ලංකාවේ සුප්‍රකට වලව් 7ක ඉතිහාසය සහ වර්තමානය

Mansions

වලව් දිහා බැගෑබර විදියට බලපු කාලය දැන් ඉවරයි. වලව් දැන් ජාතික වස්තු. එක වලව්වකින් පුළුවනි ඉතිහාසයක්ම කියවන්න. අන්න ඒ වගේ වලව් කීපයක් අපේ රටේ තාමත් තියනවා. සමහර ඒවා මහජන ප්‍රදර්ශනේට විවෘතයි. තවත් ඒවාට එහෙම යන්න තහනම්. වලව්වල පුරුක් වශයෙන් ආපු ගමනේ සමහරු තාමත් වලව්වල ජීවත් වෙනවා. ඉතින් එකී මෙකී නොකී ලංකාවේ ප්‍රසිද්ධ වලව් කීපයක් ගැනයි මේ වියමන.

 

1. මඩුවන්වෙල වලව්ව

Mansions

Image Source – udawalawesafari.com

ඊයේ පෙරේදා හදපු දේවලුත් බලන් ඉඳිද්දී පොළවට පස් වෙන කාලයේ මේ කතා කරන්නේ අවුරුදු 180කට වඩා ඉතිහාසයක් හිමි, ඒත් අදටත් හයිය හත්තිය ඇතුව නොනැසී පවතින වලව්වක් ගැනයි. සමහරවිට ලංකාවේ වලව් අතර පොඩි ළමයෙකුත් දන්නා තරමේ ජනප්‍රියතාවක් ලබපු එකම වලව්වත් වෙන්න ඇති. ඇඹිලිපිටිය සූරියකන්ද පාරේ යද්දී තමයි මඩුවන්වෙල වලව්වට යන පිවිසුම දැකගන්න පුළුවන් වෙන්නේ. මේ වලව්වේ මහා තැන තමයි මඩුවන්වෙල දිසාවේ. නිල නොළත් රජ කෙනෙකු විදියටයි මොහුව හඳුන්වන්නේ. මේ වලව්වේ පවුරු තුනක් තියනවා. පිටත පවුර තනිකරම කළුගලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඇතුළු පවුර පහන් පවුර කියලත් හඳුන්වනවා. පිඟන් ගඩොල් භාවිතය මේ වලව්වේ හරි හරියට දැකගන්න පුළුවන්. පිරිත් මණ්ඩපයේ වගේම මැද මිදුල වටෙත් පිඟන් ගඩොල් අල්ලා තියනවා. තැනක පිඟන් ගඩොලින්ම රැජිනගේ රුව තනා ඇත්තේ අධිරාජ්‍යවාදීන්ට තමන්ගේ ඇති විරෝධය පෙන්වන්නයි. ඇයි ඉතින් පයට පෑගෙනවනේ. වලව්වට පිවිසෙන ද්වාරය හදලා තියෙන විදියට සුද්දන්ට හෙම ඔළුව නවාගෙනයි ඇතුළට එන්න වෙලා තියෙන්නේ. මහා බංගලාව කියලා හඳුන්වන කොටසේ මෙතුමාගේ ජීවමාන ප්‍රමාණයේ රූපයක් තියනවා. අක්කර 20ක් පුරාවට පැතිරිලා තියන වලව්වේ ඉඩම ස්වාභාව සෞන්දර්යයෙන් අනූනයි. දිසාවේගේ සොයුරෙකුගේ පුතෙකු වන ෆ්‍රැන්සිස් මොලමුරේට වලව්ව හිමි වෙනවා. ඒත් අද නම් මේ රටේ හැම දෙනාගේ ම උරුමයක් තමයි මේ.

 

2. ජයකොඩි වලව්ව

Mansions

Image Source – archives.dailynews.lk

කඩවත ගණේමුල්ල පාරේ දිගටම ගියාම ජයකොඩි මහා විද්‍යාලය අසල තියනවා මහේශාක්‍ය ලීලාවෙන් වැඩ ඉන්න වලව් රාජයෙක්. ඒ තමයි ගබං ජයකොඩි කියන තරුණයා තමන්ගේ පරම්පරාව ගෙනයන්න හිතාගෙන නගාපු මන්දිරය. මේ වලව්ව සම්බන්ධ ජනප්‍රවාදයක් තියෙනවා. ඒ තමයි වැලිපිල්ලෑව ප්‍රදේශයේ සාමාන්‍ය තරුණයෙක් වුණ ගබංට හැම සැපතක්ම ලැබෙන්නේ භාරියාව නිසා බව. මනුස්සයෙක් රත්තරන් කාසි පිරි මුට්ටියක් හංගනවා බලා සිටි මේ නෝනා ඒක ස්වාමියාට කියලා තියනවා. ඒ නිධානය ගොඩ අරගෙන තමන්ගේ ව්‍යාපාර අරඹලා මේ මන්දිරය හැදුවා කියලයි කියන්නේ. දැන් මේ වලව්වේ අයිතිකාරිනිය ගබංගේ මුණුබුරාගේ බිරිඳ පමණයි. ඇයත් දැන් වයෝවෘද්ධ නිසා මේ වලව්වේ හෙට දවස අවිනිශ්චිතයි.

 

3. සිසිරගිරි වලව්ව

Image Source – dinamina.lk

මාතර යටියන ප්‍රදේශයේ නාමය ලංකාවේ වුණත් දන්නේ කීයෙන් කී දෙනා ද? නමුත් ඒ ගමේ උපන් ගැමියෙකු නිසා යටියන නාමය ජාත්‍යන්තරය පවා අඳුරන බව හිතාගන්නවත් පුළුවන් ද? යටියන මහත්තයා ලෙස කවුරුත් දැන සිටි මේ ගැමියාට සියලු ඉසුරු කැන්දා දුන්නේ මේ සිසිරගිරි වලව්ව බවට මතයක් තියෙනවා. තමන්ගේ නෝනා කළයෙන් වතුර රැගෙන නිවසට එන අතරවාරයේ කළයෙන් බුබුළු මතු වී තියෙනවා. ඒ ස්ථානය මැදි කරලා නිවසක් හැදුවා විතරයි යටියන මහත්තයා නතර වුණේ නුවර ක්වීන්ස් හෝටලෙත් මිලට අරගෙන. සුද්දන්ගේ රැස් යටියන මහත්තයා නිසා සෑහෙන බැහැලා තියනවා. කිටිකිටියේ ජගුවර් කාර් තුනක්ම ගෙදර අරගෙන ගිහින් තියෙන්නෙත් සුද්දන්ට රිදෙන්න. අනේ ඉතින් ඒ තරම් ධන බලයකින් තිබුණ වලව්ව දැන් අතඇරලා දාලා. කවුරුත් පදිංචියක් නැහැ. යටියන මහත්තයාගේත් හාමිනේගේත් ඔවුන්ගේ පුතාගේත් සොහොන් පමණක් තියෙනවා වලව්වේ තනියට.

 

4. කැප්පෙටිපොළ වලව්ව

Mansions

Image Source – youtube.com

1818 කැරැල්ලේ සුවිශේෂ පුද්ගලයෙක් විදියට සැලකෙන මොනරවිල කැප්පෙටිපොළ නම් ජාතික වීරයා සිය ජීවිතය ගත කර ඇත්තේ මේ වලව්වේ. එතුමා ඉපදුණු වලව්ව නම් තියෙන්නේ මාතලේ මොනරවිල ග්‍රාමයේ. ඒත් මේ වලව්ව තියෙන්නේ මාතලේ  හුලංගමුව ප්‍රදේශයේ. පෞරාණිකත්වය නිසාම රජය විසින් සංරක්ෂණය කරන්න පෙළඹිලා තියනවා. කැප්පෙටිපොළ හයවන පරම්පරාවේ දියණියක් වන ධනසීලි මහත්මිය තමන්ගේ ස්වාමියා එක්ක මෙහි දැන් ජීවත් වෙනවා. රජය විසින් සංරක්ෂණය කරනවයි කීවට ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික සත්‍යයේ මදකමක් තියෙන බවයි පහුගිය කාලේ පත්තර බැලුවාම නම් පෙනිලා ගියේ. ඒ තරමට සමහර තැන් අබලි වෙලා තිබුණා. මේ වලව්වේ සුවිශේෂ අංගයක් තමයි කෑම කාමරය. ඒ කාමරය කොතරම් විශාල ද කියනවා නම් ඒ තුළ ඉඳන් අලි ඇත්තුන්ටත් කෑම දීලා තියනවා. මැද මිදුල සහ සඳළුතල දෙකක් සහිත තනිකරම දැවවලින් නිර්මාණය කළ උඩුමහලත් පුරාවිද්‍යාත්මක අගයකින් යුතුයි.

 

5. ගජමන් වලව්ව

Mansions

Image Source – mithuru.lk

මාතර යුගයේ කවිකාරිය සිය ජීවිතය ගත කළේ මෙතැනයි. කොළඹ රටේ උපන්නියක වෙලත් ගජමන් නෝනාට මාතර ප්‍රදේශයේ වලව්වක ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්න සිද්ධ වෙන්නේ තමන්ගේ පියාට ලැබුණ මාරුවීමක් නිසයි. සාමාන්‍යයෙන් වලව්වක් කිව්වම මහල් කීපයකින් යුතු විශාල රූපයක් මැවුණාට ගජමන් වලව්ව තනිමහලකින් යුතුයි. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ වගේම මාතර මහා නගර සභාවේ නඩත්තුව යටතේත් පවතිනවා. ගජමන් නෝනාගේ ජිවිතයේ අවසාන කාලය ඉතා දුක්පත්. සිය පියා සහ ස්වාමියාගේ මරණයෙන් පසුවත් ඈ දිගටම වාසය කරන්නේ මේ වලව්වේ. වල්පල වේරගම්පිට විහාරයට නුදුරින් මේ වලව්ව දැකගන්න පුළුවන්.

 

6. මහවලතැන්න වලව්ව

Mansions

Image Source – youtube.com

මේ එසේමෙසේ වලව්වක් නෙවෙයි. ලෝකයේ ප්‍රථම අගමැතිවරිය ජන්මලාභය ලබා හැදී වැඩුණ නිවස්නයයි. රොස්මන්ඩ් හිල්ඩා මහවලතැන්න මැතිනිය වන තමන්ගේ මව් පාර්ශ්වයෙනුයි මේ වලව් උරුමය ඇයට ලැබෙන්නේ. රොස්මන්ඩ් හිල්ඩා මහත්මියගේ පියා තමයි මහවලතැන්න පරපුරේ අවසන් පුරුෂයා. ඔහුට උපන්නේ කෙල්ලන්ම තුනක්. ඉන් එක් අයෙක් තමයි සිරිමාවෝ මැතිනියගේ මව වෙන්නේ. කොහොම වෙතත් මහවලතැන්න වලව්ව විදියට ඉස්සෙල්ලාම හඳුන්වපු වලව්ව දැන් පවතින එක නෙවෙයි. දැන් තියෙන්නේ මහවලතැන්න පරපුරේ අවසන් පුරුෂ රත්නය වන ඩේවිඩ් සැමුවෙල් මහවලතැන්න විසින් බලන්ගොඩ ප්‍රදේශයේ හදපු වලව්වයි. රොස්මන් හිල්ඩා විවාපත් වුණේ රත්වත්තේ කෙනෙක් සමගයි.මහවලතැන්න නාමය රත්වත්ත වුණේ එවක් පටන්. ඒත් මේ වලව්වේ නාමය එලෙසින්ම තිබ්බා. රත්වත්ත වලව්ව වශයෙන් හඳුන්වන වලව්වක් වෙනම තියනවා. අද කෙසේ හෝ මේ වලව්වේ හිමිකාරිත්වය හිමි රොස්මන් හිල්ඩා මහත්මියගේ ලේලිය වන මල්ලිකා රත්වත්ත මැතිනියටයි. මේ වලව්ව සඳහා ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පය භාවිත කරලා තියනවා. මුළු වලව්වටම භාවිත කර ඇති ලී වර්ගය කොස්. වලව්ව අවට පරිසරය තනිකරම ඔසු උයනක් බවත් සඳහන් වෙනවා.

 

7. දික්කන්ද වලව්ව

Mansions

Image Source – youtube.com

හොල්මන්වලින් පිරුණ වලව්වක් විදියට මිනිසුන් අතර ජනප්‍රිය වලව්වක් තමයි මේ. හැබැයි ඇතුල්වීමට අවසර නොදෙන නිසා සහ පාලුවට ගියපු ගතිය නිසා නිකන්ම හැදුණ කතාවක් විදියට සැලකෙන්නේ. ඔබේසේකර පරපුරටයි අයිතිය. යක්කල සහ කිරිඳිවැල අතර ගමන් ගන්නකොට ඈත කඳුගැටයක මේ වලව්ව විතරක් පිහිටලා තියනවා දකින්න පුළුවන්. ඒ විදියට එකා යකා වගේ ඉන්නකොට නම් බය හිතෙනවා තමයි. මෙතන කුකුළු ගොවිපොළක් මහා පරිමාණ වශයෙන් පවත්වනවා කියලා කියනවා. හැබැයි එහෙම වැඩට යන්නෙත් සීමිත පිරිසක්. කාමර සියයක් තියෙනවාය කියලා හදාගත් කතාවත් පට්ටපල් බොරුවක්. කාමර 18ක් හෝ 20ක් තියෙනවා කියලා පසුව හොයාගෙන තියනවා. දික්කන්ද වලව්ව සම්බන්ධ කටකතාවලට හොඳම විසඳුම ගවේෂණය සඳහා විවෘත කර දීම. ඒක කවදාක හෝ වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Cover Image Source –  thekandyhouse.com/ youtube.com

 

 

 

 

zvr
Your Reaction

Comments