක්. ඇත්තටම මේ උපාංග ස්මාට්ෆෝන් වලටත් වඩා පරණයි. මේ ඩික්ටාෆෝන් එකක් පාවිච්චි කරන එක අමාරු නෑ. මේවා ගොඩක් වෙලාවට මාධ්‍යවේදීන් එහෙම සම්මුඛ සාකච්ඡා පටිගත කරන්න යොදාගන්නවා. හැබැයි වෙනත් ඕනෑම කෙනෙක්ට ඩික්ටාෆෝන් එකක් පාවිච්චි කරන්න පුලුවන්. අපි කියමු සෑහෙන්න රාජකාරි ගැන සටහන් තියාගන්න කෙනෙක් කියලා. එහෙම නැතිනම් ලේඛකයෙක් කියලා. එහෙම කෙනෙක්ට තමන්ගේ අදහස් ලියන එක නරක නෑ. හැබැයි බස් එකක යන වෙලාවට හිතට එන අදහස් නෝට්පොත ඇදලා අරන් ලියන එක ප්‍රායෝගිකව අමාරු වැඩක්. ඒ නිසා කෙනෙක් නෝට්බුක් එකකට වඩා ඩික්ටාෆෝන් එකකට වඩාත් කැමති වෙන්න පුලුවන්. ඩික්ටාෆෝන් එකකින් සෑහෙන්න ප්‍රයෝජන තියෙනවා.

ඩික්ටාෆෝන් නැතිනම් ඩිජිටල් වොයිස් රෙකෝඩර් ගන්න තියෙනවා ලංකාවේ වෙළෙඳපොළේ. එහෙම නැතිනම් ස්මාට්ෆෝන් එකේ වොයිස් රෙකෝඩර් ඇප් එක වුනත්, වෙනත් ඩික්ටාෆෝන් ඇප් වුනත් සාර්ථකව පාවිච්චි කරන්න පුලුවන්.

Cover Image Source – buildyoursmarthome.co/ uk.businessinsider.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *